Monday, May 20, 2024

දේශපාලනික සහ ආගමික නායකයන්ගේ කුහකත්වය – පී. සෝම පාලන්

ජනවාරි 17 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ මුල් පිටුවේ පළවූ ප්‍රධාන ප්‍රධාන වාර්තා දෙකක් පිළිබඳ මගේ අවධානය යොමු වෙයි:

(1) “පිරිමින්ට පුළුවන් නම් බාර් පාලනය කරන්න සහ බාර්වල වැඩ කරන්න, ගැහැනුන්ටත් පුළුවන් වෙන්න ඕනේ”- පළාත් සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා
(2) “සංස්කෘතියට ගරු කිරීමක් වශයෙන් ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත්තා”- අමාත්‍ය මහින්ද සමරසිංහ
මීට කලින් තවත් වාර්තාවක මෙසේ සඳහන් වී තිබුණි:

“මත්පැන් හල් විවෘතව තබන වේලාව දිග් කිරීම සහ මත්පැන් විකිණීම අපේ සංස්කෘතියටත් සාරධර්මවලටත් විරුද්ධයි”- අතුරලියේ රතන හිමි.

මත්පැන් හල්වල ගැහැනුන් වැඩ කිරීම සහ මත්පැන් හල් වැඩි වේලාවක් විවෘතව තැබීමට පක්ෂව කතා කොට තිබූ සරත් ෆොන්සේකාගේ මතය, ගැසට් නිවේදනය ඉල්ලා අස් කර ගත් මහින්ද සමරසිංහ විසින් නිෂ්ප්‍රභා කොට ඇත. මේ ආණ්ඩුව මීට පෙරත් ඇතැම් නිශ්චිත තීන්දු ගැනීමෙන් අනතුරුව ඒවා ඉල්ලා අස්කර ගත් අවස්ථා එමට ඇතත්, මගේ අදහස් දැක්වීම මෙම කාරණයට පමණක් සීමා කරමි.

ප්‍රතිපත්තිමය තීරණ ගැනීමෙන් සහ ඒවාට අදාළ නීතිරීති/රෙගුලාසි ඇති කර ගැනීමෙන් අනතුරුව එම තීරණ ආපස්සට හැරවීම, ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම මේ ආණ්ඩුවේ ගොබ්බ ඇබ්බැහියක් වී ඇත. විවිධ කාරණා සම්බන්ධයෙන් වන අධිෂ්ඨානය සහ කැපවීම අරභයා ආණ්ඩුව දක්වන චපල බව මේ කරුණුවලින් විසද වෙයි. ගැසට් මාර්ගයෙන් දැනුම් දීමට කලින් මෙවැනි ප්‍රතිපත්තිමය තීන්දු සහ ක්‍රියාකාරකම් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කොට අනුමත කර ගන්නේ නැතිවාවත් ද? මන්ද යත්, ඒ හැම තීරණයක්ම අපේ සංස්කෘතියට සහ සාරධර්මවලට පටහැනි බව මොවුන් දැනගන්නේ යම් කලක් ගතවීමෙන් පසුව වන බැවිනි.

දේශපාලඥයන් සේම ආගමික පාර්ශ්ව විසින් ද කරනු ලබන මේ සාර්වත්‍රික සජ්ජායනා තුළ ඇති බොල් බව, පාරට බැස්සොත් කෙනෙකුට ඇස්පනාපිට දැක ගත හැකි වනු ඇත. මෙසේ උඩ දමනු ලබන සංස්කෘතිය සහ සාරධර්මවල ස්වභාවය, සාමාන්‍ය මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව, උගත් යැයි සැලකෙන සහ සංස්කෘතික යැයි සැලකෙන පිරිස් වෙතින් ද විද්‍යමාන වෙයි. ඔවුන්ගෙන් සියයට 90 ක්ම අසංස්කෘතික යැයි ද, අශිෂ්ඨ යැයි ද කීමට මම නොපැකළෙමි. මහ පාරේ යන වෛවාරන්න පොදු ජනතාව සේම වාහනවල යන එන්නන් ද කියාපාන්නේ අපේ ජාතික සංස්කෘතියේ සහ සාරධර්මවල තරමයි. ඒ අනුව, අපේ දේශපාලඥයන්ගේ සහ ආගමික පූජකයන්ගේ දේශනා හුදෙක් කුහකත්වය මිස වෙන දෙයක් නොවන බව පැහැදිළි වනු ඇත.

සරත් ෆොන්සේකා කියන කතාව ටක්කෙටම නිවැරදි ය. මත්පැන් හල්වල වැඩ කිරීම ගැහැනුන්ට තහනම් කිරීම අවිචාරවත් සහ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝණය කිරීමක් නොවන්නේ ද? ඔවුන්ට එම අයිතිය පැවරීම අපේ සංස්කෘතියට සහ සදාචාරයට පටහැනි යැයි කියන දේශපාලඥයෝ සහ ආගමික නායකයෝ, මැද පෙරදිග කඹුරන අපේ ගැහැනුන් ගැන කටක් නාරිති. එම ගැහැනු ෂීක්වරුන්ගේ වැසිකිළි පවා සෝදති. එහිදී අපේ සංස්කෘතිය සහ සදාචාරයට වඩා වටින්නේ මුදල ය. ඔවුන් එවන ඩොලර් කාසි නොවන්නට අපේ ආර්ථිකය කඩා වැටෙනු ඇත. එසේ තිබියදී, අනුන්ගේ සංස්කෘතියට වඩා අපේ සංස්කෘතිය විශිෂ්ට යැයි කියන දේශපාලඥයන් සහ ආගමික නායකයන් කුහකයන් නොවන්නේ ද?

අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ඉහත කී ගැසට් නිවේදනය ඉල්ලා අස්කරගෙන ඇත්තේ, රාත්‍රී 10 දක්වා බාර් විවෘතව තැබීම අපේ සංස්කෘතියට පටහැනි යැයි කියන අතුරලියේ රතන හිමියන්ගේ මතයට ගරු කරමින් විය යුතුය. මේ තර්කයේ බරපතල පරස්පරයක් තිබේ. උදේ 8 සිට රාත්‍රී 8 දක්වා මත්පැන් විකිණීම අපේ සංස්කෘතියට එකඟ ද? මේ වනාහී, සදාචාරය විකාරයක් කර ගැනීමක් නොවේද? සදාචාරය, ගුණ ධර්ම සහ යහපත පිළිබඳ සංකල්ප වනාහී, කාලය, ස්ථානය සහ පුද්ගලයාගෙන් ස්වායත්ත, පරම අරුතක් ගෙන දෙන ප්‍රපංචයන් ය. යමක් රාත්‍රී 8 පසුව පැවතීම සදාචාර විරෝධී නම්, එම දෙයම රාත්‍රී 8 පෙර කිරීම සදාචාරවත් වන්නේ කෙසේද? සදාචාරය, සංස්කෘතිය සහ සාරධර්මවලට කාලානුක්‍රමයක් නැත. මත්පැන් නිෂ්පාදනය, විකිණීම සහ පාවිච්චිය අපේ ජාතික සංස්කෘතියට සහ සදාචාරයට පටහැනි නම්, ඒ පිළිබඳ කුහක දේශනා පැවැත්වීම පසෙකින් තබා කෙනෙකු කළ යුතුව ඇත්තේ ඒවා තහනම් කිරීමයි. මත්පැන් පිළිබඳ බෞද්ධ මතයට එම තහනම අනුකූල ය. එහෙත් එවැන්නක් කිරීමට තරම් ආගමික සහ සදාචාර හයියක් ඇත්තේ කාට ද? එහිදීත් වැදගත් වන්නේ, ඊනියා සංස්කෘතියට සහ සාරධර්මවලට වඩා, මුදලයි. සත්‍යය වන්නේ, අප ජාතියක් වශයෙන් සදාචාරවත් සහ සැදැහැවත් වෙනවාට වඩා පිරිහී ඇති බවයි.

ප්‍රමුඛ වැදගත් කමක් සේ සලකා දේශපාලඥයන් විසින් අද මුලින් කළ යුතුව ඇත්තේ, මත්පැන් විකිණීමේ සුභ කාලය නිශ්චය කිරීමට කලින්, අපේ ගැහැනුන් කළ යුතු හෝ නොකළ යුතු රැකියා කවරේදැයි විනිශ්චය කිරීමේ බලය තමන් වෙත පවරා ගැනීමට කලින්, දූෂණය සහ අල්ලසින් තමන්ව ශෝධනය කර ගැනීමයි. අපේ දේශපාලනික සේම ආගමික නායකයන් ද, කුහකත්වය පසෙක ලා, සදාචාරය, සංස්කෘතිය සහ සාරධර්ම පිළිබඳ වැදි බණ නොකියා, රටේ ලෞකික සංවර්ධනය සඳහා උරදීමට කාලය පැමිණ තිබේ.

2018 ජනවාරි 20 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  Hypocrisy of Political & Religious Leaders නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

 

Archive

Latest news

Related news