Monday, May 20, 2024

නව ව්‍යවස්ථා කෙටුම්පතක්වත් තවම නෑ; උතුරු නැගෙනහිර අන්තවාදය හිස ඔසවනවා – ජයම්පතී වික්‍රමරත්න

ජායාරූපය: දෙමළ සරණාගත අයෙක්, වලිකාමම් උතුර, යාපනය.

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය පිළිබඳව ඉදිරිපත් කරමින් කතාකරන ලද කතාව පිළිබඳ විවාදයේදී මම අදහස් දක්වන්නේ මාගේ පුද්ගලික අදහස් මෙන්ම මා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ අදහස්.

අද අල්ලස් කොමිසම ස්වාධීනයි

මෙම කතාවේදී ජනාධිපතිතුමා පසුගිය අවුරුදු 2 ½ තුළ මේ යහපාලන රජය විසින් ලබාගත් ජයග්‍රහණයන් පිලිබඳව සඳහන් කලා. අද මේ රට තුළ 2015 ට කලින් මෙන් නොව අද ආණ්ඩුව විවේචනය කිරීමට කතා කිරීමට අද නිදහස තිබෙනවා. බය නැතුව අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා හෝ විවේචනය කිරීමට නිදහස තිබෙනවා. එය ජයග්‍රහණයක්. වඩා නිදහස් වාතාවරණයක් තිබෙනවා. එය ජයග්‍රහණයක් 19 සංශෝධනය මගින් අපිට යම් වෙනස්කම් කරන්නට පුළුවන් වුණා. අපි බලාපෙරොත්තු වුණු, එහෙත් එදා 2/3 තියා සරල බහුතරයක්වත් නැති තත්ත්වයක අපේ සියලු‍ අරමුණු ඉටුකර ගැනීමට අපට පුලු‍වන් වුනේ නෑ. තොරතුරු ලබා ගැනීමේ අයිතිය අපි මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගත්තා පමණක් නෙවෙයි. තොරතුරු ලබාගැනීමේ පනතෙන් විශේෂයෙන් සඳහන් කර තිබෙන ඒවා ඇරෙන්නට අනෙක් ඕනෑම තොරතුරක් ලබා ගැනීම ඕනෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා.

අද ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කරන බව අපට පේනවා. අපට කණගාටුයි කියන්න මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හැම පැත්තෙන්ම කෙඳිරිගෑම් ඇහෙනවා. මේ තොරතුරු ලබාගැනීමේ පනත නිසා කිසිම දෙයක් කරන්න බෑ. මේ ඇමතිවරුන්ට තමන් කැමති විදියට පෙට්ට්‍රල් වත් ගහන්න බෑ. තොරතුරු ලබාගැනීමේ පනත යටතේ පුරවැසියන් ඉල්ලීම් කරලා ඒ තොරතුරු සොයා ගන්නවා. ඒ වගේ කෙඳිරිත් තියෙනවා. ඒවට තමයි තොරතුරු ලබාගැනීමේ පනත ගෙනාවේ. පුරවැසියන්ට මොකද වෙන්නේ කියලා දැනගන්න.

ස්වාධීන කොමිෂන් සභාත් අගය කරන අපට අපේ පැත්තෙන්ම කෙඳිරිගෑම් ඇහෙනවා. “ අපිට ඕන විදියට පොලිස් නිලධාරියෙක්වත් මාරු කරන්න බෑනේී’ අද පොලිස් කොමිසමක් තියෙනවානේ. ඒකට තමයි පොලිස් කොමිසමක් ගෙනාවේ. දේශපාලඥයන්ට ඕනි විදියට පොලිස් නිලධාරීන් මාරු කිරීමට නෙවෙයි . ඊට අදාළ රීති වලට අනුකූලව ස්වාධින කොමිසමක් විසින් ඒවා කෙරෙන්නට.

අල්ලස් කොමිසම ස්වාධින නිසා තමයි ඊයේ පෙරේදා අපි දැක්කේ ජනාධිපති කාර්යාලයේ අල්ලස් චෝදනා වලට අත්තඩංගුවට ගැනීමට හැකිවුණේ. මං හිතන්නේ ඒ පිළිබඳව මේ රටේ ජනතාව සතුටු වෙනවා. ඒ වගේම අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු‍ පිරිසට ප්‍රසංශා කරනවා. ඉතිං ඒවගේ ජයග්‍රහණයක් තියෙනවා .

නමුත් ඒ ජයග්‍රහණය ප්‍රමාණවත් ලෙස රටට සන්නිවේදනය කරලා තියෙනවද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා. ජනවාරි 8වෙනිදා අපි ලබාදුන් පොරොන්දු අනුව අපි ලබාදුන් පොරොන්දුවක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව .ඒ පිළිබඳ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාවක් තිබෙනවා .එතනින් එහාට මාස ගාණක්ම දැන් අපි හිරවෙලා ඉන්නේ.අද අපට දැනගන්න ලැබුණේ ඉතාමත් ඉක්මනින් මෙහෙයුම් කාරකසභාව නැවත රැස් කරනවා කියලා.දැන්

ප්‍රධාන පක්ෂ දෙක එකඟද?

ඉතිරි කාර්යය සම්පූර්ණ කල හැක්කේ ප්‍රධාන පක්ශ දෙකම කෙලින්ම කියනවා නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ වඩා නිවැරදිව කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යට සහ එක්සත් ජාතික පක්ෂ යට .මේ ප්‍රධාන පක්ෂ දෙක අතේ තමයි. එම එම පක්ෂ වල නායකත්වය අතේ තමයි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අනාගතය රැදී තිබෙන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන්නට නම් ඒ සඳහා නායකත්වයන් ක්‍රියාශීලීව මැදිහත් වෙන්න ඕන. කොටින්ම කියනවා නම් වැඬේට බහින්න ඕන.උණ තියෙන්න ඕන. නැතුව නිකං මෙහෙයුම් කාරකසභාවට ඕන දෙයක් කරගන්න දීලා පාර්ලිමේන්තුවට ඕනි දෙයක් කරන්න දීලා පාර්ලිමේන්තුවේ ඕනිම දෙයක් අපි පිළිගන්න ලෑස්තියි කියලා මේකෙන් ගැලවෙන්න බෑ. මේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වයන් මේ වැඩේට ක්‍රියාශීලීව බහින්න ඕන. තමන්ගේ පක්ෂ තමන්ගේ ස්ථාවරයට ගන්න ඕන. මේ පිළිබඳව ජනවාරි 8 ජනතාවට ලබාදුන් පොරොන්දු, ජනතා අපේක්ෂාවන් අනුව කටයුතු කිරීමට ක්‍රියාශීලීව කැප වෙන්නට ඕනි.

මම මේකට සම්බන්ධ වෙලා ඉන්න නිසා හුගක් අය මගෙන් අහනවා කෙටුම්පතක් තියෙනවද කියලා. කෙටුම්පතක් තියෙන්නේ කොහොමද ප්‍රධාන පක්ෂ දෙකවත් එකග වෙන්නේ නැතිව. අපට කෙටුම්පතක් හදන්න පුලු‍වන් අතුරු වාර්තාව සහ අනුකමිටු වාර්තා හය මත. එතකොට කියයි ජයම්පති වික්‍රමරත්නයි සුමන්තිරනුයි එකතුවෙලා වාර්තාවක් හැදුවයි කියලා. දැනටමත් අන්තවාදින් කියනවා කෙටුම්පතක් හැදුවයි කියලා. අපට කෙටුම්පතක් හදන්න බෑ. අපට අයිතියක් නෑ හදන්න. ප්‍රධාන පක්ෂ දෙකේ සහ මෙහෙයුම් කාරක සභාවේ එකගත්වයක් තියෙන්නට ඕන. එම නිසා අද ඒකට නායකත්වයක් අවශ්‍යයි.

අයවැය 2/3න් සම්මතයි, එත් ව්‍යවස්ථාව නෑ

මූලාසනාරූඪ මන්ත්‍රිතුමනි, මේ අනුව 19 වන සංශෝධනය ගෙනාවේ 2/3 ක් තියා සරල බහුතරයකුත් නැතිව. මන්ත්‍රිවරු 50 ක් 60 ක් තිබුණේ නෑ. ඒත් විරුද්ධ පක්ෂයක් එකග කරගෙන අපිට ගේන්න පුලු‍වන් වුණා. මොකද රටේ ජනතාව සහයෝගය දුන්නා.රටේ ජනතාවගන් ආපු පීඩනය නිසා පාර්ලිමේන්තුවට සිද්ධවුණා මේ දෙස සුබදායක ලෙස බලන්න. දායකත්වය දෙන්නට . අපට ගේන්න පුලු‍වන් වුණා. අද හැම අවුරුද්දක්ම අයවැය ලේඛනය තුනෙන් දෙකෙන් සම්මත කරනවා. හැම අවුරුද්දකම අපට තාම බැරිවෙලා තියෙනවා ව්‍යවස්ථාව පිළිබඳ එකගත්වයකට එන්න. එමනිසා මේ පිළිබඳ බොහොම තදින් අපි කියන්නට ඕන. මා සහ මා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණ වෙනුවෙන් මා බොහෝ පැහැදිලිව කියනවා ප්‍රධාන පක්ෂ දෙකට මේ පණිවිඩය දෙන්න ඕන. කරුණාකරලා කැපවෙලා මේ වැඬේට බහින්න කියලා.

උතුරු නැගෙනහිරත් තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා අන්තවාදී කොටස් වල ශක්තිය වැඩිවීමක් දක්නට ලැබෙනවා. අපි පළාත් පාලන මැතිවරණයේදී දැක්කා. පසුගිය මැයි දිනයේදීත් අපි දැක්කා අන්තවාදී කොටස් වඩා හොඳ ෂෝ එකක් දැම්මා මැයි දිනයේදී යාපනයේ අපට මේවා ගැන සතුටු වෙන්න බෑ. මොකද විදේශගත බෙදුම්වාදින් ඉන්නවා තාම ක්‍රියාත්මක වෙන ඒ නිසා ඒ අන්තවාදින්ව තවත් ශක්තිමත් වෙන විදියට දකුණ ක්‍රියා නොකළ යුතුයි. මේ ප්‍රශ්නයට විසදුම් දෙන්නම ඕන. ඉඩම් ආපහු දෙන එක බොහොම හොදයි. අපි කවුරුත් පක්ෂයි ඒකට. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාටත් අපි පක්ෂයි.බොහොම සතුටු වුණා අපේ සමහර මන්ත්‍රිවරුන්ට නිදහස් දිනයේදී ඇස්වලට කදුලු‍ ආවා. නමුත් ඉඩම් ආපසු දීලා සහ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරලා පමණක් මේ ප්‍රශ්නය විසක්‍ෂෙන්නේ නෑ. මේකට දෙශපාලන විසදුමක් අවශ්‍යයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව විසදුමක් අවශ්‍යයි. ජාතිවාදයට උඩගෙඩි දීම පිළිබඳව අපි පසුගිය ආණ්ඩුවට දොස් කිව්වා. ජනවාරි 8 වෙනසට සම්බන්ධවූ අය බලාපොරොත්තු වුණා. මේ ආණ්ඩුවෙන් ඒ ජාතිවාදය මැඩලයි කියලා. උතුරේ දකුණේ දෙකෙහිම අන්තවාදි කොටස් වල විරුද්ධව නිශ්චිත පියවරයන් ගනියි කියලා. එසේ අරගෙන නෑ. මීටකලින් කතා වලදී ඔබතුමන්ලා ඒ පිළිබඳව සඳහන් කරා ඒක ගැන අපි කණගාටු වෙනවා.

ජවිපෙ 20 සංසෝධනයට සහාය

ව්‍යවස්ථාවක් කියන්නේ මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි බලය බෙදීමයි විතරක් නෙවෙයි .ඊට තවත් එහා යන වැදගත් කාරණා තියෙනවා අපට ඉෂ්ට කරන්න .නව මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයෙන් අපට තියෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වල පරාසය පුළුල් කරලා ආර්ථික අයිතිවාසිකම් ,සමාජීය අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, අබාධිතයන්ගේ අයිතිවාසිකම් ,පරිසරය පිළිබද අයිතිවාසිකම් ,මේ සියලු‍ අයිතිවාසිකම් තුල අළුත් මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අපට තිබෙන්නට ඕන .මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට තියෙනවා .අධිකරණය පිළිබද ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.අද ශේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් වැඩිකර ගැනීමට නොහැකි වෙලා තියෙනවා.ඒ කතා කරත් අවශ්‍ය වෙනස්කම් කරගත නොහැකිව ඉන්නවා නව ව්‍යවස්ථාවක් නොමැතිව .අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා වෙනස්කම් කරගැනීමට නොහැකි වෙලා තියෙනවා .ඒ නිසා ව්‍යවස්ථාව කියන්නේ මේ කරණා සියල්ලම එකට එකතු වූ දෙයක්.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන්න අපි තීරණය කළා .නමුත් අපේ මුලික පරමාර්ථය එක නෙවෙයි.අපි වඩා කැමතියි සම්පුර්ණ ව්‍යවස්ථාවක් එනවනම් මොකද එයින් තමයි මේ රටට තියෙන ප්‍රශ්න සමස්තයක් ලෙස අරන් ඒවාට විසදුම් දෙන්න පුළුවන්.එක එන්නේ නැත්තම් අනික් එකෙන් හරි ඉෂ්ට කර ගන්න එක වෙනම කතන්දරයක්.

කතා ඇති ,වැඩට බහින්න

අවසාන වශයෙන් මුලසනයේ මන්ත්‍රී තුමනි අපි කතාවල් කෙරුව .අපේ නායකයෝ කතා කරනවා,අපිත් කතා කරනවා. සැලසුම් හදනවා .දැන් ඇති.ජනතාව බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාශීලිත්වයයයි දැන් කතා කෙරුව ඇති ක්‍රියාවයි අවශ්‍ය වන්නේ .පාර්ලිමේන්තුවේ දෙවන භාගයේදී වත් ජනාධිපති ධුරයේ අවසන් අවුරුදු එක හමාරේ වත දැන් කතාවල් ක්‍රියාවන් බවට පත් කිරීමයි ජනතාව බලාපොරොත්තු වන්නේ .අපිට ආපසු යන්නට බැ ඉදිරියට යනවා මිස ආපසු හැරෙන්නට බැ .ජනවාරි අට වෙනසට සහය දීපු අයගේ පැතුම එයයි.

පසුගිය දින වල සිදු වූ පෙරළියෙන් පසුව ප්‍රධාන පක්ෂ දෙකට වඩා එකගත්වයෙන් ඕනෑකමින් කටයුතු කලයුතු කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා.අපි කලින් දැක්කා එවැනි අවස්ථාවන් ගිලිහි යනවා එත් මේ ඇතිවූ වෙනසට පස්සේ දැන් අද පැහැදිලි ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සියල්ල එකග වෙලා ඉන්න අවස්ථාවක අප බලාපොරොත්තු වෙනවා ඔවුන් එකගත්වයෙන් වැඩ කරලා ජනවාරි අට ජනතා අභිලාෂයන් ඉදිරියට ගෙන යයි කියල.ඒ සදහා ප්‍රධාන පක්ෂ දෙකට බල කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා .

(ඉහත සදහන්පා වන්නේ පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කළ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාව පිළිබඳ විවාදයේදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහෝදරයා විසින් පළකල අදහස්ය)

Archive

Latest news

Related news