Wednesday, April 24, 2024

නවක වදය, ජවිපෙ සහ පිඩාවට පත්වන දුගී සිසු සිසුවියන්

ජායාරූපය: ජවිපෙ දේශපාලනය අමුඩයට බැසිම ©Sanka Vidanagama

ලංකාවේ ඇති එක්තරා දේශපාලන පක්ෂයකි…! සමස්ථ චන්ද වලින් 5% වත් ලබාගත නොහැක. කථාකරන්නේ සමාජවාදය ගැනය. කථාවෙන් ඔවුහු කාල් මාර්ක්ස්ට වඩා මාර්ක්ස්වාදීන්ය. දශක ගණනාවක් පුරා නවකවදය හරහා තම දේශපාලනය වැපිරූ මොවුහු ලංකාවේ අධ්‍යාපන, ආර්ථික දුර්භාග්‍යට සෘජුවම වගකිව යුතුය. වර්තමානයයේ කෘෘර නවක වධය මෙහෙයවන්නේ මොවුන්ගෙන් කැඩී ගිය කොටසක් සහ ඔව්හුය. ලංකාවේ ජනගහනයෙන් 0.1 % වත් මේ පිරිස සමග නැත. දශක ගණනාවක් පුරා නවක වධය හරහා මොවුන් කළ හානිය සුළු පටු නොවේ. නවක වධය හා සබැඳි, බොහෝ දෙනා නොදුටු කරුණක් පෙන්වා දීම මෙම ලිපියේ අරමුනයි.

වධකයනට අනුව නම් නවක වධය විශ්ව විද්‍යාලයකට අත්‍යවශ්‍ය අංගයකි. ගමේ ගොඩේ අඩු වරප්‍රසාද ලත් අයත්, නගරයේ වරප්‍රසාද ලත් අයත් එකම තලයකට ගෙන එන පූජනීය වැඩසටහනකි. නමුත් නවක වධය හරහා සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කුමක් ද?. සත්‍ය වශයෙන්ම පීඩනයට ලක්වන්නේ කුමන අයද ?. නවක වධයේ දිගුලීන හා කෙටිකාලීන දේශපාලන-සමාජීය අරමුණු මොනවාද ?. වධකාගාර පවත්වාගෙන යන්නට මාසිකව රුපියල් 10,000 ක නිවසක් ලබාගැනීමට මොවුනට මුදල් ලැබෙන්නේ කෙසේද ? පෙළපාලි සඳහා බස්රථ යොදා සිසුන් රැගෙන එන්නේ කාගේ මුදලින්ද?

නවක වධයේ මුලික ලක්ෂණ කිහිපයක් ගෙන බලමු. වධකයන් පනවන නීති ගණනාවක් ඇති අතර ඉන් එකක් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීම තහනම් කිරීමයි. දේශන වලදී ප්‍රශ්න ඇසීම තහනම්ය. සිසුවියන් කලිසම් ඇඳීම තහනම් වන අතර චීත්ත රෙදිවලින් මැසූ ගවුම් ඇඳිය යුතුය. රබර් සෙරෙප්පු පැළඳිය යුතුය. සිසුන් ට ඩෙනිම් කලිසම් ඇඳීම තහනම්ය. රබර් සෙරෙප්පු පැළඳිය යුතුය. නවකයන්ට නම් පටබඳිනු ලැබේ. එම නම් මොනවාද යන්න තීරණය කරන්නේ වධකයන්ය. මිට අමතරව අනේක විධ කායික, මානසික, ලිංගික හිරිගැර සිදුකරති. නවක වධයේ මෙම අංගය විශ්ලේෂණය මනෝ විශ්ලේෂකයකුට පවරා, නවකවධය හා සබැඳි සමාජීය හා දේශපාලනික අරමුණු දෙස බලමු.

ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිය ගැන පර්යේෂණ කරණ බොහෝ විද්වතුත් ශ්‍රම වෙළද පොළ අවශ්‍යතා හා රැකියා අපේක්ෂිතයන් සතු කුසලතා අතර පවතින වෙනස ගැන කථා කරති. සරලව ගතහොත් රැකියා අවස්ථා පවතින අතර, රැකියා අපේක්ශීය (විශේෂයෙන්ම උපාධිධාරී රැකියා අපේක්ෂිත) අය සතු කුසලතා අතර විශාල වෙනසක් පවතී. මෙම වෙනස මූලික වශයෙන්ම ඉංග්‍රීසි භාෂාවන් වැඩ කිරීමේ හැකියාව, ආකල්ප, පරිචය පිළිබඳ ඌනත්වයන්ය. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පවතින සීමා තුලින් සිසුන් අතිරේක දැනුම සොයාගැනීම වැලකේ. බොහොමයක්ම පර්යේෂණ ලිපි පලවන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. පසුකාලීනව විදේශ රැකියා, දේශීය විදේශීය උසස් අධ්‍යාපන අවස්ථා ගිලිහීයාම මින් සිදුවේ. නවක වධය හරහා මෙම දේශපාලන කල්ලිය ඉතා සාර්ථක ලෙස උපාධිධාරීන් ලැබිය යුතු ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාව, ආකල්ප, පරිචය විනාශ කොට දමති. නවක වධය පවත්නා කාලය තුල වධකයෝ ඉතා සුක්ෂම ලෙස සිසුන් සතු පෞර්ෂය බිඳහෙලනු ලබයි.

උදාහරණ ලෙස සෑම නවකයකුටම නමක් පටබඳින අතර, අන් අය ඔහු හෝ ඇය හඳුන්වන්නේ එම නාමයෙනි. යමෙකු නම විමසූ විට කිව යුත්තේ පටබැඳි නාමයයි. ලබාදෙනුයේ “මක්කලියා”, “ගොබිලයා” වැනි නම් වන අතර වධකයින් තමන්ට “කොමාන්ඩර්” වැනි නම් ආරූඪ කරගනී. මේ අනුව පුද්ගලයකුගේ පුද්ගල භාවය (individuality) බිඳ වැටෙන අතර, ඉන්පසු වද දීම්, බැන වැදීම්, ප්‍රසිද්ධියේ සිදුකරන නවක වධ හරහා ලෙහෙසියෙන්ම පෞර්ෂය බිඳ දමනු ලබයි. Traumatic Bonding මානසික තත්ත්වයට පත්වන අපරාධ වින්ධිතයා නවක වධය සාමාන්‍ය දෙයක් ලෙස සැලකීමට පටන්ගනී. දැඩිලෙස නවක වධයට ලක්වූ ඇතැම් අය නවක වධය සුන්දර අත්දැකීමක් ලෙස විග්‍රහ කරනුයේ මෙම මානසික තත්වයට පත්වූ පසුවය (විශ්ව විද්‍යාල තුල නවකයන් හෝ ජ්‍යෙෂ්ඨ සිසුන් යොදා නවක වධය සුන්දර අත්දැකීමක් බව වධකයන් විසින්ම ප්‍රචාරය කිරීම වෙනම කරුණකි). අවසානයේ බිහිවන්නේ හීනමානය, බිය මුසු අනන්‍යතාවය විනාශ කරගත් උපාධිධාරියෙකි. මෙම කාලකන්නින්ට පින්සිඳු වන්නට උසස් පෙළ අවසන් වී විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට වසර 2 ක් නිවසේ සිටිය යුතුය. අවුරුදු 4 ක උපාධිය ගැනීමට අවුරදු 6 වත් විශ්ව විද්‍යාලයේ ගාල් විය යුතුය. ඒ ඔවුන්ගේ නවකවධයෙන් හා නිතර සිදුකරන පහරදීම් වලින් බේරුන හොත් පමණි.

කාර්ල් මාර්ක්ස්: අතිරික්ත ශ්‍රම බලකාය

කාර්ල් මාර්ක්ස් (1818-1883) ගේ ‘අතිරික්ත ශ්‍රම බලකාය’ (Reserve army of labour) පිළිබඳ සංකල්පයට අනුව රැකියා විරහිත භාවය (අතිරික්ත ශ්‍රම සැපයුම) ධනවාදී ආර්ථිකයක අත්‍යාවශ්‍ය අංගයකි. රැකියා විරහිත, රැකියා සොයන පිරිසක් තබාගැනීම ධනවාදයේ පැවැත්මට අත්‍යාවශ්‍යය. මෙලෙස රැකියා විරහිත තත්වයක් පැවතීම හරහා සේවකයන් අතර ‘විනය’ හා පාලනය පවත්වා ගැනීමට ධනය හිමි සේවා දායකයාට හැකියාව ලැබේ. මේ හරහා සේවා දායකයාට අවශ්‍ය විටෙක සේවකයන් ඉවත් කිරීමටත්, ඒ වෙනුවට පහසුවෙන්ම නව ශ්‍රමිකයන් බඳවා ගැනීමටත් හැකියාව ලැබෙයි. මෙනිසා ධනවාදී ආර්ථිකය සිතාමතාම රැකියා වියුක්තිය පවත්වාගෙන යන බව මාර්ක්ස්වාදය විශ්වාස කරයි.

නවක වධය සිදුකරන ශිෂ්‍ය සංගමය කිසිම විටෙක අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩිකරන ලෙස උද්ඝෝෂණය කරනු ඔබ දැක ඇතිද ?. රැකියා අවස්ථා අරමුණු කරගත් පාඨමාලා සඳහා ඔවුන් අරගල කරනු ඔබ දැක ඇතිද ? දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳපොල, උසස් අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන ලෙස ඉල්ලා ඔවුන් පෙළපාලි යනු ඔබ දැක ඇතිද?. නැත. නැත. නැත. ඔවුන් පෙළපාලි යන එකම හේතුව “ශිෂ්‍ය මර්ධනය නවතනු” යන තේමාවයි.

ශිෂ්‍ය මර්ධනය ලෙස ඔවුන් විග්‍රහ කරන්නේ කඩාකප්පල්කාරී, නවක වධ අපරාධයන් සිදුකළ අපරාධ කරුවන් අත් අඩංගුවට ගැනීමය. නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දමන ලෙස කරන උද්ඝෝෂණය. ඵලදායී කිසිදු දෙයක් ඉල්ලා ඔවුන් කෑ ගසනු ඔබ දැක ඇතිද?. මොවුන්ගේ සටන් පාඨ වල ඇති ගොං කමට හොඳම උදාහරණය මීට වසර කිහිපයකට පෙර සෑම සිසුවෙකුටම පරිගණක පුහුණුව දීමට යද්දී එයටද විරුද්ධව උද්ඝෝෂනය කිරීමයි. පන්ති වර්ජනය කිරීමයි. නවක වධය හා සම්බන්ධ දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ කුමක් සඳහාදැයි තේරුම් ගැනීමට එම උදාහරණය පමණක් සෑහෙන්නේය.

පෙරසිටම ඔවුන් නන් දෙඩැවුයේ නොදුටු විදේශ හතුරෙකු, නොදන්නා විදේශ ආක්‍රමණයක් ගැනය. හෙවත් මනෝරාජිත යකෙක් ගැනය. පසුකාලීනව සෑම දෙයකටම “අපේ විරෝධය” ලෙස පුවරු ප්‍රදර්ශනය කළහ. වර්තමානය වනවිට ඔවුනට කිසිදු තේමාවක් නැත. හඳට බුරන සුනඛයන් මෙන් පවතින ආණ්ඩුවට දෙස් තියති. විපක්ෂය හා එක්ව ආණ්ඩු පෙරලීමට දත කති. අලුත් ආණ්ඩුවක් පැමිණි සැණින් යලිත් උඩු බුරලති. දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින මෙම පක්ෂය දුප්පත් බව නැති කිරීමට කරණ යෝජනා මොනවාද ? රැකියා වියුක්තිය නිවාරණයට කරන යෝජනා මොනවාද ?. ප්‍රායෝගික කිසිවක් නැත. දුප්පත් කමත්, රැකියා විරහිත බවත්, පීඩිත ජනතාවක් සිටීම ඔවුනට අත්‍යාවශ්‍යය.

අතිරික්ත ශ්‍රම සැපයුමක පැවැත්ම පවත්වාගැනීම ධනවාදයේ පැවැත්මට අත්‍යාවශ්‍ය බව මාර්ක්ස් පැවසූ පරිදිම, රැකියා විරහිත බව, දුප්පත්කම මෙම නවකවධය හා බද්ධ වූ පක්ෂයේ පැවැත්මට අත්‍යාවශ්‍යය. රැකියා විරහිත බව, දුප්පත්කම නැති වූ සමාජයක ඔවුනට පැවැත්මක් නැත. විකුණා ගෙන කෑමට දෙයක් නැත. නවක වධය හරහා ඔවුනගේ ශිෂ්‍ය සංගමය සිදුකරන්නේ මෙම අරමුණේ කොටසකි. එනම් රැකියා විරහිත, රැකියා ලබාගත නොහැකි, ස්වාධීනව සිතිය නොහැකි, ඉරිසියාව හා කුහකත්වයෙන් සමාජය දෙස වෛරයෙන් බලන පිරිසක් ඇතිකිරීමය. මේ හරහා තම පණ නල රැක ගැනීමට ඔවුහු උත්සාහ කරති . කොටින්ම ගැටුම් නොමැති සමාජයක ඔවුන්ට පැවැත්මක් නැත. වරක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගැටුමක් මවනු ලැබුයේ දේශන ශාලාවක නම වෙනස් කරන ලෙස කළ උද්ඝෝෂණයකිනි. කුමන හෝ කරුණක් සොයා විශ්ව විද්‍යාලයේ සාමකාමී පසුබිම ඔවුහු අවුල් කරති. හේතුවක් නැතිනම් කුමන හෝ හේතුවක් මවති. මෙම පක්ෂයේ ලොක්කන්ගේ දරුවන් පිටරට අධ්‍යාපනය ලබති. ගමේ ගොඩේ දෙමාපියන්ගේ දරුවන් ඔවුන් වෙනුවෙන් පාප්ප බාල්දි රැගෙන බිත්ති පුරා පෝස්ටර් අලවමින් යති.
ජුරිය ඔබයි !!

රටේ සාමාන්‍ය තත්වය යටතේ දඬුවම් ලැබිය යුතු බොහෝ අපරාධ “නවක වධය” යටතේ දඬුවම් නොලබන තත්වයට පත්වීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. මග තොටේදී තරුණියකගේ කලිසම ගලවන ලෙස බල කළහොත් කුමක් සිදුවේද ? තරුණයකු දණ ගස්වා තැබුවොත් කුමක් සිදුවේද ? නමුත් වධකයන්ට නම් මේවා උප සංස්කෘතියේ සුන්දර අංගයන්ය. රටේ අපරාධ නීතිය අභිබවා යන උප සංස්කෘතියක් තිබේනම් ඒ ලංකාවේ විශ්ව විද්‍යාල තුල පමණි. වධකයකු අත් අඩංගුවට පත් වුවහොත්, ඔවුන් නිදහස් කරණ ලෙස ගරු අධිකරණට බලපෑම් කරමින් පෙළපාලි යන්නේ කෙසේද ? අධිකරණ තීරණයකට එකඟ නොවන්නේ නම් අප කළ යුත්තේ ඉහල අධිකරණයකට ඇපෑලක් ඉදිරිපත් කිරීමය. මා දන්නා නීතිය අනුව නම් අධිකරණ තීන්දුවකට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම පවා ගරු අධිකරණයට අපහාස කිරීමකි. උත්තරීතර වූ නීතියට, නීතියේ පැවැත්මට තර්ජනයකි. මේ සියල්ල සිදුකරන වධකයන් නීතියෙන් ගැලවෙන්නේ කෙසේද ? මහේස්ත්‍රාත්වරුන් නවක වධකයන් සමථ මණ්ඩල වලට යොමු කරන්නේ කුමන නීතියකට අනුකූලවද?

විශේෂයෙන්ම නේවාසිකාගාරවල සිටින සිසුන්ට නවක වධයෙන් ගැලවීමක් නොමැත. නිවසේ සිට හෝ පෞද්ගලික ස්ථානයන් වල සිට පැමිණෙන සිසුන් තරමක් හෝ නවක වධයෙන් බේරෙති. ඇතැම් විශ්වවිද්‍යාල වල නවක වධ විරෝධී සිසු සංවිධාන පවතින අතර ඇතැම් පාසල් වල සිසුන් , විශ්ව විද්‍යාල ආසන්න ව ජීවත්වෙන සිසුන්, කණ්ඩායම් වශයෙන් එකතු වී නවක වධයෙන් බේරෙති. මෙය සැම විශ්ව විද්‍යාලයකම සිදුනොවේ.

අවසාන වශයෙන් කියන්නේ නම්, නවක වධය නිසා වඩාත්ම දුක් විඳින්නේ ගමේ ගොඩේ ගල් කඩා, කුලී වැඩ කොට තම දරුවන්ට ඉගැන්වූ සිරිපාලගේ, කමලාවතීගේ දරුවන් ය. දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොල, උසස් අධ්‍යාපනය අහිමි කරගන්නේ ඔවුන් ය. සිරිපාලගේ, කමලාවතීගේ දරුවන් තම අනාගතය කැපකර කැට සොලවා ලබන මුදලින් සමාජවාදය ගැන කතාකරමින් සමාජ වධයක් කරන්නේ කවුරුන්ද ? පිළිතුර ඔබ දනී.

– ලංකා ඊ නිව්ස්

Archive

Latest news

Related news