මාධ්‍යවේදී උපාලි ‌තෙන්නකෝන්ට පහරදුන් අය අල්ලා දඬුවම්දීම ඉක්මන් කරවමු!

398
Sri Lankan newspaper editor Upali Tennakoon, of the independent Rivira weekly newspaper, and his wife Dhammika, left, arrive for medical treatment at a hospital in Colombo, Sri Lanka, Friday, Jan. 23, 2009. The Sri Lankan police say the newspaper editor and his wife were stabbed by assailants on motorbikes as they drove to work. The assault came two weeks after another newspaper editor was gunned down by unknown assailants on motorcycles. (AP Photo/Eranga Jayawardena)

ඡායාරූපය:  උපාලි ‌තෙන්නකෝන් ප්‍රහාරයට ලක්වීමෙන් පසු. (AP photo)
මෙරට ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු සහ පුවත්පත් කතුවරයකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහර දී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ යුද හමුදා සෙබළකු බව දැන් අනාවරණය වී තිබේ. එම සැකකාර කෝප්‍රල්වරයා සී.අයි.ඩිය මගින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ලබන 19 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබ සිටී. ඔහු එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් වාර්තා විය. මේ සම්බන්ධව මීට කලින් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් හත්දෙනකු ඇපමත සිටින බවත් ඔවුන්ට එරෙහි නඩු විභාග ලබන මාසයේ කැඳවා ඇති බවත් සඳහන් වෙයි.

උපාලි තෙන්නකෝන් මහතා මේ දරුණු ප්‍රහාරයට ලක්වූයේ ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ තමන්ගේ නිවෙසේ සිට උදෑසන වැඩට යාම සඳහා මහාමාර්ගය දක්වා සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදීය. වම්පසින් වූ අසුනේ ඔහුගේ බිරිඳ නොසිටින්නට එම ප්‍රහාරය උපාලි තෙන්නකෝන් මහතාට මාරාන්තිකවීමට හොඳටම ඉඩ තිබිණි. කැපෙන තියුණු ආයුධවලින් එල්ලකරන ලද ප්‍රහාරයේ වේගය අඩාල කිරීමට බිරිඳට හැකිවුවත් එයින් ඇය ද තුවාල ලැබුවාය. මතකයට නැංවීම පවා කොතරම් අමිහිරි සහ වේදනාත්මක වුවද සිද්ධිය වූ ආකාරය එසේ නොලියා සිටීමට නොහැකිය. උපාලි තෙන්නකෝන් මහතා මේ ප්‍රහාරයට ලක්වූයේ කිසිදු වරදක් සිදු කිරීම හේතුවෙන් නොවන බව අප සියලු දෙනා දන්නා බැවිනි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ යුද හමුදා සෙබළකු බව තහවුරුය. ඔහු සහ උපාලි තෙන්නකෝන් මහතා අතර කිසිදු සම්බන්ධකමක් හෝ දැනහැඳුනුම්කමක් හෝ තිබී නැත. එසේනම් දෙදෙනා තුළ කිසිදු පෞද්ගලික කෝන්තරයක් නොතිබුණා විය හැකිය. තිබෙන්නටත් ඇතැයි සැක කළ හැකිය. ප්‍රහාරය පිටුපස වෙනත් පුද්ගලයකු හෝ පාර්ශ්වයක් සිටින්නට ඇතැයි කෙනකුට උපකල්පනය කළ හැකිය. පහරදීම් හා ඝාතන සම්බන්ධ සිද්ධිවලදී සමාජයේ මෙවැනි සැකසංකා සහ කටකතා බහුල ය.

ප්‍රහාරය එල්ල කළ සෙබළා එම ප්‍රහාරය සිදුකළ දිනයේ රාජකාරියේ නිරතව සිටියේ ද නැතහොත් එදින ඔහු නිවාඩු ලබා සිටියේ ද වැනි කරුණු සොයාගැනීම මෙහිදී ඉතා වැදගත් වනු ඇත. සෙබළා පසුපස කිසිවකු සිටියේ නම් ඔහු හඳුනාගැනීමට එම තොරතුරු වැදගත් වන බැවිනි.

සේවයේ නිරතව සිටින හමුදා සෙබළකු සිවිල් පුද්ගලයකුට මාරාන්තික පහරදීමක් වැනි ක්‍රියා සඳහා නිකම්ම පෙළඹිය හැකිද? සැකකාර සෙබළා ඒ සඳහා විශාල අවදානමක් ගෙන ඇති බවත් එම අවදානමේ වගකීම කවුරුන් විසින් හෝ දරනු ලැබ ඇති බවත් සිතීමට ඉඩ තිබිණැයි කෙනකුට සිතන්නටද බැරි නැත.

මාධ්‍යවේදියකු, පුවත්පත් කතුවරයකු මතු නොව වෙනත් කිසිදු පුද්ගලයකු හෝ මෙවන් ඉරණමකට ගොදුරු විය යුතු නැත. මේ රට තුළ සෑම පුරවැසියකුටම නිදහසේ තමන්ගේ රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය ආරක්ෂාව තිබිය යුතුය. ජනතාවගේ ආරක්ෂාව සැපයීම ඕනෑම රජයක මූලික වගකීමකි. මෙවැනි සිදුවීම්වලට ඉඩක් නොතැබීම පුරවැසියන්ට ආරක්ෂාව සලසන රජයක යුතුකම වුවද උපාලි තෙන්නකෝන් ඇතුළු මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිපදෙනකුටම එම ආරක්ෂාව අහිමිව තිබූ බවද මෙහිදී පෙන්වා දෙමු. එහිදී ආයුධ අතේ තිබූ සෙබළා පමණක් නොව ඊට වෙනත් පුද්ගලයකු කුමන ආකාරයකින් හෝ අනුබල දීමක් පෙළඹවීමක් කර ඇත්නම් ඔහු හෝ ඇය අධිකරණය ඉදිරියට පැමිණවීම අවශ්‍ය ය.

අදාළ පහරදීම 2009 වසරේ ජනවාරි මස 23 වැනිදා වූ සිදුවීමකි. පහර දුන් පුද්ගලයා හඳුනාගැනීමත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමත් සිදුවන්නේ 2019 වසරේ ජූලි මාසයේ දී ය. එනම් හරියටම දස වසරක් ඉක්මයාමෙන් පසුව ය. යුක්තිය ඉටුවීමට මේ තරම් කල්ගත වන්නේ කාගේ වරදකින්දැයි අපි නොදනිමු. එහෙත් එය කල්ගත වන තරමට මේ සිද්ධි සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ක්‍රියාකරන සියලු පාර්ශ්ව තුළ සැකසංකා මතුවීම වළක්වනු බැරි ය.

උපාලි තෙන්නකෝන් ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් පහරකෑම්වලට ලක්වීම, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය කරනු ලැබීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් අඳුරු පැතිකඩක් නිරූපණය කළ සිදුවීම් වශයෙන් ඉතිහාසයට එක්වී හමාරය. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ තවමත් වරදකරුවන්ට දඬුවම් ලබාදීම පමාවෙමින් තිබීමය. මේ සිද්ධි ඇති වූ පසුගිය ආණ්ඩුවේ පාලනය යටතේ ඒ ගැන පරීක්ෂණ සිදුකෙරුණේ මන්දගාමීව බව නොරහසකි. එය තේරුම් ගැනීම අපහසු නැත. එහෙත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කොට වරදකරුවන් වහාම අධිකරණය ඉදිරියට පමුණුවන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි ආණ්ඩුව යටතේත් එකී පරීක්ෂණ ඒ ආකාරයටම මන්දගාමීව සිදුවනු දැකීම තරම් කරුමයක් තවත් නැත.

(ලංකාදීප)