Wednesday, April 24, 2024

පළාත් පාලන මැතිවරණ සිතියම අකුලුවත් ආණ්ඩුවට පළාත් සභා මැතිවරණ කල් දාන්න බැහැ!

ජායාරූපය; ඒකාබද්ධ පුවත්පත් සාකච්ජාවෙහිදී අදහස් දක්වන රජිත් කීර්ති තෙන්නකෝන්.

සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පළාත් සභා මැතිවරණ කල් දැමීම ජනමත විචාරණයකින් තොරව බෑ.

යහපාලන රජය ලංකාවේ මැතිවරණ සිතියම අකුලමින් සිටිනවා.  නිල විපක්ෂයත් – ඒකාබද්ධ විපක්ෂයත් තමන්ගේ කාළේ එනකල් කල් මරණ අතර ඒකාබද්ධ විපක්ෂයේ හිටපු සහ වෙන්ඩ මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමටත්- මැතිවරණ නිරීක්ෂකයින්ටත් ෆෙස් බුක් පෝස්ට් දාමින් සිටිනවා.  ඒ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමූ අයුරින්ම ‘පළාත් සභා තුනක‘ මැතිවරණ කල් දැමීමට රජය උත්සහ දරමින් සිටිනවා.

මැතිවරණ කල් දැමීම ගැන ‘මැතිවරණ කොමිසමට‘ හා මැතිවරණ නිරීක්ෂකයින්ට චෝදනා කරලා වැඩක් නෑ.  අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පළාත් පාලනය විතරක් නොවෙයි පළාත් සභා මැතිවරණ කල් දැමීම ගැන සාධනීය විරෝධයක් නෑ.  කම්කරු දිනයට ලක්ෂ ගණන් පෙළපාලියට කැදවන පක්ෂ කිසිවක් මැතිවරණ කල් දමා ගැනීමට එරෙහිව මිනිස්සු පන්සීයක් කොළඹට කැදවන්නේ නෑ.  යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.  ඔහු මේ බව පැවසූවේ අද කොළඹ පදනම් ආයතනයේ දී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 7 ක් එක්ව පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.

පළාත් පාලන මැතිවරණය සදහා සීමා නිර්ණය අභියාචනා අවසන්ව ගැසට් පත්‍ර‍ය පළ කොට ඇත.  පළාත් පාලන ආයතනයන් හි සාමාජික සංඛ්‍යාව ද ගැසට් කොට අවසන්.  නමුත් එය බලාත්මක වන්නේ 2017 ජූලි 1 දා සිට ය.  පළාත් පාලන පනතට සංශෝධන 50 කට වැඩි සංඛ්‍යාවක් ඇතුලත් පනතට යෝජිත සංශෝධන මේ වන විට සකස් කොට ඇත. නමුත්, ඒවා මීලග පාර්ලිමේන්තු සැසිවාරයට හෝ සභාගත වන්නේ නැත.

මැතිවරණය පැවැත්වීමේ කොන්දේසි/නීති රීති නැතිව ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකිය.  ඒ සදහා බලය ඇත්තේ එජාපය, ශ්‍රීලනිප, ද්‍ර‍විඩ සන්ධානය, ජවිපෙ, මුස්ලිම් කොන්ග්‍ර‍සය යන පක්ෂවලින් සමන්විත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ට ය.   පවත්නා නීතියේ දුබලතාව අප අවුරුදු 4 කට පෙර හෙළි කළා. විවේචණය කළා.  ඒ බව  පසුගිය වසර 4 කට වැඩි කලක් පළාත් පාලන මැතිවරණ කල් දැමූ මේ දේශපාලන පක්ෂ හොදින්ම දන්නවා.

පළාත් පාලන මැතිවරණය පවත්වන්න පාර්ලිමේන්තුවේ අද ඉන්න කිසිම පක්ෂයට සැබෑ උවමනාවක් නෑ. ඒ නිසා ඔවුන් සටන මහ පොළොවට ගේන්නේ නෑ.  හිටපු මන්ත්‍රීවරු සහ මන්ත්‍රී බලාපොරොත්තුව ඇති පුද්ගලයින් අසරණ වෙලා. රටම අසරණ අකර්මන්‍ය වෙලා. ඒ අතර, යහපාලන සිවිල් සමාජ ‘මැතිවරණ කල් දැමීම ගැන ගොලුවෝ කසාය බිව්වා වගේ‘ ප්‍ර‍තිපත්තියක් අනුගමනය කරනවා.

පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ඉතිහාසය

2008 මාර්තු 10 දින ලංකාවේ අන්ත දුෂිත මඩකලපු පළාත් පාලන මැතිවරණය පැවැත්වුණි.  මඩකලපුව මහ නගර සභාව, එරාවුර්පත්තු, කෝරළේපත්තු, කෝරළේපත්තු උතුර, දකුණ, මන්මුණේ , මන්මුණේ බටහිර හා නිරිත, සහ පෝරතිවුපත්තු යන පළාත් පාලන ආයතන 9 හි ධූර කාලය 2012 මාර්තු 10 දින අවසන් විය.  එදා සිටි පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එම කාලය වසරකින් එනම් 2013 මාර්තු 17 දක්වා කල් දමනු ලැබීය.

2012  සැප්තැම්බර මාසයේ පලාත් පාලන ආයතනය මිශ්‍ර‍ ක්‍ර‍මයට තැබීමේ සංශෝධන පනත සම්මත වු අතර එය බලාත්මක කිරීමට නියමිතව තිබුණේ අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් මගිනි.  ජයලත් – රවී සීමා නිර්ණය කොමිසම පත් කොට සීමා නිර්ණය කටයුතු සිදු කරමින් යන අතර තුර අවශ්‍ය නම් පළාත් පාලන ඡන්ද විමසීම පැරණ සමානුපාතික ක්‍ර‍මයට පැවත්වීමේ හැකියාව තිබුණි.

එදා මැතිවරණ කොමසාරිවරයා 2012 දෙසැම්බර් මස අවසානයේ දී මඩකලපුව පළාත් පාලන මැතිවරණ සදහා නාම යෝජනා කැදවීම සිදු කිරීමට තමන් සුදානම් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දෙනු ලැබීය.   එවිට බලයේ සිටි මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ පලාත් පාලන සංශෝධන පනත අතාවුල්ලා ඇමතිරවරයා ලවා 2013 ජනවාරි 1 දින සිට බලාත්මක කරවීමය. රාජපක්ෂ ආණ්ඩුව පළාත් පාලනය කල් තැබුවේ එළෙසය.

ඒ හේතුව නිසා සමානුපාත ක්‍ර‍මයට මඩකලපුව ඡන්දය පැවැත්වීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට නොමැති විය.

පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු සෙල්ලම

කුප්‍ර‍කට සංවර්ධන සභා ඡන්ද විමසීමෙන් පසුව මුලතීව් හි පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු හි මහජන නියෝජිතයින්ගෙන් යුතු පළාත් පාලනයක් ස්ථාපනය නොවීය.  බැසිල් රාජපක්ෂ මහතා ගේ සුවච කීකරු ගෝලයා වීම හේතුවෙන් අද වැඩ තහනමට ලක්ව සිටින දිවි නැගුම අධ්‍යක්ෂ ජෙනරාල් රණවක මහතා එම ඡන්ද කල් දැමීමේ මහ මොළය විය.  ඔවුන් සිදු කළේ රිෂාක් බදුර්දීන් ගේ ගෝලයින් දෙදෙනෙකු ලවා එම ඡන්ද විමසීමට එරෙහිම නඩු පැවරීමය.   දේශපාලන පක්ෂ ලියාපදිංචිය වසර 6 කට සිදු කළ නොහැකිවු අවුල් ජාලය අදටත් ලිහා  ගත නොහැකිව ඇත්තේ මුලතීව් ඡන්ද කල් දැමීමේ සෙල්ලමෙනි.

යාපනය මහ නගර සභා සහ වව්නියා නගර සභා මැතිවරණ

වව්නියා නගර සභාවේ කාලය මහින්ද පාලනය යටතේ 2013 අගෝස්තු මස අවසන් විය.  අද දක්වාම ඡන්ද විමසීමක් නැත.   යාපනය මහ නගර සභාවේ කාලය 2013 අගෝස්තු 31 දින අවසන් විය.  එදා පළාත් පාලන අමාත්‍ය ඒ.එල්.එම්.අතාඋල්ලා මහතා එහි කාලය 2014 අගෝස්තු 31 දක්වා දීර්ඝ කළේය.  ආණ්ඩු දෙකම මැතිවරණ පැවැත්වූවේ නැත.

යහපාලන රජය මහ නගර සභා 3 ක්, නගර සභා 30 ක්, ප්‍රාදේශීය සභා 201 ක කාලය 2015 මැයි 15 දක්වා දීර්ඝ කළේය. තවත් පළාත් පාලන ආයතන රැසක කාලය  2016 මැයි 30 දින දක්වා දීර්ඝ කළ කාලය අවසන් කළේය.

මහින්ද ආණ්ඩුව ආරම්භ කළ පළාත් පාලන මැතිවරණ කල් දැමීම දිගටම පවත්වාගෙන යාමට ‘යහපාලන රජය‘ කැපවී සිටින  බව පැහැදිලිය.  මේ මැතිවරණ කල් දැමීම අද රටම ගද ගස්සවමින්, පාලාත් පාලන බිද දමා තිබේ.

මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාව ඇත්තේ කාටද?

එජාපය, ශ්‍රීලනිප, ජවිපෙ යන පාර්ශව තුනටම පළාත් පාලන මැතිවරණ අවශ්‍ය නැති බව ඉතා පැහැදිලිය.  ඔවුන්ට ඇත්තේ තම පක්ෂයේ නම රැක ගෙන සිටීමය.  ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්ට ඡන්දය හැකි ඉක්මනින් අවශ්‍යය.  මැතිවරණය සදහා හඩක් නගන්නේ ඔවුන් ය. නමුත්, පක්ෂ නායකත්වයට පළාත් මැතිවරණයක් අවශ්‍ය ද? ඔවුන්ට ද අවශ්‍යව ඇත්තේ හැකි උපරිම කාලයක් පළාත් මැතිවරණ කල් දමා ගැනීමය.  එසේ නොවේ නම් මහින්ද – බැසිල් යුවල මැයි දිනයේ මෙන් දැවැන්ත ජන සන්නිපාතයක් කොළඹට කැදවා පාර්ලිමේන්තුව වටකොට ඡන්දයක් ඉල්ලා සිටිනු ඇත.  මැයි දිනයට ඇති ප්‍ර‍මුඛත්වය ඔවුන් පළාත් පාලන මැතිවරණයට දෙන්නේ නැත!

අනෙක් අතට එජාපයේ හිටපු සභිකයින්ටත්, අලුතෙන් තරග කරන්නට බලා සිටින පිරිසටත් හැකි ඉක්මනින් ඡන්දයක් අවශ්‍යය.  රාජපක්ෂ රජයට එරෙහිව ගමේ ඉහළම ශක්තියත්, ජනප්‍රියත්වය තිබූනේ මේ එජාප මන්ත්‍රීවරුන්ටය.  ඔවුන්ට යහපාලනයෙන් කිසිවක් ලැබී නැතිවා පමණක් නොව තමන්ට තිබූ ‘සමාජ පිළිගැනීම‘ ද නැත්තටම නැතිවී ඇත.

ශ්‍රීලනිප යේ මෛත්‍රී පාර්ශවයේ බහුතරය ඇත්තේ දේශපාලනික වශයෙන් තීරණයක් නැති තැනකය.  ඔවුන්ට අවශ්‍ය නායකයින් එක්වූ පසුව මැතිවරණයක් පැවැත්වෙනු දැකීමය. අනෙක් අතට එජාප-ශ්‍රීලනිප පක්ෂ නායකත්වයට කිසිදු අයුරකින් ඡන්ද විමසීමක් අවශ්‍ය බවක් පෙනෙන්නට නැත.

මැතිවරණ කල් දැමීම තුලින් රජය එක්සත් ජාතීන්ගේ ප්‍ර‍ඥාප්තිය උල්ලංඝනය කරයි.  රටේ ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි.  එයට එරෙහිම රටේ සියළුම මැතිවරණ නිරීක්ෂණ ආයතන එකම වේදිකාවට එක්වී සිටී.  මැතිවරණ සිතියම ඇකිලිමේ ප්‍ර‍තිඑල ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව විසින් විද ඇත. එවැනි අවසනාවන්ත තත්වයක් නැවත ඇතිවීම වලක්වා ගැනීමට මැතිවරණ කල් දැමීමට එරෙහිව සියළු දෙනා එක් විය යුතුව ඇත.

මෙම මාධ්‍ය හමුවට මෙරට ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 7ක නියෝජිතයෝ එක්ව සිටියහ

 

Archive

Latest news

Related news