තුරුම්පු කියා සිරසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර අඳුමට බැස සිටින සෙයකි.
අහන අහන හැමම අද මෙරට කියන අසන කතාව කුමක්ද? එනම් ‘ මේ මිනිසාට අන්ද කයිප්පු කැවුණේ කොහොමද?’ කියා ය. වෙස්වෙලා ගෙන මහ රෑ ගම්න් ගම යමින් රටෙහි ඇත්ත සෙවූ ජනප්‍රවාද ගත රජතුමා මෙන් ඇත්තට ම සිරිසේනට වෙස් මූණක් දාගෙන රට වටේ රෑට රෑට යන්නැයි උපදෙසක් දෙන්නට ඔහුගේ කේවට්ට උපදේශකයින්ට බැරිද?
රටේ ජනයා සිරිසේන ගැන කියන කතා ඇත්තට ම ඔහු දන්නේ නැතිවාවත්ද? රජතුමා හෙළුවෙන් යැයි කියන්නට සමත්කම ලැබෙන්නේ සව්වන්ට සහ කේවට්ටයින්ට නොව කොලු ගැටයකුට පමණ ය. රටේ මිනිස්සු තමා ගැන කියන දේ දන්නේ නම් සිරිසේනට සිදුවන්නේ අපේ පැතිවල මිනිස්සු අපතයින්ට කියන ලෙස බනිස්ගෙඩි දෙකක් අරං ගල් ගෙඩියක් බැදගෙන බඩද පලාගෙන මුහුදට පනින්නට ය.
සමහර විට තවමත් රටෙහි ජනප්‍රියම දේශපාලනඥයා රාජපක්ෂම විය හැකිය. සිරිසේනගේ පාපයට කර ගැසීමෙන් ඔහු කළේ දුවන කෝච්චියකට පැනීම ය. සිරිසේන විසින් රටේ ඇතිකළ වියවුලේ පාපය දැන් අයත් වන්නේ වික්‍රමසිංහට නොව රාජපක්ෂට ය. සිරිසේනට මුක්කු ගහනන්නට ගිය රාජපක්ෂ දෙමළ මුස්ලිම් පක්ෂ ද සිය පසමිතුරන් බවට පත් කර ගත්තේ ය.
ඇත්ත වශයෙන් ම නම් කිදාබසිමින් සිටි වික්‍රමසිංහට සිරිසේන විසින් ලබා දුන්නේ වේග බෝට්ටුවකි. ( ඒ බොට්ටුවෙන් වික්‍රමසිංහ තනියම බුදුවන්නට ගියහොත් යළි කිදා නොබසිනු ඇතැයි කිව නොැහැකි ය. )
මේ සටහන ලියන්නේ 15වන බ්‍රහස්පතින්දා ලංකාවේ වේලාවෙන් අළුයම ය. ඉදිරි පැය 24 ඇතුළත අර්බූදය විසදන බවට සිරිසේන කියා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතරම වාර්තා වන්නේ සියළු අමාත්‍යාංශයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස සිරිසේන නියෝග කර ඇති බවකි. සිරිසේනට දැන් අවශ්‍ය නම් යලිත් වතාවක් පාර්ලිෙම්න්තුව කල් තැබිය හැකිය. ඒ මගින්ද සිදුවනු අැත්තේ අර්බූදය තවත් උග්‍රවීම පමණි.
දැන් සිරිසේන බලයෙන් කොතරම් දූෂ්‍ය වී ඇත් ද යත් ඔහු විසින් කතානායක කරු ජයසූරිය පිළිගන්නෛ් ද නැත. ඔහු තවමත් පිළිගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති රාජපක්ෂගේ අනීතික ආණ්ඩුවයි. තමන් රාජපක්ෂ අගමැති ලෙස පත්කීරීම සාධාරණ කිරිමට ‘පොඩි එකාගේ ලියුම’ක් යවමින් සිරිසේන කියන්නේ 2015 ජනවාරියේ දී වික්‍රමසිංහ අගමැති බවට පත් කළේ ද බහුතරයක් නොමැතිව බවයි. නමුත් සිරිසේන වසන් කරන්නට යන්නේ ඔහු පොදු අපේක්ෂකයා ලෙස කළ මුල් කතාවෙහිදී ම තමා ජනාධිපතිවුවහොත් වික්‍රමසිංහ අගැමති කරවන බවට ප්‍රකාශ කළ බවය. ඔහු ලද ජනවරමට ඒ පොරොන්දුව ද ඇතුළත්ව තිබුණි.
අනෙක් අතට වික්‍රමසිංහට විරුද්ධව ඒ වන විටත් සිරිසේනගේ නායකත්වය යටතට පත්ව තිබූ ශ්‍රීලනිපය පියවරක් ගත්තේ ද නැත. වික්‍රමසිංහ අගමැති බවට පත් නොකරන ලද්දේ නම් සිරිසේනට වහාම ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමට සිදුවන්නට තිබුණි. එසේ වූයේ නම් වික්‍රමසිංහ ලෙහෙසියෙන්ම පාර්ලිමේන්තු බහුතරය දිනා ගන්නටත් තිබුණි. වික්‍රමසිංහට වැරදුණේ බැදුම්කර වංචාව හෙළිදරව් වී මහා අපවාදයක් බවට පත්වීම නිසා ය.
සිරිසේන විසින් නීති විරෝධී ලෙස රාජපක්ෂ අගමැති කිරීමෙන් පටන් ගත් දුෂ්ඨ දාම ක්‍රියාදාමය දැන් මුළු රටම වෙලා ගත් දේශපාලන ආර්ථික සමාජීය කුණාටුවක් බවට පත්ව තිබේ. හෙට සිදුවන්නේ කුමක්දැයි දන්නා කෙනෙක් නැත. එකක් පසු පස එකක් බැගින් අර්බූද වැළක් ඇති වේගෙන යයි.
සිරිසේන පාර්ලිමේන්තු බහුතරය පිළිනොගන්නේ නම් කතානායක පිළිනොගන්නේ නම් ව්‍යවස්ථාව පිළිනොගන්නේ නම් ඔහුට යා හැක්කේ කොහාටද? කතානායකවරයාගේ තීන්දු සහ වාර්තා පිළිනොගන්නා නිසා සිරිසේන හමුනොවීමට විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ සියළු දේශපාලන පක්ෂ බදාදා රැයෙහි තීරණය කිරීම ඔහුට එල්ල වූ අලුත්ම කණේ පහර ය. විශවාස භංගයකින් පරාජය වූ රාජපක්ෂ අගමැති තනතුරේ තබා ගැනීමත් ඒ සමඟම අහෝසි විය යුතු ඇමැති මණ්ඩලය එලෙසම පවත්වා ගැනිමත් වැරදි බවට කවරකු හෝ අධිකරණයට ගිය හොත් සිරිසේනට වැලේ වැල් නැතිවනු ඇත.
සිරිසේන බූරු පිටියක මෙන් තුරුම්පු ඇදීමෙන් රටක දේශපාලනය හැසිරවිය හැකි යැයි සිතා සිටි සෙයකි. මහා කයිවාරුවක් ගසා ඔහු තුරුම්පු ඇද්දේ වික්‍රමසිංහ පරාජය කරනු පිනිස ය. ඔහුගේ රාජපක්ෂ තුරුම්පුව දැන් පාර්ලිමේන්තුවෙහි කැපී ගොසිනි. විසුරුවා හැරීමේ තුරුම්පුව කල් ගියේ ය. යළිත් කල් දැමිම හැරුණ විට දැන් ඔහුට ඇත්තේ එකම එක තුරුම්පුවක් පමණි. එනම් ඍජු අඥාදායකත්වයේ තුරුම්පුව පමණි.
දැන් ඔහුට කියා දේශපාලන පක්ෂයක් ද නැත. වැඩි කල් නොගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඔහුගෙන් ගිලීහි යන්නට ද ඉඩ තිබේ. එහි පාරම්පරික අයිතිකාර පාර්ශවයන් දැන ඇහැ ගසාගෙන ඉන්නේ යළි පක්ෂය අල්ලා ගන්නට ය. සිරිසේනටය කියා එකදු දේශපාලනඥයකුවත් නැති දවසක් උදාවන බව දැන්ම ලියා තැබිය හැකි ය.
ඔත්තොම්බර් 26 දා තමා විසින් දියත් කළ දේශපාලන කුමන්ත්‍රණය දැන් සිරිසේනට ඉදිරියට ගෙන ගිය හැක්කේ ලේ සහ බෝම්බ දුමාරය මැදින් පමණි. නැත්නම් ඔහු ආපසු හැරී ආණ්ඩු බලය වික්‍රමසිංහට ලබා දිය යුතුය. ඒ වනාහී සිරිසේනට හීනෙන්වත් සිතිය නොහැකි තෝරා ගැනීමකි. මන්ද යත් එසේ වුවහොත් සිරිසේන – රාජපක්ෂ නීති විරෝධී ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කළ බොහෝ දෙනෙකු උපමා උපමේය ව්‍යවහාර බසින් කියන්නේ නම් ගහේ යන්නට ඉඩ තිබෙන නිසා ය. ඇත්ත වශයෙන්ම නම් දිනෙක ව්‍යවස්ථාව කෙළෙසා දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම සම්බන්ධයෙන්, සමහර විට දස වසරකට පසු හෝ සිරිසේන ද ගහේ යන්නට ඉඩ තිබේ. ඔහු විසින් රට ගෙන යමින් සිටින්නේ පතුලක් නැති අදුරු අගාධයකට ය.
යුද අඥාදායකත්වයක් මෙරට ඇති කිරීම ලෙහෙසි නොවේ. එවැනි හැකියාවක් තිබුණේ නම් ඒ රාජපක්ෂට පමණ ය. නමුත් අසල්වැසි ඉන්දියාව ගැන නොසිතා එවැනි පියවරකට මොලේ ඇති දේශපාලනඥයකු යන්නේ නැත. පූජිත වැනි අපූජිතයකු යොදා ගෙන පොලිස් රාජ්‍යයක් ඇති කිරිමට ද නොහැකි ය.
ස්වකීය කේවට්ටයින්ගේ කීම් බස් අසා සිරිසේන තමන් විසින්ම කපා ගත් මෙම වළෙන් ඔහු ගොඩ එන්නේ කෙසේද යන ප්‍රශ්ණයට තාර්කික පිළිතුරක් සෙවීම දුෂ්කරය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය සාර්ථක වෙනු ඇතැයි එතරම් විශ්වාසයක් තබා ගැනීමට ද නොහැකිය. මන්ද යත් සාධාරණ හේතු සාධක නොමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියට ගෙන යාමට අවසර නොදෙන නිසා ය. දැන් ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුව කල් දමන්නැයි එකී කේවට්ටයින්ම උපදෙස් දෙන බව කියනු ලැබේ. සිරිසේන ඒ මඩවලටත් නොබසිනු ඇතැයි කීමට නොහැකි ය.
දැන් අවසානයට මේ ටිකත් කිව යුතුය.
2015 මැද භාගයේ දී සිරිසේනගේ සව්වකු මට පණිවිඩයක් එවී ය. ඒ පයින්ඩයෙන් කියැවුණේ රාජපක්ෂ ගැන මා රාවය පුවත්පතට ලියූ ලිපි කිහිපයක් පොත් පිංචක් ලෙස පළ කිරිමට අලුත පත්ව සිටි ජනපති සිරිසේනට සිතක් පහළ වී ඇති බව යි. ඒ 2015 අගෝස්තු මැතිවරණයේ දී රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය පිනිස ය.
පණිවිඩය ගෙනා සව්වා මට මෙසේ කිවේය: ‘ජනාධිපතිතුමා කවදාවත් කීයටවත් රාජපක්ෂට නම් යළි තැනක් දෙන්නේ නෑ’ ඒ ලිපි කිහිපය සිරිසේනගේ දායකත්වයෙන් පිටපත් ලක්ෂයක් ම මුද්‍රණය කරන ලද්දේ ‘වහල් බවින් නිදහස්වීම’ යන නමිනි.
සිරිසේන විසින් ම තෝරා එහි ඇතුළත් කරන ලද ලිපි මෙසේ ය: ‘ පොලිස් රාජ්‍යය, හිට්ලර් සහ මානව හිමිකම් මතක් වීම’; ‘මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහ පාලනය’; 19වන සංශෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය; ‘පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකිද?’.
සිරිසේනට අමතක වී තිබෙන බව පෙනෙන ඒ ඉතිහාසය යළි මතක් කළ යුතු යැයි සිතුණේ ඔහුගේ නීතිඥයා ලෙස පසුගිය 12දා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනි සිටි නීතිපතිවරයාගේ නින්දා සහගත තර්ක දුටු විට ය. නීතිපතිගේ තර්ක අනුව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා ඇති විටෙක පවා ඒ පිළිබඳ නඩු විභාග කිරිමට මෙරට කිසිම අධිකරණයකට අයිතියක් නැත. එමෙන්ම ඔහු තර්ක කළේ 19වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල කිසිසේත් ම සීමා කර නැති බවට යි. ( නීතිපතිවරයාගේ භූමිකාව රජවාසළ කවටයකු වීම නොව ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම යැයි හිටපු පුවත්පත් කතුවරයකු සමාජ ජාලයකට ලියා තිබුණි.) සිරිසේනට වසර පහක් නොව හයක් ම බලයේ සිටිය හැකි යැයි කියන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පස්ස බිම ඇණ ගත්තතේද මේ නීතිපතිම ය.
සිරිසේන විසින්ම දායකත්වය සපයා මුදුණය කරන ලද ඉහත කී පොත් පිංචේ ඇතුළත් වූ එක් ලිපියක් 19වන සංශෝධනය අරභයා ය. දැන් සිරිසේන කියන්නේ ඉන් තමාගේ බලතල සීමා නොවූ බව ය. සිරිසේන වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඉදිරිපත් කරන ලද තර්ක අනුව ඔහුට ඕනෑම අවස්ථාවක ඕනෑම වාර ගණනාවක් සිය සිතැඟි අනුව පාර්ලිමේන්තුව විසුරැවා හැරිය හැකි ය.
පුරවැසි බලය එකතුවෙහි මූලිකයකු වූ මහාචාර්ය සරත් විජේසූරිය, සිරිසේනට ජන්දය දෙන්නැයි තමා කළ ඉල්ලීමට සමා වන්නැයි මහා ජනයාගෙන් ඇයද සිටියේ මාදුළුවාවේ සෝභිත හිමි සමරු රැළියෙහිදී ය. ඒ මට්ටමින් ම සිරිසේන බලයට ගෙන ඒමට දරදිය ඇද්දාවූ දඹර අමිල හිමි කිීයේ ‘මහ රජාණන් මැදමූළන ජනේලයක එල්ලලූ අපට සිරිසේන පොළාන්නරුවේ පඹයකු සේ එල්ලීම මහ ලොකු දෙයක් නොවන’ බවයි.
ඉතින් අපි කුමක් කියමු ද? බුදු වදනින් මෙසේ කියමු: යමෙකු වසළයකු වන්නේ ක්‍රියාවෙනි!