Monday, May 20, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නොසැළකිලිමක් වූ රජයේ නිලධාරීන්ට එරෙහි පැමිණිල්ලක් කසුන් පුස්සෙවෙල බාරදෙයි

“පෙර දැනුම්වත්ව තිබියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මනුෂ්‍ය ඝාතනයන් 321කට හා 500කට අධික පිරිසක් තුවාල වීමටත්, සියලුම පුරවැසියන්ව ඉන් චේතාන්විතව පීඩාවට ලක්වීමටත් ඉඩහැර තම වගකීම, රාජකාරිය හා නෛතික බැඳීම අත් හරින ලද වගකිවයුත්තන් පිළිබඳ කරනු ලබන මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල” යන පැමිණිල්ල අග්‍රවිනිශ්චයකාරවරයා හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වෙත උක්ත පදනම යටතේ පැමිණිලි ද්විත්වයක් ලෙස ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස යොමු කරන ලදි. ලියාපදිංචි තැපෑලෙන්, ෆැක්ස් මගින් සහ විද්‍යුත් ලිපිනයන් මගින්ද එහි පිටපත් යොමු කරන ලදි. ගෞරව බුහුමානයෙන් ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන් වන ඔබ සියලුදෙනාටද තව වැඩිමක්ද මීට එකතු කිරීමට අවශ්‍ය නම් එකතු කර ඔබේ අන්‍යොන්‍යතාව ඇතුව පැමිණිලි යොමු කළ හැකි බව මින් දන්වා සිටිමි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ ෆැක්ස් අංකය හා ඊමේල් ලිපිනය – Fax : 09411- 2505574, 09411- 2505523, 09411-2505541
විද්‍යුත් ලිපිනය : [email protected]

——
23.04.2019

අග්‍රවිනිශ්චයකාර
ගරු එච්.එන්.ජේ පෙරේරා
ශ්‍රේෂ්ඨාධිකරණ,
හස්ල්ඩ්‍රොප්,
අලුත්කඩේ,
කොළඹ -12

ආචාර්ය දීපිකා උඩගම
සභාපතිනි,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
ප්‍රධාන කාර්යාලය,
අංක 14, ආර්.ඒ ද මෙල් මාවත,
කොළඹ -04

ගරු අග්‍රවිනිශ්චයකාරතුමනි/සභාපතිතුමියනි,

– පෙර දැනුම්වත්ව තිබියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මනුෂ්‍ය ඝාතනයන් 321කට හා 500කට අධික පිරිසක් තුවාල වීමටත්, සියලුම පුරවැසියන්ව ඉන් චේතාන්විතව පීඩාවට ලක්වීමට ඉඩහැර තම වගකීම, රාජකාරිය හා නෛතික බැඳීම අත් හරින ලද වගකිවයුත්තන් පිළිබඳ කරනු ලබන මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලයි.-

රජය විසින් මේවනවිට ප්‍රකාශිත පරිදි 21 වැනි ඉරිදා දින දේවස්ථාන ත්‍රිත්වයකට ඇතුළුව හෝටල් හා තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 321 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 500 දෙනෙක් පමණ තුවාල ලබා සිටින බවත් ඔබ පැහැදිලිව දන්නා බව දනිමි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයට දින 10කට පෙර මෙරට තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් පිපිරීම් සිදුවීමත් සමග හෙලිදරව් වූ අතර එම ලිපිය සත්‍ය බව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පොලිස් දෙපාර්තුමේන්තුව විසින් පිළිගන්නා ලදි. ඒ සම්බන්ධයෙන් 21 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ ලිපිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. ඉන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම බරපතල කාරණයක් බවය. අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය හමුවට පෙර මාධ්‍ය වෙත අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා මනෝ ගනේෂන් කියා සිටියේ බුද්ධි අංශ විසින් අනතුරු අඟවන ලද තොරතුරු පිළිබඳව තම පියාගෙන් සහ ගනේෂන් අමාත්‍යවරයා සිය ඇමති ආරක්ෂක ඒකකය මගින් කළින් දැනුම්වත්ව සිටි බවයි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යහි ද පළ කර තිබිණි. මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් 04 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න 22 වැනිදා මාධ්‍යයට ප්‍රකාශ කරන ලදි. ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් 09 වැනිදා ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් එම ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පත් අංක ද එහි සඳහන් කර ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කරන ලදි. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක විසින් අප්‍රේල් 11 වැනිදා ඒ සම්බන්ධයෙන් සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබෙන බවත් අමාත්‍ය සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි. එදිනම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද්දේ තමන් මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර සිටම දැනුම්වත්ව සිටි නමුත් මෙතරම් බරපතළ ප්‍රහාරයක් සිදුවනු ඇතැයි අපේක්ෂා නොකළ බවය. එදිනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන විපක්ෂ නායකවරයාද ප්‍රකාශ කර තිබුණේ තම ආරක්ෂක ඒකකයද එම තොරතුරු පිළිබඳව පෙර දැනුම්වත්වීමකින් යුතුව පසු වූ බවය. ඉන් පසුව ජනාධිපතිවරයා විසින් ඉකුත් 23 වැනිදා ජාතිය අමතමින් ප්‍රකාශ කරන ලද්දේ එම ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශ කළින් දැනුම්වත් වී සිටි බවත්, එහෙත් තමන්ව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් නොකළ බවයි.

උක්ත සඳහන් රාජ්‍ය හා මහජන ආරක්ෂාව ඇතුළු භෞමික අඛන්ඩතාවය සම්බන්ධයෙන් වගකිවයුතු නිල බලය හිමි සියලුදෙනා විසින් පිළිගන්නා ලද බුද්ධි අංශ පෙර දැනුම්දීම් ලිපිය හා මාධ්‍ය වෙත ලැබී ඇති ප්‍රසිද්ධ මාධ්‍යයේ පළව ඉන් මා උපුටාගත් තොරතුරු මෙසේය.

ලිපිය නිකුත් කර ඇත්තේ “සිදු වෙතැයි සිතිය හැකි සැලසුම්සහගත ප්‍රහාරයක තොරතුරු” යන ශීර්ෂය සහිතවය.
එය පොලිස්පති පූජිත ජයසුන්දර වෙත යොමු කර ඇති බවත් ලිපියේ සඳහන් වේ.

අධ්‍යක්ෂ/ ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ/ අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ/ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ/ තානාපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත ලිපියේ පිටපත් යොමු කර ඇත.
“ජාතික තව්හිත් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන ලද බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා දී තිබෙන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරමි,” යනුවෙන් එහි සඳහන් වේ.

ඒ අනුව එම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ දැඩි අවධානය යොමු කර “ඔබ කොට්ඨාසය මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන්/ස්ථානවල ආරක්ෂාව පිළිබඳ ඉතාමත් දැඩි අවධානයකින් සහ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසට සියලුම නිලධාරීන් දැනුවත් කරන” ලෙස ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

තවත් ලිපියක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික තව්හිත් ජමාත්හි මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සහායකයන් තවත් සුළු මොහොතකින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවය. ඔවුන් වැදගත් දේවස්ථාන සමහරක් ඉලක්ක කිරීමට සැලසුම් කරන බව එම ලිපියේ පැහැදිලිව දැක්වේ. එම ත්‍රස්තවාදීන් විසින් පහත දැක්වෙන ඕනෑම ආකාරයක ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට ඉඩ ඇති බවත් එහි සඳහන් කර ඇත.

මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ගිනි අවි ප්‍රහාරයක්
පිහි ප්‍රහාරයක්
ට්‍රක් රථයක් යොදා ගනිමින් කරන ප්‍රහාරයක්

මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් ද එහි සඳහන් කර ඇත.ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන සහ සිය පවුලේ සාමාජිකයන් හමුවීමට පැමිණෙන දිනයන් ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. ප්‍රභූවරුන් ලෙස නොසැලකෙන මෙරට හා විදේශීය ගෞරවනීය පුරවැසියන් 321ක් මරණයට පත් කරමින් ත්‍රස්ත ප්‍රහාර මාලාවක් දියත් වූයේ වගකිවයුත්තන් සියල්ලම පෙර සිටම ඒ බව දැනගෙන සිටි බව පිළිගන්නා මෙවන් පසුබිමකදීය. ඒ අනුව රාජ්‍ය ආරක්ෂාව බාරව වගකිව යුතු, මෙරට උත්තරීතර නීතියවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවටත්, එය ආරක්ෂා කරන බවටත් ඒ මත දිවුරා පොරොන්දු වූ ආරක්ෂක අමාත්‍ය, සේනාධි නායක, විධායකයේ හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපතිවරයාද, අග්‍රාමාත්‍යවරයාද, කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යවරුන්ද,ව්‍යවස්ථාදායකයේ සියලුම මන්ත්‍රීවරුන්ද, විශ්‍රාමික ජනාධිපතිවරුන්ද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාද, පොලිස්පතිවරයාද, මෙම තොරතුරු බාරව සිටින හා වගකිවයුතු ඒ ඒ රාජ්‍ය නිලධාරීන්ද ඝාතනය වූ, තුවාල ලැබූ මෙන්ම පීඩාවට පත්ව සිටින සියලුම පුරවැසියන්ගේත්,මාගේත් පහත සඳහන් මූලික අයිතිවාසිකම් හිතාමතාම, චේතාන්විතව උල්ලංඝනය කර අනතුරේ හෙළා ඇති බව මාගේ දැනුම අනුව විශ්වාස කරමි. එනම් ( හදිසි නීතිය පැනවීමට පෙර සිදු වූ සියල්ල මත)

10 වන ව්‍යවස්ථාව

සිතීමේ නිදහස,හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.)

11වන ව්‍යවස්ථාව

වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)

14 වන ව්‍යවස්ථාව

භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහසට,

අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට,

ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට,

ඇ) සමාගමයේ නිදහසට,

ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට,

ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට,

උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට,

ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට,

එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය

යන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතියවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සඳහන්, හිමිකම් ඇති මූලික අයිතිවාසිකම් උක්ත සඳහන් සියලුම වගකිවයුත්තන් විසින් පැහැර හැර හා කඩ කර ඇත. කලින් දැනුම්වත් වූ ප්‍රහාරය වළක්වා නොගැනීම මත ඊට වගකිවයුතු සියල්ලන් විසින් චේතාන්විතව ශ්‍රී ලංකා ප්‍රජාන්ත්‍රික සමාජවාදී ජනරයේ උත්තරීතර නීතිය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා එහි සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද, චේතාන්විතව තම තමන්ගේ වගකීම් පැහැර හැර මනුෂ්‍ය ඝාතනයන් සිදුවීමට ඉඩ හැර තිබීම මත මහජන ආරක්ෂක පනත ඇතුළු තත්කාලයේ බලපවත්නා නීති අනුව අපරාධ වරදක්ද සිදු කර තිබේය යන්න ඝාතනය වූ, තුවාල ලැබූ හා ඉන් පීඩාවට පත් සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේත් මාගේත් අදහසය. ඒ අනුව ගෞරව බුහුමානයෙන් යුතුව ජීවත් වීමට හා මියයෑමට බලාපොරොත්තු වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මෙම සිදුවීමට වගකිවයුතු සියල්ල සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්/ නඩු විභාගයක් පවත්වා යුක්තිය අපේක්ෂා කරන යුක්ති සහගත පුරවැසියන්ට සහ මාහට සාධාරණයක් ඉටු කරන මෙන් ගෞරවයෙන් මින් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

මීට විශ්වාසී,

කසුන් පුස්සෙවෙල

23.04.2019

පිටපත් – ගරු අග්‍රවිනිශ්චයකාරතුමා

( කසුන් පුසසෙවෙල මුහුණු පොතෙනි)

Archive

Latest news

Related news