Tuesday, April 30, 2024

ඇවන්ට්-ගාඩ් නාටකයේ වසන්කළ ඇත්ත සහ ගෝඨාගේ භූමිකාව – නිලන්ත ඉලංගමුව

ලැදියාවන් අතර විසම්මුතියේ සහ අවභාවිතයේ සංඛේතය වූ ඇවන්ට්-ගාඩ් යළි කරළියට!

ස්වාධීන අධිකරණයක සංදිස්ථානය සනිටුහන් කළ හැකි, රාජ්‍යය සම්පත් මංකොල්ල කෑ සහ කෑමට අනුබලදුන් හිටපු යුධහමුදා නිලධාරීන්ගේ, නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුගේ සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ කතාව!

“ජනතාවගේ ජනාධිපති” වීමට සිහින දකින සිහින කුමාරයාගේ ආලවක-යක්ෂ රංගනය.


 

“සෑම බල්ලෙකුටම එක වරක් සපා කෑමට හිමිකමක් තිබේ” – හැරල්ඩ් ඒ. ඇන්ද්‍ර  [ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, එක්සත් ජනපදය ( මැයි 27, 1948 ) ]

මීට සති කිහිපයකට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ මහතා මුස්ලිම් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු රැස්කර රටේ පවතින දේශපාලන තත්වය ගැන ඔවුන්ගේ මතය විමසනු ලැබීය. ඉන් බොහෝ දෙනෙකු අවංකව හෝ වංකව රටේ දේශපාලනයට ගෝඨාබය පැමිණීමේ වැදගත්කම අවදාරණය කළෝය. තවත් බොහෝ දෑ අදාළ සතරට වඩා බොහෝ වූ කන්මන්ත්‍රණයේදී කතා බහ කෙරුණි. මතුපිටින් පෙන්වන දේශප්‍රේමී, සිංහල-වර්ගවාදී දේශපාලන හැසිරීමට පරිබාහිරින් දිවෙන ක්‍රමෝපායික දේශපාලනයේ විස්තාරණය මෙම නැමියාවන් අතර දක්නට ලැබෙන මූලික ලක්ෂණයකි.

මෙවැනි හමුවීම් බොහෝමයක් “රහස්” ලෙස තබා ගැනීම සහ සිංහල ප්‍රජාව සමග සිදුකරන ගනුදෙනු වඩාත් නිදහසේ සිදුකිරීම ඔස්සේ සිහින දකිමින් සිටින්නේ පැරණි උපායන් යළි සාර්ථක කරගැනීමටය. එය කෙතරම් සාර්ථක වන්නේද යන්න තීරණය වන්නේ වත්මන් ආණ්ඩුව ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමෙන් ඒවා රටේ දේශපාලන තත්වයට බලපාන ආකාරයෙනි. රටේ ජනතාව නිවැරදිව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ආණ්ඩුවට තිබේනම්, මෙම ව්‍යාජ දේශප්‍රේමීන්ගේ වෙස්මුහුණු ගැලවී ඔවුන්ගේ සැබෑ ගති රටේ ජනතාවට අවබෝධ වනු ඇත. එවිට ආණ්ඩුවට, ආණ්ඩුව ශක්තිමත් කිරීමට  හොරුන්ට පගාව දී   ජනතාව පීඩනයට ලක් කළ නොයුතු තත්වය උදාවේ.

ආණ්ඩුව ( හෝ කිසියම් බලාධිකාරියක්) ගන්නා තීරණ මූලික මූලධර්ම වලට පටහැනි වූ විට සහ ආණ්ඩුව මූලික මූලධර්ම වලින් ඉවත් වී කටයුතු කරන විට , ඊට එරෙහි බලවේගයට තම බලය ව්‍යාප්ත කිරීම සඳහා තෝතැන්නක් නිර්මාණය වේ. බලය අස්ථාවර යැයි හැඟෙන සෑම විටම ඕනෑම ආණ්ඩුවකට විවිධාර අත්හදා බැලීම් කිරීමට සිදුවේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ සියලුම දෙනා නිශ්චිත කාලපරාසයකට යටත් වේ. එමඟින්, තරගය සහ කුතුහලය වඩාත් වේගවත් කරනු ලබයි. බලයේ සිටින්නා අවසාන වසරට ඇති කාලය ගැන සිතා කටයුතු කරන විලාසය හැරෙන්නට අද දවසේ සිදුකළ යුතු කටයුතු ගැන නොසිතීම “ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම” ව්‍යාකූල වූ රටවල දැකගත හැකි මූලික කාරණයකි. මෛත්‍රී පරිපාලනය ක්‍රමිකව හැකිලෙමින් පවතින්නේ මෙම මූලික රාමුව දෙසටය.

ඕනෑම ආණ්ඩුවක ශක්තිය රඳාපවතින්නේ සහ එමඟින් රටේ ඉතිහාසයට ඉතුරු කිරීමට බලාපොරොත්තුවන කාරණය මෙහිදී වැදගත් වේ. රටේ සෑම නායකයෙකුටම තමන් යමක් කළබව කීමට හැකිය. නමුත්, එය ජනතාව පොදුවේ සහ නිදහස් මනසකින් යුතුව විශ්වාස කරන්නේද යන්න සැබෑ ගැටලුව වේ. පරිපාලනයක ස්ථාවරත්වය සහ අස්ථාවරත්වය රඳා පවතින්නේ එම මූලික කාරණය මතය. මැතිවරණ ක්‍රමයක පවතින යතා රූපී ස්වභාවය එයයි.

“පුද්ගලයාට අවශ්‍යය ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට නිදහස තිබේ යැයි හැඟි ගිය පසු ඔහු ඇසීමට යන දෑ ගැන කලින් අනාවැකි කීමට නොහැකිය,”  “කැච් 22 ”  ලියූ ජෝෂෆ් හෙලර්  සඳහන් කළ කාරණය බොහෝ අවස්ථාවලදී අපට අත්විඳීමට හැකි සිදුවීමකි. දේශපාලනයේදී එය වඩාත් ප්‍රචලිත මෙන්ම වෙනස් හැඩතල වලින් සමන්විත මූලික කාරණයකි. වැදගත් වන්නේ මූලධර්ම මත පිහිටා කටයුතු කිරීම සහ දියරෙද්දෙන් බෙල්ල කපන්නන්ගෙන් ප්‍රවේශම් වීමය.

***

ශ්‍රී ලංකාවේ පාවෙන අවි ගබඩාවලට අදාළ කාරණය යළි මාධ්‍යය තුළ වැදගත් ඉඩක් හිමි කරගන්නේ, අල්ලස් සහ දූෂණ කොමිසන් සභාව පුද්ගලයින් කිහිපදෙනෙකු සැකකරුවන් බවට පත් කරමින් ගොනුකළ නඩුවත් සමඟය. මෙය ඉතා වැදගත් මෙන්ම අගය කළ යුතු කාරණයකි. එවැන්නක් සිදු කිරීම සඳහා අදාළ කොමිසමේ සේවය කරන නිලධාරීන්ට ඇති අප්‍රතිහත ධෛර්යය සැබවින්ම මෙරට ජනතාව අගය කරනු ඇත. දූෂිත කෛරාටක හොරුන් විසින් පාලනය කරන මර්ධිත සමාජයක් යහපත් තත්වයට ගත හැක්කේ මෙවැනි මිනිසුන් සිදුකරන උදාර කැපකිරීම් මඟිනි.

මෙම කාරණය කාලයට යට වී විවිධ නූල් සූත්තර ඔස්සේ ක්‍රමයෙන් හිස් කාරණයක් බවට පත් නොකළ යුතුය. මන්ද මෙහි මතුපිට පෙනුම ඉතා අලංකාර සහ ආකර්ශනීය වේ. එය වඩාත් ශක්තිමත් කොට ඇත්තේ පුහු දේශප්‍රේමී මුහුණක් පැළඳවීමෙනි. එසේම අදායම සහ රැකියා උත්පාදනය අතින් පුරසාම් දෙඩීම, එහි ඇති දේශප්‍රේමී ස්වභාවය විස්තර කිරීම, ආදිය මඟින් එහි නීතිමය වටපිටාව වඩාත් අලංකාර ලෙස වසාදමා තිබේ. එක්තරා සමාගමකින් රෙදි හොරකම් කරන්නෙක් සිල්රෙදි සඳහා එම හොරකම් කළ රෙදි ලබා දීමෙන් හොරකම, හොරකමක් නොවන්නේද? නැත. බඩගින්නේ සිටින්නෙකුට අහාර හොරකම් කොට අනුභව කිරීමට නීතියානුකූල අයිතියක් ඇතැම් රටවල තිබේ. නමුත්, බඩ ගින්නේ සිටින්නෙකුට හොරෙකු විසින් අහාර හොරකම් කොට දීම අපරාධයකි.

මෙම ඇවන්ට්-ගාඩ් සමාගමට අදාළ කාරණයේ ගැඹුරෙහි ඇති ඇත්ත වැදගත් වන්නේ මේ නිසාය.

වඩාත් වැදගත් වන්නේ, රටේ අධිකරණ ක්‍රමය ස්වාධීන සහ ශක්තිමත් බව පෙන්වීම සඳහා මෙවැනි සිදුවීම් භාවිතා කිරීමය. විදෙස් විනිසුරුවන් ගෙන්වීම, අධිකරණ ක්‍රමයට විදෙස් මැදිහත් වීම් සිදුකිරීම ආදී කාරණා වලට නිවැරදි පිළිතුරක් ලබා දීමට හැකි වන්නේ මෙවැනි ප්‍රධාන සිදුවීම් මංසලකුණු ලෙස භාවිතා කිරීමෙනි.

හැමෝටම සැලකු සේනාධිපති

එසේම ගෝඨාබය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මේවන විටත් තම මතය ඉදිරිපත් කොට ඇත. එය ඔහුගේ නිදහස් මෙන්ම ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය වෙනුවෙන් සිදුකළ යුතු කාරණයකි.ඊට අවශ්‍යය පූර්ණ නිදහස මෙන්ම ආරක්ෂාව ඔහුට තිබේ. එසේම ඔහුට හිතවත්න මාධ්‍යය තිබේ. ඉන් ඔහු උපරිම ප්‍රයෝජන ගන්නේය.  නමුත්, ඔහුගේ  මතයෙහි සත්‍යය කෙතරම් අඩංගු වන්නේද යන්න දන්නේ ඔහු සහ සිදුවීම සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීමක් ඇති අයවලුන්ය. ගෝඨාබය රාජපක්ෂ මහතා නොකී කතා රාශියක් තිබේ. මන්ද ඔහුට තමන් “මුදල් නමැති ආකර්ෂණීය රූමත් ළඳ” හමුවේ රැවටුණු රැවටිල්ල හෝ තම ආශාවන් සංසිදුවා ගැනීමේ මාවත සකස්කර ගත් ආකාරය  ප්‍රසිද්ධ කළ නොහැකිය.

මෙහිදී, කිසිවෙකු හෝ ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් මෙන්ම ඊට සම්බන්ධ අයවලුන්ගෙන් ඇසියයුතු මූලික කාරණා කිහිපයක් තිබේ.

01. රක්නා ලංකා සමාගමේ කටයුතු වලින් කෑල්ලක් කඩා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ බිහි වූ කෛරාටක කමින් ඉතාම ඉහළ හමුදා නිලධාරියෙකු වූ සේනාධිපති අවස්ථා කීයක් ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවීමට ආවේද? ගෝඨාබය අවස්ථා කිහිපයකදී ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේද?

02. එහිදී රක්නා ලංකා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සුදුසූ නැති බව පිළිගැනීමෙන් පසු ඇවන්ට්-ගාඩ් සමාගමට තම කටයුතු ආරම්භ කිරීමට ඉඩදීමෙන් පසු අදාළ “අසමත් යැයි” නම්කළ රජයේ ආයතන වල අසාර්ථකබාවය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගත් ක්‍රියාමාර්ග මොනවාද?

03. එක්සත් ජාතීන්ගේ විශේෂ කණඩායමක් විසින් අප්‍රිකාවේ සොමාලී තුඩුව අවට ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ නිරීක්ෂණ කණ්ඩායමට, ලංකාවේ නැති වූ එක් ආයුධයක් ගැන අතිශෝක්තියක් මවා පෑවේ කවුරුන්ද? අදාළ කේලම එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සටහන් වූ පසු එය ගෝඨාබය රාජපක්ෂ දැනගන්නේ කෙසේද?

04. ලංකාවේදී එම නැති වූ ආයුධය ගැන ලංකාවේ තානාපති කාර්යයාල නිසි පිළිතුරක් ලබා දී තිබියදී, අදාළ කාරණය ගැන එක්සත් ජාතීන්ගේ වාර්තාව නිවැරදි කිරීමට කටයුතු නොකළේ මන්ද?

05. එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු වූ ආයුධ සියල්ලම පැහැදිළි විඝණනයකට නතුකොට ඒවාට සිදුකළ දේ සම්බන්ධයෙන් පිළිගත් වාර්තා තම අමාත්‍යාංශ රෙගුලාසි වලට යටත්ව පවත්වාගෙන ගියේද? නොඑසේනම්, අදාළ අවි මෙම වෙනත් “විෂයයන්” වලට විකුණා දැමීම සඳහා පසුව තම ගජමිතුරෙකු වන ඇවන්ට්-ගාඩ් ඔස්සේ අදාළ ලේකම්වරයා කටයුතු කළේද? අදාළ ආයුධ මංකොල්ලකරුවන්ට විකුණන බවට සැකයක් මතු වී ඇතැයි ගෝඨාබය රාජපක්ෂ මහතා ඉන්දියාවේ කළ සංචාරයකදී ඉන්දීය බලධාරීන් විමසුවේද?

[ මේ හා සමාන කටයුත්තක් එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු වූ වාහන සම්බන්ධයෙන් සිදු විය. ඇතැමුන් ඒවායේ කොටස් ගලවාගෙන කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාහන අමතරකොටස් විකිණීමේ ව්‍යාපාර ආරම්භ කළෝය. තවකෙකු වෙනත් ව්‍යාපාර ආරම්භ කළහ. වල දුටු තැන ඉහගෙන කෑමේ සිදුවීම් රාශියක් තිබේ. සැබෑ වීරයින් භූමියේ සටන් කරන විට, පත්තර සහ අනෙකුත් මාධ්‍යය ඔස්සේ යුද්ධ කළ අයවලුන් සිදුකළේ එයයි. ඔවුහු කළේ හිතවත් මාධ්‍යය සගයින් කිහිප දෙනෙකු රැගෙන යුධ බිමට ගොස් මාරාන්තික යුද්ධයක් කරනබව පෙන්වා එහි නළුවන් වීමය.]

06. ඇවන්ට්-ගාඩ් සමාගම ඇති කිරීමට අවශ්‍යය නීති කෙටුම්පත් සකස් කිරීම සඳහා සමුද්‍ර නීති ගැන දන්නා ස්වාධීන විශේෂඥයන් භාවිතා කළේද? නොඑසේනම්, නාවික හමුදාවේ සේවය කරන අතරතුර ඇවන්ට්-ගාඩ් සමාගමෙනුත් කුට්ටිය කඩා ගෙන, නාවික හමුදාවෙන් “විශ්‍රාම” ගැන් වූ පසු ඇවන්ට්-ගාඩ් සමාගමේ මිලියනක මාසික වැටුපකට සහ වෙනත් දීමනා වලට සේවය කළ අයවලුන් මෙම සියලු කටයුතු වඩාත් “සෞම්‍යය” ලෙස සිදුකොට “සොඳුරු ලෙස” රටේ මූලික ධර්මතාවයන් අවභාවිතය කළේද?

07. ගෝඨාබය සඳහන් කරන ආකාරයට ඉන් රජයට ලැබිය යුතු මුදල ලැබුණිද? එසේනම්, එම මුදල්වලින් සිදුකළ දෑ ගැන පැහැදිළි විඝණන වාර්තා තිබේද?

08. රජයට ලැබිය යුතු මුදල වසරක් පාසා අඩු වූයේ මන්ද? නාවික හමුදාපතිවරුන් තම අභිනව විශ්‍රාම ගැන්වීමෙන් පසු ඇවන්ට්-ගාඩ් සමාගමේ උපදේශකයින් ලෙස මිලියනකට වැඩි වැටුපකට සේවයට බඳවා ගන්නා විට එම මුදල රජයට අයවියයුතු මුදලින් අඩුකර ගත්තේද ?

09. රක්නා ලංකා හී අධිපතීන් ලෙස කටයුතු කළ මෙජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ මේජර් ජනරාල් කේ. බී. එගොඩවෙල මෙහිදී සිදුකළ මැදිහත් වීම කුමක්ද? සමුද්‍ර කටයුතුවලට අදාලව කටයුතු කිරීමේදී විශ්‍රාමික යුධ හමුදා මේජර් වරයෙකුට සුදුකමක් ඇතිබව මෙම මේජර් ජනරාල් වරුන් තීරණය කළේ කෙසේද?

10. අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ට්‍රෝලර් යාත්‍රා දෙකකින් ආරම්භ කළ මෙම ඇවන්ට්-ගාඩ් පළහිලව්ව ඉන්පසු ට්‍රෝලර් යාත්‍රා 400 ගණනක්ක් දක්වා වැඩිකිරීම සහ ක්‍රමිකව අදාළ විෂය සම්බන්ධයෙන් ඒකාධිකාරි බලයක් දක්වා පුළුල් වීමේදී ගෝඨාබය රාජපක්ෂ මහතාට පරිතෝසම් වශයෙන් ලැබුනේ තම පුත්‍රයාගේ මංගල්‍යය සැරසීමට ආනයනය කරනු ලැබූ “සීත රටක පිපිණු රෝස මල්” පමණද?

12. අදාළ මේජර් වරයාගේ පෞද්ගලික මුදලින් මෙය කළා යැයි උදම් අනන්නේ නම්, ඔහුට සිදු වූ පාඩුව රක්නා ලංකා සමාගමෙන් ඉල්ලන්නේ මන්ද? මිලියන 600 ගණනක් ඉල්ලා ඇති ඔහු ඉන් මිලියන 255ක් ලබා දීමට අනුමැතිය රැගෙන ඇත්තේ මන්ද?

13. මෙම සම්පූර්ණ සිදුවීම අරම්භයා රටේ වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීම කුමක්ද? ඔහුට ඇවන්ට්-ගාඩ් සමබන්ධයෙන් මතුවන නීතිමය ගැටලුවකදී රජයේ පාර්ශවය ලෙස පෙනී සිටීමේ සදාචාරත්මක අයිතියක් තිබේද? ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට මෙම මූලික කාරණයට යුක්තිය පසිඳලීමේ සැබෑ වුවමනාවක් තිබේනම්, මෙම මූලික බාධකය මඟහැරීම සඳහා වැඩපිළිවෙලක් තිබේද?

14. රාජ්‍යය අමාත්‍යාංශයක අතිරේක ලේකම් වරුන් සහ නිලධාරීන් දේශපාලන හෙන්ච්චයියන් වී අමාත්‍යාංශ රෙගුලාසී දුෂණය කරන විට, රාජ්‍යය සේවා කොමිෂන් සභාවේ වගකීම කුමක්ද? පෘතුවියේ නොව වෙනත් ලෝකයක සැඟවී පිටසක්ල්වල ජීවින් සමග යහන්ගත වී සිටියද, රටේ ජනතාවගේ නාමයෙන් ඔවුහු වහාම මෙරටට ගෙන්වා නීතිමය කටයුතු කිරීමේ වැඩපිළිවලක් තිබේද?

15. ඇවන්ට්-ගාඩ් සිදුකළ සියලුම අලුගුත්තේරුකම් අමතක කොට තැබුවද, එහි සතු වූ ආයුධ වල “ඛේත අංක” සූරා දැමුවේ වැල්ලේ වැලිබත් උයන සෙල්ලමේ කොටසක් ලෙසද? මෙම බබාලාගේ වැලිබත් රටේ ජනතාවට කෑමට නොහැකිබව ඔප්පු වූ පසු තවත් බොරු කීමෙන් රැවටීමට උත්සහ කරන්නේ කවුරුන්ද?

16. රටේ අවිආයුධ මෙලෙස පරිහරණය වන විට පොලිස් සහ සිවිල් කටයුතු සම්බන්ධ අතිරේක ලේකම්වරිය අදාළ කටයුතු රජයේ පාර්ශවයෙන් මෙහෙයවීම සඳහා යොදා ගත්තේ මන්ද?

17. මේ සියලු සිදුවීමේදී අදාල සමාගමේ හිමිකරු තම කම්කරුවන්ට කම්කරු නීති ප්‍රකාරව කටයුතු කරනු ලැබුවේද? ඔවුන්ට, තම රැකියා අහිමි වීම ගැන කිඹුල් කඳුළු හෙළන ප්‍රධානියා නීතියෙන් බේරී සිටීමට මෙම කාරණය භාවිතා කිරීම අවබෝධ වී ඇත්තේද?

නීතිමය මූලධර්ම වලින් ව්‍යාකූල කොට ක්‍රියාත්මක වූ කාලයක සාදාරණ වෙළඳාමක් ගැන කතා කිරීම විහිළුවක් නොව ඛේදවාචකයකි. මොවුහු තවත්, කලකින්, ආයුධවල ඛේත අංක වෙනස් වූයේ යුද්ධයේදී ඇතැම් ඒවා භාවිතා කළ හෙයින් ඒවා අදාළ සෙබළුන් අතින් සූරා ඇතැයි කිවහොත් පුදුම නැත.

***

කෙසේ වෙතත් අදාළ පැමිණිල්ල ප්‍රකාරව මෙම කාරණය රටේ ඓතිහාසික සිදුවීමකි. රටේ සේවය කළ එනම් පසුගිය පරිපාලනය යටතේ එම පරිපාලනයට අවශ්‍යය ආකාරයෙන් බෝනික්කන් මෙන් නටමින් තම ආයතන ගරුත්වය සහ තම මූලික විෂය දැනුම අපහරණයේ කරනු ලැබූ නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු මෙන්ම රාජ්‍යය පරිපාලන සේවයේ නිලධාරීන් මෙහි වගඋත්තර කරුවන් වී සිටිති.

සැබවින්ම මෙහිදී හඳුනාගත හැකි මූලික කුලක තුනක් තිබේ.

01. යුධ හමුදා පසුබිමක් ඇති කුලකය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ, මේජර් නිශ්ශංක සේනාධිපති, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, මේජර් ජනරාල් කේ. බී. එගොඩවෙල.

02. රාජ්‍යය පරිපාලන සේවය. සල්ලි සහ බලය දුටු තැන ඕනෑම අසුචි ගොඩක් අනුභව කළ හැකි අතිරේක ලේකම්වරුන් සහ අනෙකුත් නිලධාරීන්.

03. නාවික හමුදාව. නාවික හමුදාපතිවරුන් තිදෙනකි. අද්මිරාල් ඩි. ඩබ්. ඒ. එස්. දිසානායක (සේවා කාලය :15.1. 2011 – 26.9. 2012) , අද්මිරාල් ජේ. එස්. කේ. කොළඹගේ ( සේවා කාලය: 27. 09. 2012 – 30. 06. 2014 ) සහ අද්මිරාල් එස්. ඒ. එම්. ජේ. පෙරේරා ( 01. 07. 2014 – 10 .07. 2015 )

මෙය මෙම ආයතන ලැබූ බරපතළම ලැජ්ජාවකි. එය නිවැරදි කළ හැක්කේ නිවැරදි ලෙස යුක්තිය ඉටුකිරීමෙන් මිස, කුමන හෝ මගෝඩි දේශපාලන කල්ලිවාදයක් ඔස්සේ, මෙම “වීරයින්” තම සාක්කුවට දමාගෙන රටේ අධිකරණ ක්‍රමය හෑල්ලු කිරීමෙන් නොවේ. රටේ ජනතාවගේ නාමයෙන් හෝ රටේ අධිකරණ ක්‍රමය අපහරණ කිරීම අදාළ බලධාරීන් නොකළ යුතුය.

 දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි

තම බලය භාවිතා කොට පොල්වතු නඩත්තු කොට, අහිංසකව ධනවතෙකු වීමට ඉර පායා ඇති විට, සඳගිරෙන් ඉරදෙස බැලූ නාවික හමුදාපතිවරුන් කළ දෑ වලට වඩා ගුණාකාරවලින් මෙම “ගැහිලි” විශාලය. සැබවින්ම මෙම මූලික අවලස්සන දූෂණ සංස්කෘතිය නිර්මාණය කළේ එවැනි අයවලුන්ය. එහි ක්‍රමික වර්ධනය සිදුකොට ඇති විනාශය මේවන විට පැහැදිලිය. එහි වඩාත් විනෝදජනක කාරණය වන්නේ, මෙම හිටපු නාවික හමුදාපතිවරුන් අතරින් ඇතැමුන්, අඩු තරමින් තමන්ට අමාත්‍යාංශ ලේකම් ධූරයක් හෝ ලබාදෙන ලෙස ඉල්ලමින් ඇතැම් දේශපාලනඥයින් පිටුපස යෑමයි.හාස්‍යය වන්නේ මොවුහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමුද්‍ර කටයුතු උපදේශක තනතුරද හෙබවීමය.

ඇවන්ට්-ගාඩ් සම්බන්ධ මෙම කාරණය ඉතා වැදගත් වන්නේ මුළු රටටම බව මින් පැහැදිලිය. තම ගැලවීමේ මාර්ගය ලෙස, මෙය දේශපාලනීකරණය කිරීම හෝ වෙනත් කාරණයක් සමග සංසන්දනය කිරීම නොකළ යුතු කාරණයකි.

ශ්‍රී ලංකා නාවික හමුදාව එහි කළමනාකරණය අතට ගත් දිනයේ පටන් එහි කටයුතු සාර්ථකව සිදු කරගෙන යන්නේය. එබැවින්, රටේ නාවික හමුදාව මේ සම්බන්ධයෙන් අදක්ෂ යැයි සේනාධිපති මතුකළ සහ එකළ සේවයේ සිටි නාවික හමුදාපතිවරුන් එකහෙලාම පිළිගත් කාරණය අමුලික අසත්‍යයක් බව ඔප්පු වී ඇත.

එසේම මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිමය වශයෙන් ප්‍රශ්න කිරීමට හැකි සාදාරණ කාරණයකි. එය රටේ ජනතාවට තේරුම් ගැනීම සඳහා අවශ්‍යය වටපිටාව වහාම සකස්කළ යුතු වේ. එවිට මතුපිටින් පුපුරණ අන්තවාදී කල්ලිවලට රටේ ජනතාව විනාශ කිරීමට නොහැකි වනු ඇත.

එමෙන්ම, ආණ්ඩුව තුළ සිටින ඒජන්තයින්ගේ කූඨඋපායන් හමුවේ මෙම ක්‍රියාවලිය දියාරූ වීමේ අවදානමක් තිබේ. මෙම සියලු කරුණු, අදාළ සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව වඩාත් නිවැරදිව සඳහන් කර තිබේ. එය ගෙන කියවීම සහ තේරුම් ගැනීම රටේ නායකත්වයේ ඇතළු සියලු පාර්ශවයන්ගේ වගකීම වේ.

මෙවැනි කාරණා හමුවෙහි,  නීතිමය වශයෙන් මෙන්ම විශේෂඥ දැනුම අතින් රටේ ජනතාවට වගකියන නිලධාරීන් කිහිප දෙනෙකු සිටිති.

මෙහිදී යළිත් මතක් කළ යුතු කාරණය වන්නේ මෙම සිදුවීම රටක අධිකරණ පද්ධතිය ස්වාධීන බව ඔප්පු කිරීම සඳහා ලබා දුන් ඓතිහාසික අවස්ථාවකි. එමඟින්, රටේ නීතිය හමුවේ සෑම අයෙකුම සමාන බව රටේ ජනතාවට මෙන්ම ලෝකයට ආදර්ශයෙන් පෙන්වා දිය හැකිය. එය, සැබෑ සමාජ ප්‍රතිසංස්කරණයයි. රටට මෙන්ම ජනතාවට අවශ්‍යය වන්නේ එයයි.

හොංග් කොංග් හී හිටපු පොලිස් ප්‍රධානියෙකු දූෂණ වංචා සිදුකොට රටින් පලා ගොස් එංගලන්තයේ ජීවත් විය. ඔහු කළ වංචා ඉතා විශාල අගයකි. රටේ ජනතාව මෙන්ම ජනතාවට වගකියු ආණ්ඩුව ඊට නිවැරදි ක්‍රියාමාර්ග ගත්තේය. අදාළ නිලධාරියා එංගලන්තයෙන් පිටුවහල් කොට එරට අධිකරණයට භාර දුන්නේය. ඉන්පසු ඉතාම නිශ්චිත කාලයකදී නඩුව අසා දඬුවම් ලබාදුන්නේය. එම සිදුවීම අල්ලස් වලට එරෙහි ජගත් කීර්තියට පත් හොංග් කොංග්හී අල්ලසට එරෙහි ස්වාධීන කොමිසම මැදිහත් වූ පළමු ප්‍රධාන සිදුවීම විය. එහි ප්‍රතිඵලය ලෝකයේ අල්ලසින් තොර ප්‍රධාන තැනක් බවට හොංග් කොංග් පත් වීමය. මේ වන විට නීත්‍යානූකූල ව්‍යාපාර සඳහා ලෝකයේ ආරක්ෂතම “රට” සහ රාජ්‍යය පරිපාලන සේවයට හිමිකම් කියන්නේ හොංග් කොංග්ය.

ඇවන්ට්-ගාඩ් සිදුවීමද මේ හා සමානය. ආණ්ඩුව මෙහිදී ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුය.

මෙවැනි සිදුවීම්, වරක් හපා කෑමට හැකි අයිතිය නමැති නීති ධර්මය ප්‍රකාරව සුළුවෙන් තකා අනාගත දේශපාලන විනාශය ඉක්මන් කරගත යුතු සිදුවීම් නොවේ. ලැදියාවන් අතර විසම්මුතියේ සහ අවභාවිතයේ සංඛේතය වූ ඇවන්ට්-ගාඩ් ගනුදෙනුවට ගෝඨාබය රාජපක්ෂ මහතා කළ දේශප්‍රේමී උදාර සේවය රටේ නීතිමය කාරණා හමුවේ පැහැදිළි කරගත හැකි සහ යුතු ඉතාමත් වැදගත් අවස්ථාව උදා වී තිබේ.

මෙම මූලික කාරණයේ ඇති සදාචාරත්මක දේශපාලන කාරණය වූ කලී, මූල්‍යමය වශයෙන් සිදුකළ අවභාවිතය නොව එය දඩමීමා කරගෙන රටට දේශද්‍රෝහී වෙමින් බොරු දේශප්‍රේමීත්වයක් මවා පෑමය. රටේ ආරක්ෂක හමුදාව සමච්චලයට ලක් කිරීමක් සහ ඔවුන්ගේ කීර්තිනාමයට හානී කිරීමකි. එවැනි කටයුත්තක් කළ අයෙකු “මහජනතාවගේ ජනාධිපති” නමැති ලේබලය එල්ලා දේශපාලනයට ගෙන ඒමට උත්සහ කිරීම හාස්‍යය ජනක වැරද්දක් පමණි. මෙම බරපතළ කාරණය නීතියානුකූලව විසඳිය යුතුය. රටේ ජනතාව දේශප්‍රේමී සළු පොරවාගත් හොරුන් විසින් රටේ සමස්ථ ක්‍රමය මර්දනය කළ අවදියට යළි පණ නොදිය යුත්තේය. එය කළ හැක්කේ රටේ ජනතාව බලය ලබාදුන් ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කිරීමෙන් පමණි.

රාජ්‍යය සම්පත් අවභාවිතය සහ මූල්‍යමය වංචාව යනු සැබෑ දේශද්‍රෝහීත්වයයි. එය දේශප්‍රේමී වෙස්මුහුණෙන් වසා නීතිය මෙන්ම රටේ අභිමානය සමච්චලයට ලක් කළ හැකිද? මෙය, වඩාත් නිවැරදිව සහ නියමිත කාලයට අනුව විසඳීමට ආණ්ඩුවට කොන්දක් තිබේ දැයි, ගෙවී යන දින කිහිපය තුළදී තීරණය වනු ඇත.

– ස්තුතිය ශ්‍රී ලංකා ගාර්ඩියන්

Archive

Latest news

Related news