Monday, May 20, 2024

“පාස්කු ඉරිදා ප්‍රහාරයේ නො නිමි වර්ධනයන්ට සාමුහිකව මුහුණ දෙමු” -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

2019-මැයි-22/විශේෂ ප්‍රකාශනය.

අප්‍රියෙල් 21 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවී මේ වන විට මාසයක් ගතවී ඇතත්,එහි කම්පනය තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති පසුබිමක පහත කරුණු වෙත අවධානය යොමු කරන ලෙස සියලු වගකිව යුතු පාර්ශව වලින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.
රජයේ අවධානයට:

1. ජන ජිවිතයෙහි ආරක්ෂාව සුරක්ෂිත කරන අතර පැතිරෙන කටකතා හා සැක සංකා දුරු කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඒ මත පදනම්ව ඉන්පසු සිදු වු සියලු අපරාධ සම්බන්ධව පරික්ෂණ කටයුතු සාධාරණව සිදුවන බවටත් මෙම ඛේදවාචකයත් සමඟ බිඳ වැටි තිබෙන ජන ජිවිත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවටත් පොදු මහජනතාවට සහතික විම.

2. තවදුරටත් මෙරට සියලු ආකාරයේ වාර්ගික හා ආගමික අගතීන් පැතිරීම වැළැක්වීමට නිසි ආකාරව කටයුතු කිරීම.

3. මෙම බිහිසුණු අපරාධකාරී සිදුවීම සමඟ හදිසි නීතිය පැනවීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හිතකර නොවන පියවර රැසක් ගැනීමට රජය ක්‍රියාකර ඇති අතර, මේ සිදුවිම් නිසා දැනට ඇනහිට ඇති ප්‍රජාතන්ත්‍රවාදය කරා මන්දගාමිව හෝ යමින් තිබු ගමන, යලි වඩාත් උද්යෝගිමත්ව හා ජවසම්පන්නව ආරම්භ කර කඩිනමින් රට යථා තත්ත්වයට පත් කොට ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය පුළුල් කිරීමට පියවර ගැනීම.

4. මෙම ඛේදවාචකය හා ඊට අදාළ පරික්ෂණ කටයුතු සිදුවන අතරතුර මෙරට ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ ගණනාවකට වගකිව යුතුයැයි චෝදනා එල්ල වන හමුදා කණ්ඩයාමකට නායකත්වය දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මේජර් ප්‍රභාත් බුලත්වත්ත නැවත සක්‍රීය සේවයේ යොදවා ඇති බව වාර්තා වෙයි.මෙවැනි ක්‍රියාමාර්ග මෙරට ජනමාධ්‍යයට එරෙහිව සිදුවු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලියට බාධාවක් වන බැවින් එවැනි බාධා කිරීම් වලින් තොරව ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නිසි පියවර ගැනීම.

5. මෙම දුෂ්කර මොහොතේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, විකල්ප මාධ්‍ය, සහ සමාජ මාධ්‍ය කෙරෙහි වුව තහංචි පැනවීම, ව්‍යාජ චෝදනා එල්ල කිරීම, අවලාද නැගීම, සහ වෙනත් ආකාරයේ අධිකාරිවාදී බලපෑම් කිරීමෙන් වැළැකී වගකීම් සහගත මාධ්‍ය භාවිතයක් සඳහා මාධ්‍ය වෙත පහසුකාරක මැදිහත්වීමක් සිදු කරන අතර වාර්ගික හා ආගමික අගතීන් ඇතිවන පරිදි සිදු කෙරෙන වෛරහාෂිත මාධ්‍ය භාවිතයන් වේ නම් ඒ සදහා නෛතික ක්‍රියාමාර්ග ගැනීම.

ජනමාධ්‍ය ප්‍රජාව ගේ සහ සිවිල් සමාජයේ අවධානයට:

1. පවතින අර්බුදකාරි තත්ත්වය තුළ ඇතැම් මාධ්‍ය වාර්තාකරණයන් සිදුව ඇත්තේ අතිගාමීව බව නිරික්ෂණය වන හෙයින් එම තත්ත්වයෙන් මිදී ජනමාධ්‍ය සතු සමාජ වගකීම .eTqrska වටහා ගෙන තම භූමිකාව නිසි පරිදි ඉටු කිරීම.

2. එම භූමිකාව ඉටු කිරීමේ දි ශ්‍රී ලංකා කර්තෘ සංසඳයේ ආචාර ධර්‍ම පදධතිය හැරුනණු විට, පාස්කු ඉරිදා ඛේදවාචකය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2019.05.16 දින නිකුත් කර ඇති ලිපිය වැදගත් මාර්ගෝපදේශකයක් ලෙස සලකමින් එම ලේඛනය තවදුරටත් වර්ධනය කිරීම සඳහා මාධ්‍ය ප්‍රජාව අතර කතිකාවක් ගොඩ නැගීම සහ ඒ මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවේදී අවස්ථා වාර්තාකරණය සඳහා මාර්ගෝපදේශන ලියවිල්ලක් පිළිබඳ සාමුහික එකඟත්වයක් ඇති කර ගැනීම.

මේ හැරුණ විට පවතින වාර්ගික හා ආගමික නොසන්සුන්තාව සමනය කිරීමේදී, මෙරට ජනමාධ්‍ය මෙන්ම සිවිල් සමාජ සංවිධාන සතුවද විශේෂ වගකීමක් තිබේ. විවිධ මුහුණුවරින් ක්‍රියාත්මකවන වාර්ගික හා ආගමික අගතීන් පිළිබදව අවදිව සිටිමින් එබදු අගතීන්ට එරෙහිව බලපෑම් කිරීම හා මැදිහත්වීම සබුද්ධික පුරවැසි වගකීමක් ලෙස සලකමු.

මෙම තත්ත්වය යටතේ ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව පවතින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සාමුහිකව දායක වන ලෙස ආදාළ සියලු පාර්ශව වලින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

– ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2019 මැයි 16 වන දින සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරන ලද නිවේදනය මෙම ප්‍රකාශයට ඇමුනුමක් වශයෙන් ඉදිරිපත් කර ඇත.

සි.දොඩාවත්ත
කැඳවුම්කරු

Archive

Latest news

Related news