ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා තමන් විසින් නව අගමැතිවරයකු පත් කිරීමෙන් ඇරැඹුනු අත්තනෝමතික ක්‍රියාදාමය තවදුරටත් ගෙන යමින් දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබියදීම විසුරුවා හැර ඇත. එහි ප්‍රතිඵලය ව්‍යවස්ථා අර්බුදයක දණක් එරී සිටි රට කරක් එරීමය.
එසේම තමන් ද එදා නිහඬව සිට සෙස්සන් නිහඬව සිටීම ගැන ඇතැම් දේශපාලනඥයන් ප්‍රශ්න කිරීම හාස්‍යයට කරුණකි. එපරිද්දෙන්ම දූෂණ චෝදනා ආදියට චෝදනා ලද්දවුන් හට නව ආණ්ඩුවෙහි යහපාලනය භාරදීමත් විහිළුවකි. එක් අතකින් බලන කල දැනට ඇමැති මණ්ඩලය බෙහෙවින්ම සමාන වන්නේ යහපාලන ආණ්ඩුවට පෙර පැවැති මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි ඇමැති මණ්ඩලයටය. වෙනසකට ඇත්තේ එහි නායකත්වය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් දැරීමය. සංයුතිය සහ අගමැතිගේ නව බලතල අනුව රාජපක්ෂ මහතාට ද අනල්ප සුවිශේෂ බලයක් ඇමැති මණ්ඩලයෙහි ඇත.
නෛතික විනිශ්ච පසෙක තිබියදී සදාචාරය සහ දේශපාලන සංස්කෘතිය අනුව බලන කල ජනාධිපතිතුමන් ගත් ක්‍රියාමාර්ගය සාධාරණ කළ නො හේ. ප්‍රශ්න කිහිපයෙක් සලකා බැලීමෙන්ම එය පෙනේ. එතුමන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් සමග එක් වූ කල පාර්ලිමේන්තුවෙහි බහුතරය තිබිණි නම් අය-වැය පරාදවන්නට හැකියාවක් තිබිණි. එතෙක් ඉවසන්නට නොහැකි වූයේ බහුතරය පිළිබඳ සැකයක් නිසා යැයි බොහෝදුරට අනුමාන කළ හැකිවන්නේ ඒ නිසාය. එවන් සැකයක් තුළම නව අගමැති පත් කිරීමෙන් පසුවද බහුතරය පවතිතැයි නව ආණ්ඩුව පුරසාරම් දෙඩූ බව සියල්ලෝම දනිත්. කතාව කෙසේ වුවද පාර්ලිමේන්තුව විසුරුවන ලද්දේ වාරාවසානය ඇවෑමෙන් වුව බහුතරය සාදා ගන්නට අසමත්කම නිසා බව අද පැහැදිලි ය. පාර්ලිමේන්තුවෙහි ඡන්දයක දී අගමැතිට පක්ෂව ඡන්දය දිය නොහැකි නම් ඡන්දය දීමෙන් වැළැකී සිටින ලෙස ගරු ජනාධිපතිතුමන් තමන්ට පැවැසූ බවක් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ද ජනමාධ්‍යයට පවසා සිටියේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කැර ඇති හෙයින් ඒ ගැන අපි කිසිවක් දැනට නො කියමු. එය කවර තීන්දුවකට එළැඹුන ද තම පෞද්ගලික හෝ දේශපාලන හෝ මතය නොතකා එය පිළිගැනීම උචිතය. ව්‍යවස්ථා අර්බුදය සමනය කැරීමට එය ඉවහල් වනු ඇත.
ජනාධිපතිතුමන් සහ බොහෝ වියතුන් පවසන්නේ මහා මැතිවරණය පැවැත්වීමෙන් උගත් බුද්ධිමත් අවංක නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් පත් කැරැගත හැකි බවය. එහෙත් එම අදහස න්‍යායාත්මකව නිවැරැදි වුව මෙරට භාවිතයෙහිදී කිසිසේත් සත්‍ය නොවේ. මන්දයත්, නාමයෝජනා තීරණය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නායකයන් විසින් හෙයිනි. මෙතෙක් අත්දැකීම ඔවුන් සිග්නල් කණු මෙන් ක්‍රියා කරන තම හෙංචයියන්ට හෝ මුදල් යෙදවිය හැකි පොට්ටනිකාරයන්ට හෝ ජාවාරම්කාරයන්ට හෝ නාමයෝජනා දීමය. පිල් මාරු සඳහා රුපියල් මිලියන ගණනින් අල්ලස් පිදෙතැයි යන වාතාවරණයක් යටතේ ඉදිරි මැතිවරණ ප්‍රතිඵලය වුව ජනවරමට පටහැණිව යොදා ගැනීමෙහි අනතුරක් ද පවතී. වසර 2015 මහා මැතිවරණයෙහි ජනවරමට එරෙහිව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ මැතිවරණයෙන් පරාජිත පුද්ගලයන්ට ඇමැති ධුර පිරිනැමීමෙන් ඒ පිළිබඳ නරක පූර්වාදර්ශයක් ද පවතී.
වර්තමාන අවස්ථාවෙහි ජනාධිපතිවරයා ශක්තිමත් සේ පෙනුන ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් බහුතරයක් පොදුජන පෙරමුණෙහි සාමාජිකත්වය ලබාගැනීමෙන් සහ මහින්ද රාජපක්ෂ මහතා ද එහි සාමාජිකයකු සහ නායකයා වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුළුතරයක තත්ත්වයට පත්වනු ඇත. එහි ප්‍රතිඵලය ජනාධිපතිවරයා අපේක්ෂා නොකළ දෙයක් වන්නට පිළිවනි.
උද්ගතව ඇති තත්ත්වයෙන් අස්ථාවරව ඇත්තේ අභ්‍යන්තර දේශපාලනය පමණක් නොවේ. අප රට විදේශ සම්බන්ධතා ද සසලව ඇත. එක්සත් ජනපදය සහ ඇතැම් බටහිර රටවල් සිය නොසතුට එළිපිටම පෙන්වාදී ඇති අතර ආසියානු රාජ්‍ය මෙරට තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන් පසු වෙයි. යහපාලන ආණ්ඩුවෙහි මුල් යුගයෙහි දිනාගත් ජාත්‍යන්තර ප්‍රසාදය කඩිනමින් අහිමි වෙමින් පැවැතීම කනගාටුදායකය. එය යළි දිනාගැනීම සඳහා අවශ්‍ය කැරෙන ජාතික සමගිය බල අරගලය හේතුවෙන් නැති වී යාම ද පාඩුවකි.
මෙම තත්ත්වය බරපතළ ආර්ථික ඵලවිපාක ගෙන දෙවයි. විදේශ ආයෝජන ගලා ඒම මන්දගාමී විය හැකි අතර දැනටමත් මෙරටින් අනල්ප විදේශ ප්‍රාග්ධනයක් බැහැර ගලා ගොසිනි. යුරෝපා සංගමය ලබාදී ඇති ජී.ඇස්.පී ප්ලස් සහනයේ අනාගතය ද අනතුරේ ය. ඩොලර් මිලියන 500ක එක්සත් ජනපද ප්‍රදානයක තත්ත්වය ද අවිනිශ්චිතය. ඒ අතර 2019 සහ 2021 අතර කාලයෙහි අප රට ගෙවිය යුතු විදේශ ණය වාරික සහ පොලිය ඩොලර් බිලියන 4කි. මේ ආණ්ඩු ගණනාවක් ගත් ණය සඳහාය. විදේශ ප්‍රදාන සහ ණය පහසුකම් නිෂ්පාදනජනක සේ වැය නොකිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස, පරිභෝජනයට යෙදවීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙය සැලැකිය හැකිය.
රට අගාධයක මුව විතෙහිය. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මූලික වශයෙන් වගකිවයුතුය. තනි තනිව හෝ හවුලේ හෝ රට පාලනය කෙළේ ඔවුන් හෙයිනි. පොහොට්ටු පක්ෂය හෙවත් පොදුජන පෙරමුණ ද එම පිරිසටම අයත් වන්නේ ඔවුන් ද යථෝක්ත පක්ෂ මඟින් පාලනය කළ හෙයිනි.
ඉදිරි මැතිවරණයෙහිදී ද ඒ එක ද පක්ෂයකටවත් රට ගොඩනැඟීමෙහි හෝ ජාතික සමගිය තහවුරු කැරීමෙහි හෝ ජනතාවගේ දැවෙන ජීවන ප්‍රශ්න සඳහා විසඳුම් ඉදිරිපත් කැරීමෙහි වැඩපිළිවෙළක් නැත. ඔවුන් පුරුදුව සිටින්නේ ජනතාවගේ සමාජ, ආර්ථික ප්‍රශ්න මඟ හරිමින් රට ජාතිය පාවා දෙතැයි එකිනෙකාට චෝදනා කිරීමට සහ බලය රඳවා ගැනීමට හෝ දිනාගැනීමට හෝ ජාතිවාදය හිණිමඟක් සේ උපයෝගී කැරැ ගැනීමට ය. අනාගත දැක්මක් හෝ නව ලෝකයට ගැළැපෙන පිළිවෙතක් හෝ ඔවුන් ඉදිරියෙහි තවත් අත්තනෝමතික පියවර ගැනීමෙහි අනතුර පිළිබඳව ඔවුන් අවන්ට ඇත්තේම නැත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයෙන් අර්බුදය සාමකාමීව නිරාකරණයට තවත් අවස්ථාවක් සැපැයී ඇත. හිංසනය පිටුදකිමින් ව්‍යවස්ථාමය සහ නෛතික ක්‍රියාදාම තුළින් අර්බුදය නිරාකරණය කළ හැකි නම් එය යෝග්‍ය වනු ඇත.
පාර්ලිමේන්තුව කල් දැමීමට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ආණ්ඩුවෙහි ව්‍යවස්ථා විරෝධී අත්තනෝමතික ක්‍රියා ලත් පරාජයකි. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට සටන් කරන බලවේග ලත් ජයග්‍රහණයකි. කෙසේ වෙතත් ඉදිරියෙහි ගත හැකි අත්තනෝමතික ක්‍රියා පිළිබඳව ද ඔවුන් අවදියෙන් සිටිය යුතුය.
තවද, රහමෙර පානයෙන් සන්තර්පණයව කැහිපට ගන්වා ලෝකයටම අභියෝග කරන චණ්ඩියකු මෙන් නොව ජගත් ප්‍රජාවගේ හිත දිනාගත හැකි අභිමානවත් ජාතියක් වශයෙන් ප්‍රශ්නය නිරාකරණය කළ යුතුය. අද ලෝකයෙහි තනිව හුදකලාව ජීවත් විය නොහැකිය.
ව්‍යවස්ථා අර්බුදය පිළිබඳ කවර අවසාන විසඳුමකට පැමිණිය ද මෙතෙක් රට පාලනය කළ බලවේග සිය අසමත්කම මැනැවින් පෙන්වා ඇති හෙයින් සහ ඔවුන්ට උදර පෝෂණයෙන් ඔබ්බෙහි අන් පරමාර්ථයක් නැති හෙයින් රට ගොඩනැඟීම සඳහා නව විකල්ප බලවේගයක අවශ්‍යතාව අද දැඩිව ඉස්මතුව ඇත.
එවන් නව විකල්පයක් තැනීම සඳහා සියලු දේශප්‍රේමී සිවිල් සමාජ සංවිධාන එක්සත්ව දැනුවත් කිරීමෙහි පුළුල් ජනතා ව්‍යාපාරයක් ගෙන යාම හදිසි කාරියකි. දේශපාලන දැනුම සහ බුද්ධිය මහ පක්ෂවල ඒකාධිකාරයක් නොවන බව පෙන්වා දිය යුත්තෙමු. ජනතාව පරමාධිපත්‍ය බලයෙන් පමණක් නොව බුද්ධියෙන් ද දේශපාලන නායකයන්ට වඩා ඉදිරියෙන් සිටිත්.
(ලංකාදීප)