Wednesday, May 1, 2024

ජිනීවා, ඔය කියන තරම් කලුද? – සුලෝචනා රාජපක්ෂ

අමාත්‍ය සමරවීර මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේදී සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළිය දියත් කිරීමේ මුල පිරුමට එක්විය. ©  සුනන්ද දේශප්‍රිය.

“සංහිඳියා ක්‍රියාවලිය සඳහා කාලය ගත වේවි. බොහොමයක් දෙනා මේ පිළිබඳව නොඉවසිලිමත්. අප ඔවුන්ගේ නොඉවසිලිවන්ත භාවය සහ ඒ සඳහා ඔවුන්ට ඇති සම්පුර්ණ අයිතිය වටහාගෙන ඇත. කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ඉතා සැළකිලිමත් ලෙස සැලසුම් කළ යුතුයි. නිදහස ලබා ගත් දා පටන් අප ජාතියක් ලෙස කිහිප වතාවක් අන්තර් රාජ්‍යයීය ගැටුම් හේතුවෙන් ඇද වැටී ඇත. තවත් අපට ජාතියක් ලෙස පරාජය විය නොහැක.”

– තිස් වන ජිනීවා සමුළුවේදී, එවකට සිටි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර.

නිදහස ලබා වසර 71 ගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානවත්ව සමරද්දී, නැවත හැරී බැලුවහොත් සැබවින්ම අප ලැබූ නිදහස අභිමානවත් ලෙස භුක්ති විඳ ඇත්ද? ගරු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කල අයුරින්ම අප කිහිප වතාවක් ඇද වැටී ඇත. තිස් වසරක් පැවති කුරිරු යුද්ධය, කළකෝලාහල හා වරින් වර රට තුල මතු වන ජනවාර්ගික ගැටුම් රටක් ලෙස අප දියුණුව කරා යන ගමන් මග හරස් කොට ඇත. සියලු දේ හට ගැනීමට හේතුවක් පවතින බව අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මෙම ගැටුම් වලට මූල බීජය කුමක්දැයි අවබෝධ කරගෙන ඒ සඳහා ප්‍රතිකර්ම නොකරන තාක් අපට මෙම සිදුවීම් වැළක්විය නොහැක.

2015 ඔක්තෝම්බර් 01 දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මඟින් ගෙන ආ යෝජනා ශ්‍රී ලංකා රජය පිළිගැනීමත් සමඟ ඒ පිළිබඳ රට තුළ උණුසුම් සංවාද ඇති විය. බොහොමයක් දේශපාලඥයන් මෙය තම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ව්‍යාජ අර්ථ ගැන්වීම් සිදු කරනලදී. එවන් පසුබිමක් තුළ 2015 පසු ඇතිවූ යහ පාලන ආණ්ඩුව තුළ ජාතීන් අතර සංහිඳියාව ඇති කරනු වස් විශාල වශයෙන් කැපවුණි.

ශ්‍රී ලංකාව ජිනීවා යෝජනා පිළිගත් තැන් සිට සංහිඳියාව තුළ වූ ප්‍රගතිය සම්මානනීයය. අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාලය සහ සත්‍ය සෙවීමේ කාර්යාලය යනාදියට පණ පෙවීම ජිනීවා යෝජනාවලිය බලාත්මක වූ සන්ධිස්ථානයන් වේ.

2016 අගෝස්තු 30වැනි දිනට යෙදුනු අතුරුදහන්වූවන්ගේ දිනය වෙනුවෙන් කොළඹට රැස්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පාගමනක ද යෙදුනි © සුනන්ද දේශප්‍රිය

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

ඔවුන් සිටින්නේ කොහිද? කෙදිනක හෝ දැකගත හැකි වේවිද? මේ තම ආදරණීයන් අතුරුදහන් වූ වන්ගේ හද ගැස්මයි. ඔවුන්ට තම ආදරණීයන් හට කුමක් වුවදැයි තතු දැන ගැනීමට බලාපොරොත්තු ඇතිව සිටියි. දශක ගණනාවක් ඔස්සේ වූ බහුවිධ ගැටුම් වලින් දිනූ කිසිවෙකුත් නොමැත.

2016 මැයි 22, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත හඳුන්වා දීමත් සමඟ 2017 පෙබරවාරි 27 වන දින මෙම කාර්යාලය සත් දෙනෙකුගෙන් සැදුම් ලත් කොමිසමකින් යුතුව ස්ථාපිත විය. එමෙන්ම 2018 සැප්තැම්බර් 5 වන දින, අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) විසින්, නිර්දේශ මාලාවකින් යුක්ත වූ අතුරු වාර්තාව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් වෙත පිරිනමන ලදී. 2018, පෙබරවාරි මස සිට සය මසක් ගත වූ තැන මෙම කාර්යාලය ලබා ඇති ප්‍රගතිය, ඔවුන්ගේ අදහස් යෝජනා මෙම අතුරු වාර්තාව තුලින් ප්‍රකාශවිය. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) සඳහා යෝජනා ලබාදීම සහ ණය සහන වැඩසටහන් හඳුන්වාදීම මෙම යෝජනා අතර කැපී පෙනේ.

මෙම කාලය තුළ අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වින්දිතයන් හමුවීමේ වැඩසටහන් රාශියක් පවත්වා ඇති අතර ඔවුන් ප්‍රාදේශීය කාර්යාල 12 රට පුරා පිහිටවීමට නියමිත අතර ඉන් හයක් උතුරු නැගෙනහිරද සතරක් දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් හීද පැවැත්වීමට නියමිතය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල රට පුරා ජීවත් වන අතුරුදන්වීම් නිසා විපතට පත් සියලු ජනකොටස්, ජනවර්ග, ආගම් හෝ කලාපීය වශයෙන් කිසිඳු භේදයකින් තොරව සේවය ලබාදීමට බැඳී සිටී. මෙහිදී ප්‍රධාන කාරණා 4 පිළිබඳ මෙම කාර්යාලය මූලිකවම අවධානය යොමු කරයි. ඒ අතුරුදන් වූ තැනැත්තන් සෙවීම, අතුරුදන්වු තැනැත්තන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් හා බැඳියාවන් ආරක්ෂා කිරීම, අතුරුදන් වු තැනැත්තන් හෝ ඔවුන්ගේ ඥාතීන්ට ලබාදිය හැකි සහන හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගැනීම, පුද්ගලයින් අතුරුදන්වීමේ සිද්ධීන් නැවත ඇති නොවීම සඳහා බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම වශයෙන් වේ.

හානිපූරණ කාර්යාලය

සාමූහික හෝ තනි පුද්ගල වශයෙන් ලබාදෙන හානිපූරණය දීර්ඝ කාලීන යුද්ධයකින් සහ වරින් වර ඇති වූ බහුවිධ ගැටුම් වලින් අසරණ වූ වින්දිතයන් සිටින රටක මූලික අවශ්‍යතාවක් වේ. මෙහිදී වන්දි ලබාදීමෙන් ඔබ්බට ගොස් වින්දිතයන් හා පීඩාවට පත් වූවන්ගේ ජීවිත යලි ගොඩනගා ගැනීම උදෙසා විශාල දායකත්වයක් මෙම කාර්යාලය මඟින් ලබාදිය හැක. එපමණක් නොව නැවත මෙවන් ගැටුම් වලට පුද්ගලයන් යොමු නොවීමට මෙය මහත් රුකුලක් වනු ඇත.

2018 ඔක්තෝබර් 09 වන දින හානිපූරණ කාර්යාල පනත පාර්ලිමේන්තුවෙහි සම්මත වීම ගැටුම් වලින් පීඩාවට පත්වුවන් ලද තවත් ජයග්‍රහණයකි. පුනරුත්ථාපනය සහ ඉඩම් නැවත ලබා දීම හා පදිංචි කරවීම යනාදිය මේ යටතේ ගැනුණු වැදගත් පියවර වේ. හිටපු ජනාධිපති තුමන් වන මහින්ද රාජපක්ෂ මහතාද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුනුරුත්ථාපනය කරමින් හානිපූරණය සඳහා දායකත්වය දක්වා ඇත. පවතින රාජ්‍ය යටතේ හානිපූරණයට සම්බන්ධව විශාල වැඩකටයුතු දියත් වේ.

2019 ජනවාරි 17 වන දිනට අවසන් දින නියම වූ කොමිසන් වරුන් සඳහා රැකියා දැන්වීම් පළවූ අතර හානිපූරණ කාර්යාලය ජනතාව හමුවට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.2015 පසු ඉඩම් නිදහස් කිරීමෙහි විශාල ප්‍රගතියක් දක්නට ලැබුණු අතර දැනට නිදහස් කිරීමට ඇති ඉඩම් ප්‍රමාණය 24%කි. සාම්පූර් ඇතුළු කතා බහට ලක්වූ ඉඩම් ගැටළු රාශියක් මේ වන විට පවතින රජය යටතේ නිරාකරණයවී ඇත.

සත්‍ය සහ යුක්තිය සොයා යන මව්වරු රට පුරාම විසිරී සිටිති © සුනන්ද දේශප්‍රිය

සත්‍ය සෙවීමේ කොමිසම

ජිනීවා යෝජනා අතර වතමන් අවධානය කොමිසම සත්‍ය සෙවීමේ කාර්යාලය ගොඩ නැගීම වෙත යොමුව ඇත. මන්නාරම සහ මාතලේ සමූහ මිනී වළවල් සොයාගෙන ඇති අතර එම පිරිස් කෙසේ මියගියේද යන්න විශාල ගැටළුවකි. එම සත්‍ය නිරාවරණය විය යුතුය. සත්‍ය තොරතුරු දැන ගැනීම සෑම පුරවැසියකුගේම අයිතියකි.

සන්නද්ධ ගැටුම් සහ යුධමය පසුබිම් තුළ නිවැරදි තොරතුරු යටපත් වීම සහ සාවද්‍ය තොරතුරු පැතිර යාම ස්වභාවයි. එවන් තත්වයක් තතුළ සත්‍ය සෙවීමේ කොමිසම වින්දිත්යන්ගේ හා සියළු රට වැසියන්ගේ අයිතිවාසිකමකි. තම දෙමව්පියන් හට කුමක් වුනිද සහ තම දරුවන්ට කුමක් වුණි දැයි නොදැන අසරණ වූ පිරිස් බොහොමයකි. නැවත විශ්වාසයෙන් ජීවත්වීමට හැකි වීමට නම් සත්‍ය දැන සිටිය යුතුය.

සත්‍ය සඳහා වන කොමිසමේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කොට අවබෝධ කරගැනීම සඳහා 2016 ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට කණ්ඩායමක් යවන ලදී. නුදුරු අනාගතයේදීම සත්‍ය සෙවීම සඳහා වන කොමිසමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, කෙටුම්පත සකසා අවසන් බවත් අමත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

ඇතමුන් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරණුයේ හුදෙක් වැරදි තොරතුරු මත හෝ නොමග යැවීම මතයි. රණවිරු දඩයමක් හෝ විදුලිපුටුවට ගෙනයාමක් ජිනීවා යෝජනා තුළ ක්‍රියාත්මක නොවන බව පැහැදිළිය.

මෙය ඉතා හෙමින් ගමනක් බවටද විවේචන පවතී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ගෙන ආ යෝජනාව පිළිගනිමින් 2017 වසරේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කාල දිගුවක් ද ශ්‍රීලංකා රජය ලබාගත් අතර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මෙම සංහිඳියා ක්‍රියාවලිය ජාත්‍යන්තරව මහත් පැසසුමට ලක්ව ඇත්තේ සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වූ අනෙකුත් රට වලට සාපේක්ෂව අප ප්‍රගතිය කඩිනම් නිසාවෙනි. තිරසාර සාමය එක රැයකින් සැබෑවන සිහිනයක් නොවේ.

මංගල සමරවීර මහතා පළමුව ජිනීවා මානවහිමිකම් කවුන්සිලය ඇමතු දින අවසානයේ පවසා සිටියේ, විශ්වාසයෙන් එක්ව වැඩකරමු සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනගන මෙම ගමනේදී රටක් ලෙස ඍනාත්මක කරුණු පසෙකලා එක් වන ලෙසයි. මෙය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හෝ ජාත්‍යන්තරයෙන් වන බලපෑමක් ලෙස සිතීමෙන් බැහැරව රටේ අභිවෘද්ධිය උදෙසා තිරසාර සාමය උදෙසා සියල්ලන් කැපවිය යුතුයි.

අප කවුරුත් මේ සඳහා මූල බීජය දන්නා මුත් ඒ සඳහා ප්‍රතිකර්ම කිරීමට පැකිළෙන සෙයක් දැක ගත හැක. ජාතීන් තුල සංහිඳියාව නොමැති බව මීට මූල බීජය වන අතර ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම උදෙසා අප සියලු ජාතීන් උත්සුක විය යුතුය. එය සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීමකි. හෙට උපදින දරුවන්ට, ගැටුම් වලින් තොර දියුණු ශ්‍රී ලංකාවක් උරුම කර දීම වෙනුවෙන් අද දවසේ ක්‍රියාත්මක වීම සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබෙත් මගෙත් වගකීමයි.

Archive

Latest news

Related news