Monday, May 20, 2024

සෝබන කතා පැත්තකින් තියා දූෂණය දුරලන්න

මාර්තු 19 වැනි දා අරලියගහ මන්දියේ පැවති දිව්රුම් දීමේ උත්සවයේදී, අලුතින් පත්වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් අමතා අගමැති රනිල් වික්‍රමසිංහ එක කාරණයක් මතක් කර දී තිබුණි. එනම්, ජනතාව ඔවුන්ව පත්කොට ඇත්තේ අද බයිසිකලයේ එන මහජන නියෝජිතයන් පසුව බෙන්ස් කාර්වල ගමන් කරනු දැකීමට ඇති ආශාවක් නිසා නොවන බවයි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත්, අනුරාධපුර, පොලොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ඔහුගේ පක්ෂයෙන් තේරී පත්වූ පළාත් පාලන ආයතන නියෝජිතයන් අමතා ඊට හරියටම දිනකට පසු, එවැනිම අදහසක් ප්‍රකාශ කොට තිබුණි.

ඔවා දෙනු පහරට – තමා සම්මතෙහි පිහිටා සිට

කෙනෙකු දේශපාලනයට පැමිණිය යුත්තේ සල්ලි හරිහම්බ කර ගැනීමට නොවන බව කියා තිබූ ඔහු, සංවර්ධන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් පස්සේ ඔවුන් ගියොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව ඔවුන්ට හොඳ පාඩමක් උගන්වනු ඇති බවත්, අලුත් මන්ත්‍රීවරුන්ට මතක් කර දී තිබුණි.

මේ නායකයන් දෙන්නාම කියා ඇත්තේ ඔවුන් සැබවින් අදහන ධර්මතාවක් නම් සහ ඒ ගැන ඔවුන් සැබෑ උනන්දුවක් දක්වන්නේ නම්, ශ්‍රී ලංකාවේ දේශපාලනයට වැරදී ඇති තැන ඔවුන් අවබෝධ කරගෙන ඇතැයි අපට සිතිය හැකිය. දේශපාලනයත්, මුළු මහත් රටත් අද විනාශ මුඛයට ඇද වැටී ඇත්තේ, දේශපාලඥයන් තුළ ඇති හරිහම්බ කර ගැනීමේ ආධ්‍යාශය නිසා ය. එම පසුබිම තුළ, නායකයන් දෙන්නා සැබවින්ම තමන් කියන දෙය විශ්වාස කරන දේශපාලඥයන් යැයි ඉහත කී පළාත් පාලන ආයතන අලුත් මන්ත්‍රීවරුන් සිතන්නේ නම්, එකී නායකයන් දෙන්නාගේ කතා ඔවුන්ට දිරවා ගැනීමට තරමක් අපහසු වනු ඇත.

මනෝරාජික සමාජවාදී සිහිනය

ආදායම් ජනනය, රැකියා සම්පාදනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ගමනාගමනය සහ සංහිඳියාව ආදී ක්ෂේත්‍ර ඔස්සේ ජනතා අපේක්ෂා සාධනය සඳහා වන සමස්ත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාවේ යෙදවීමට මෙතෙක් බලයේ සිටි කිසි පක්ෂයක් උනන්දු වී නැත. වාමාංශික පක්ෂ සමාජවාදය වැනි සංකල්ප නම් ඉදිරිපත් කොට තිබේ. එහෙත් එම සංකල්ප වර්තමාන ලෝක තත්වය තුළ මනෝරාජික සිහින බවට පත්වී ඇත. ඇත්තම කතාව වන්නේ, මේ කිසි දේශපාලඥයෙකුට ඉහත කී ආකාරයේ සැලැස්මක අවශ්‍යතාවක් නොතිබීමයි.

එසේම, ඒ ඒ දේශපාලඥයන් දෙස බැලුවොත්, තමන් නියෝජනය කරන ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වූ උතුරේ සහ දකුණේ කැරලිකරුවන් හැරුණු කොට වෙන කිසි දේශපාලඥයෙකු, ආර්ථික සහ සමාජ වර්ධනය පිළිබඳ පුළුල් වැඩපිළිවෙලක් ගැන සිතා නැත. ඔවුන් සියල්ලන්ට අවශ්‍ය කර ඇත්තේ සංවර්ධනයේ නාමයෙන් රාජ්‍ය භාණ්ඩාගාරය සූරාකෑමයි. පළාත් පාලන මට්ටමට එන විට එම නියෝජිතයන් බලන්නේ, තමන්ගේ නෑ හිත මිතුරන්ට හැකි තාක් ප්‍රාදේශීය මට්ටමේ කොන්ත්‍රාත් ලබා දී, ඊළඟ පාලන ස්ථරය වන පළාත් සභා මැතිවරණයකින් ජය ගැනීමයි. එම තත්වයට ගිය පසු ඔවුන්ට තව තවත් වරදාන හිමි වෙයි. ඊළඟට, පාර්ලිමේන්තුව දක්වා යාමට අවශ්‍ය වන ධන සම්පත් උපයා ගැනීම සඳහා අවශ්‍ය බලය ඒ හරහා ඔවුන්ට හිමි වෙයි.

15,000ට ගන්න බැකෝ යන්ත්‍ර

මේ පළාත් පාලන ආයතන සාමාජිකයන්ගේ මාසික වැටුප රුපියල් 15,000 ක් පමණක් වන බව හොඳ හැටි දැනගෙනත්, එම තනතුරට පත්වීම සඳහා මේ තරම් මුදල් සම්භාරයක් ඔවුන් වියදම් කිරීමට පෙළඹෙන්නේ මන්දැයි, මෑතකදී පැවති රූපවාහිනී සාකච්ඡාවකදී, හිටපු කෝප් සභාපති සහ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රශ්න කරන ලදුව ඔහු කියා සිටියේ, තමන්ගේ ධුර කාලය අවසානයේදී මේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු අඩු වශයෙන් බැකෝ යන්ත්‍රයක හෝ හිමිකරුවෙකු වන බව ය.

පාර්ලිමේන්තු මට්ටමට එන විට, මොවුන්ට ධනපතියන් වීමේ හැකියාව තව තවත් වැඩියෙන් ලැබේ. ඊට අමතරව, වාහන බලපත්‍ර, නිවාස දීමනා, දුරකථන සහ ඉන්ධන දීමනා ආදී නොයෙකුත් වරප්‍රසාද බදු ගෙවන්නන්ගේ මුදලින් ඔවුන්ට සැපයෙනු ලැබේ. මෑතක පුවත්පත් වාර්තාවකට අනුව, එක ඇමතිවරයෙකු නඩත්තු කිරීම සඳහා මසකට රුපියල් මිලියන 7.5 ක් ආණ්ඩුවට වැය වෙයි. මෝටර් සයිකලයෙන් පැමිණි මන්ත්‍රීවරුන් ප්‍රකෝටිපතියන් වූ අවස්ථා එමට ඇති බව අපි දනිමු.

හොරු රකින අපි

මේ තත්වය ඇති වන්නේ ඒ ඒ දේශපාලඥයන්ගේ දුර්ගුණයක් නිසාම නොවේ. වැරැද්ද දුටු තැන ප්‍රශ්න නොකරන ජනතාවකගේ සහයෝගයෙන්, දේශපාලඥයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනගාගෙන ඇති කාර්ය ක්‍රමයක් මීට හේතු වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වරදාන වැඩි කර ගැනීමට ගන්නා ලද කිසි ප්‍රයත්නයක් කිසි දේශපාලන පක්ෂයක් විසින් හෝ කිසි වෘත්තීය සමිතියක් විසින් හෝ වෙනත් කිසියම් සමාජ සංවිධානයක් විසින් හෝ අභියෝගයට ලක්කොට නැත. ඒ වෙනුවට අපට දැකිය හැක්කේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයන්ට ප්‍රකෝටි ගණනින් වන මහ පරිමාණ දූෂණ චෝදනා එල්ල වන සෑම අවස්ථාවකම ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා ඒ ඒ පක්ෂවල පාක්ෂිකයන් පෙරට එන සැටි ය. එබැවින් පහළම මට්ටමේ මහජන නියෝජිතයන්ට හොඳින් හැසිරෙන්නැයි කීම. එසේ හැසිරීමක් අපේක්ෂා කළ නොහැකි ක්‍රමයක් දිගටම පවත්වා ගැනීම තුළ, නිරර්ථක වන්නේය.

(2018 මාර්තු 27 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ  Eradicate Corruption Prior to Mouthing Platitudes නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Archive

Latest news

Related news