Monday, May 20, 2024

අර්බුද හමුවේ බාධා නොකර ජනමාධ්‍යයට තම වගකීම ඉටු කිරීමට ඉඩ සලසන්න- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Image credit: Mihajlo Maricic.

පසුගිය පාස්කු ඉරිදා (අප්‍රේල් 21) මෙරට ආගමික මධ්‍යස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් සිදුකළ අමානුෂික ත්‍රස්ත ප්‍රහාර හමුවේ ලාංකික සමාජය මුහුණ දුන් කම්පනය තවමත් පහව ගොස් නැති අතර සිදුවීම්වලින් ඝාතනයට ලක්වූ සහ විපතට පත්වූ සියලු දෙනා වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන අතර ම, අසහනකාරී තත්ත්වය තව දුරටත් උග්‍ර කිරීමට හේතු වන යම් යම් බලපෑම් කෙරෙහි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි අවධානය යොමු කරයි. එසේම මේ මහා ඛේදවාචකයත් සමග ඊට සමගාමීව නොවැලැක්විය හැකි ලෙස සිදුව ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන්හි බිඳ වැටීම කෙරෙහිද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි අවධානය යොමු කොට ඇත.

මෙම ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හා දේපල හානිය හැරුණු විට ප්‍රබල සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයක් රට තුළ නිර්මාණය වි ඇති බව වටහා ගනිමින් ඊට විසඳුම් සෙවීම මූලික අවශ්‍යතාවයක් වන අතර,රටෙහි මහජන ආරක්ෂාව සහතික කිරීම එහිලා ප්‍රමුඛ වෙයි. මෙරට වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර පැවතිය යුතු සාමකාමී තත්ත්වයටද මෙම සැලසුම් සහගත අපරාධය මහත් විනාශයක් සිදුකර තිබේ. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන්ට බලපෑම් කරමින් සිදුව ඇති සමාජ මාධ්‍ය අවහිර කිරීම හා සාමාන්‍ය නීති ඉක්මවා ගිය හදිසි නීති රෙගුලාසි වැනි නීති ප්‍රතිපාදන යළි හඳුන්වා දීමට සිදුවීම දිගුකාලීනව යහපත් තත්ත්වයක් නොවේ. වෛරී සහ අසත්‍ය පුවත් පළකිරීම හරහා සමාජ මාධ්‍ය ඔස්සේ මහජන කැළඹීම් ඇති කිරීම වැළැක්වීමට ඒවා අවහිර කළ බව ප්‍රකාශ වූ නමුත් එමඟින් හෙළිදරව් කෙරෙන සත්‍ය සහ වගකීම් සහගත තොරතුරු දැනගැනීමේ අයිතිය ද මහජනයාගෙන් ගිලිහී ගොස් ඇත. එහෙයින් මෙම හදිසි හා බරපතල අවස්ථාවේ තාවකාලික විසඳුම් වෙනුවෙන් ගත් සමාජ මාධ්‍ය අවහිර කිරීමේ තීරණය දිගුකාලීනව ක්‍රියාත්මක නොවිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

මෙවැනි වාතාවරණයක් යටතේ සමාජය යළි ගොඩනැගීමේ භාරදූර කාර්යයට හා බිඳ වැටුණු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් යළි ශක්තිමත් කිරීමේ කාර්යයට උර දීමේ දී විශේෂ කාර්යභාරයක් හා වගකීමක් ජනමාධ්‍යටද පැවරී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. ජනමාධ්‍ය වෙත පැවරී ඇති එම වගකීම වන්නේ මෙවැනි අර්බුදකාරී වටපිටාවක් තුළ වුවද අගතීන්ගෙන් තොර නිවැරදි වාර්තාකරණයක නියැලීමයි. වෛරී සහ ප්‍රකෝපකාරී අදහස්වලට ඉඩ නොතැබීමයි. සිදුවූ ඛේදවාචකය තුළ මෙරට ජනමාධ්‍ය සාපේක්ෂව සිදුවීම් වාර්තාකරණයේදී යම් ප්‍රගතියක් පෙන්නුම් කළ බවද නිරීක්ෂණය කිරීමට හැකිවීම අගය කළ යුත්තකි.

ඒ අතර පවතින ගැටුම්කාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ හා බිය හැන්වීමේ අවස්ථා ද වාර්තා වී ඇති අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ උත්සාහයන් තරයේ හෙලා දකී. BBC මාධ්‍යවේදී අසාම් අමීන් අවස්ථා කිහිපයකදී එවැනි තර්ජනයන්ට ලක්ව තිබේ. වාර්තාකරණයන් සම්බන්ධ යම් ගැටලුවක් තිබේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමේ විධිමත් ක්‍රම පවතින අතර මාධ්‍යවේදියාට පිළිතුරු දීමට අවස්ථාවක් නොදී කරනු ලබන එවැනි තර්ජනාත්මක ප්‍රකාශ දැඩිව හෙළා දැකිය යුතුය. එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ලාංකික සමාජය ගොඩනැගීමේ කාර්යභාරය තුළ ජනමාධ්‍ය සතු භූමිකාව නිසි ලෙස වටහා ගනිමින් ඒ අනුව ක්‍රියාකිරීම සඳහා ජනමාධ්‍යට ඇති අවස්ථා තහවුරු කර දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

2019 අප්‍රියෙල් 26 / මාධ්‍ය නිවේදනය.

කැඳවුම්කරු
සි.දොඩාවත්ත

Archive

Latest news

Related news