Thursday, November 21, 2024

තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු මෙහෙමයි

( මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳ තොරතුරු කල් තියා දැන ගැනීමට හැකි විය යුතු ය)

පුනරාවර්තන මෙන්ම ප්‍රාග්ධන වියදම් වෙනුවෙන්ද ආණ්‌ඩුව වැය කරනුයේ ජනතාවගේ මුදල්ය. මේ මුදල් ආණ්‌ඩුව ජනතාවගෙන් ලබා ගන්නේ සෘජු හා වක්‍ර බදු පනවා ඒ ඔස්‌සේය. එමෙන්ම ආණ්‌ඩුව රටේ සංවර්ධන වැඩ කටයුතු සඳහා වැය කරන්නේද ජනතාව සතු මුදල්ය. සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රටේ මුදල් මෙන්ම විදේශීය වශයෙන් ලබා ගන්නා ණය සහ ආධාර මුදල්ද යොදනු ලබයි. මෙම විදේශ ණය ආධාර වෙනුවෙන් වාරික හා පොලී අදාළ රටට ගෙවන්නේද ජනතාවගේ මුදල්වලිනි.

මේ ආකාරයෙන් බලන කල රටේ සෑම කටයුත්තක්‌ සඳහාම ජනාධිපතිවරයාගේ පටන් රාජ්‍ය සේවයේ සිටින කම්කරුවා දක්‌වාම පඩිනඩි ගෙවනුයේද ජනතාවගේ මුදලිනි. මෙය මධ්‍යම ආණ්‌ඩුව මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලටද ඒ යටතේ ඇති ආයතනවලටද පොදුය.

රටේ මුදල් ආණ්‌ඩුව, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනය විසින් වියදම් කරන ආකාරය දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇත. ඒ මේ මුදල් ජනතාව සතු නිසාය. එහෙත් අපේ රටේ ආණ්‌ඩුව, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනවලට වෙන්වන මුදල් වියදම් වන්නේ කුමන ආකාරයෙන්ද යන්න සොයා බැලීමට ජනතාවට අවස්‌ථාවක්‌ නැත. දූෂණ, වංචා, අක්‍රමිකතා කොතෙක්‌ තිබුණත් ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය ඔස්‌සේ මිස සෘජුවම අදාළ ආයතන මගින් විමසීමේ හැකියාවක්‌ නීතිමය වශයෙන් මෙතෙක්‌ කලක්‌ ජනතාවට ලැබී තිබුණේ නැත.

තොරතුරු දැන ගැනීමේ අයිතිය රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන එක්‌ විශේෂ කරුණකි. එවන් පනතක අවශ්‍යතාව කලක පටන් දේශපාලන වේදිකාවලින් අසන්නට ලැබුණද එය සැබෑවක්‌ වූයේ නැත. පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේද පොරොන්දුවක්‌ බවට තොරතුරු දැන ගැනීමේ පනත කරළියට ගෙන ආහ.

දැන් එය ඉටුවී ඇත. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය බ්‍රහස්‌පතින්දා පාර්ලිමේන්තුව හමුවට ගෙන ආවේය. එහි අන්තර්ගතය කෙබඳු වනු ඇත්ද… සැබවින්ම ජනතාවට තොරතුරු දැන ගැනීමේ අවකාශය මෙම පනත් කෙටුම්පත හරහා ලබාදී තිබේද යන්න පිළිබඳ ඉදිරියේදී කථිකාවන් සිදු කෙරෙනු ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 14 අ ව්‍යවස්‌ථාව මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර තිබේ. තොරතුරු ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය බලාත්මක කිරීම මගින් අමාත්‍යාංශ ඇතුළු සියලු රජයේ ආයතනවල විනිවිද භාවයක්‌ ඇති වේ. ඒ ඔස්‌සේ රටේ ජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි වීමට අවස්‌ථාව උදාවේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සක්‍රීය ලෙස බලාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ ජනමාධ්‍ය ඇමැතිවරයාටය. ඒ අනුව මධ්‍යම ආණ්‌ඩුවේ පළාත් සභා හා පළාත් පාලන ආයතන හා ඒවා යටතේ ඇති සංස්‌ථා, මණ්‌ඩල සහ දෙපාර්තමේන්තුවල තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම රටේ සෑම පුරවැසියෙකුටම තිබිය යුතුය.

එහෙත් පනත් කෙටුම්පතට අනුව ඉහත කී තොරතුරු වලට ප්‍රවේශවීම ප්‍රතික්‌ෂේප කළ හැකි, නැතිනම් මහජනතාවට හෙළිකිරීම තහනම් කෙරෙන තොරතුරුද වර්ග කර තිබේ. තහනම නොතකා එවන් තොරතුරු හෙළිකරන පුද්ගලයන්, මහෙස්‌ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වසර දෙකක සිරදඬුවමකටද යටත් කළ හැක. ඊට අමතරව රුපියල් පනස්‌ දහසක දඩයක්‌ වරදකරුට නියම කළ හැක. නොඑසේ නම් මෙම දඬුවම් දෙකම ලබාදිය හැක.

පනත් කෙටුම්පත යටතේ තොරතුරු හෙළි කිරීම වරදක්‌ ලෙසට ගැනෙන කරුණු මෙසේය.

රාජ්‍ය ආරක්‌ෂාවට හෝ එහි භෞමික අඛණ්‌ඩතාවට හෝ ජාතික ආරක්‌ෂාවට බරපතළ ලෙස අගතිදායක තොරතුරුද, එම තොරතුරු යම් රජයක්‌ හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූ අන්තර්ජාතික ගිවිසුම් හෝ බැඳීම් විසින් රහසිගතව ලබාදුන් හෝ රහසිගතව ලබාගත් අවස්‌ථාවක එකී තොරතුරුද හෙළිකිරීම, විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගණුදෙනු පාලනය කිරීමට අදාළ තොරතුරු හෙළිකළ නොහැක.

එමෙන්ම බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීමට අදාළ තොරතුරු, බදු පැනවීම හා භාණ්‌ඩ සහ සේවාවල මිල ස්‌ථාවරව පත්වා ගැනීම, පාලනය සහ ගැලපීමට, කුලී සහ අනෙකුත් පිරිවැය හා වේතන අනුප්‍රමාණ, වැටුප් සහ අනෙකුත් ආදායම් පිළිබඳ තොරතුරුද යමෙකු ඉල්ලා සිටියහොත් ඒවා හෙළිකිරීම වරදකි.

වාණිජ රහස්‌, වෙළෙඳ රහස්‌ හෝ බුද්ධිමය දේපළ ඇතුළු තොරතුරුද හෙළිදරව් කිරීමද, ලිත අනුමැතිය නොමැතිව යම් තැනැත්තකුගේ වෛද්‍ය වාර්තා පිළිබඳ තොරතුරුද හෙළිකිරීමද පනත් කෙටුම්පත යටතේ වරදකි.

යම් අපරාධයක්‌ වැළැක්‌වීම හෝ ඒ පිළිබඳ සොයා ගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම හෝ ඔවුනට එරෙහිව නඩු පැවරීම සම්බන්ධව අගතියක්‌ වන අවස්‌ථාවක, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ ජාතික ආරක්‌ෂාවට අදාළ තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ්‍රයක අනන්‍යතාව හෙළිවන අවස්‌ථාවකදී එකී තොරතුරුද හෙළිදරව් කළ නොහැක.

අධිකරණයට අපහාස වන තොරතුරු හෙළිකිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වන තොරතුරු හෙළිකිරීම, විභාග දෙපාර්තමේන්තුව හෝ උසස්‌ අධ්‍යාපන ආයතන මගින් පවත්වන විභාගවලට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත අවස්‌ථාවක එම තොරතුරු හෙළිකිරීම වරදකි.

ඉහත සඳහන් තොරතුරු හැර අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, මණ්‌ඩලයක හෝ ඕනෑම රාජ්‍ය ආයතනයක සන්තකයේ භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශවීමේ අයිතිවාසිකම සෑම පුරවැසියකුටම ඇතැයිද පනත් කෙටුම්පතේ දැක්‌වේ.

පනත යටතේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවක්‌ පිහිටුවනු ලබයි. ජනාධිපතිවරයා ඒ සඳහා සාමාජිකයන් පස්‌දෙනකු පත්කරනු ලබයි. ඒ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ නිර්දේශ මතය. එකී සාමාජිකයන් අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රකාශකවරුන්ගේ, කතෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන, වෙනත් සිවිල් සමාජ සංවිධාන විසින් එක්‌ තැනැත්තකු පත් කළ යුතුය.

මහජනතාවට ප්‍රවේශවීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක්‌ විසින්ම තම වාර්තා පවත්වාගෙන යා යුතු වන්නේය. මෙම වාර්තා සහ තොරතුරු පරීක්‍ෂා කිරීම සඳහා මහජනතාවට ලබාගැනීමට ඉඩකඩ ලැබේ. තමන් පරීක්‍ෂා කරන වාර්තාවල පිටපත් අවශ්‍ය නම් ගාස්‌තුවක්‌ ගෙවා ඒවා ලබාගත හැක.

යම්කිසි ව්‍යාපෘතියක්‌ (උදාහරණ – පාලම්, බෝක්‌කු, මහා මාර්ග වැනි) ආරම්භ කිරීමට මාස තුනකට පෙර එය භාර ඇමැතිවරයා විසින් එකී ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු ජනතාවට මෙන්ම එම ව්‍යාපෘතියෙන් බලපෑමක්‌ ඇති විය හැකි පුද්ගලයන්ට දැනගැනීමට සැලැස්‌විය යුතුයි. එසේ කළ යුතු වන්නේ ඇමරිකානු ඩොලර් මිලියනය ඉක්‌මවන විදේශ ආධාර මත කෙරෙන ව්‍යාපෘති සහ රුපියල් ලක්‍ෂ පහ ඉක්‌මවන දේශීය ආධාර මත කෙරෙන ව්‍යාපෘතිය.

රාජ්‍ය ආයතන විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කටයුත්ත නිසි පරිදි සිදුකරන්නේද යන්න අධීක්‍ෂණය කිරීම පෙර කී කොමිෂන් සභාවේ වගකීමකි. ඉල්ලා සිටින ලද තොරතුරු නියමිත වේලාවට නොලැබීම නිසා පුරවැසියකුගෙන් අය කළ ගාස්‌තුව යළි ඔහුට ලබා දෙන ලෙස රාජ්‍ය ආයතනයට හෝ තොරතුරු සැපයීමේ නිලධාරියාට විධානය කිරීමේ බලයද කොමිෂන් සභාව සතුය.

මහජනතාවට තොරතුරු ලබාදීම පහසු කරවීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකම තොරතුරු නිලධාරියකු හෝ ඊට වැඩි ගණනක්‌ හෝ පත් කළ යුතුය. තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයාගේ පෞද්ගලික විස්‌තර, තොරතුරු ඉල්ලා සිටීමට හේතු කිසිවක්‌ ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ නැත.

ඉල්ලා සිටින තොරතුර වැඩ කරන දින දාහතරක්‌ ඇතුළත සැපයීමට තොරතුරු නිලධාරියා බැඳී සිටී. එහෙත් යමෙකු තම ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධව තොරතුරු ඉල්ලා සිටින අවස්‌ථාවක පැය හතළිස්‌ අටක්‌ ඇතුළත තොරතුරු නිලධාරියා ඊට ප්‍රතිචාර දැක්‌විය යුතුය.

එහෙත් ඉල්ලා සිටින්නේ විශාල වාර්තා ප්‍රමාණයක්‌ නම්, එකී තොරතුරු සොයා බලා නගරයෙන් පිටත ස්‌ථානයක පිහිටා ඇති කාර්යාලයකින් ගෙන්වා ගැනීමට සිදුවේ නම් ඒ සඳහා දින විසිඑකකට නොවැඩි තවත් කාලයක්‌ දීර්ඝ කිරීමේ අවස්‌ථාව තොරතුරු නිලධාරියා සතුය.

කෙනකු විසින් ඉල්ලා සිටින තොරතුරක්‌ ලබාදීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නම් ඊට හේතු වූ කරුණු සහ ඒ සඳහා අභියාචනයක්‌ ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන එකී පුද්ගලයා දැනුවත් කළ යුතුය.

ඉල්ලා සිටින තොරතුරු සැපයීම සිතාමතා අවහිර කරන, වැරදිසහගත, අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කරන, තොරතුරු වසන් කරන අවස්‌ථාවකදී එකී පුද්ගලයන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කර වසර දෙකක සිර දඬුවමක්‌ සහ රුපියල් පනස්‌දහසක දඩයකට යටත් කළ හැකිය. එමෙන්ම තොරතුරු සැපයීම සඳහා තොරතුරු නිලධාරියා විසින් යම් රාජ්‍ය නිලධාරියකුගේ සහාය ඉල්ලා සිටින අවස්‌ථාවකදී සාධාරණ හේතුවක්‌ නොමැතිව එම සහාය ලබා දීම පැහැර හරින්නේ නම් එකී නිලධාරියකු මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර රුපියල් දසදහසක දඩයකට යටත් කළ හැකිය.

තවද පනත යටතේ අවසර ලබාදී ඇති තොරතුරු හෙළිකරන නිලධාරීන් සහ සේවකයන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට හෝ දඬුවම් කිරීමට එකී ආයතන බලධාරීන්ට නොහැක.

මෙම පනත යටතේ “තොරතුරු” යන වචනයද නිර්වචනය කර තිබේ. ඒ අනුව තොරතුරු ලෙස අර්ථ නිරූපණය වන්නේ සටහන්, ලේඛණ, සංදේශ, විද්යුත් තැපැල් මත උපදේශ මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියමයන්, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශන, හුවමාරුවන ලිපි, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූපසටහන්, රූපමය හෝ ප්‍රස්‌ථාරමය වැඩ හෝ ඡායාරූප සේයාපට, ක්‍ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම, වීඩියෝ පට, යන්ත්‍ර මගින් කියවිය හැකි වාර්තා, පරිගණක වාර්තා ආදිය වේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභා නවය වෙත ඉදිරිපත් කෙරිණි. පළාත් සභා හයක්‌ පනත් කෙටුම්පතට ඒ ආකාරයෙන්ම අනුමැතිය ලබාදී තිබේ. එහෙත් උතුරු මැද, සබරගමුව සහ උතුරු පළාත් සභා තුන පමණක්‌ සංශෝධනවලට යටත්ව මීට අනුමැතිය ලබාදී ඇත. එකී සංශෝධන ද එම පළාත් සභා විසින් කතානායකවරයා වෙත එවා ඇත. පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනක විවාදයට ලක්‌කර සම්මත කර ගැනීමට නියමිතය. එහිදීද දේශපාලන පක්‍ෂවලින් සංශෝධන ඉදිරිපත් වනු ඇත. ඒ අනුව මෙම පනත් කෙටුම්පතට තවත් කරුණු කාරණා එක්‌වීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ මෙකී පනත් කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳ විවිධ අදහස්‌, මති මතාන්තර ඉදිරියේදී සමාජයේ, විද්වතුන් අතරද කතාබහට ලක්‌ වනු ඇත. එහිදී ජනතාවට පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි චිත්‍රයක්‌ මවා ගැනීමට ඉඩකඩ විවර වනු ඇත.

අජිත් අලහකෝන්

– දිවයින

Archive

Latest news

Related news