Thursday, April 25, 2024

සිසේරියන් සැත්කම සහ සාෆි – වෛද්‍ය රිචඩ් පෙරේරා

සහරාන් ප්‍රමුඛ ඉස්ලාම් තව්ජිත් ජමාද් සංවිධානය කරන ලද ත්‍රස්තවාදී ආගම්වාදී ප්‍රහාරය තුළ කතෝලික ප්‍රජාව ඉතා ඉවසිලිමත්ව එයට මුහුණ දුන් අතර එය ඉතා ප්‍රශංසනීයයි. අවුරුදු 30 ක යුද්ධයක් ඇතිවූ පසු මෙම සෝචනීය තත්වය තුළ මුළු රටම මහත් භීතියට හා අරාජිකත්වයට යොමුවිය. ආරක්ෂක හමුදා මුස්ලිම් ජනයාගෙන් ලද තොරතුරු ලැබීම තුළ එම ව්‍යාපාරයේ ගෙළ සිරකරනු ලැබීය.

විවිධ දේශපාලන උවමනාවන් හා න්‍යාය පත්‍රයන් ඇති පුද්ගලයන් විවිධ ආයතන හිමිකරුවන්ගේ දේශපාලන උවමනා සඳහා බිහි වූ මාධ්‍ය ද මෙම අවස්ථාව තුළ හැසිරුණු අයුරු කණගාටුදායකය. ජාතික ව්‍යවසනයකදී අන් රටවල පක්ෂ විපක්ෂ නායකයන් හා අනුගාමිකයන් සහ උගතුන් හැසිරෙන අයුරු බැලූවිට අප රට සිටිනුයේ කොතැනකදැයි සිතීම පවා දුෂ්කරය.

විෂය බද්ධ උගතුන් හා විද්වතුන් සමාජ ක්‍රියාකාරීන් අවශ්‍ය තරම් දායකත්වය පෙනී නොසිට නිහඩව සිටීම නිසා අන් අය මෙහි වාසිය ගනු ලැබීය.

මෙම සමාජ පසුබිම යටතේ මෙය තවදුරටත් පවත්වාගෙන යාම රිසි දේශපාලන වෘකයන් කුරුණෑගල හා ගම්පහ වැනි ප්‍ර දේශවල නිරායුධ මුස්ලිම්වරුන්ට පහර දීම හා දේපොළ ගිනි තැබීම සිදුවිය. එයට යම් දේශපාලන නායකයින් හා ඔවුන් විසින් මෙහෙයවනු අනුගාමිකයන්ද සහභාගි වූ බවට ප්‍රමාණවත් තොරතුරු ලැබී ඇත. මෙහි මුඛය අරමුණ රට ආරාජිකත්වයට ඇද දැමීමයි. වෙනත් වචන වලින් කිවහොත් අන්තවාදීන්ගේ මනෝමය උවමනාවන් තෘප්ත කිරීමයි. මෙම තත්වය අඛන්ඩව දිගුවක් ලෙස මැයි 21 දින දිවයින පුවත්පතේ වෛද්‍ය සාෆි කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් 4000 ක් කර ඇති බවත් ඔහු තව්ජිත් ජමාද් සංවිධානයට සම්බන්ධ බවත් වද සැත්කම් කළ බවට සාක්ෂි ඇති බවටත් ප්‍රචාරය කෙරිණි. ඒ අනුව මාධ්‍ය විසින් පදනම් විරහිත විශාල ප්‍රචාරයක් ගෙන යනු ලැබිණි. මේ පිළිබදව දැනුමක් නැති මිනිසුන්ද සිසේරියන් සැත්කමට ලක් වූ මව්වරුන්ද වික්ෂිප්ත විය. ඒ අනුව සිංහල ජාතික වද කරනවා යන ව්‍යාජ මන්ත්‍රය මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරිණි.

මගේ ප්‍රශ්නය වනුයේ මෙයින් මතුවූ සිසේරියන් හා වඳ සැත්කම අරභයා වෛද්‍ය විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු කීපයක් කියවන්නාගේ අවදානයට ලක් කිරීමයි.

මෙම විවිධ වෛධ්‍යමය ප්‍රසවවේදී ව්‍යුහාත්මක කරුණු මත සාමාන්‍ය ක්‍රමය මත දරු ප්‍රසූතියක් නොකළ හැකි යැයි තීරණය කළ පසු කරනු ලබන සැත්කම් විශේෂයකි. එය වර්ග දෙකකි.

1. හදිසි සිසේරියන් සැත්කම් (Emergency LSCS)
2. තෝරාගත් සිසේරියන් සැත්කම (Elective LSCS)

තෝරාගත් සිසේරියන් සැත්කම් සඳහා මව්වරුන්ගේ කායික මානසික ප්‍රසව යනාදී හේතූන් කල්තියා දින ලබා දී කරන සැත්කමකි. මෙයට උදාහරණ කීපයක් දක්වන්නේ නම් නිවුන් දරුවන් (Twin), උස මිටි දරුවන් (Short Prime) තට්ටමෙන් පිහිටන ලද දරුවන්(Breach ), ශ්‍රෝණි මේඛලාවේ ප්‍රමාණය හා වෙනත් අස්ථිමය පිහිටීම සහ දිය වැඩියාව හෘද රෝග මඳ සරු මවුවරුන් හා පළමු සිසේරියන් සැත්කමට පසුව ඇතිවන ප්‍රසූතයන් ආදියයි. දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගතවන මව්වරුන්ගෙන් බොහොමයක් සිඳුවන්නේ ස්වභාවික ප්‍රසූතියයි. VOG නොමැති රෝහල්වල ඉහත ප්‍රශ්නගත මව්වරුන් සිටීනම් රෝහල්වලින්ද විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍ර යේ අද පවතින දියුණුව මගින් එම මව්වරුන් සායනවලදී VOG කෙනෙක් ඇති රෝහල්වලට යොමු කරනු ලැබේ. එවැනි ප්‍රශ්නගත මව්වරුන් VOG විසින් කල්තියා දැනුමත් කර ඒ සඳහා දින ලබා දී රෝහල්වලට ඇතුළත් කරනු ලැබේ.

සැත්කම් කිරීම හා එහි වගකීම

සැත්කම් සඳහා පෙර සූදානම් කරන මව්වරුන් රෝහල් ගත කළ පසු එහි සිටින සීමාවාසික HO RH, SHO යන වෛද්‍යවරුන් සිසේරියන් සැත්කම කිරීමට හේතු හා මවගේ පෙර සායනික සටහන් හා අදාළ පරීක්ෂණ වාර්තා හා වෛද්‍යවරුන් විසින් කරන ලද පරීක්ෂණ ඇඳ ඉහපත් අංක සහිතව (BHT) ඇති ලේඛනයේ ඇතුල් කරනු ලැබේ. මෙම මව්වරු සැත්කම් සඳහා සූදානම් කිරීමට පෙර ශල්‍ය කර්මය පිළිබඳව අඩංගු සියළු විස්තර සහිතව (List) ලේඛණයක් ශල්‍යාගාර නිර්වින්දන වෛද්‍යවරයාට හා VOG ට යවනු ලැබේ.

එවිට ශල්‍යාගාරයේ සිස්ටර් / මේට්‍රන් විසින් ඒ සඳහා අවශ්‍ය ජීවානුහරණය කළ උපකරණ කට්ටල් සකසනු ලැබේ.

දැනුවත් පළපුරුදු හෙදියන් සහ හෙද සහායකයින් නම් කර සූදානම් කරනු ලැබේ (5ත් 6ත් අතර) නිර්වින්දන වෛද්‍යවරයා හා හෙදියන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනු ලැබේ. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුද කැඳවනු ලැබේ.

එසේම සාමාන්‍යන් ඊට අමතරව වෛද්‍යවරු දෙදෙනෙකු පමණ එම කණ්ඩායමට ඇතුළත් කෙරේ. තවද උපස්ථාන කම්කරු සේවකයන් 3 ක් හෝ 4 ක් ඇතුළත්ව ඇත. ඒ අනුව සිසේරියන් සැත්කම සඳහා VOG ඇතුළත්ව සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ විවිධ අය සහභාගි වී කරනු ලබන සැත්කමකි.

මෙම වගකීම්භාරය පැවරෙන්නේ කාටද?

ඕනෑම සිසේරියන් සැත්කමකදී වගකීම පැවරෙන්නේ VOG වෛද්‍යවරයාටය. ඔහුගේ සේවය ලබා ගන්නා මව්වරුන් හෝ ඥාතීන් කිසියම් රෝගයක් පිළිබඳව සංකූලතාවය (Compliacation) ඇති වූ විට එම රෝගියා කරනු ලබන ප්‍රශ්න කිරීමකදී තොරතුරු හෙළිකිරීම සිදුකළ යුත්තේ VOG විසිනි. එවිට ඔහු විසින් කරන ලද ශල්‍යකර්මයේ සියළුම අවස්ථාවන් නිවැරදිව සටහන් කළ රෝගී ඇඳපත අනුව ඔහු පිළිතුරු දිය යුතුයි.

පසුගිය කාලය තුළ විවිධ අවස්ථාවන්හිදී මව්වරුන් විසින් කරන ලද පැමිණිලි මත නෛතික ක්‍රියා මාර්ග ගත් අවස්ථාද ඇත. එහිදී වගඋත්තර කරුවා වනුයේ VOG ය. මෙම සංකූලතා වනුයේ වඳවීම්, මදසරු බව වෙනත් ඉන්ද්‍රියන් වලට හානි වීම තුවාල පැසවීම ඇඩිසස් ඇතිවීම (ADHE) හෙවත් වෙනත් ඉන්ද්‍රියන් කපා දැමීමෙන් හෝ කැපීම)

මෙම ලේඛණ මොනවාද?

අගතියට පත් මව්වරුන් විසින් කරනු ලබන පැමිණිලි මත එවන් පරීක්ෂණවලදී එහි නිරවද්‍යභාවය හෝ වරදකාරීත්වය සොයා බැලීම සඳහා අධිකරණමය නෛතිකභාවයක් ඇති ලියවිල්ල වනුයේ ඇඳ ඉහතය (BHT). එහි වෛද්‍යවරයා විසින් ශල්‍යකර්මය කළ ආකාරය එහිදී ඔහුගේ නිරීක්ෂණ සහ බිහිවූ දරුවා ගැනද එම අවස්ථාවේ එම දරුවාගේ ජීවී ස්වභාවයෙන් සිටියේද එසේම ගර්භාෂයේ අවශේෂ කොටස් මැසූ ආකාරය එයට භාවිතා කළ නූල් වර්ගය යනාදිය පවා එහි සටහන් කළ යුතුය. එසේම මවට සැත්කමෙන් පසු දිය යුතු ප්‍රතිකාර ආදියද පැහැදිලි ව සටහන් තැබීම අවශ්‍ය වේ. එම අවස්ථාවේ කිසියම් වෙනත් සංකූලතාවක් තිබී නම් එයද සටහන් කළ යුතුයි.

නිර්වින්ද වෛද්‍යවරයාද සටහන් තබමින් එම රෝගියාගේ නිර්වින්දනයට පෙර සහ එම අවස්ථාවේ සහ ඊට පසුවද කරන සියළු ප්‍රතිකාර මෙන්ම වෛද්‍ය නිර්දේශ ද ඔහුගේ නම සහ දිනය මෙන්ම වෙලාවද පැහැදිලිව සටහන් කළ යුතුයි.

ළමා රෝග වෛද්‍යවරයාට එම දරුවාගේ සියළු විස්තර නිරීක්ෂණ තොරතුරු සටහන් කර තිබෙන අතර එම දරුවාට අවශ්‍ය වන්නේ නම් දිය යුතු ප්‍රතිකාර ගැනද කරුණු සටහන් කරනු ඇත. එහිදී වෛද්‍යවරයාගේ නම පරීක්ෂණ දිනය වේලාව සටහන් කර තැබිය යුතුයි.

ශල්‍යාගාරයේදී නඩත්තු කළ යුතු ලේඛණ

ශල්‍යාගාරයේ කරන ලබන ප්‍රධාන සැත්කම් සියල්ල ලේඛණ ගත කළ යුතුයි. දිනය වේලාව සිසේරියන් සැත්කම හා එදිනම LRT සැත්කම සිදුකළා නම් එයද සටහන් කළ යුතු අතර එයට සහභාගි වූ VOG නිර්වින්දන වෛද්‍ය ළමා රෝග වෛද්‍ය සහ සහභාගි වූ හෙද නිලධාරීන්ගේ නම් සටහන් කළ යුතු වේ. එසේම සැත්කම ආරම්භයේදී සහ අවසන් කළ වේලාවද රෝගියාගේ තත්වයද දරුවාගේ තත්වයද සටහන් තැබිය යුතුය. රෝගියා සහ දරුවා ශල්‍යගාරයෙන් ගිය වේලාවද සටහන් කළ යුතුයි.

එසේම ඔවුන් විවිධ (invenry) පවත්වා ගත යුතුයි. උපකරණ හා ශල්‍ය උපකරණ ඖෂධ ලැයිස්තු ද සැත්කම් ලැයිස්තුවද තබා ගත යුතුයි. මෙම ලේඛණ පරීක්ෂා කිරීමෙන් කිසියම් වරදකාරීත්වයක් සිදුවී ඇත්නම් හෝ කර ඇත්නම් එයට වගකිව යුතු පාර්ශවකරුවන් පැහැදිලිව හඳුනාගත හැකියි. මෙම ලේඛණ නෛතික පදනම් ඇති ප්‍රභල සාක්ෂි වේ.

සිසේරියන් සැත්කම සඳහා ක්‍රමවේද
1. රෝගියා කලින් දැනුවත් කිරීම
2. සිසේරියන් සැත්කම සඳහා සූදානම් කිරීම
3. සියළුම හේතු ඇඳ ඉහපතේ සඳහන් කිරීම
4. මවගෙන් සහ පුරුෂයාගෙන් සැත්කම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම හා එයට අවශ්‍ය අත්සන් ලබා ගැනීම
එසේම සිසේරියන් සැත්කම සමගම LRT (වන්ධ්‍යකරණ ) සැත්කම කරන්නේ නම් ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කර අත්සන සහිත එකඟතා ලිපියක්ද අයත් වේ. එම කැමැත්ත හා අනුමැතිය ඇඳ ඉහපතේද සටහන් කළ යුතුයි.

සැත්කම් කිරීම

මෙහිදී සැත්කම සඳහා ඉදිරිපත් වන මව පිළියෙල කර ශල්‍යාගාරයට ගෙන යාම.
ඊට පසු VOG ඇතුළු කණ්ඩායම රෝගියා සැත්කමට භාජනය කිරීම‍.
ඊට පෙර රෝගියා නිර්වින්දය කිරීම.
සැත්කම සිදුකිරීමෙන් පසු මව සහ දරුවා ශල්‍යාගාරයේ අවශ්‍ය ලිඛිත සටහන් සහිතව වාට්ටුවට ගෙන යාම.

වඳ සැත්කම් හෙවත් LRT සැත්කම

වඳ සැත්කම හෙවත් LRT නම් පැලෝපීය නාලයේ අග කෙළවර කපා දමා එය නූල්වලින් මසා දැමීමයි. එය වම සහ දකුණ යන දෙපැත්තේම සිදුකරනු ලබයි.

වඳ සැත්කම් කරන අවස්ථා

සිසේරියන් සැත්කම කරන අවස්ථාවේදී
LRT සැත්කම පමණක් කිරීම

සාමාන්‍ය LRT සැත්කම මහ රෝහල් වලද පුහුණුව ලද වෛද්‍යවරුන් විසින් වෙනත් රෝහල්වලද කොළඹ ද සේරම් මාවතේ ඇති පවුල් සෞඛ්‍ය සේවා කාර්ය්‍යංශයේද බුලර්ස් පාරේ පිහිටි පවුල් සංවිධාන සේවා සංගමයේදී ද සිදුකරනු ලබයි. මෙයට සහභාගි වනු ලබන්නේ අවම වශයෙන් දරුවන් තිදෙනෙකු සහ ඔවුන් ස්ත්‍රී පුරුෂ දෙවර්ගයෙන්ම යුත් සහ ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කරන මව්වරුන්ගේය. ඒ සඳහා මව්පිය දෙදෙනාගේම කැමැත්ත ලබා දිය යුතුයි.

මෙවැනි මව්වරුන් රට පුරා ඇති මාතෘ හා ළමා සායනවල කැමැත්ත මත තෝරා ගන්නා මව්වරු ඒ සඳහා පෝරමයක් පිරවිය යුතුයි. එය අත්සන් කිරීම අනිවාර්ය වේ.

LRT සැත්කම කිරීමට පෙර තෝරා ගත් මව්වරුන්ගේ දරුවන් පිළිසිඳ ගැනීමේ වාර ගණන හා ජිවත්ව සිටින දරුවන් ගණන හා අන්තිම දරුවාගේ වයස මවගේ සියළුම වෛද්‍ය තොරතුරු ඇඳ ඉහපත් අංකයේ සටහන් කළ යුතුය.

සැත්කම කරනු ලබන්නේ රජයේ රෝහල්වල VOG හෝ පුහුණුව ලත් වෛද්‍යවරුන් විසිනි. ඒ සඳහා ද වෙනත් සැත්කම් කිරීමේදී ගනු ලබන සියළුම ක්‍රියාමාර්ග ගනු ලැබේ.

මෙම සැත්කම සිදු කරනු ලබන්නේ අදාළ ශරීර ප්‍රදේශය හිරි වැටීමට ලක් කිරීමෙනි. එයට පුහුණුව ලත් හෙදියන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු ගැහැණු උපස්ථායිකාවන්ද කම්කරුවන්ද එසේම එක් එක් සැත්කම සඳහා ජීවානුහරණය කරන ලද උපකරණ යොදාගෙන කරනු ලැබේ.

සැත්කම්වල සියළු විස්තර සැත්කම තුළ සිදුවූ සංකූලතා ඇත්නම් ඒවාද එය පටන් ගත් වේලාව සහ අවසන් කළ වේලාව ද ඒ සඳහා සහභාගි වූ වෛද්‍යවරයා ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයේ විස්තරද BHT හි සටහන් කරයි. මුල සිටම මෙම වැඳ සැත්කම් ක්‍රම සම්පාදන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව කරනු ලබන අතර එය විශේෂ පවුල් සංවිධාන වැඩ සටහනකි. මෙය මෙහෙයවීම හා අධීක්ෂණය තොරතුරු රැස් කිරීම පවුල් සංවිධාන කාර්ය්‍යංශය විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා කරනු ලැබේ. මෙම සැත්කමද කිසිම වෛද්‍යවරයෙකුට තනිව සිදුකළ නොහැක. පෞද්ගලික රෝහල්වල මෙම සැත්කම සිදුකළද එහිදීද දෙමාපියන්ගේ ලිඛිත කැමැත්ත ලබාගත යුතු අතර එහිදීද ඉහත කී තොරතුරු සහ ක්‍රමවේද එලෙසම අනුගමනය කළ යුතුයි.

මෙම ගැහැණුන්නට පමණක් සීමා වූ වඳ සැත්කමක් වන අතර පිරිමින් සඳහාද වාසේත්කම් යන වඳ සැත්කම රෝගියාගේ කැමැත්ත පරිදි සිදුකරනු ලබයි. මෙම වඳ සැත්කම් කුරුණෑගල රෝහලේ පමණක් සිදුවී යැයි යන මතය මහත් ආන්දෝලනයක් වී තිබේ.

Archive

Latest news

Related news