Friday, March 29, 2024

එජා විශේෂ නියෝජිත හමුවට අවසර දුන්නේ අගවිනිසුරුමයි – කරු ජයසූරියගේ කණ පැලෙන විදේශ අමාත්‍යාංශ පිළිතුර

ජායාරූපය: ඒජා විශේෂ  වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල්.

විදේශ කටයුතු අමාත්‍ය, ගරු තිලක් මාරපන මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී කරනු ලබන විශේෂ ප්‍රකාශය – 2019.07.25.

නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ගැටලුව සම්බන්ධයෙන්  පසුගිය අඟහරුවාදා ( ජූලි 23 ) සහ  බදාදා ( ජූලි 24) දින  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් කරුණු දැක්වීම සහගරු අග්‍රවිනිශ්චයකාරතුමන් සහ කොළඹ මහාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන්ට එකී විශේෂ වාර්තාකරු හා සමඟ සාකච්ඡාවක් සඳහා ඉල්ලීමක් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගත් පියවර වෙත මාගේ අවධානය යොමු කර ඇත.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විවිධාකාර වූ අදහස් රාශියක් දැක්වීම හේතුවෙන් සැළකියයුතු අන්දමක ව්‍යාකූළ තත්ත්වයක් ඉස්මතුවී ඇති හෙයින්, පහත දැක්වෙන කරුණු ඔබ ඉදිරියේ පළ කර සිටිනු කැමැත්තෙමි.

දැනට සිදුවෙමින් පවතින නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරුගේ සංචාරය,  ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පරිපාටි පිළිබඳ බලයලත් පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන මීට සමානවූ සංචාර මාලාවෙහි එක් කොටසකි.

  • මෙවන් සංචාරයන් පිළිගනු ලැබීමේ අරමුණ වන්නේ, විවෘත සහ සංවාදශීලී භාවාර්ථය අරභයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව හා සමග උරෙන් උර ගැටී කටයුතු කිරීමේ ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාවන් ක්‍රියාවට නැංවීමේදී විනිවිදභාවයෙන් යුත් ක්‍රියාදාමයක් අනුගමනය කෙරෙන බවට සහතිකවීමයි.
  • මේ වූ කළී විශේෂ වාර්තාකරුවකු මෙරටට සම්ප්‍රාප්ත වූ පළමු අවස්ථාව නොවේ; 2015 ජනවාරි මස 08 වන දින සිට මෙවන් සංචාර 08 ක් සිදු කර තිබේ. ඒ සෑම අවස්ථාවකදීම, එකී විශේෂ වාර්තාකරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කරමින්, විවිධ රාජ්‍ය අංශ හා සමග සාකච්ඡා  සංවිධානය කිරීම  විදේශ කටයතු අමාත්‍යාංශය විසින් අනුගමනය කරන ලද සාමාන්‍ය ක්‍රියා පිළිවෙත විය. ඒ එක් එක් සංචාරය ආරම්භ කිරීමට පෙර,  එකී විශේෂ වාර්තාකරුවන් හමුවීමට අදහස් කරනු ලබන පුද්ගලයන්ගේ නාම ලැයිස්තුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉදිරිපත් කෙරේ.
  • ගැටලුවට තුඩු දී ඇති වත්මන් විශේෂ වාර්තාකරුගේ සංචාරය සම්බන්ධයෙන්,විශේෂයෙන් සටහන් කර ගත යුතු වැදගත් කාරණයක් වන්නේ,  මේ හා සමානව පෙර පැවැති සංචාරවලදී කටයුතු කරන ලද පරිදිම, මෙවරද සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම පිණිස අදාළ පාර්ශ්වකරුවන්ගේ ප්‍රාරම්භක රැස්වීමක් අමාත්‍යාංශය විසින් කැඳවන ලද බවයි. ඉන් අනතුරුව,   විධිමත් සම්මුඛ සාකච්ඡා සඳහා විශේෂ වාර්තාකරුවිසින් කරනු ලබන ඉල්ලීම් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ ආයතන වෙත යොමු කරනු ලැබේ.  මෙම අවස්ථාවේදීද,  ගරු අග්‍ර විනිශ්යකාරකාරතුමන් සහ කොළඹ මහාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් ඇතුළුව, රැස්වීම් 20 කට අධික අපේක්ෂිත සාකච්ඡා සම්බන්ධයෙන් ඒ හා සමානවම කටයුතු කරන ලදී.
  • ඉහත කී ප්‍රාරම්භක රැස්වීමේදී, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් විසින් හුවා දක්වන ලද්දේ,  විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ලිපියේ සඳහන් කර ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සන්ධාන නියෝජිතයා විසින්  විමසීමට ඉඩ කඩ ඇති බවයි. එකී කාරණා සම්මබන්ධයෙන් යාවත්කාලීනවූ  කරණු දැක්වීමේ කාර්ය භාරය නීතිපති දෙපාර්තමේන්තුව විසින්  භාර ගන්නා ලදී.
  • අදාළගැටලු ඇතුළත් කරමින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට සහ ගරු නීතිපතිවරයාට ලිපියක් යැවීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් විසින් කටයුතු කරන ලද්දේ මෙවන් පසුබිමකය. මෙකී විශේෂ ගැටලු සම්බන්ධයෙන් විශේෂ වාර්තාකරු විසින් කරුණු විමසීමකට ඇති හැකියාව සම්බන්ධයෙන්  අදාළ ආයතන කල්තියා දැනුවත් කිරීම එකී ක්‍රියාදාමයේ අරමුණ විය.
  • ගරු අග්‍ර විනිශ්චයකාරකාරතුමන් සහ කොළඹ මහාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් සමග අපේක්ෂිත සාකච්ඡාවට ඉඩ දිය යුතු බවට නිර්දේශයක් විදේශ කටයතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් විසින් යවා ඇති ලිපියේ කිසි ලෙසකින් වත් සඳහන් කර නැති බව පෙනී යනු ඇත. මෙම ලිපියෙන් දන්වා ඇත්තේ, විශේෂ වාර්තාකරු විසින් මෙම සාකච්ඡා අපේක්ෂා කරන බව පමණකි.
  • ඒ හා සමානවම, එකී කරුණු සාකච්ඡාවට භාජනය වන බවක්එම ලිපියේ කිසිම ස්ථානයක සඳහන්ව නොමැති අතර, එකී කරුණ සාකච්ඡාවට භාජනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පමණක් අදාළ ආයතන දැනුවත් කර ඇත. මෙසේ ක්‍රියා කරන ලද්දේ, සංචාරයට පෙර  ජූලි මස 05 වන දින  පැවැති පාර්ශ්වකරුවන්ගේ  රැස්වීමෙන් අනතුරුවය.
  • විශේෂ වාර්තාකරු විසින් කරන ලද ඉල්ලීම්, අධිකරණ අමාත්‍යාංශය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා දැනුම් දීමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විධිමත් ක්‍රියා පරිපාටිය අනුගමනය කර ඇත.විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එවන ලද ලිපිය සැළකිල්ලට ගත් අධිකරණ සේවා කොමිෂන් සභාව ගරු අග්‍ර විනිශ්චයකාරතුමන් විමසා සිටින ලද අතර, සාකච්ඡාව ලබා දෙන ලද්දේ එතුමා විසිනි.
  • විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරයාගේ ලිපිය  අධිකරණ කටයුතුවලට මැදිහත්වීමක් බවත්, එය ගරු අධිකරණයට අපහාස කිරීමක් බවත් හුවා දැක්වීමට සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කටයුතු කිරීම ගැන මම උදක්ම කණගාටු වෙමි. මේ සෑම මත පළකිරීමක්ම සත්‍යයෙන් තොරය.
  • විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම විශේෂ චාරිකාව සම්බන්ධයෙන් ගන්නා ලද මෙම පියවර, පළමු වරට ගන්නා ලද පියවරක් නොවන බව යළිත් අවධාරණය කිරීමට කැමැත්තෙමි. ඇත්තවශයෙන්ම,  මීට ප්‍රථම සේවයේ සිටි විදේශ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු ද,  2017 ජූනි සහ ඔක්තෝබර් මාසවලදී පැවැති මේ හා සමාන වූ සාකච්ඡා සඳහා අවස්ථාව ඉල්ලාගරු අග්‍ර විනිශ්චයකාරතුමන්ගේ කාර්යාලයට ඍජුවම ලිපි යවා ඇත.  කෙසේවුවද, මේ අවස්ථාවේදී, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කර ඇත්තේ විශේෂ වාර්තාකරුගේ ඉල්ලීම  අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා යැවීම පමණකි.
  • අවසාන වශයෙන්, විශේෂ ක්‍රියා පරිපාටි පිළිබඳ බලයලත් පාර්ශ්වයන්ගේ සංචාරවලදී, ශ්‍රී ලංකාවේ අදාළ රේඛීය ආයතන හා සමග  විදේශ කටයුතු  අමාත්‍යාංශය විසින් සෑම කල්හිම කටයුතු කර ඇත්තේ උපදේශනයේ සහ කටයුතුවල නිරතවීමේ භාවාර්ථයෙන්ම බව  අවධාරණය කරනු කැමැත්තෙමි.

Archive

Latest news

Related news