යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා උතුරේ සංචාරයක යෙදෙන විදේශ ඇමති මංගල සමරවීර පවසන්නේ වසර විසි ගණනක් තිස්සේ අවතැන්වෙලා ඉන්න ඒ අසරණ මිනිස්සුන්ගේ ඉඩම් ඉක්මනින් දිය යුතු බවයි. ඉඩම් ආපසු ලබා දෙන්න කියා උතුරේ මිනිසුන් ගෙනෙන ඒ ඉල්ලීම් ඉතාම සාධාරණ බවයි. ඒ අතර රජයේ පුනරුත්ථාපාන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛණවලට අනුව නැවත පදිංචි කිරිමට තවත් ඇත්තේ යුද්ධයෙන් අනාථ වු පවුල් 936 ක් පමණි. එහෙත් අවතැන් වු ජනතාව සමඟ සමීපව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක දත්තවලට අනුව උතුරේ අනාථ කඳවුරු 43 ක, නැවත පදිංචි විමේ අවශ්‍යතාවයෙන් අනාථවු දමිළ පවුල් 9000 (නවදහසක්) ජීවත් වෙති. උප පවුල් කිහිපයකට පමණක් යුධ හමුදාවෙන් නිවාස ලබාදිය හැකි බව ද දන්වා ඇත. එසේ වුවිට ඉතිරි උප/අනු පවුල් යන්නේ කොහේද ? අවතැන්වුවන් යළි අවතැන් වන කථා බොහෝමයකි.
යුද්ධය පැවැති සමයේ සිට ජාතික ආරක්‍ෂාව සඳහා යැයි පවසමින් ශ‍්‍රි ලංකා යුධ හමුදාව විසින් භාවිතා කළ තමන්ගේ ඉඩම් වලින්, යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් 05 – 07කට අයත් ඉඩම් අක්කර සිය ගණනක් තවදුරටත් එකී ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් තබාගත යුතු බැවින් තමන් වෙත එම ඉඩම් ආපසු ලබාදිය නොහැකි යැයි පසුගිය සතියේදි යුධ හමුදා නිළධාරීන් විසින් තම කඳවුරුවල නායකයින් / සම්බන්ධීකරණ පුද්ගලයින් කැඳවා දන්වා සිටි බව කඳවුරු වැසියෝ ප‍්‍රකාශ කරති. ඒ සමඟම, යුධ හමුදාව විසින් ආපසු ලබා නොදෙන ඉඩම් සඳහා, විකල්ප ඉඩම් වශයෙන් ලබාදීමට තමන් දන්නා, තමන් කැමති ඉඩම් ඇත්නම් ඒ පිළිබඳ විස්තර ද යුධ හමුදාවට ලබාදෙන ලෙසටත් ඔවුන් දැනුවත් කළ බව ද ඔව්හු පවසති.
එකී ලබා නොදෙන ඉඩම් අතර ජේ/233 කන්කසන්තුරෙයි බස්නාහිර, ජේ/233 කන්කාසන්තුරෙයි මධ්‍යම ප‍්‍රදේශය , ජේ/ 235 කන්කසන්තුරෙයි දකුණ, ජේ/236 පලෙයි වීවන්කාමන් , ජේ/250 තයිලෙට්ටි නැගෙනහිර යනාදි ප‍්‍රදේශවල දැනට පවතින යුධහමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බැවින් එම ප‍්‍රදේශවල ජනතාව සතු ඉඩම් නැවත් ලබාදෙන්නට කිසිඳු හැකියාවක් නොමැති බවට යාපනයේ ආඥාපතිවරයා කඳවුරු වැසියන්ට ප‍්‍රකාශකර ඇත.
එමෙන්ම ගුවන්තොටුපොල පුළුල් කිරිමේ අවශ්‍යතාවය මත පලාලි සහ වසාවිලාන් ප‍්‍රදේශවල ගුවන්තොටුපොලට ආසන්නයේ ඇති ඉඩම් ද නැවත ලබාදීම අත්හිටුවා ඇති බව යාපනය ආඥාපති ජෙනරාල් මහේෂ් සේනානායක තමන්ට කී බැව් ඔවුහු ප‍්‍රකාශ කරති. උප පවුල් කිහිපයකට පමණක් යුධ හමුදාව විසින් කීරිමෙලෙයි ප‍්‍රදේශයේ නිවාස කිහිපයක් සාදා දෙන බව ද ආඥාපතිවරයා දන්වා ඇත.
ඉඩම් හිමිව සිටි දමිළ වැසියන්ට එවැනි සහනයක් හෝ ලැබෙන මුත්, දැනටමත් කඳවුරුවල ජීවත්වන සමස්ත උප/අනු පවුල් කෙසේ නැවත පදිංචි වන්නේ ද යන ප‍්‍රශ්නය එසේම පවතියි. එහෙත් ”අපේ ගේ දොර ඉඩකඩම් තිබුණු විධියට අපිට තිබුණානම් අපේ අනු පවුල්වලට මේ වගේ කලක් යන්නෙ නැහැ” යනුවෙන් සොවින් බරව වැඩිහිටි කඳවුරු වැසියෝ ප‍්‍රකාශ කරති.
එහෙත් පසුගිය සතියේ පුනරුත්ථාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් ප‍්‍රකාශකර සිටියේ මේ වන විට නැවත පදිංචිකරවීම් සඳහා උතුරේ කඳවුරුවල ජීවත්වන්නේ යුධ අනාථයින්, පවුල් 936ක් පමණක් බවයි. එම 936 දෙනා මේ වසර නිම වන්නට පෙර නැවත පදිංචි කරවනු ලබන බවයි.
එමෙන්ම යුධ හමුදාපතිවරයාද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ප‍්‍රකාශකර තිබුණේ ජාතික ආරක්‍ෂාව හේතුකොට ගෙන දමිළ වැසියන්ට අයත් ඇතැම් ඉඩම් යළි නිදහස්කළ නොහැකි බවයි.
අනුන් සතු කුමක් වුව ද, (මෙහිදි ඉඩම් සහ ඒ ඉඩම් තුළ ඇති ජිවනෝපායන්) එය ලබාගැනිමෙන් හෝ පැහැර ගැනීමෙන් පසුව යළි එහි හිමිකරුවාට නැවත ලබා නොදෙන්නේ නම්, බිහිකර ගතයුතු යැයි පවසන සංහිඳියාවෙත් එය බිහිකරලීමට ගනු ලබන කවර හෝ උත්සාහයකත් ඇති සත්‍යය කුමක්ද ? අර්ථය කුමක්ද ?
යුද්ධය නිමවීමෙන් බොහෝ කාලයකට පසුව ආරම්භකළ සාමය හා සංහිඳියාව ගොඩනැංවීම සඳහා කටයුතු දියත්කරමින් සිටන මෙවැනි අවදියක, මෙසේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් දමිළ පුරවැසියන් පරම්පරා ගණනාවක් හෝ කෙටි කාලයක් තුළ සිය උරුමය ලෙසට ජීවත් වු ඔවුන්ට අයත් ඉඩම් ආපසු නොදෙමින්, ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය මෙන්ම එම බිම්වල ඔවුන්ගේ රැුකියා කිරීමේ අයිතිය එසේ කප්පාදු කරදැමීමට යුධ හමුදාවට අයිතියක් තිබේදැයි, යුධ අනාථයින්ගේ පුනරුත්ථාපනය හා සාමය සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරමින් සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන ජාතික ධිවර සහයෝගීතාවය (නැෆ්සො) ප‍්‍රශ්න කරයි.
ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුර දකුණ සාමය හා සංහිඳියාව ගොඩනැංවිමේ අංශයේ සම්බන්ධීකාරක ඇන්තනි ජේසුදාසන්, අවතැන්වුවන් හා ඉඩම් ආපසු ලබාදීම් පිළිබඳව අදහස් දක්වමින් තවදුරටත් මෙසේ ද ප‍්‍රකාශ කළේය.
”යුද්ධයෙන් අනාථව, වර්තමානයේදි යාපනය අර්ධද්වීපය තුළ අනාථ කඳවුරු 43ක දමිළ පුරවැසි පවුල් 9000ක් තවමත් ජීවත් වෙනවා. ඔවුන් එසේ ජිවත්වෙන්නේ සැප සම්පත් ලැබී, ඉතාම සුව පහසුවෙන් නෙවෙයි. අන්ත දුක්විඳිමින් ජීවිතය තිත්ත වුනු විදියට තමයි ජිවත් වෙන්නෙ. මොවුන් සියලූම දෙනා වර්තමාන ආණ්ඩුව බලයට පත්කර ගැනිම සඳහා , මෛත‍්‍රිපාල සිරිසේන තමන්ගේ නායකයා කරගන්නට ඉතාම සතුටින් ඡුන්දය පාවිච්චි කළා. එසේ කළේ ඉතාම විශාල බලාපොරොත්තු තියාගෙන, තමන්ගේ ගම් බිම්වල නැවත පදිංචි වීමේ මහා ආශාවෙන්. ඡන්ද පොරොන්දුවල සහ ඉන් පසුවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශකර සිටියා උතුරේ නැවත පදිංචි කිරීම් ඉතාම ඉක්මනින් සිදුකරනවා කියලා, ජුනි මාසය නිම වෙන්න ඉස්සරින් සියලූම දෙනාව පදිංචි කරවනවා කිවා. නමුත් ඒවා පොරොන්දු විධියට තාම තියෙනවා , ඉතාම සුළු පිරිසක් පමණක් බොහෝම මන්දගාමිව විටෙන් විට නැවත පදිංචිකරවා තිබෙනවා.” යැයි කීහ.
තවදුරටත් අදහස් දැක්වූ ඇන්තනි ජේස්දාසන් කියා සිටියේ අත්‍යවශ්‍යම හමුදා කඳවුරු තබා ගැනීම සාධාරණ නමුත් ඕනැවටත් වඩා තැන තැන, මිනිස්සු ජීවත්විය යුතු ස්ථානවල, ගම්බිම්වල හමුදා කඳවුරු පවත්වාගෙන යැමට, යුධහමුදාවත් ආණ්ඩුවත් සැළසුම් කිරීම සම්බන්ධයෙන් නම් කිසිවිටකත් , මොනම හේතුවක් මතවත් එකඟවිය නොහැකි බවයි.
ජාතික ආරක්‍ෂාවට යැයි හෝ නොයෙක් නොයෙක් සංවර්ධන කටයුතුවලට යැයි ප‍්‍රකාශකරමින්, යුද්ධයෙන් පීඩාවට පත්වු දමිළ ජනතාවගේ මුල් ඉඩම් නැවත ලබාදීමට නොහැකි බවට යුධ හමුදාව ප‍්‍රකාශකරන විට, විටෙන් විට එකී ඉඩම් නැවත ලබාදෙන්නට හැකි යැයි විවිධ අවස්ථාවලදි ජනතාව ආමන්ත‍්‍රණය කරන ජනාධිපති අගමැති ,මැති ඇමතිවරු විවිධ පොරොන්දු ලබාදෙතිි. ප‍්‍රකාශකරති. පසුගිය වසරේ රාජ්‍ය නත්තල් උත්සවය වෙනුවෙන් උතුරට පැමිණි ජනාධිපතිවරයා දමිළ අවතැන්වුවන් හට ප‍්‍රකාශ කළේ ”තව මාස හයක් යන විට එනම් 2016 වසරේ ජුනි මාසය වන විට ඔබලා සියලූ දෙනාවම නැවත පදිංචි කරනවා” කියාය. එහෙත් ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර තවත් විශාල පිරිසක් අවතැන් කඳවුරු නැමති මඩ වගුරේ , අපායේ තවමත් ලැගුම්ගෙන සිටිති.
පසුගිය දා, එනම් අගෝස්තු 28 වනදා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යාපනය නල්ලූර් කෝවිල අසළ ආරම්භ කළ තෙදින ජංගම සේවාවේදි මහජනතාව විසින් ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ආරක්‍ෂක අමාත්‍යංශයත් සමඟ සාකච්ඡාකර දමිළ මිනිස්සුන්ගේ ඉඩම් ඉක්මනින් නැවත ලබාදෙන බවට විදේශ කටයුතු ඇමති මංගල සමරවීර පොරොන්දු විය. ඉන් නොනැවති අවතැන් කඳවුරු කිහිපයක් සියැසින් දැකගෙන කඳවුරුවැසියන්ගේ හඬට ඇහුම්කන් දුන් විදේශ ඇමති මංගල බොහෝ හෘදයාංගම සහ සත්‍යවාදි ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ වසර විසි ගණනක් තිස්සේ අවතැන්වෙලා ඉන්න ඒ අසරණ මිනිස්සුන්ගේ ඉඩම් ඉක්මනින් දිය යුතු බවයි. ඉඩම් ආපසු ලබා දෙන්න කියා උතුරේ මිනිසුන් ගෙනෙන ඒ ඉල්ලීම් ඉතාම සාධාරණ බවයි. මංගල සමරසිංහගේ මේ ඇත්ත ප‍්‍රකාශය අගය කළ යුතුය. ඊට වටිනාකමක් දීමට නම් අවම වශයෙන් ඔහුවත් ඉක්මන් සෘජු පියවරයන් ගතයුතුව ඇත.
ආණ්ඩුව දැඩි ලෙස ජාතික ආරක්‍ෂාව ගැන කථාකරනවා, උනන්දු වෙනවා, එනමුත් දමිළ අනාථායින්ගේ ආරක්‍ෂාව හා ජීවත්වීමේ අයිතිය ගැන එවැනිම වු දැඩි අවධානයක් යොමු නොකරන්නේ යැයි පෙන්වා දුන් ඇන්තනි ජේසුදාසන්, කඳවුරු වැසියන් තමන්ගේ ම වු ඉඩම්වල අයිතියි, සිය රැුකියාවේ අයිතිය වෙනුවෙන් තවමත් ජීවත්වන්නේ දේශපාලනඥයින් විසින් කිසිඳු පැකිලීමකින් තොරව විටෙන් විට ලබාදෙන පොරොන්දු , දේශපාලන කථා මත පමණක් යැයි කීහ.
කරුණු මෙසේ වන කළ, යුද්ධයෙන් විපතට පත්වු ජනතාවකගේ, අවතැන්වු ජනතාවකගේ සිය ගම්බිම්වල ජීවත්වීමේ අයිතිය, රැුකියා කිරීමේ අයිතිය ලබාදීමට ”බැහැ” කීමේ හමුදාවේ තිර හඬටත් , ”විටෙන් විට පුළුවන්” කීමේ ආණ්ඩුවේ අස්ථාවර හඬටත් දෝලනය වෙමින් ජීවත්වන අවැතැන්වුවන්ගේ ජිවිතවල හෙට දවස කුමක් ද? සිය හුස්ම පොද යන්නට මත්තෙන්, අති බහුතරයක් වු වයෝවෘද්ද වැඩිහිටි අවතැන්වු මේ මිනිසුන් කවදා කොහේ තමන්ගේ ජීවිත ආරම්භ කරන්න ද ? කොහේ සැනැසිල්ලේ තම ජීවත සතප්පවා ගන්නද ? තමන්ගේ ම වු දේපොල ආණ්ඩුවකට, රටක හමුදාවකට ලබාදි ජිවත්වීමේ අයිිතිය ඉල්ලා, රැකියාව කිරීමේ අයිතිය ඉල්ලා හූල්ලමින් දින, සති, මාස, අවුරුදු මෙසේ ගෙවා දමන්නේ මිනිසුන් කොට්ඨාශයක් යැයි බලධරයින් හට නොසිතෙන්නේ මන්ද ? මෙරට දී, මනුෂ්‍යත්වය මෙතරම් ම බාල්දු ද ?
සටහන සහ පිංතුර – මෙලනි මානෙල් පෙරේරා