Sunday, May 19, 2024

පියාට කළ හිංසාව වෙනුවෙන් ‌ අහිම්සාගේ සාධාරණ ගවේෂණ‌යේ කතාව – මනෝජ් කොළඹගේ

දිනය 2019 අප්‍රේල් 7, කැලිෆෝනියාවේ සාමකාමී අර්ධ නාගරික පෙදෙසක් වන මොන්ට්‍රෝස්හි පිහිටි සුපිරි වෙළෙඳසලක රථගාලක තමන් ගමන්ගත් වාහනය නවත්වා එයින් බිමට බැස්සේ මේ රටේ වැඩියෙන්ම කතාබහට ලක් වූ ආරක්ෂක ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂයි. සුවිශේෂ අරමුණක් ඇතිව සමීපතමයන් සුළු පිරිසක් පමණක් දැනගෙන සිටි ස්ථානයක සිටි ඔහුගේ ගමන ගැන තවත් පිරිසක් සුපරීක්ෂාවෙන් සිටින බව ඔහු හෝ ඔහුගේ සගයන් දැන සිටිියේ නැත.

රථයෙන් බිමට බට අවස්ථාවේ හිටපු ලේකම්වරයා අසලට පැමිණි අයෙක් එකවරම ඔහු අතට ලිපියක් භාර දී මේ සිතාසිය තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් භාරදෙන බව ප්‍රකාශ කරන විට ඔහු අන්දුන්කුන්දුන් වූවාට සැක නැත. මේ නෛතික වට කිරීම සිදු වන අවස්ථාවේ තවත් පිරිසක් ඒ සිද්ධිය ඡායාරූප ගත කළ බව ඒ අවස්ථාවේ ඔහු දැනසිටියා දැයි නොදනිමු.

අහිම්සා එලූ දැළ!

ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියකු වන ලසන්ත වික්‍රමතුංගගේ මරණයට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහි එම නඩුව අමෙරිකාවේ දී ගොනු කෙරුණේ එක රැයකින් නොවේ. තම පියාගේ අභාවය නිසා ශෝකයෙන් තැවෙමින් සිටි අහිම්සා වික්‍රමතුංග දියණිය යුක්තිය ඉටු කරවාගැනීම පතා කාලයක් තිස්සේ එකින් එක සාක්ෂි රැස් කරමින් ශක්තිමත් නීති දැලක් එළුවේ වරදකරුවන්ට කිසි ලෙසකින්වත් පැන යෑමට ඉඩක් නොතබමියි යන දැඩි විශ්වාසය හිතේ ඇතිවය.

2009 ජනවාරි 8 වැනිදා උදෑසන රත්මලාන, අත්තිඩියේ අධි ආරක්ෂිත කලාපයට හූවකවත් දුරක් නැති ස්ථානයකදී කළු ඇඳුමින් සැරසී යතුරු පැදිවලින් ලසන්ත ගමන්ගත් වාහනය හඹා ආ පිරිසක් ඔහුගේ ජීවිතය උදුරාගත්හ.

අහිම්සාගේ පියාගේ මරණය ගැන මේ රටේ සිදු කෙරුණු පරීක්ෂණවලට දේශපාලන අතපෙවීම්වලින් අඩුවක් වූයේ නැත. මරණයට පත් වන අවස්ථාවේ ඔහුගේ වාහනයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්ෂි සංරක්ෂණාගාරයේ තිබූ ලසන්තගේ සටහන් පොතක තමන් හඹා ආ යතුරුපැදි දෙකක අංක සටහන් කර තිබි නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ උපදෙස් මත නීති විරෝධීව එම පිටු දෙක ඉවත් කර ඇති බව ද අනාවරණය විය.

රාජපක්ෂලා යුක්තිය පසිඳලීමේ මෙරට ක්‍රියාමාර්ගවලට බාධා කරන බව තේරුම්ගත් අහිම්සා දියණිය තමන්ගේ පියාගේ ඝාතනයට වගකිව යුත්තන්ට අන්තර්ජාතික අධිකරණයකින් සාධාරණය ඉෂ්ට කිරීමට දැඩිව තීරණය කළාය. මිග් ගනුදෙනුව සම්බන්ධ තොරතුරු හෙළි කිරීම නිසා ගෝඨාභය රාජපක්ෂ ගේ මෙහෙයවීම මත තම පියා ඝාතනයට ලක් වී ඇතැයි පෙනෙන බව ගෙවුණු නොවැම්බරයේ අහිම්සා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළාය.

ගෙවුණු වසර ගණනාවක් තිස්සේ ඇය සාක්ෂි එක්රැස් කළාය. අපරාධ සිදු කළ ඒකාධිපති පාලකයන්, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නන් රැසකට එරෙහිව සාර්ථක ආකාරයෙන් නෛතික මෙහෙවර ක්‍රියාත්මක කිරීමට සමත් වූ සැන් ෆ්‍රැන්සිස්කෝ මූලස්ථානය කරගත් ආයතනයක් වන ‘සෙන්ටර් ෆෝ ජස්ටිස් ඇන්ඩ් අකවුන්ටර්බිලිටි‘ සමඟ සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ද ඇය අමතක කළේ නැත.

මේ අතර රටේ දේශපාලන අර්බුදයක් මතු වීමත් ලසන්න වික්‍රමතුංග පරීක්ෂණය භාරව කටයුතු කළ ප්‍රධාන පරීක්ෂණ නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මාරු කිරීමට උත්සාහ ගැනීමත් සිදු විය. මේ නිසා ලසන්තගේ මරණයට වගකිවයුත්තන් සොයා දඬුවම් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය වේගවත් කිරීමට අහිම්සා සහ සෙන්ටර් ෆෝ ජස්ටිස් ඇන්ඩ් අකවුන්ටර්බිලිටි ක්‍රියා කළේය.

ඇමෙරිකාවේ “වධහිංසාවලට ලක්වූවන් ආරක්ෂා කිරීමේ පනත“ 

පුද්ගලයන් විසින් විදේශ රටකදී වධහිංසා පැමිණ වීමෙන් සහ නීති විරෝධී ආකාරයෙන් මනුෂ්‍ය ඝාතන සිදු කරමින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ අනෙකුත් අන්තර්ජාතික ගිවිසුම් අනුව ඉදිරිපත් කර ඇති මානව අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධව නීතියෙන් ක්‍රියා කර වින්දිතයන්ට වන්දි ලබාදීමට ඉඩ සැලසෙන නීතියක් 1992 දී අමෙරිකාව අනුමත කරගත්තේය. එම පනත නම් කොට ඇත්තේ “වධහිංසාවලට ලක්වූවන් ආරක්ෂා කිරීමේ පනත“ යනුවෙනි.

එහෙත් මේ පනත යටතේ සහනයක් ඉල්ලා සිටීමට අහිම්සාට සහ ඇයගේ උපකාරක සංවිධානයට අමෙරිකාවේ දිස්ත්‍රික් උසාවියක නඩුවක් ගොනු කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා එම සැකකරුට අමෙරිකානු භූමියක දීම අදාළ සිතාසි සහ තමන් නඟන චෝදනාවල පිටපත් භාර දුන්බව තහවුරු කිරීම ද ඔවුන්ගේ වගකීමකි.

මහජන දේපළ සාපරාධී පරිහරණය කළ බවට ස්ථිර මහාධිකරණයේ චෝදනාවකට මුහුණ දෙමින් සිටි ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලික කාරණයක් උදෙසා අමෙරිකාවට යෑමට ඒ අවුරුද්දේ මාර්තු මස උසාවියෙන් අවසර ලැබුණු අතර, ඔහුට එරෙහිව නීති ක්‍රියාමාර්ග සූදානම් කරමින් සිටි අහිම්සා ඇතුළු පිරිසට ඉතා අනර්ඝ අවස්ථාවක් උදා විය.

2019 මාර්තු 27 වැනිදා උදෑසන ශ්‍රී ලංකාවේ සිට ලොස් ඇන්ජලීස් දක්වා ගමන් කළ ගෝඨාභය එදිනම සවස 1.50ට ලොස් ඇන්ජලීස් අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ගොඩබැස්සේය. ඔහුගේ සංචාරයේ වාර්තා ගැන පරීක්ෂා කරන විට ඔහු ගමන් කර තිබුණේ එමිරේට්ස් ගුවන් සේවයේ පළමු පන්තියේ ය. අමෙරිකානු උසාවිය හමුවේ ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයටකට අනුව රාජපක්ෂ මහතා අමෙරිකානු රජයේ සෝදිසිය යටතේ සිට ඇත. ඒ නිසා අහිම්සා ඔහුගේ ගමන් විස්තර කලින්ම දැනගෙන හෙළිදරව් නොවන ලෙස නඩුව ගොනු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇතැයි ලියුම්කරු විශ්වාස කරයි.

තවත් සතියක කාලයක් රාජපක්ෂ මහතා අමෙරිකානු සෝදිසි කිරීම්වලට යටත්ව සිටි අතර, අහිම්සා සහ ITJR එක්ව තමන්ගේ නඩුව ගොනු කිරීම සම්බන්ධ අවසාන පියවර සකසමින් සිටියේය. නීති විරෝධී ආකාරයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම පිළිබඳ කටයුතු දියත් කිරීම සහ කරුණු වසං කිරීමට තැත් කිරීමත්, අනෙකුත් මාධ්‍යවේදීන්ට හිංසා කිරීමත් සම්බන්ධයෙන් මධ්‍යම කැලිෆෝනියාවේ දිස්ත්‍රික් උසාවියක අප්‍රේල් 4 වන දා නඩුව ගොනු කෙරිණි.

රහසිගත සැළැස්ම

ඔහුට විරුද්ධව හුදෙක්ම ඝාතනයට අණ දීමේ චෝදනාව නඟනවාට වඩා එම ඝාතනය සිදු කිරීමට සහ එය වසන් කිරීමට රාජපක්ෂ සිදු කළ යම් යම් සෘජු ක්‍රියාමාර්ග මතු කර දක්වන විස්තර පිටු 37කින් යුක්ත චෝදනා පත්‍රයේ අඩංගු වී තිබේ. එම චෝදනාව ඉදිරිපත් කරන අතරම එහි ප්‍රධාන චූදිතයා වන ගෝඨාභය රාජපක්ෂට ඒ ගැන සිතාසි භාර දෙන තුරු, එය සහ එවැන්නක් පවතින බව ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස මෝසමක් ද ඉදිරිපත් කරනු ලැබිණි. ඒ සඳහා මූලිකත්වය ගත්තේ අහිම්සාගේ ප්‍රධාන නීතිඥවරිය නුෂින් සර්කරාති ය.

රාජපක්ෂට එරෙහි අහිම්සා වික්‍රමතුංගගේ චෝදනාවේ මෙසේ සඳහන් වේත “නීති විරෝධී ආකාරයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට උසිගැන්වීම සහ බලය ලබාදීම, ඝාතනය සිදු කළ පිරිසට අණ ලබාදීමේ වගකීම දැරීම, සහ ඝාතනය සිදු කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ හමුදා බුද්ධි අංශවල පිරිස් උසිගැන්වීම සහ කුමන්ත්‍රණ කිරීම“ එක් අතකටත් අනෙක් අතට “රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කළ සමස්ත ජනමාධ්‍යවේදීන්ට විරුද්ධව නඩු පැවරීමට ගෙනගිය ආණ්ඩුවේ වැඩපිළිවෙළට“ එරෙහිව තවත් පුළුල් චෝදනාවක් නැඟිණි.

“මෙම චූදිතයාට එරෙහිව නැඟෙන චෝදනා ඉතා ප්‍රබලයි. මානව හිමිකම් කඩකිරීම ගැන මීට කලින් මෙවැනි චෝදනා නැඟුණු සෑම අවස්ථාවකදීම චෝදනාවට ලක් වූ අය වැරැදිකරුවන් වුණා. ඒ නිසා මේ සිද්ධිය කලින් දැනගත්තා නම් තමන්ට සිතාසි ලැබීම වැළැක්වීමට චූදිතයා උපරිම උත්සාහයක් ගැනීමට ඉඩ තිබෙනවා.“ යැයි අහිම්සාගේ නීතිඥවරිය කීවාය.

ඒ නිසා නඩුව ගැන ප්‍රසිද්ධ වීම වැළැක්වීමට පියවර ගත්තත් කෙටි කාලයක් ඇතුළත සිතාසි සහ චෝදනා පත්‍රය ලබාදීම සිදු කළ යුතුව තිබිණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ හිතමිත්‍ර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු සහ මාධ්‍ය ප්‍රබලයකු සමඟ, ලොස් ඇන්ජලීස් නුවර උතුරට වන්නට පිහිටි කැලිෆෝනියාවේ ෆ්‍රෙස්නෝ වෙත ගොස්, පසුව සුරක්ෂිත ස්ථානයක පිහිටි නිවසක නතර විය. එදින ඔහු නතර වූයේ ලොස් ඇන්ජලීස් නුවර පෙරදිගට වන්නට ඉහළ ආරක්ෂිත ස්ථානයක පිහිටි හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මල්රාජ් ද සිල්වාගේ නිවසේය.

ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 6 වැනිදා ලොස් ඇන්ජලීස් නුවර පිහිටි හිල්ටන් හෝටලයේ පෞද්ගලික අවස්ථාවකට සහභාගී වනු නිරීක්ෂණය වී තිබුණත්, ඒ අවස්ථාවේ දී සුරක්ෂිත ලෙස සිතාසිය සහ චෝදනා පත්‍රය භාර දීමට පරීක්ෂකවරුන්ට ඉඩ ලැබුණේ නැත.

පසුදා එනම් අප්‍රේල් 7 වැනිදා ගෝඨාභයගේ පුතා වන මනෝජ් වාහනයක් පදවාගෙන මල්රාජ්ගේ නිවසට පැමිණ තම මවුපියන් එහි නංවාගෙන පිටත්ව ගියේය. ඡායාරූපයකින් ඔහුව හඳුනාගෙන තහවුරු කරගත් මේ සිතාසිය භාර දීමට නියමිතව සිටි පුද්ගලයා ට්‍රේඩර් ජෝ සුපිරි වෙළෙඳසල් ජාලයේ රථගාලේ ඔවුන් රැගත් රථය නතර කරන තුරු පසුපසින් ගමන් කළේය. එම අවස්ථාවේ ඔහු අසලට පැමිණි පැමිණිලිකරුගේ නියෝජිතයා සිතාසිය අඩංගු ලිපිගොනුව ගෝඨාභය අතට භාර දී, සිතාසියක් භාරදුන් බව ඔහුට කීවේය. එසේ ඔහුට සිතාසිය සහ චෝදනා පත්‍රය භාර දෙන අවස්ථාව වීඩියෝ කෙරුණු අතර ඡායාරූපයට ද නැඟිණි.

සිද්ධියෙන් විස්මයට පත් වූ රාජපක්ෂ වහාම කළේ සුපිරි වෙළෙඳ සලේ රථ ගාලේ සිටම තම අත තිබූ ජංගම දුරකතනයෙන් ලිපිගොනුව ඡායාරූප ගනිමින් තම නීතිඥයන්ට සහ දේශපාලන හිතවතුන්ට විද්‍යුත් තැපැලෙන් යැවීමයි. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට චෝදනා ලබමින් ගෝඨාභයට එරෙහිව සිවිල් නඩුවක් වැටී ඇතැයි මොහොතක් ගතවීමටත් පෙර සමාජ මාධ්‍යවල මේ ගැන වාර්තා පළ විය.

අප්‍රේල් 7 වැනි ඉරිදා රාත්‍රී කාලයේ අමෙරිකාවේ සිදු වූ ඒ සිද්ධිය වෙලාවේ පවතින වෙනස නිසා ඒවන විට අප්‍රේල් 8 වැනි උදෑසන ගත කරමින් සිටි ශ්‍රී ලංකාවේ අය දැනගත්තේ එම මෙහොතේම වුවත් සඳුදාය. මේ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ ගෝඨාභය හිතවාදීන්ට සිතාසි ලබාදීමේ පුවත ලැබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගේ කට උත්තර ලබා ගැනීම නතර කරවා ගැනීමට ඔවුහු ක්‍රියාමාර්ග සොයමින් සිටියහ.

මේ ආකාරයේ සිද්ධියක් වූ බවට තොරතුර ප්‍රතික්ෂේප කිරීමට ගෝඨාභයගේ එවකට සිටි මාධ්‍ය ප්‍රකාශකට දැනුම් දී තිබූ අතර හිටපු පළමු පවුලේ සාමාජිකයන්ට ද ගෝඨාභය ප්‍රකාශ කළේ එවැනි සිද්ධියක් නොවූ බවයි. ඒ නිසා ඔහුගේ බෑනානාමල් රාජපක්ෂ එම ආරංචිය බොරුවක් බව පුවත්පත්වලට ද ප්‍රකාශ කළේය. ඔහුගේ එහෙයියන්ට පවා ඒ ආකාරයෙන් කියන ලෙස උපදෙස් ලබාදෙනු ලැබිණි.

එමිරේට්ස් ගුවන් සේවයේ පළමු පන්තියෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට ඊළඟ බදාදා එනම් අප්‍රේල් 10 වැනිදාට නියමිතව තිබූ ගමන ද ගෝඨාභය අවලංගු කළේය. ඔහුට එරට රැඳී සිටීමට ඉහළ උසාවියෙන් නිකුත් කර තිබූ විදේශ සංචාර බලපත්‍රය 12 වැනිදා අවලංගු වන බැවින් නැවත ගමනට සූදානම් වන්නැයි එසේ අවලංගු කොට පැය ගණනක් ගත වන්නටත් පෙර, උපදෙස් ලැබිණි. කෙසේ වෙතත් ප්‍රවේශපත් අවසන් වී තිබීම නිසා එවර ඔහුට පැමිණීමට සිදු වූයේ පළමු පන්තියේ නොව ව්‍යාපාරික පන්තියේය.

මේ අතර නඩුවක් ගොනු කළ බව සහතික කිරීමට අහිම්සාගේ පාර්ශ්වය කටයුතු සම්පූර්ණ කළේය. මේ අතර අහිම්සාගේ පාර්ශ්වය ද මේ සම්බන්ධව ප්‍රකාශයක් සිදු නොකළ අතර සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය ඔහුට විරුද්ධව වෙනත් වින්දිතයකු සිදු කළ පැමිණිල්ලක් යැයි ද කතාබයට ලක් විය.

නාමල් රාජපක්ෂ වැටුනු අමාරුව

කොළඹට අප්‍රේල් 9 වැනි අඟහරුවාදා උදා වන විට කැලිෆෝනියාවේ පෞද්ගලික පරීක්ෂක ආයතනය ට්‍රේඩර් ජෝ සුපිරි වෙළෙඳසල් රථගාලේ දී ගෝඨාභයගේ බිරිය වන අයෝමා බලා සිටියදී ඔහුට සිතාසි භාර දෙන ඡායාරූපය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කළේය. මේ නිසා එය ප්‍රතික්ෂේප කරමින් ඔහු ගෙතූ සියල්ල ව්‍යර්ථ විය. විශාලම පහරක් වැදුණේ වචනය විශ්වාස කරමින් ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කළ නාමල් රාජපක්ෂටය.

හිටපු පළමු පවුලට ගෝඨාභය ලබාදුන් අනිත් පොරොන්දුව ද ඔහු කඩ කළේය. එනම් පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත් නොවීම සහතික කිරීමට අමෙරිකාවේ ද්විත්ත්ව පුරවැසිභාවය අලුත් කරන බව පොරොන්දු වෙමින් ඔහු අමෙරිකාවට ගියද තම නීතිඥවරුන්ගේ උපදෙස් මත ඔහු එයද ඉටු කළේ නැත.

ගුවන් ගමන අවලංගු කිරීමට ඔහු දැරූ උත්සාහයන් ගැනද ලියවිලිවල තොරතුරු ද සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත් විය. නිතරම ගමන් බිමන්වල යෙදීම නිසා ගෝඨාභය සහ ඔහුගේ බිරිය අයෝමාට එමිරේට් ගුවන් සේවයේ ප්ලැටිනම් ශ්‍රේණියේ සත්කාර හිමි විය. ටිකට්පත් වෙන් කරගනු ලැබුවේද සෘජුවම එමගුවන් සේවයෙන් මිස සංචාරක නියෝජිතයකු මඟින් නොවේ.

ඔහුට හිතවත් සමාජ මාධ්‍ය සහ දේශපාලන සගයන් සිතාසි ලැබූ සිද්ධිය දිගටම ප්‍රතික්ෂේප කළ අතර ඡායාරූපමය සාක්ෂි ව්‍යාජව සකස් කළ එකක් බව ද කියන්නට පටන් ගත්තේය. ඒ වන විට ලංකාවේ සිටි ඔහුගේ ඇතැම් නීතිඥයෝ අමෙරිකාව බලා ගොස් කැලිෆෝනියාවේ ඇති නෛතික ක්‍රියාමාර්ගයට අවශ්‍ය පියවර යොදන්නට වූහ. අප්‍රේල් නිවාඩුවට ගොස් සිටි අනෙක් අය වහාම මෙරටට පැමිණියේ නව හදිසියේ ඇති වූ තත්ත්වයට මුහුණ දීමටය.

අප්‍රේල් 12 වැනිදා කටුනායකින් ලංකාවට පැමිණි ගෝඨාභය පිළිගැනීමට ආධාරකරුවෝ රැස් කර සිටි අතර තම අමෙරිකාවට ගියේ එරට පුරවැසිභාවය අත්හැරීම ගැන නීති උපදෙස් ලබාගැනීමට බව ඒ අවස්ථාවේ රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ ගෝඨාභය ප්‍රකාශ කළේය. එහෙත් ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන කොළඹට පිහිටි අමෙරිකානු කාර්යාලයට භාර දිය යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය. කොළ එළියක් දැල් වූ විගස තමන් භාරගත් කර්තව්‍යයට අත ගසන බව ද ඔහු කීම ආධාරකරුවන් බලාපොරොත්තුව සිටි වචනය එළියට පැනීමක් විය.

ඉතාම මැනවින් සකස් කර ඔහුගේ මුවින් පිට වූ අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ මේ අදහස සමඟ ඒ අවස්ථාවේ සිටි ආධාරකරුවන් ප්‍රීති ප්‍රමෝදයට පත් වීමත් ඇතැම් ප්‍රධාන පෙළේ පාර්ලිමේන්තු නියෝජිතයන් ඔහුට අතට අත දී සුබ පැතීමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන පෙ‍ළේ නායකයන්ට සතුටක් ගෙනාවේ නැත.

අහිම්සා වික්‍රමතුංග අමෙරිකාවේ දැමූ පැමිණිල්ල සම්බන්ධයෙන් ගෝඨාභය පිළිතුරු දීමට නියමිතව තිබුණේ 2019 අප්‍රේල් 29 වැනිදාය. එහෙත් රාජපක්ෂ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි වොෂිංටන් හි ආර්නෝල්ඩ් ඇන්ඩ් පෝටර් කායේ නීති සමාගමේ ප්‍රධාන පෙළේ නීතිඥයකු වූ ජෝන් සී. යුලින් අහිම්සා නැඟූ චෝදනාවලට පිළිතුරු දීමට වැඩිපුර කාලයක් ඉල්ලා සිටියේය.

එසේම ගෝඨාභයගේ නීතිඥ පාර්ශ්වය මෙසේ ප්‍රතිචාර දැක්වීමට 2019 ජූනි 27 වැනිදා දක්වා කාලය ඉල්ලා සිටි අතර වික්‍රමතුංගගේ නීතිඥ පාර්ශ්වය ඊට විරුද්ධ නොවූහ. මේ නිසා තමන්ට නැඟී ඇති චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය අමතර සාක්ෂි සහ විද්වත් සාක්ෂි රැස්කර ගැනීමට ගෝඨාභයට වැඩිපුර දින 60ක් ලැබී ඇතැයි අමෙරිකානු අධිකරණය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ වාසය කරන ගෝඨාභය සහ නඩුව යෙදී ඇති අමෙරිකාව අතර පැය 12ක වෙනසක් ඇති බැවින් විත්තිකරු සහ ඔහුගේ නීතිඥයන් අතර සම්බන්ධතාව සහ සන්නිවේදනය සිදු කිරීම ඉතාම සෙමින් සිදු වන්නේ යැයි ඔහුගේ නීතිඥයෝ උසාවියට ප්‍රකාශ කළහ. තවද අහිම්සා ගේ පැමිණිල්ලේ විශ්වසනීයත්වය අඩු යැයි ද ඔවුහු පවසති.

ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන පක්ෂය අතර මත ගැටුම් පැවැති නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය ජනාධිපති ධුරයට තරග කිරීමට තමන්ගේ ඇති කැමැත්ත එළියට දැම්මේය. සිංගප්පූරුවේ දී ඔහු තම හැත්තෑ වෙනි උපන් දිනය සැමරුවේ හෘද සැත්කමකට මුහුණ දී සුවය ලබමින් සිටින අතරතුර දී යැයි ද වාර්තා විය. සාක්ෂි ඉදිරිපත් කිරීමට ජූනි 2 වැනිදා සිට සති හයක සහන කාලයක් ලබා ගැනීමට ඔහු සමත් විය.

කැලිෆෝනියාවේ පවරා ඇති නඩුව ඉදිරියට ගෙන යෑමට හැකි වුවහොත් එය රාජපක්ෂට එරෙහි නඩුවක් වනවා පමණක් නොව මේ කීර්තිමත් කර්තෘවරයා ඝාතනය කිරීමට කටයුතු කළ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පවරා ඇති නඩුවට සාක්ෂි සපයන අලුත් මාවතක් විවෘත කර දීමක් වනු ඇතැයි අහිම්සා සහ CJA පාර්ශ්වය විශ්වාස කරති.

ඒ අතර මේ වන විට අමෙරිකාවේ දී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ පැමිණිලි දහයක් විවිධ අය විසින් යොමු කර ඇතැයි පසුගියදා ඇසොසියේටඩ් ප්‍රෙස් පුවත් පතද වාර්තා කළේය.

ඒ අනුව තවත් දස දෙනකු විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා තම දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට හිංසනය භාවිත කර ඇති බවට චෝදනා කරමින් එම නඩු පවරා තිබේ. එම නඩුද පවරා ඇත්තේ ITJP ආයතනය මඟිනි.

පරිවර්තනය- බුද්ධි කරුණාරත්න ./ සිළුමිණ

Archive

Latest news

Related news