(මරා උගන්ඩාවෙදි)
සියල්ල මනා ලෙස සිදුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීගේ දේශපාලනයේ ඇති වඩාත් දැකුම්කලු ගුණාංගය වූ කලී ඔහු ගැන පේන හෝ ශාස්ත්‍ර කීමට නොහැකියාවයි. අවසන් මොහොත වන තුරු මෛත්‍රී කරන්නේ කුමක්ද; කියන්නේ කුමක්ද; යන්න ගැන කිසිවෙකුට අනාවැකි කීමට නොහැකි වීම දේශපාලනඥයෙකු ලෙස ඔහු ලද ජයග්‍රහණයකි. එසේම මෑතකදී, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට හෙතම සඳහන් කොට සිටියේ, තීරණ ගැනීමේදී කිසිඳු කලබලයක් තමන්ට නොමැති බවය. සැබවින්ම එය ගැලපිය හැක්කේ වරක් ඒබ්‍රහම් ලින්කන් කියූ ප්‍රකාශයකටය, ඒ වූ කලී, “මම ඉතාම හෙමින් ගමන් කරන්නෙමි. නමුත් මම කිසි වෙටෙක පිටුපසට ගමන් කරන්නෙක් නොවෙමි.” මෙය ලංකාවේ දේශපාලනයට මෙන්ම සමාජ සංස්ථා වලට අමුතු අත්දැකීමකි. අලුත් දෙයකි. ඒ අතින් අනෙකුත් දේශපාලනඥයින්ට වඩා මෛත්‍රී සිටින්නේ තරමක් ඉදිරියෙකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩාවේ සංචාරය ගැන මහත් කතාබහක් ඇති වන්නේ මේ වටපිටාව තුළය. පළමුව මහින්ද උගන්ඩා යෑම පිළිබඳ ගැටලුවක් ඇතැමුන්ට පැන නගී. එය හාස්‍යයට කාරණයක් වේ. දෙවනුව අදාල ගැටලුව තව දුරටත් සංකීර්ණ වන්නේ, මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ සංචාරයේ වියදම් දැරූ බව හෙළිදරව් කිරීමෙනි. සංචාරය සඳහා කෙතරම් වියදමක් දැරුවේද යන්න වාර්තා වී නැති නමුත්, ඇතැම් මාධ්‍යවේදීන් මෙන්ම දේශපාලන විචාරකයින් මේ පිළිබඳව සිය කනස්සල්ල පළ කොට තිබේ. ඔවුහු සොයා ගත් තොරතුරු මත එවැනි දෑ කීම හෝ සටහන් කිරීම අරුමයක් නොවේ. නමුත් නීතියක් හෝ සම්ප්‍රදායක් හරි හැටි ක්‍රියාත්මක නොවන රටක නීතිය හෝ සම්ප්‍රදාය ගැන සඳහන් කිරීම විහිළුවකි.
කෙසේ වෙතත්, අදාළ සංචාරය සඳහා රජයේ මුදල් ඉල්ලා සිටීම වෙනම විමසිය යුතු දේශපාලන කාරණයක් වුවද, ඒ සඳහා මුදල් ලබා දීමේදී විදේශ කටයුතු අමාත්‍යංශය සිදු කොට ඇත්තේ වැදගත් මෙන්ම ක්‍රමෝපායික දේශපාලනයකි. එය ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් කළ ඉතා යපහත් අත්හදා බැලීමකි.
මෙහි ගැටලුව වන්නේ අසමත් යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා ආණ්ඩුවේ, මුදල් යොදා ගනිමින් උගන්ඩා සංචාරයේ යෙදීමට මහින්ද රාජපක්ෂ මහතා ඉතා දුර්වල දේශපාලඥයකු වීමයි. ආණ්ඩුවේ මුදල් ලබාගෙන විදෙස් සංචාරයක යෙදෙන විපක්ෂයේ ප්‍රධානියා යැයි නම් කළ නායකයෙකුට තව දුරටත් රෙදි ඇඳගෙන ජනතාව ඉදිරියේ පෙනී සිටිය හැකිද? මේ තත්වය තුළ ජනතාව තේරුම් කර ගත යුතු මූලික යතාර්ථයක් නොතිබේද?
එසේම “පොදු විපක්ෂය” යැයි නම් කරගෙන ඇති පුද්ගලයින්ගේ එකතුව මේ තත්වය යටතේ ජනතාව හමුවේ පෙනී සිටිය හැක්කේ කෙසේද? මහින්ද පරාජය වීම ගැන කඳුළු සලන සහ කණගාටුවන පිරිස අවබෝධ කරගත යුතු මූලික යතාර්ථයක් තිබේ. එනම්, යහපාලන ආණ්ඩුවේ මුදල් භාවිතා කරමින් මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ ජනාධිපතිගේ පස්වන පදවි ප්‍රප්තිතිය නියෝජනය කිරීමට තරම් දීන වූ බවය. එහි ඇත්තේ ඔහුට උගන්ඩාවේ ජනාධිපතිවරයා සමග ඇති මිත්‍රශීලී ගනුදෙනුවට වඩා ඔහු “යහපාලන ආණ්ඩුව “සඳහා දක්වා ඇති ආලයේ ගැඹුරයි. සාමන්‍ය ජනතාව ලෙස මෙම පවතින සැබෑ දේශපාලන නාටකයේ ඇති කැත හඳුනා ගත යුතු නොවේද?
රටේ සැබෑ වීරයන් සමරනවා යැයි කියමින් මතුපිටින් පෙන්වා රටේ ජනතාව රවටමින් තම අප්‍රසන්න දේශපාලන ගුණ්ඩු අටවන දේශපාලන කල්ලිවාදයට ඉඩදිය යුතුද?
මේ තත්වය තුළ “පොදු විපක්ෂයට” කළ හැකි එකම කාර්යයය වූ කලී, අනුර කුමාර දිසානායක මහතාට , විමල් වීරවංශ මහතා තමන්ගේ සුවච කීකරු පුදගලයෙකු මාර්ගයෙන් එල්ල කරන නිවට නියාලූ පන්නයේ චෝදනා මිස ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට කිසිඳු පිළිසරණක් නොලැබෙන අප්‍රසන්න දේශපාලන උපායන් ක්‍රියාත්මක කිරීමය. පොදු විපක්ෂය මුහුණ දී සිටින සැබෑ අර්බුදය මෙයයි.එසේම ඔවුහු රටේ මහජනතාව රවටමින් සිටින අප්‍රසන්න ස්වභාවයේ ගැඹුර මින් හඳුනා ගත හැකිය.
වත්මන් ආණ්ඩුවේ මුදල් වලින්, තම විදේශ සංචාරය යාමට තරම් පොදු විපක්ෂයේ සෙවනැලි නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා දීන වූයේ නම්, විපක්ෂයේ දේශපාලනය ගැන කීමට කිසිම දෙයක් නොමැත. මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂයක් ගොඩ නැගීමේ වුවමනාවක් තිබේනම් ඔහු කළ යුතු පළමු කාරණය වන්නේ, උගන්ඩා සංචාරය සඳහා රජය තමන්ට වියදම් කළ මුදල ප්‍රසිද්ධ කිරීම සහ එය රටේ ජනතාව වෙත යලි ලබා දීමයි. එය නොකරන තාක් දුරට, මොවුන්ගේ ඇති පටු නියාලූ දේශපාලනයේ ඇති අප්‍රසන්න බව තේරුම් ගැනීමට සහ එය තම අසල්වැසියා සමග බෙදා ගැනීමට රටේ ජනතාව වග බලා ගත යුතුය.
මෙම සන්දර්භය හමුවේ රටේ ජනතාව හමුවේ ඉතිරිවී ඇත්තේ එකම නියතයකි. එනම්, සමාව පිළිගත හැකිය නමුත් ඉන් විශ්වාසය යලි ගොඩ නැගිය නොහැකිය යන්නය. පොදු විපක්ෂයේ අයවලුන් යහපාලන ආණ්ඩුවේ මුදල් වියදම් කරමින් විදේශ සංචාර වල නිරත වෙද්දී , රටේ “විපක්ෂ දේශපාලනයක්” ඉතිරු වී තිබේද? බොරු රඟපෑම් වලට මුවා වී මහින්ද රාජපක්ෂ මහතා රඟ දක්වන සැබෑ නාටකයේ හෙළුව මින් නොපෙනේද?
විපක්ෂයේ දේශපාලනය අතට ගෙන එහි මූලික බලවේගය වී සිටින මහින්ද රාජාපක්ෂ මහතා මෙහිදී තම පාක්ෂිකයින් සහ හිතවතුන් පවා දී නැතැයි කිව හැක්කේ කාටද? ප්‍රකට ඇමෙරිකානු බුද්ධිමතෙකු වන මැල්කම් එක්ස් සඳහන් කළ පරිදි, “මරණයට වඩා පාවාදීම දරුණුය. මරණය තේරුම් ගත හැකිය. නමුත් පවා දීම තේරුම්ගත නොහැකිය.” සංකීරණ උභතෝකෝටිකයක සිර වී සිටින රාජපක්ෂ මහතාගේ දේශපාලන රඟපෑම් දෙස බැලීමේදී පෙනී යන්නේද එයයි.
යහපාලන ආණ්ඩුව විසින් ඔහුගේ සංචාර සඳහා වියදම් කළ මුදල ආපසු ලබා දී ඔහුට තවදුරටත් දේශපාලනය කිරීම සඳහා වූ කශේරුව තිබේදැයි විමසීම, ඊට සහය දක්වන සියල්ලම ආයාසයෙන් බලා සිටින කාරණය වේ.
මින් පෙනී යන්නේ හෙතම රෑ වැටුණු වලේ දවල්ද වැටී ඇති බවය. ඒ අනුව ඔහුට ආණ්ඩුව අතින් සිදුවන කිසිඳු වරදක් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීමට සාදාරණ සහ විනයානුකූල අයිතියක් නොමැත.