Friday, March 29, 2024

අද පාරේ – හෙට පෝර්ට් සිටි බිමේ දී ! – මෙලනි මානෙල් පෙරේරා

( ධීවර ස්ත්‍රීහු විරෝධයට එක් වූ  අයුරු:අපේ ජිවිත විනාශ කරන පොර්ට් සිටිය එපාල ජයාරූපය මෙලනි මානෙල් පෙරේරා)

මීගමුව කම්මල්තොට, පෝරුතොට සිට උස්වැටකෙයියාව සහ ඇලකන්ද දක්වා මුහුදු තීරයේ ගම්මාන කිහිපයකම ධීවර ප‍්‍රජාව, ඊයේ එනම් ඔක්තෝබර් 01 වෙනිදා පෙරවරු 10 සිට දහවල් 12.30 දක්වා, ස්ථාන 11 දී රැස්වෙමින් සිය ධිවර රැකියාවටත්, ජීවිතවලටත් ,පරිසරයටත්, පොදුවේ රටටත් දැවැන්ත විනාශයක් ගෙන දෙන පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපාරය නවතා දමන ලෙසට යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේ්ය.
පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණු මෙකි උද්ඝෝෂණ මාලාව, ආණ්ඩුවේ ප‍්‍රතිචාරය මත ඉදිරියේ දී කරනු ලබන දැවැන්ත උද්ඝෝෂණයකට සංකේතයක් ලෙසට ක‍්‍රියාත්මක කළ බව සංවිධායකවරු පැවසූහ.

චීන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ආරම්භ කල මෙම පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුවහොත් , බස්නාහිර පළාතේ කොළඹ සිට දකුණට හික්කඩුව දක්වාත් , උතුරට කල්පිටිය දක්වාත් සංචාරක හා ධීවර කර්මාන්තය විනාශ කරමින්, මුහුදු වෙරළ අපට අහිමි වන බැවින් නීීතිි විරෝධී මෙන්ම ඉතා හානිකර මෙම සංවර්ධන ව්‍යාපෘතිය තමන් බලයට පැමිණි වහාම නවතා දමන බවට එවකට විපක්ෂ නායකව සිටි වර්තමාන අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළේ යැයි සිහිපත් කළ උද්ඝෝෂණයේ යෙදී සිටි ධීවරයෝ  ”අපිට බොරුකරලා, අපෙන් ඡන්දෙ අරගෙන, බලයට පත්වුනාට පස්සේ අපිට කොකා පෙන්නුවා. ධීවර අපිට වංචා කළා” යැයි උරණවු ස්වරයෙන් ප‍්‍රකාශ කළෝ්ය.

”එහෙත්, එදා එහෙම කියපු රනිල් ප‍්‍රමුක ඒකාබද්ධ ආණ්ඩුව අද කියන්නේ මේ ව්‍යාපෘතියෙන් ධීවරයාට කිසිම හානියක් වෙන්නෙ නැහැ කියලා. වරාය නගරයට වැලි ගන්නේ මුහුදු වෙරලේ ඉඳලා කිලෝමීටර් 30ක් දුර ඈත මුහුදෙන් කියල පට්ටපල් බොරු කියන්නේ. ඒ එක්කම කියනවා නැව්වලින් වැලි ගන්නකොට පොඩි බාධාවක් වෙනවා, ඒකට හරියන්න ධීවර ජනතාවට රු. මිලියන 500ක වන්දියකුයි ස්වයං රුකියාවලූයි ලබා දෙනවා කියල. මේගොල්ල ඔක්කොම එකතුවෙලා ධිවරයින්ව රවට්ටනවා ධීවර කාර්යාල වලින් සැරින් සැරේ ධීවරයන්ට වන්දි ලබාදෙන බව හඟවන ආකාරයෙන් වැඩ සටහන් දියත් කරමින් ධීවර ජනතාවත් රටේ පොදු ජනතාවත් නොමග යවමින් ඉන්නේ. නමුත් ධීවරයෝ රැවටෙන්නෙ නැහැ.” යැයි පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු මෙන්ම සමස්ත ලංකා ධීවර සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මාධ්‍යට ප‍්‍රකාශ කළේය.

මහා මුහුදත් එහි පැවැත්මත් සම්බන්ධයෙන් අත්දැකිම් හා දැනුම ඇති පෝරුතොට සිට ඇලකන්ද දක්වා ස්ථාන කිහිපයකම ඒකරාශී වී උද්ඝෝෂණයේ යෙදුණු ධිවරයින් ද ධීීවර කාන්තාවන් ගේ ද අදහස් දැක්වීම් වලට අනුව පැහැදිලි වන්නේ, පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම ධීවර කර්මාන්තයට පමණක් නොව පොදුවේ වෙරළ තීරයේ ජිවත්වන ජනතාවටත්, රටටත්, පරිසරයටත් විනාශයක් සිදුවීම නියත බවයි.

”මේ ව්‍යාපෘතිය කරන ලොකු මිනිස්සුන්ට, අගමැතිට තේරුමක් නැහැ, ලංකාව දියුණු කරන්නයි කියලා කරන්න යන මේ පොර්ට් සිටියෙන් සිද්ධවෙන්න යන විනාශය කොච්චරද කියලා. ආණ්ඩුවම කියන විධියට අවුරුදු තුනක් ධීවර කර්මාන්තයට බාධා ඇතිවෙනවලූු. ඇත්තටම වැලි ගන්නේ වෙරළේ ඉඳලා කිලෝමීටර් 2ක් දුරින්, ඒ කියන්නේ විනාශ කිරීම සිද්ධ වෙන්නේ අපි වැඩියෙන්ම රැකියාව කරන ප‍්‍රදේශවල සහ මසුන් බෝවන ස්ථානයන්වල. එතකොට මේක අපරාධයක් නෙවෙයි ද ?” යැයිි උස්වැටකෙය්යාව හන්දියේ සිට උද්ඝෝෂණයේ යෙදුණු ධිවරයෝ ප‍්‍රශ්න කළහ.

රැකියාවට නොගොස් පාඩු ලබමින් අද දවසේ මෙම විරෝධතාවයට එක්වුයේ මෙම පොර්ට් සිටි ව්‍යාපෘතිය මගින් සිදුවන දැවැන්ත විනාශය මුළු ජීවිත කාලයටම නිසාත් එහි ආනිසංසවලට සිය දරුපරම්පරාවන්ට මුහුණ දෙන්නට සිදුවන නිසාත් ඊට විරෝධය දැක්වීමට යැයි පිටිපන කතෝලික දේවස්ථානය ඉදිරිපිටි ඒකරාශීවී විරෝධතාවයේ යෙදුණු ධිවරයෝ මෙන්ම ධිවර කාන්තාවෝද ප‍්‍රකාශ කළහ.

රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශකළ අන්දමට හික්කඩුවේ සිට කල්පිටිය දක්වා ධීවරයන් සංඛ්‍යාව අසූ දහසකට අධික බවත් පානදුර සිට මීගමුව දක්වා ධීවරයන් සංඛ්‍යාව පනස්දාහකට අධික බවත් පැවසු අරුණ රොෂාන්ත, මේ ව්‍යාපෘතියෙන් හානි සිදුවෙන ධීවරයන් සංඛ්‍යාවට ආණ්ඩුව ප‍්‍රකාශ කරන ආකාරයට, වන්දිය නොහොත්, මහ මුහුද විනාශ කරමින්, අපිට නිදහසේ රැකියාව කරගන යාමට මෙතෙක් තිබූණු නිදහස, අපගේ කැමැත්තෙන්ම නැති කර දැමීමට, චීනයෙන් ඉල්ලා දෙන්න යන පගාව, වැලි ගන්නා වසර තුනට, පානදුර ඉඳලා සිට මීගමුව දක්වා ධීවර ජනතාවට බෙදුවහම, පවුලේ හතරදෙනෙක් ඉන්නවානම්, එක්කෙනෙකුට දවසකට ලැබෙන චීන පගාව රු.3.00 කටත් අඩු මුදල්. පවුලක් සඳහා දිනකට රු. 12.00 කටත් අඩු මුදලක් ” යැයි පැහැදිළි කළේය.

එපමණක් නොව, කලූගල් කියුබ් ලක්ෂ ගණනාවක් සඳහා විශාල ප‍්‍රමානයේ ඩයිනමයිට් පුපුරවමින් මුහුදේ කිලෝමීටර් ගනනාවක කොරල්පර හා ගල් පර විනාශකරමින් වැලි ඝන මීටර් මිලියන 100ක් පමන විශාල වලක් හැරීමට නියමිත බව ඔව්හු කියති. ධීවර කර්මාන්තය, විනාශකරමින්, රටම වනසන මෙම ව්‍යාපෘතිය යම් හෙයකින් ආණ්ඩුව කි‍්‍රයාත්මක කලහොත්, මීගමුව කලපුව හා මුහුද එකතුවීම නොවැලැක් විය හැකි කරුණක් බවත් එවන් අවස්ථාවකදී විශාල ජීවිත හානියක් සිදුවීමද නොවැලැක්විය හැකි කරුණක් බවත් ඔව්හු අවධාරණය කරති.

විරෝධය 11 පළක පැවැතුනි: ජයාරූපය මෙලනි මානෙල් පෙරේරා
විරෝධය 11 පළක පැවැතුනි: ජයාරූපය මෙලනි මානෙල් පෙරේරා

යම් හෙයකින් ආණ්ඩුවේ රැවටිලි වලට හසුවී, ජනතාව නිහඬව බලා සිටියහොත්, මෙයින් සිදුවන්නේ ලංකාවේ සිදුවන විශාලතම පරිසර හානිය වන බවට අනතුරු හඟවන ධීවරයින් වැඩිදුරටත් කියා සිටියේ ”අපි අද අපේ ප‍්‍රදේශවල මෙහෙම එකතුවෙලා අපේ විරෝධය ප‍්‍රකාශ කරනවා. නමුත් මේ ගොල්ල දිගින් දිගටම අපිට කොකා පෙන්නන්න නම් හදන්නේ අපි නිහඬ වෙන්නෙ නැහැ. ඉහළම විරෝධයකට යනවා.” යැයි අවධාරණය කරමින්ය.

”මේ ව්‍යාපෘතිය සමස්ත දේව මැවිල්ලට ම කරනු ලබන නිග‍්‍රහයක්. විනාශයක්. මිනිස් ජිවිතවලට ඔවුන්ගේ රැකියාවන්වලට මෙන්ම පරිසරයට කරනු ලබන දැරිය නොහැකි විනාශයක්. ඊට අපට එකඟවන්නට බැහැ. ඒ නිසා මේ විරෝධාතව සමගින් එකතුවුණා” යැයි මීගමුව කොතලාවල පාලම අසළ විරෝධතාවයට එක්වු ඇන්ග්ලිකානු සභා පියතුමෙකු වු ගරු නිශාන්ත ගුණරත්න පියතුමා ප‍්‍රකාශ කළේය.

”මේක ධීවර ප‍්‍රජාවට විතරක් බලපාන ප‍්‍රශ්නයක් නෙවෙයි. ධිවරයින්ට වගේම මේ සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධවෙන පැති ගණනාවකටම විනාශයක් සිදුවෙන්නයි යන්නෙ. මුහුදේ වැළි කැනීම තුළ ප‍්‍රශ්න ගණනාවක් මතුවෙනවා. මහ මුහුදේ ස්වභාවිකව පිහිටා තිබෙන පර්වත වගේ ගල් පෙරලිලා ගියාම ඒක අතුරුපල විනාශයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ වෙරළ තිරයේ ජීවත්වෙන මිනිස්සුන්ටයි. සිද්ධ වෙන්න යන විනාශයේ බරපතලකම සියැසින් දැකගන්න පුළුවන් වෙයි මේ ව්‍යාපෘතිය දැන්වත් නොනැවැත්තුවොත්.”යනුවෙන් සෙත්තප්පාඩුව ධිවරයින් හා එක්වෙමින්් උද්ඝෝෂණයෙහ් නියැලූණු දොමිනිකානු නිකායේ ගරු මනෝජ් රසංජන පියතුමා ප‍්‍රකාශ කළා.

කම්මල්තොට ධිවර විරෝධතාවයෙහි සිටි සෙල්සි තමෙල් , මේරි ඇනස්ටින් කුරේරා යන ධිවර කාන්තාවන් මෙන්ම ශ‍්‍රි විමුක්ති කාන්තා සංවිධානයේ කාන්තාවන් අවධාරණය කරමින් කියා සිටියේ, ධිවරයින් ධීවර රැුකියාවේ මිස වෙනත් රැුකියාවක නිරත වන්නට නොදන්නා බවත්, ධිවරයින්ගේ රැුකියාව අහිමි වනවා යනු තවත් දහස් ගණනක් කුසගින්නට පත්වන බවත් එවැනි අවාසනාවන්ත සිදුවීමකට ඉඩදිය නොහැකි බවත්ය.

”ඒ නිසා ධිවරයින් එක්ක උරෙන් උර ගැටිලා පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව අපි නැගි සිිටිනවා. අපි අගැමැතිගෙන් ඉල්ලා සිටිනවා, වෙච්ච පොරොන්දු ඉටුකරන්න කියලා , මේ සිද්ධවෙන්න යන විනාශය දැන්වත් තේරුම්ගන්න, රටට සල්ලි හොයන්න, රට සංවර්ධනය කරන්න ධීවර අපිව බිල්ලට දෙන්න එපා. අපේ ළමයින්ගේ ජීවිත බිල්ලට ගන්න එපා කියලා.” යැයි කාන්තාවෝ ප‍්‍රකාශ කළෝය.
සටහන සහ ඡයාරූප – මෙලනි මානෙල් පෙරේරා

Archive

Latest news

Related news