Wednesday, July 17, 2024

දුෂණ විරෝධයේ බලාපොරොත්තු බිද වැටුණු වසරක්; ශ්‍රී ලංකාව දුෂණ විරෝධයේ අසමත් රාජ්‍යයකි.

බලාපොරොත්තු බිද වැටුණු, අපේක්ෂා භංග කළ රටක් ලෙස ශ්‍රී ලංකාව අද ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය සමරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ජාතික ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගෙවී ගිය වසර තුල දුෂණ මර්ධනය සදහා එක්සත් ජාතීන්ගේ නිර්ණායක අනුව යන එකම අලුත් නීතියක් හෝ හදුන්වාදීමට රජයට නොහැකි විය.  වත්කම් බැරකම් ප්‍රකාශ නීති කෙටුම්පතක් හෝ 2016 වසරේ දී නීතියක් බවට පත් වූවේ නැත.  ‘ජාතික විගණන පනත‘  පිළිබද බලාපොරොත්තු ඉටු නොවීය. අවම වශයෙන්  ‘ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට‘ සමාජිකයන් පත් කිරීමට හෝ රජය සමත් නොවීය.
‘2016 ශ්‍රී ලංකාව දුෂණ විරෝධී සටනේ අසමත් වූ රාජ්‍යයක් ලෙස සැලකීම නිවැරදි‘ යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

දුෂණ විමර්ශනය දැඩි අර්බුදයකට යොමු විය.  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු දැඩි විවේචණයට ලක් වූ අතර එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරියට ඉල්ලා අස්වීමට සිදු විය.  පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය නඩු 12 ක් පවරා ඇති නමුත් ඔවුන්ගේ කටයුතු ද දැඩි විවේචනයට ලක් වෙමින් තිබේ.  විමර්ශන සදහා දෛනිකව දේශපාලන බලපෑම් එල්ල වන පරිසරයක් ගොඩ නැගී තිබේ.  විමර්ශන අවසන් වූ ලිපි ගොණු විමර්ශන නිලධාරීන් අත ය.
නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති අල්ලස්, දුෂණ වංචා පිළිබද ලිපිගොනු සංඛ්‍යාව 52 ක් හෝ එයට වැඩි සංඛ්‍යාවකි.  නව නීතිපතිවරයා පත්වීමෙන් පසුව නඩු පැවරීමේ ක්‍රියාවලිය වේගවත් වනු ඇතැයි අප තැබූ බලාපොරොත්තු වියැකී යමින් තිබේ.

මහ බැංකු බැදුම්කර වංචාව, ගල් අගුරු වංචාව ඇතුළු සිදුවීම් ගණනාවක් මේ වසරේ දී යහපාලන රජය යටතේ කරළියට පැමිණ තිබේ. වත්මන් රජයට එරෙහිව එක පිට එක දුෂණ චෝදනා එල්ල වන පරිසරයක් ගොඩ නැගෙමින් තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේ සිදු කළ කිසිදු පූර්ව ප්‍රචණ්ඩක්‍රියාවකට, මහජන දේපල අයථා පරිහරණයකට, බඩු බෙදීමකට, රාජ්‍ය සම්පත් අවභාවිතයකට එරෙහිව අවම වශයෙන් මුලික විමර්ශනයක් හෝ පවත්වා නඩු පවරන්නට රජය අසමත් වී තිබේ. ප්‍රකට රනුග්ගේ වාර්තාවේ චෝදනා සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් හෝ අවසන් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හැකිවී නැත.

දුෂණ විරෝධී සටනේ ජනමාධ්‍ය සතු වගකීම සුවිශේෂී වේ.  අධිකරණ කේෂේත්‍රයේ දුෂණ හෙළි කළ මාධ්‍ය වේදීන්ට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර මාධ්‍ය මර්ධනය කරා යන ගමන ඇරඹී ඇති අතර, අපරාධ සිදු කල පුද්ගලයින්ට දේශපාලන නිදහස තහවුරු වී ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය දවසේ තවත් සාම්ප්‍රදායික පණිවුඩයක් නිකුත් කිරීමට කැෆේ සංවිධානයට හැකියාවක් නොමැති බව පවසන තෙන්නකෝන් මහතා,  ‘පැහැදිලි ලෙසම අප 2016 වසර තුල අල්ලස, දුෂණය, නාස්තිය පිළිබද සටනෙන් පරාජයට පත්වී ඇත්තෙමු යැයි‘ පවසයි.

විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය සෘජු හා අවංක මැදිහත්වීමක් සිදු නොකරන්නේ නම් රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් ඒ සදහා තම දායකත්වය සපයන්නේ නැතිනම් දුෂණ විරෝධය තවත් එක් සැමරුවක් ලෙස අතීතයට එක්වීම වැලැක්විය නොහැකි වන ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය/ 2016 දෙසැම්බර් මස 09 වැනිදා සිකුරාදා
ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය.

Archive

Latest news

Related news