Tuesday, July 16, 2024

‘‘ඉරුදින’’ කර්තෘ ඉවත් කිරීම පසුපස ඇත්තේ සංස්කරණ නිදහස කෙළෙසීමක් – නි.මා.ව්‍ය.

‘‘ඉරුදින’’ පුවත්පතේ කළමනාකරණය විසින්, එම පුවත්පතේ කර්තෘ විමලනාත් වීරරත්න මහතා හදිසියේ ම සේවයෙන් ඉවත් කිරීම පසුපස බරපතල ලෙස සංස්කරණ නිදහසට බලපෑමක් සිදු කර ඇති බව ප‍්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හිතූමතයේ මාධ්‍යවේදීන් සේවයෙන් ඉවත් කිරීම මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් බව පෙන්වා දෙයි. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව කර්තෘ විමලනාත් වීරරත්න මහතා කැඳවා ඇති එහි කළමනාකරණය ඔහුට එම අවස්ථාවේ ම ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දෙන ලෙස දන්වා ඇති අතර, එයට ඔහු අකමැති වූ හෙයින් ඔවුන් විසින් සූදානම් කර තිබූ, සේවය අවසන් කිරීමේ ලිපිය භාර දී ඇත. එහි දක්වා ඇති පරිදි කිසිදු විනය විරෝධී කි‍්‍රයාවක් ඔහු විසින් සිදු කර නොමැති හෙයින් ඒ බව දැන්වූ ලිපියක් සමඟ, ඔහුට භාර දුන් සේවය අවසන් කිරීමේ ලිපිය ආපසු කළමනාකරණය වෙත භාර දී ඇත.

යහපාලන ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරමින් එය ඉදිරියට ගෙන යෑමේ අරමුණෙන් පළ කළ සමහර පුවත් හා ලිපි සම්බන්ධයෙන් කළමනාකරණය පැහැදීමක් නොදක්වා ඇති අතර, නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට එරෙහිව ආණ්ඩුවේ අමාත්‍යවරුන් කළ විවේචන හෙළා දකිමින් යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව අවධාරණය කරමින් කතුවරයා ලියූ ලිපියක් ඔවුන්ගේ අප‍්‍රසාදයට හේතු වූ බව ද දැන ගන්නට ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ, පෙබරවාරි මස 28 වැනිදා හදිසියේ ම කතුවරයා සේවයෙන් ඉවත් කරන්නේ සංස්කරණ නිදහසට බලපෑම් කිරීමට අවශ්‍ය අත්තනෝමතික බලය කළමනාකරණය වෙත ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසාය.

විමලනාත් වීරරත්න මහතා සේවයෙන් ඉවත් කළ දින ම නව කතුවරයෙක් කැඳවා ඔහුට සහයෝගය දෙන ලෙස කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති අතර, එය පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කරමින් විමලනාත් වීරරත්න මහතාට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලා ලිපියක් ඉදිරිපත් කළ මාධ්‍යවේදීන් හත් දෙනෙකුට පුවත්පත් කාර්යාලයට ඇතුල්වීම තහනම් කරමින් අද (මාර්තු 2) දින ආයතන ගේට්ටුවේ නියෝගයක් අලවා තිබුණි. මේ අකාරයට තම ආයතනයේ මාධ්‍යවේදියකු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම පවා එම මාධ්‍යවේදීන්ගේ රැකියාවට තර්ජනයක් වේනම් එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. එමගින් පැහැදිලි වන්නේ කළමනාකරණයට අවශ්‍ය ලෙස අත්තනෝමතිකව මාධ්‍යවේදීන් පාලනය කිරීමට අවශ්‍ය තත්ත්වයක් දක්වා මාධ්‍ය වෘත්තිය අනතුරට ලක් වී ඇති ආකාරයයි.

අදාල මාධ්‍යවේදීන් පිරිස එක්වී පොලිස් පැමිණිල්ලක් සහ කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, තම අයිතීන් රැුක ගැනීම වෙනුවෙන් එලෙස සාමූහික කි‍්‍රයාමාර්ග ගැනීමට පෙළඹීම සතුටට කාරණයකි. විනය විරෝධී කි‍්‍රයාවක් නිසා හෝ, අවශ්‍ය සේවය ලබා දීමට අසමත් වීම නිසා හෝ, ආයතන බංකොලොත් වීම නිසා හෝ මාධ්‍යවේදීන් සේවයන් ඉවත් කිරීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මේ අකාරයෙන් අත්තනෝමතිකව මාධ්‍යවේදීන් ඉවත් කිරීම හා සංස්කරණ නිදහසට තර්ජන එල්ල කිරීම මාධ්‍ය නිදහසට එල්ල කරන බරපතල ප‍්‍රහාරයක් ලෙස සලකයි. පසුගිය කාලයේ හිමිකරුවන් පිළිබඳ කිසිදු විනිවදභාවයකින් තොරව පුවත්පත් ආයතන ආරම්භ වීම, කෙටි කලකින් ඒවා වසා දැමීම හා මාධ්‍යවේදීන් රැකියා විරහිතයන් බවට පත්වීම සුලභ සිද්ධියක් වූ අතර ඒවා ද යහපත් මාධ්‍ය සංස්කෘතියකට බාධා පමුණුවන සිදුවීම් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි. එමෙන්ම නිසි බඳවා ගැනීමේ ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක නොවීම, පත්වීම් ලිපි ලබා නොදීම, නිසි පරිදි වැටුප් නොගෙවීම මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්‍ෂිතභාවයට තර්ජනයක් වී ඇත. අදාල සිදුවීමට පාදක වී ඇති ඉරුදින පුවත්පත් ආයතනයේ ද එවැනි තත්ත්වයක් පවතින අතර, විමලනාත් වීරරත්න මහතාට ද සේවය අවසන් කිරීමේ ලිපියක් ලබා දී ඇත්තේ පත්වීමේ ලිපියක් පවා ලබා දී නැති තත්ත්වයක් යටතේය. එහෙයින් මාධ්‍යවේදීන්ගේ සංස්කරණ නිදහසට ගරු කරමින්, මේ වන විට රැකියාව පිළිබඳ තර්ජනයකට මුහුණ දී සිටින මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන්නට කටයුතු කරන ලෙස ඉරුදින කළමනාකරණයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

සීතා රංජනී -කැඳවුම්කරු -2017. 03. 02 සී. දොඩාවත්ත – ලේකම්

Archive

Latest news

Related news