Monday, May 6, 2024

මහ බැංකු අධිපති බලය අයථා පරිහරණය අහස උසට

(කීර්ති තෙන්නකෝන් පුවත්පත් සාකච්ජාව අමතමින්)

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කළ ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති රකින්නේ මහ බැංකු අධිපති!
– දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක පුවත්පත් සාකච්ඡාවේ දී කියයි.

බැදුම්කර නිකුතු දෙකක් හරහා ‘සබැදියාවන් අතර ගැටුම්‘ ඇතිකොට ගත් මහ බැංකු අධිපතිවරයා මේ වන විට තම බලය අයථා පරිහරණයට ලක් කරමින් සිටී. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තනතුරෙන් ඉවත් කරනු ලැබූ ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන එම තනතුරේ තබාගන්නට තම බලය යොදා ගෙන ඇත්තේ මෙසේය.

ලංකා පුත්‍ර‍ බැංකුවේ අර්බුදය – අර්ජුන්ගේ ‘ඒකාධිපති‘ බලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 මාර්තු 24 දින ලිපියක් මගින් ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති එම ධූරයේ තවදුරටත් කටයුතු නොකළ යුතු බව දන්වනු ලැබීය. එයට හේතු වූවේ,
1. සභාපති ලසන්ත ගුණවර්ධනට එම ධූරයේ කටයුතු කිරීමට 2007 අංක 12 දරණ බැංකු උපදේශන පනතේ 3 (5) (IX ) යටතේ (වෘත්තීය) සුදුසුකම් නොමැති වීම
2. මෙයට පෙර ද ලබා දී තිබූ අනතුරු හැගවීම් නොතකා සභාපතිවරයා බැංකුවේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට අසමත්වී ඇති බව සහ එබැවින් ඔහු සභපති ධූරයේ වගකීම් ඉටුකිරීමට අසමත්වීම

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන නියෝග – උපමාන අනුව කටයුතු කිරීමට මෙරට ලියාපදිංචි වානිජ්‍ය හා විශේෂිත බැංකු බැදී සිටී. ඒ බැංකු ක්‍රියාවලියේ උන්නතිය හා තත්ව ආරක්ෂණය වෙනුවෙනි. ඒ සදහා ඔවුන් වෙත , 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 (එච්) හි 42 (2) යටතේ බලය හිමිවේ.
එම බලය මහ බැංකු අධිපතිවරයාට නිශේධනය කළ නොහැකිය. ඉතා විමසිලිවන්ත අධීක්ෂණයකින්, පසුවිපරමකින් පසුව සිදු කරනු ලබන බැංකු අධික්ෂණ නිර්දේශයන් හි නියෝග සමස්ථ බැංකු කේෂ්ත්‍ර‍යටම එක ලෙස බලපානු ලබයි.

මෙයට අමතරව, ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ බලහත්කාරයෙන් මේ වන විට රැදී සිටින සභාපතිවරයාට එරෙහිව

1. බැංකුවේ දෛනික කටයුතු සදහා බලපෑම් කිරීම
2. බදවා ගැනීම් සදහා සෘජුව මැදිහත්වීම
3. පුවත්පත් සාකච්ඡාවක දී ගණුදෙනුකරුවන්ගේ තොරතුරු අනාවරණය කිරීම පිළිබද සාක්ෂි සහිත තොරතුරු මේ වන විට ඉදිරිපත්වී ඇත.

මහ බැංකු අධිපතිවරයා
ලංකා පුත්‍ර‍ බැංකුවේ සමාගම් ලේකම් ගාමිණී පිටිපන විසින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් මාර්තු 24 දිනැති ලිපිය නැවත කැදවා ඇති බවයි.
මහ බැංකු අධිපතිවරයාට එලෙස බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපියක් නැවත කැදවීමේ බලයක් නැත. තාක්ෂණික ඇගයීමකින් පසුව සිදු වන නිර්දේශ ආපසු කැදවීම වනාහි ‘ඒකාධිපති‘ කටයුත්තකි.
මේ පිළිබද සිදු කළ විමසීමට අනුව පෙනී යන්නේ, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක මුල් ලිපිය නැවත කැදවීමක් සිදු කොට නොමැති බවයි. ඒ අනුව, තවමත් මෙම ලිපිය වලංගුව පවතී.
එසේ නම් තවමත් ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති ධුරයේ කටයුතු කරන්නේ කෙසේ ද?

කබ්රාල් යුගය – අවසන් කිරීම
වත්මන් මහ බැංකු අධිපතිවරයා එම ධූරයට පත් වූවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ ධූර කාලයේ ඉතිරි කොටස පියවීම සදහා ය. ඔහු එම තනතුරට පත්වීමෙන් පසු කටයුතු කරනු ලැබූවේ ද කබ්රාල් කටයුතු කළ ආකාරයෙන්මය.

ග්‍රීක් බැදුම්කර ආයෝජනයෙන් මෙරට මුල්‍ය සංචිත කාබාසිනියා කළ කබ්රාල් කල්ලිය වෙනුවට මාමා-බෑනා කණ්ඩායම තම ‘සබැදියාවන් අතර ගැටුම‘ දිගින් දිගටම පවත්වාගෙන යයි. ඒ අතර විනිවිද භාවයකින් තොරව බැදුම්කර නිකුතු ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කරනු ලබයි.

ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මහ බැංකු අධිපතිවරයා ගේ ප්‍රවේශය ඔහු සිය තනතුර බලය අපයෝජනය සදහා යොදා ගෙන ඇති බවට කදිම සාක්ෂියකි.
මෙවන් අධිපතිවරයෙකු නැවත මහ බැංකුවේ අධිපති ධූරයට පත් නොවිය යුතු බව ‘දුෂණ විරෝධී පෙරමුණ‘ දැඩිව අවධාරණය කරයි.

2016 ජූනි මස 05 දා රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

මාධ්‍ය ඒකකය
2016 ජූනි 6

Archive

Latest news

Related news