Friday, March 29, 2024

රනිල්, කරූ සහ බැසිල් දින 250 නොහොත් පලාත් පාලන ආයතන 290 ක පාලනය සදහා මෛත්‍රී-රනිල්-බැසිල් අරගලය – කීර්ති තෙන්නකෝන්

ජායාරූපය: දේශපාලනයේදී තමන්ගේ අලය තමන්ම හාරා ගත යුතුය.

ශ්‍රීලනිප ය තීරණය රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා යටතේ ‘ජාතික ආණ්ඩුව‘ අවසන් කිරීමය. ඒ අනුව, එජාපයට වෙනත් අගමැතිවරයෙකු යෝජනා කිරීමට සිදුවේ. නැතිනම්, ශ්‍රීලනිප හා පොහොට්ටුව එක් වී (බොහෝවිට නිමල් සිරිපාල ද සිල්වා) අගමැතිවනු ඇත. එසේ නොවන එකම විකල්පය එජාප පා.ම. නලීන් බණ්ඩාර කියන  ශ්‍රීලනිප යේ පිරිසක් සමග හදන ‘එජාප තනි‘ ආණ්ඩුවකි.

මේ විකල්ප තුන ලංකාවේ පළාත් පාලනයේ අනාගතය ගමන් මග තීරණය කරනු ඇත.
පොහොට්ටුව තනිව ආයතන 241 ක් දිනා ඇත. එජාපය 41 ක් නමුත් එයින් සන්ධානගත පාර්ශව (රිෂාඩ්, මනෝ, හකීම්, චම්පික) එක්ව සිටීම හෝ වෙන්වීම මත ආයතන 11 ක ඉරණම රදා පවතී.  එවිට එජාපයට ඉතිරිවන්නේ ආයතන 30 කි.   ශ්‍රීලනිප හා පොහොට්ටුව (නිමල් අගමැති) එක්ව ආණ්ඩු කරන්නේ නම් එජාපයට උපරිම ඉතිරිවන්නේ ආයතන 14 කි. එයට ජවිපෙ, රිෂාඩ් හා මනෝ ගනේෂන් සන්ධානය, කෙසෙල් ඇවරිය හා ස්වාධීන කණ්ඩායම් 5 ක තීරණ මත රදාපවතින්නේය.

ඉලක්කම් යථාර්ථයට අනුව, ජනපති අනුග්‍ර‍හය නැතිව, රනිල් අගමැති එජාප තනි ආණ්ඩුවක් යනු ‘එජාපයේ ජීවයවන් පළාත් සභිකයින් සභාපති ධූරය දරන පළාත් පාලන ආයතන 14 සිට 31 දක්වා ගණනකි. ශ්‍රීලනිප නොවන කණ්ඩායම් සමග සන්ධාන ගතවී එය ආයතන 42 + 11 දක්වා ඉහළ නංවිය හැකිය.  නමුත්, ඒ සදහා සැපිරිය යුතු කොන්දේසි රැසකි.

වත්මන් එජාප + ශ්‍රීලනිප සන්ධානය ඉදිරියට යන්නේ නම් ඔවුන්ට ලංකාවේ පළාත් පාලන ආයතන 180 දක්වා ප්‍ර‍මාණයක බලයක් ලබාගත හැකිය. එය සුළු පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සමග තවත් පුළුල් විය හැකිය.  එවිට වත්මන් සන්ධානයේ පාර්ශවකරුවන් ද එලෙසම සිටිනු ඇති අතර ආයතන 200 කට වැඩි සංඛ්‍යාවක සභාපති හා උප සභාපති ධූරය ලබා ගැනීමට හැකිය.

පොහොට්ටුව තනිව පළාත් පාලන ආයතන 241 ක වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව දිනා ඇත. පොහොට්ටු + ශ්‍රීලනිප + අතාවුල්ලා + තොන්ඩමන් සන්ධානයට (නිමල් අගමැති) පමණක් පළාත් පාලන ආයතන 290 කට වැඩි සංඛ්‍යාව සභාපති, උපසභාපති පත් කිරීමේ සෘජු බලය ලැබේ.  වත්මන් එක්සත් ජාතික පෙරමුණු පාර්ශවකරුවන් කිසිවෙකුත් නැතිව ආයතන 301 (300 යැයි සිතමු) ක් දක්වා බලය ලබා ගැනීමේ අවස්ථාවක් ඇත. ඉතිරියෙන් බහුතරය ද්‍ර‍විඩ ජාතික සන්ධානයට හිමිවේ.

පොහොට්ටුව දිනලා ද?

 

රාජිත හා රනිල් කියන්නේ මහින්ද දිනා නැති බවයි. ඒ ජනාධිපතිවරණය ප්‍ර‍තිඑලය සලකා කරන ඉලක්කම් විජ්ජාවකි.  නමුත්, පොහොට්ටුවට තනිව බලය ලබාගත හැකි ආයතන සංඛ්‍යාව 50 – 80 දක්වා සාධක 3 ක් මත දෝලනය වේ. මේ මැතිවරණ ක්‍ර‍මය නිසා ආයතන 241 ක වැඩිම ඡන්ද ලැබූ නමුත් තනිව ආයතන පිහිටුවීම සිදුවන්නේ නම් පොහොට්ටුව යටතේ පාලනය වන ආයතන සංඛ්‍යාව ¼කට (80 යැයි සිතමු) අඩුය.

එජාපයේ තවත් නායකත්ව කැරැල්ලක් ඇතිවී තිබෙන්නේ මෙන්න මේ පරිසරය යටතේය.

රනිල් ඉවත් වී කරූ, සජිත් හෝ වෙනත් අයෙකු යටතේ දිගටම ‘සන්ධාන ආණ්ඩුවක්‘ ලැබෙන්නේ නම් පැරදුණු එජාපයට හා ශ්‍රීලනිප යට ආයතන 180 දක්වා සභාපති, උප සභාපති පත් කර ගත හැකිය.  (මෙය විකෘතියක් නොවේ. එජාපය 32% + ශ්‍රීලනිප 10%  = 42%  නිසා සහ පොහොට්ටුව තනිව ලබා ඇත්තේ 45% නිසාය)

සන්ධානයක් පැවතීමට පාර්ශව දෙකක කැමැත්ත අවශ්‍යය.  එය එජාප + ශ්‍රීලනිප සන්ධානය හෝ ශ්‍රීලනිප + පොහොට්ටු සන්ධානයකි.  සරළව, කියන්නේ නම් ශ්‍රීලනිප පළාත් පාලන ආයතන 160 සිට 170 දක්වා ප්‍ර‍මාණයක සභාපති/උපසභාපති පත් කිරීමේ තීරක බලය ලබා ඇති අතර, ඔවුන්ට මාවත් දෙකක් විවෘතය.

එජාපයට රනිල් සමග ආයතන 21 ක් සමග තනීවීම හෝ රනිල් නොවන වෙනත් අයෙකු (කරූ හෝ සජිත්) සමග ‘ජාතික ආණ්ඩුවක් තනා‘ පළාත් පාලන ආයතන බහුතරයකට බලය ලබා  ගැනීමට හැකිය.

ශ්‍රීලනිප ට තම සුපුරුදු මහ ගෙදරට එකතු වී අගමැති නිමල් සිරිපාල ද සිල්වා සමග පළාත් පාලන ආයතන 275 දක්වා ප්‍ර‍මාණයක බලය දිනාගත හැකිය.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකට අවශ්‍ය වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය පිහිටුවීමය. ඒ සදහා හොදම විකල්පය කරු – සජිත් අතට අගමැති – පක්ෂනායකත්වය පත් කර ජනාධිපති සමග මෛත්‍රී ගේ ශ්‍රීලනිප සමග ‘ජාතික ආණ්ඩු‘ කිරීමය. නමුත්, මලික්, රාජිත, රනිල් ත්‍රිත්වයට අවශ්‍ය ජනාධිපතිට බලහත්කාරකම් කොට රනිල් අගමැති ධූරයේ සිටිමින් පළාත් පාලන ආයතනවල 150 – 200 බලය පිහිටුවීමය. ඔවුන්ට අමතකවී ඇත්තේ බලහත්කාරයෙන් ‘ජාතික ආණ්ඩු සෑදිය නොහැකි බව‘ සහ 2018 අප්‍රේල් සබරගමු-උතුරුමැද-නැගෙනහිර පළාත් සභා ඡන්දය ඇති බවය. එයින් රාජපක්ෂවරුන් සමග එන ‘බන්දුල ගේ පොල්ලෙලි තියරිය‘   සියල්ලට වඩා බලවත්ය.

බැසිල් තියරිය

 

පොහොට්ටුවේ මහ මොළය බැසිල් රාජපක්ෂය.  ශ්‍රීලනිප අගමැතිවරයෙකු යනු පළාත් පාලන ආයතන 290 ක් තමන් අතේ බව ඔහු දනී. තනි ආණ්ඩුවක ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන හා මුදල් අමාත්‍යාංශය හරහා ‘දැවැන්ත ඇස්බැන්දුම් සංවර්ධනයක්‘ කළ හැකිය. පළාත් සභා, ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් එහි ඉලක්ක යි. බැසිල් ගේ දින දින 100 වැඩසටහනේ නම ‘දින 250 කින් 2/3 ක් සහිත පොහොට්ටු පාර්ලිමේන්තුව‘ කි.

ප්‍ර‍තිඑල ලැබී ඇත්තේ පලාත් පාලන ඡන්දයේ ය. එජාපය හිර වී ඇත්තේ රනිල් වික්‍ර‍මසිංහ කේන්ද්‍ර‍ගත වසර 24 ක් පුරා දිග් ගැසුණු නායකත්වය අර්බුදයකය.  එහි දී රනිල්ට පලාත් පාලන ආයතන බහුතරයකට එජාප සභාපති/උපසභාපති පත්වන්නේ ද? නැද්ද? යන්න අදාළ නැත.  නමුත් එජාපයේ බහුතරයට අවශ්‍ය ගුවන හෝ වන්දියක් ගෙවා පක්ෂය වෙනස් කර ගැනීමය.  2005 සිට 2014 දක්වා සිදු වූ පක්ෂ නායකත්වය වෙනස් කර 2020 ‘තනි පාර්ලිමේන්තු ආණ්ඩුවක්‘ හැදීමය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට සහ ශ්‍රීලනිප යේ ඇමතිවරුන් බහුතරයකට රනිල් සමග ගමණක් නැති බව පැහැදිලිය.  එලෙසම, ජනපති ට හා ශ්‍රීලනිප  සුළුතරයකට (උදා දුමින්ද-අමරවීර-අමුණුගම-සමරසිංහ-වීරක්කොඩි වැනි 12 කට පමණ) මහින්ද රාජපක්ෂ පවුල සමග ද ගමනක් නැත. ඔවුන්ට ඇති එකම විකල්පය එජාපයේ රනිල් නොවන වෙනත් ඕනෑම අගමැතිවරයෙකු පත් කොට පළාත් පාලනයේ බහුතරයක සභාපති/උපසභාපති කම් එජාපය සමග හවුලේ කිරීමය.  අනෙක් අතට, ශ්‍රීලනිප හා පොහොට්ටුව එක් වන්නේ නම් යන එන මං නැතිවන ශ්‍රීලනිප 12 ක් පමණ මියෙම්වා – රැකෙම්වා කියා එජාපයට එනු ඇත.  එයින් රනිල් ගේ අගමැති අර්බුදය පමණක් මාස 3 කට පමණ විසදෙනු ඇත.
[alert type=”success or warning or info or danger”]
මෛත්‍රී හා කණ්ඩායමට අඩි 6 ක් පොළව යට සිහිවනු ඇති අතර,   FCID, CID, FIU, විමර්ශන නිලධාරී, සිවිල් ක්‍රියාකාරීන්ට නම් යුරෝපයේ සරණාගත අයදුම්පත් පිරවිය හැකිය. [/alert]

වත්මන් දේශපාලන වියවුල, මෛත්‍රී ගේ දේශපාලන ජීවිතය තීරණය කරනු ඇති අතර, බැසිල් ට රාජ්‍ය බලය ලබා ගැනීම සදහා ගත වන කාලය පමණක් තීරණය කරනු ඇත.

අනෙක් අතට, වත්මන් දේශපාලන වියවුල, රනිල් ට අගමැතිකම කරන කාලය පිළිබද ප්‍ර‍ශ්නය  පමණක් වී ඇති අතර, එජාප සෙසු නායකයින් හා පළාත් සභා සභිකයින්ට පළාත් පාලන ආයතනයේ බලය (තම දේශපාලන ජීවිතය) බවට පත් වී ඇත.

2014 නොවැම්බර් රනිල් නොවන පොදු අපේක්ෂකයෙකුට සහාය පළ කළ ලෙසම ද්‍ර‍විඩ ජාතික සන්ධානය ‘රනිල් නොවන එජාප අගමැතිවරයෙකුට‘ යටතේ ‘ජාතික ආණ්ඩුව‘ පවත්වා ගෙන යාමට සහාය පළ කර ඇත.

එජාපය ඡන්දය දිනුවා නම්

යම් ලෙසකින් එජාපය මේ මැතිවරණයේ දී 45% ක ඡන්දයක් ලැබුනම්, අද, රනිල් පත්ව සිටින තැන සිටින්නේ ජනපති මෛත්‍රී හා පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ දෙදෙනාය. ප.ම. නලීන් බණ්ඩාර කියූ ලෙස රනිල් තිනි එජාප ආණ්ඩුවක් මේ වන විටත් සදා අවසන්ය.  මහ බැංකුවේ අධිපති පත්වීම ගන්නට අර්ජුන් මහේන්ද්‍ර‍න් නැවතත් ලංකාවට පැමින අවසන්ය.

දේශපාලනයේ දී තමන්ගේ අලය තමන් විසින් හාරා ගත යුතුය.  එජාපයට 24 වසරක රනිල් යුගය අවසන් කර ජයග්‍රාහී මාවතකට පැමිණිය හැකිය.   එලෙසම,  ශ්‍රීලනිපට බැසිල් රාජපක්ෂ සමග ‘තනි ආණ්ඩුවක් සදහා‘ වන අධිවේගී බස්රථයට නැගිය හැකිය!  ස්වාමියා වෙනුවෙන් ජීවිතය දෙන්නේ වහල්ලුය.  මෛත්‍රී වෙනුවෙන් ද, රනිල් වෙනුවෙන් ද, සිටින වහලුන් ගණන ඉදිරි සතියේ දී තීරණය වනු ඇත.

(කරූ ජයසූරිය හා අගමැති රනිල් වික්‍ර‍මසිංහ අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවනු ඇත)

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

 

 

 

Archive

Latest news

Related news