Thursday, April 25, 2024

බෝරාවරුන්ගේ පැමිණීම ‌මෙරටට තර්ජනයක් වීද?

ඡායාරූපය: ගාලු මුවදොර පිටිය අසළින් ඇවිද යන ‌බොරාවරු පිරිසක්. © Sunanda Deshapriya

මෑතදී සහ තවමත් විශාල කතා බහකට පත්වන මාතෘකාවක් තමයි බෝරාවරුන්. බෝරාවරුන් ගැන විශාල  කතා බහකට ලක් වෙන්න හේතු වූ ප්‍රධාන කාරණාව තමයි බම්බලපිටිය සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල ඇති වූ මාර්ග අවහිරතා සහ මාර්ග තදබදය. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර සැප්තැම්බර් 1 සිට 10 වන තෙක් දින 10ක් පුරා පැවැත්විණ. බෝරාවරුන්ට ලංකාව තුළ අවුරුදු 150ක් ඈතට විහිදුණු ඉතිහාසයක් පවතී. මෙය මෙරට පැවැත්වූ ප්‍රථම බෝරා සමුළුවද නොවන අතර ලංකාව තුල වූ ප්‍රථම ගෝලීය බෝරා සමුළුව 2007 දී පවත්වන ලදී.

 මිනිසුන් ඔවුන්ට නොතේරෙන දෑ පිළිබඳව බියක් දක්වයි. – බිල් ලොස්වෙල්

ගොඩක් අයට බෝරාවරු කවුද යන්න ආගන්තුකයි. මොවුන් ඩාවුඩ් බෝරා වරු ලෙස හැඳින්වේ. ඉස්ලාම් ආගමේ සුන්නි ෂියා නිකායන් දෙකෙන් ෂියා නිකායට අයත් ඉස්මයිල් ශකාවේ උප නිකායකි. ෂියා නිකායේ බොහොමයක් පිරිස මෙන් මේ බෝරා වරුද අන්තවාදී ත්‍රස්තවාදයට රුකුල් නොදෙන අතරම, අන්තවාදී අදහස් හා මතවාද නොදරන සාමකාමී මිත්‍රශීලි පිරිසක් ලෙස නම් දරා ඇත. ශ්‍රී ලංකාවේ බෝරාවරු 3000 පමණ සිටින බවට සඳහන් වන අතර ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන්ද මේ අතර වේ. ලොව පුරා ගත් කල ඉන්දියාව, යේමනය, දකුණු අප්‍රිකාව, මෙන්ම මැද පෙරදිග බෝරා මුස්ලිම් ජානයා මිලියන 1.2 පමණ ජීවත් වන බවට වාර්තා වේ.

මෙවර ලංකාවේ පැවැත්වුවේ බොරවරුන්ගේ සුවිශේෂී වාර්ෂික සමුළුවක් වන අතර,මෙය එක් එක් අවුරුදු වලදී එක් එක් රටවල් වල පැවැත්වීම සිරිතයි. මෙවර 2019 වර්ෂයේ බොරවරු අප කුඩා දිවයින නැතහොත් ශ්‍රී ලංකාව තෝරා ගැනීම විශේෂයක්. “අපට ශ්‍රී ලංකාව විශ්වාසය” “We Believe in Sri Lanka” යන තේමාව යටතේ රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් 21,000 ක සහභාගිත්වයෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර විදේශ රටවල බෝරාවරුන් 18,500ක පමණ පිරිසක් ඊට එක් ව සිටින අතර ශ්‍රී ලාංකික බෝරාවරුන් 2,500ක් පමණ සහභාගී වී සිටියහ.

මේ සමඟම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ අනෙකුත් මාධ්‍යන් තුළ මතු වූ විරෝධත්වය ද දැක ගත හැකි විය. මේ මතු වූ විරෝධයන් තුළ දැකියහැකි දෑ කීපයක් විමසා බැලීම වැදගත්වේ. එනම්, මේ මඟින් කොළඹ තදාසන්න ප්‍රදේශ වල මතු වූ රථ වාහන තදබදය කැපී පෙනුණි. නමුත් වටහාගත යුතු යථාර්තය නම් එම තදබදය කොළඹ පවතින ඕනෑම ආගමික, ජාතික සහ වෙනත් කටයුත්තකදී ඇති වන බවයි. සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය, ඇතැම් ආගමික උත්සව මෙන්ම නිදහස් උත්සවය මේ අතරින් කිහිපයකි. එය බෝරා වරුන්ගේ සමුළුවට පමණක් සීමා වූවක් නොව. තවද බෝරාවරුන්ගේ සමුළුව බම්බලපිටිය මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍රකර ගනිමින් පැවතීම, එය එම නගරය තුළ පැවත්වීමට ප්‍රධානව හේතුවිය.

 සෑම දෙනාම මේ පිළිබඳ චෝදනා මුඛයෙන් කතා කලත් මේ මඟින් විශාල විදේශ විනිමයක් සහ සංචාරක කර්මාන්තය වෙත ලැබුණු බවයි. රටවල් 40කින් පැමිණි 21000 පමණ බෝරාවරු මඟින් විශාල සහයක් සංචාරක ව්‍යාපාරයට ලැබුණු බව අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන සභාපති කිෂූ ගෝමස් මහතා පවසා ඇති ආකාරයට මෙම කාල පරාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 51ක් මේ තුළින් උපයා ඇති බවට වාර්තා වේ. මෙය ශ්‍රී ලංකා මුදලින් බිලියන 10කට ආසන්නය. එමෙන්ම මෙය කොළඹ තුළ මෑතකදී පැවැත්වූ විශාලතම උත්සවයයි. මෙය විදේශිකයන් තුළ නැවත විශ්වාසය ගොඩ නැංවීමට පාදක වූයේ මෙම උත්සවය ඉතා සාර්ථකව අවසන් වීමත් සමඟයි.

අප්‍රේල් මාසයෙන් පසු සංචාරක ව්‍යාපාර තුළ වූ පසුබෑම මෙමඟින් බොහෝදුරට තුරන්ව ගොස් නැවත මේ කුඩා දිවයිනේ අසිරිය නැරඹීම සඳහා ආරක්ෂාව පිළිබඳ විශ්වාසයෙන් සහ සතුටින් මේ දිවයිනට පැමිණීමට අවශ්‍ය මානසික මට්ටම විදේශිකයන් තුළ ගොඩ නැඟී ඇත. මේ කාලය තුල කොළඹ ඇතුලත හෝටල් සම්පුරණ ලෙසම පිරී ඉතිරි ගියේය. වාර්තා වන පරිදි 3000 කට අධික හෝටල් සංක්‍යාවක් වෙන්කරවා ඇත. මෙය කොළඹට පමණක් සීමා නොවී ඇති අතර මීගමුව, රත්මලාන ගල්කිස්ස යන ප්‍රදේශ වලද මෙම බැතිමතුන් නවාතැන් ගෙන ඇති අතර මෙය එම ප්‍රදේශ වලටද මහත්  මෙම දින දහය තුළ අහරවේල් 600,000 කට අධික ප්‍රමාණයක් පිරිනමා ඇත. මෙය අවන්හල් සහ හෝටල් වලට විශාල අදායමක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමණාකාර අධ්‍යක්ෂ චමාලි මේල්ගේ මහතා පැවසුවේ කොළඹ උතුරු දෙසින් පිහිටි මීගමුව සිට ශ්‍රී ලංකාවේ ගාල්ල නගරය දක්වා දිවෙන වෙරළබඩ ප්‍රදේශවලද අමුත්තන් හෝටල් වෙන්කරවා ඇති බවයි. මීට අමතරව අධිවේගී මාර්ග භාවිතය යනාදී වක්‍රාකාර අයුරින්ද විශාල අදායමක් බොරවරුන්ගේ සමුළුව මඟින් මේ කුඩා දිවයිනට හිමිව ඇත.

අප්‍රේල් 21 වන දින සිදුවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ දුර්වල වූ සංචාරක කර්මාන්තය ඇතුළු ව්‍යාපාර නැවත යතා තත්වයට පත් වීමට මෙන්ම විදේශිකයන් තුළ ලංකාවේ ඇති ආරක්‍ෂිත භාවය පිළිබඳ තහවුරු කිරීම මෙම බෝරාවරුන්ගෙන් පැමණි අශිර්වාදයකි. අප ලාංකිකයන් ලෙස වර්ගවාදී වී වෙනත් ජාතියක ආගමක අය තර්ජනයක් ලෙස සිතා නිරතරයෙන් මැසිවිලි නැඟීම වෙනුවට පුළුල් මනසකින් අනෙක් ජාතීන් ආගම් දෙස බැලීමටත්, තමා නොදන්නා යමක් දෙස  බියෙන් බැලීම වෙනුවට විමසා බැලීමට හුරුවීම වටී.

– නිර්නාමික විසිනි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Archive

Latest news

Related news