Thursday, May 2, 2024

යහ පාලනයට පිට පොට පටලැවී ද? – නිලන්ත ඉංලගමුව

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු 08 වැනිදා වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැක් වූ අදහස මූලිකකොට ගෙන මතු වී ඇති දේශපාලන විවාදය සැබවින්ම වැදගත්ය. මෙය ආසියාවේ ආශ්චර්ය නමැති මායාව තුළ ගිල්වා තිබූ සැබෑ නීරස ඇත්ත නිරාවරණය කිරීමට උත්සහ ගැනීමක් කිරීමක් පමණක් නොව වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය මනාව පැහැදිලි කරනු ලබයි. අනෙකාව අත්අඩංගුවට ගන්නා බවට කරන තර්ජනයට වඩා වැදගත් වන්නේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම මිස ජනතාව ලබාදුන් බලය භාවිතාකොට දේශපාලන මංකොල්ලයක නිරත වීම නොවේ. “පරාජය කරනු ලැබූ විතර්කය මකා දැමීම ප්‍රතික්ෂේප කිරීමෙන් එය වඩාත් නැවුම්ව ජීවත් වේ,” යැයි ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන අමාර්තයා සෙන් තැබූ සටහන මීට කදිම ඌනපූරකයකි.

 අග්‍රාමාත්‍යවරයා තම කතාවේදී සහ ඉන් පසු පැවැත් වූ කතාවලදී මතුකරනු ලැබූ සහ මතු කිරීමෙන් වැළකී සිටි අදහස් මෙන්ම, පසුගිය ආණ්ඩුව විසින් රටේ ආර්ථිකයට කරනු ලැබූ අතවරය මෙරට සාමන්‍යය ජනතාවගේ බදුබර වැඩි කිරීම මගින් විසඳාගැනීමට උත්සහ කිරීම, ආදී කාරණා අර්බුදයේ සංකීර්ණ තත්වය ගැන ආණ්ඩුවට පවතින ප්‍රතිපත්තිය ගෙන හැර දක්වයි. එසේම, ඊට පැය කිහිපයකට පෙර, උතුරු පළාත් සභාවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් යෝජිත තොරතුරු දැන ගැනීමේ පනත දින කිහිපයකට හකුලුවා ගන්නා බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කිරීම  සහ අග්‍රාමාත්‍යවරයාගේ අදහස් සමග සියුම් උපායසීලී සම්බන්ධයක් තිබෙන්නේද යන්න මෙහිදී මතුවන මූලික කාරණා අතර එකකි.

රටේ සෑම පුරවැසියෙකුටම හිමි මූලික අයිතීන් හමුවේ තොරතුරු දැන ගැනීමේ පනත අතිශය තීරණාත්මක කාරණයක් වන අතර එය ප්‍රමාද කිරීම මගින් බොහෝ වැදගත් කාරණා සාමාන්‍ය මිනිසාගෙන් ඈත්කර තැබීමට හැකි වේ. එසේම ජනතාවට අදාළ තොරතුරු දැනගැනීම සඳහා ඇති අවකාශය වසා දැමිය හැකිය. විශේෂයෙන් දකුණු ආසියාවේ රාජ්‍යයන් සමග සංසන්දනය කිරීමේදී අදාළ පනත වඩාත් වැදගත් මෙන්ම බලවත් පනතක් ලෙස පසුගිය කාලය පුරා මතුපිටට පැමිණි විවරණයකි. මේ නිසා අදාළ පනත හැකි වහාම ඉදිරිපත් කිරීම සහ එය නීතියානුකූල කිරීම මූලික වගකීමක් වන අතර ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත් වේ.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා විසින් මතු කරනු ලැබූ කාරණා සහ, රටේ තෝරා බේරාගත් පිරිසක් පමණක් අධිකරණය ඉදිරියට පමුණුවා දේශපාලන නාඩකම්වල  නිරතවීම මගින්, වත්මන් ආණ්ඩුවේ ඉරණම වඩාත් ඛේදනීය විය හැකිය. මෙය, කිසිවෙකුට අනුමාන කළ නොහැකි සමාජ තත්වයක් දක්වා ගමන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අනාවැකි කීම බොහෝ දෙනෙකු හොටපටලවා ගත් කාරණයකි. එය එපමණකට සංකීරණ වූ සමාජ තත්වයකි. 

නව ව්‍යවස්ථාවක් ගැන සිහින දකිමින් එය මෙරට ප්‍රධාන සමාජ ගැටලුව ලෙස අරුත්ගන්වා රටේ සාමාන්‍යය ජනතාව එදිනෙදා ජීවිතයේ මුහුණදෙන කාරණා කෙරෙහි දක්වන උනන්දුව ප්‍රහීන වූ පසු මතුපිට තලයේ ඇති කුණු වූ තුවාල වලින් හමන දුර්ගන්දය එලෙසම පවතින්නේය. පාතාල කල්ලි විසින් සිදු කරනු ලබන ඇණකොටා ගැනීම් මෙන්ම දිනපතා සිදුවන සමාජ අපරාධ මේ සඳහා වූ නිදසුන් වේ.  දුගඳ හමන වණයක් සුවකළ හැක්කේ එය පළමුව පිරිසිදු කොට මූලික අඩිතාලම දැමීමෙන් පසු සිදුකරණ  සුපරික්ෂාකාරී වෙදකමෙනි.  එය සංකීරණ ක්‍රියාවලියකි. එම ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ අසාර්ථක වූ ක්‍රමවේද සහ උපායන් මෙන්ම රටේ මහජනතාව ප්‍රතික්ෂේප කළ අයවලුන් යොදාගෙන සිදු කරන අත්හදා බැලීම් වලින් නොවේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාම මෙවැනි අත්හදා බැලීම් සිදු වූ නමුත් ඒවායෙහි කෙලවර වූයේ සමාජ ව්‍යාකූලතාවය සහ අස්ථාවරත්වයයි.

අග්‍රාමාත්‍යවරයා ආර්ථික අර්බුදය විසඳීම සඳහා, රටේ සාමන්‍යය ජනතාවට පටිතද කරගැනීමේ අවශ්‍යතාවය සහ බදු වැඩිකිරීම විමසා බැලිය යුත්තේ මෙම වටපිටාව ඔස්සේය.  සැබවින්ම වත්මන් ආණ්ඩුවට රටේ ආර්ථිකය විසඳීම සඳහා වැඩපිළිවෙලක් තිබෙන්නද යන්න රටේ සාමන්‍යය ජනතාවට තවමත් දැනී නැත. එවැනි වැඩපිළිවෙලක් ගැන රටේ මහජනතාව දැනුවත් කොට විශ්වාසය දිනා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආණ්ඩුවට නොමැත. රටේ දේශීය සමාජ තත්වයය එයයි. එසේම, පසුගිය ආණ්ඩුවේ පව් සේදීම සඳහා රටේ ජනතාවගෙන් බදුබර වැඩි කිරීමට සිදුවීම අපේ වරදක් නොවේය, යැයි කීම හාස්‍ය ජනක කාරණයකි. එසේනම් නව ආණ්ඩුවක් පත් වූයේ කුමකටද?

රටේ ආර්ථික අර්බුදය මාධ්‍ය ඉදිරියට පැමිණ සිදුකරන රඟපෑම් වලට වඩා අතිශය බරපතළය. ජාත්‍යන්තර වශයෙන් ගතකල ලංකාව ආර්ථිකමය වශයෙන් සිටින ස්ථානය හඳුනා ගැනීම වැදගත් වේ. උරුමයන් පිළිබඳ පදනම ( හෙරිටේජ් ෆවුන්ඩේෂන්) විසින් වාර්ෂිකව නිකුත් කරන වාර්තාව එනම් ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයට (http://www.heritage.org/index/ranking) අනුව ශ්‍රී ලංකාව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කොට තිබුණද තවමත් ආයෝජකයින්ට මෙන්ම පාරිභෝගිකයින්ට සහ කම්කරුවන්ට, අනාරක්ෂිත ආර්ථික ව්‍යුහයක් හිමි රාජ්‍යයක් ලෙස සැලකේ. ජාත්‍යන්තර වශයෙන් ගත්කළ ප්‍රභල පිළිගැනීමක් ඇති අදාළ දර්ශකයේ නවතම දත්ත වලට අනුව අල්ලස් සහ මූල්‍ය වංචාවලින් නිදහස් වීම, ආයෝජකයින්ට ඇති ආරක්ෂාව, කම්කරු නිදහස, මූල්‍යමය නිදහස, ආදී මූලික කරුණු වලදී ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ අතිශය දුර්වල ස්ථානයකය. මේ නිසා සාර්ථක ආයෝජකයින් ගෙන්වා ගැනීමේ ප්‍රභල අභියෝගයක් තිබේ. මෙවැනි පසුබිම් ඇති රාජ්‍යයන් රතුපලස් මතින් පැමිණෙන හොර ආයෝජකයින්ට පමණක් පරාදීස වේ.

මෙම තත්වය ක්‍රමික සමාජ ව්‍යාකූලතාවයේ ප්‍රතිඵලයකි.

රටේ ආරක්ෂාව සහ ආර්ථිකය ඉහළ දැමීම සඳහා රටේ රාජ්‍යය සේවයේ පවතින බරපතළ ගරා වැටීමට කඩිනම් පියවර ගත යුතුව ඇත. රටේ ජනාධිපතිවරයාගේ නම අමතක වන ආමාත්‍යංශ ලේකම්වරුන් සිටින රටක රාජ්‍යය සේවයේ බිඳවැටීම සෑම අයෙකුටම පෙනෙන කාරණයකි. සෑම රාජ්‍යය ආයතනයකටම ස්වාධීන විශ්‍රාමලත් බුද්ධිමතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කොට අදාළ ආයතන සියල්ලම ස්වාධීන විඝනනයකට ලක් කිරීම අත්‍යවශය වේ. මේ සෑම ආයතනයක්ම එක්කෝ පවුල්වාදයෙන් කුණු වුණු ස්ථාන බවට පත් වී ඇත. නැතහොත් මූල්‍ය හොරුන්ගේ ගුහාවන් බවට පත් වී ඇත.

අතිශය අප්‍රසන්න ලෙස ව්‍යාකූල වී ඇති විදේශ කටයුතු අමාත්‍යංශය සහ එහි මූලික අවිය වන රාජ්‍ය ධූත සේවය විවිධ පන්දම්කරුවනේගේ සහ පවුල්වාදයේ ගොදුරක් පමණක් වී ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට තම පෞද්ගලික සැප මිස රට හෝ රටේ ජනතාව කිසිඳු වැදගත් දෙයක් නොවේ. වීරයින් හෝ වීරවරියන් සේ මාධ්‍ය ඉදිරියේ දොඩවමින් තම තැන රැක ගෙන තම දරුවන් තමන්ගෙන් පසු ඊට ඇතුළත් කරගැනීමට මානබලන දියරෙද්දෙන් බෙල්ල කැපීමේ කලාව මිස දක්ෂ නිලධාරීන්ට නිසි තැන හිමි තැනක් නොවේ. රට හැදීමට අවශ්‍ය වන්නේ නම් මෙවැනි “හීන් නූලෙන්” තම මඩිය සහ පවුල තරකරගෙන හැකි පමණ හොරා කෑමේ කලාව වෙනුවට රාජ්‍යයට වගකියන සහ රටේ මහජනතාවට වගකියන විනිවිදබාවයෙන් යුතු දූත සේවයක් රටට අත්‍යවශ්‍ය වේ.

මේවායෙහි පත්වීම් සිදුකෙරුණු ආකාරය, අදාළ වැටුපට සරිලන සේවයක් ඔවුහු විසින් සිදු කොට ඇත්තේද, වංචා සිදු වී ඇත්තේද, ආදී මූලික කාරණා අඩු තරමින් පසුගිය වසර 20ක පමණ කාලයක් සැලකිල්ලට ගනිමින් පරික්ෂා කළ යුතුව ඇත. මෙවැනි දෑ සාර්ථක පරිපාලනයක මූලික අවශ්‍යතාවයන් වේ. ආර්ථික අර්බුදය විසඳීමට සැබෑ වුවමනාවක් තිබේනම්, මෙවැනි මූලික දෑ කඩිනමින් සිදුකිරීම අත්‍යවශය වේ.

අවාසනාවට මෙන්, රටේ අතරමැදියන් විසින් සිදුකරන ජාවාරම් රටේ ආර්ථිකය බරපතල ලෙස අසමතුලිත කොට ඇති ආකාරය විසඳීමට හැකි ස්වාධීන වැඩපිළිවෙලක් ආණ්ඩුවට තවමත් ඇති බවක් පෙනෙන්නට නැත. විටින් විට නිකුත් කරන නිවේදන හෝ “විශේෂ ප්‍රකාශ” මගින් පමණක් මෙය සිදු කළ නොහැකිය. එය කළ හැක්කේ විෂය පිළිබඳ දන්නා ස්වාධීන ශ්‍රී ලාංකික පුරවැසියන් ප්‍රමුඛකොටගත් ස්වාධීන මෙන්ම සාදාරණ වැඩපිළිවෙලකිනි.

රට ගොඩගැනීමට අවශ්‍යනම්, පවතින වත්මන් තත්වය, වෙනස් කිරීමට ආණ්ඩුවට පැහැදිලි  වැඩපිළිවෙලක් තිබිය යුතු අතර, වංචා සහ දූෂණ වලට එරෙහිව සිදු කරන පර්යේෂණ සහ ඊට අදාළ සිදුකිරීමට නිර්දේශ කොට ඇති අධිකරණ ක්‍රියාදාමය නිසිකලට සිදු කිරීම මෙහි මූලික වැඩපිළිවෙල වේ. මේ වන විට බොහොමයක් මාධ්‍යන් ප්‍රසිද්ධ කොට ඇති පරිදි, රටේ සිදු වූ බරපතළ මූල්‍ය දූෂණ සහ  වංචා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණ වලට අදාළ මූලික ලිපිගොනු නීතිපතිවරයාට යොමුකොට තිබේ. කුමන හේතුවක් නිසා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවේ සිහිසුන්ව ඇත.

තෝරාගත් පිරිසක් බන්ධනාගාර ගතකොට, අධිකරණය සහ අදාළ බන්ධනාගර අතර ඇති මාර්ග පුරා සිදුකරන මාධ්‍ය සංදර්ශන වලින් සිදු කළ හැක්කේ කෙටිකාලීන ප්‍රමෝදයක් අත්විඳීම පමණි. එමඟින් සැබෑ ගැටලුවට පිළිතුරු ලැබෙන්නේ නැත.

 දේශපාලන අසමතුලිතතාවයක් ඇති නොකරගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටනම් අත්‍යවශ්‍ය වන්නේ, රටේ සාමාන්‍ය ජනතාවට ලබාදෙන කෙටි කාලීන සහන එලෙසම ලැබීමට ඉඩහරිමින්, ඔවුන්ගේ ජීවිත ගැන වඩාත් සුපරික්ෂාවෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. ඒ වෙනුවට බදුබරින් ඔවුන්ගේ ජීවිත හෙම්බත් කිරීම මගින් සිදු විය හැක්කේ ගැටලුව තවදුරටත් සංකීර්ණ වීම සහ ආණ්ඩුවට එරෙහි මතය බලාත්මක වීමය.  

යුද්ධය පැවති කාලයේ, රටේ හමුදාව අලිමංකඩ අත්පත්කරගන්නා විට මෙරට වත්මන් මුදල් ඇමතිවරයා සඳහන් කළේ අලිමංකඩ යැයි කියමින් පාමංකඩ යන බවය. හාස්‍යයකි, වර්තමානයේ ඔහුගේ මූල්‍ය ප්‍රතිපත්ති සලකා බැලීමේදී රටේ සාමාන්‍ය ජනතාවට දැකගත හැක්කේ යහපාලනය අලිමංකඩ යැයි සිතා පාමංකඩට ගමන් කරන සැටියෙකි. මෙම තත්වය යුද්ධයට වඩා බරපතළ විය හැකිය. මන්ද මිනිස් මනස පළමුව ආවදානය යොමුකරනු ලබන්නේ වත්මන් අවශ්‍යතා කෙරෙහිය. එය අතීතයේ සිදුවීම් මඟින් හෝ පෙර සිටි  පාලකයෙකුට බැර කොට අත සෝදා ගැනීමට යන්ත දැරීමෙන් සමාජ විශ්වාසය ඇතිකළ නොහැකිය.

Archive

Latest news

Related news