Tuesday, July 16, 2024

‘දණ ඇනගෙන මානව හිමිකම් රකින්න බැහැ‘- එජා හිමිකම් කොමසාරිස් සෙයිද් කළකිරී යන්න යයි!

ජායාරූපය: මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්.

තමා තවත් වසර හතරක් සිය ධුරයෙහි කටයුතු කිරීමට කැමැත්තක් නැතැයි සිය කාර්ය මණ්ඩලයට ප්‍රකාශ කර ඇති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් 2018 පූනි මාසයෙන් පසු තමන් තනතුරෙන් ඉවත්ව යන බව දන්වා තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු අනෙක් ලෝක බලවතුන් මානව හිමිකම් සම්බන්ධයෙන් වු ඉතිහාසිය කැපවීම් කෙරෙන් ඉවත්ව යෑම නිසා තම හඬ නෑසී යනු ඇතැයි ඔහු හේතු වශයෙන් දක්වා තිබේ. සෙයිද් මේ බව කියා සිට ඇත්තේ වර්ශ අවසානයේහි සිය කාර්ය මණ්ඩලයට යැවූ විද්යුත් ලිපියක් මගිනි. ඔහුගේ ධූර කාලය 2018 ජූනි මාසයෙන් අවසන් වේ.

‘ ලබන වසර මගේ අවසන් ධූර කාලය වනු ඇත. අාවර්ජනාවකින් පසු දෙවන සිව් වසරක් ඉල්ලා නොසිටීමට මම තීරණය කළෙමි. වත්මන් භූ-දේශපාලන සංදර්භය තුල යළි මෙම තනතුර ලබා ගතහොත්  දණ ගසා අයාචනා කිරීමටත්, උපදේශනාත්මක ප්‍රකාශයක් හකුලා ගැනීමටත්, සහ මගේ ප්‍රකාශණයන්හි එනම් ඔබේ හඩෙහි ස්වාධීනත්වය සහ අවංකත්වය බාල කිරීමටත් සිදුවන්නට ඉඩ තිබේ.’ යැයි සෙයිද් එම ලිපියෙන් කියා  තිබේ.

ඩොලන්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති බවට පත්වීමෙන් පසු මානව හිමිකම් කෙරෙහි අඩු සැළකිල්ලක් දැක්වීමත්, වධහිංසා පැමිණවීම සාධාරණ කිරීමත් සිදු විය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වන ධන කුවේර රෙක්ස් ටිලර්සන් කියන්නේ මානව හිමිකම් අගයන් ප්‍රවර්ධනය කිරීම ආර්ථික සහ ආරක්ෂක අවශයතාවයන්ට බාධාවක් වියහැකි බවය.

අනෙක් අතට ලෝක බලවතා වශයෙන් නැගී එන චීනය මානව හිමිකම් සළකන්නේම නැත.

මැදපෙරදිග යුද්ධ නිසා ඇතිව තිබෙන දශ ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමනික ප්‍රශ්ණ සහ අසිසිස් ත්‍රස්තවාදය හමුවෙහි යුරෝපයෙහි ද මානව හිමිකම් අර්බූදකාරී තත්වයකට පත්ව තිබේ. අන්ත දක්ෂිනාංශික බලවේග යුරෝපයෙහි මෙන්ම ලොව අනෙක් කලාපයන්හිද බලවත් වෙමින් තිබෙන්නේ එම පසුබිම තුළය.

කණගාටුවකට මෙන් සෙයිද් සිය ධූරයෙන් ඉවත්ව යෑමට තීරණය කර ඇත්තේ වඩ වඩා ප්‍රබල මානව හිමිකම් උපදේශණයන් අවශ්‍ය කැරෙන කාල වකවානුවකදීය. ලෝක රාජ්‍ය නායකයින් මානව හිමිකම් ප්‍රවර්ධනය කරන කාලයන්හිදී පමණක් මානව හිමිකම් පිළිබඳ කතා කිරීම ලොකු දෙයක් නොවේ.

ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි දැඩි විවේචනාත්මක ආකල්පයක් ගත් නිසාම සෙයිද් ඉවත් කළ යුතු බවට ඇමෙරිකාව බලපෑම් ගෙන එන ලද්දේද යන්න පැහැදිළි නැති නමුත් එය නොසළකා හැරිය හැකි කරුණක් නොවේ.

කෙසේ වෙතත් සෙයිද්ගේ තැන ගැනීමට මානව හිමිකම් ආරක්ෂකයන් ඉදිරියට පැමිනීම අනීවාර්යයෙන් සිදුවනු ඇත. සෙයිද්ගේ ඉවත්ව යෑම මානව හිමිකම් කවුන්සිලය දුර්වලවීමට හේතුවක් වනු ඇතැයි සිතිය නොහැකි නමුත් මේ විසින් පෙන්වාලන්නේ වත්මන් ලෝකයෙහි මානව හිමිකම් සුරැකීම කොතරම් අභියෝගයක්ද යන්නයි.

සිය ධූරකාලයේ අවසන් මාස කිහිපය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය ප්‍රවර්ධනය කිරීමට යෙදවීමට අපේක්ෂා කරන්නේයැයි සෙයිද් ප්‍රකාශ කර තිබේ.

 

 

 

 

 

Archive

Latest news

Related news