Sunday, April 28, 2024

ආණ්ඩුව වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ කුමන නීතිය යටතේද?

”මේ ආකාරයට දැන්වීමක් පළ කරමින් ප්‍රකාශ කරන්නේ නැවත වරක් මහින්ද රාජපක්ෂ පාලනයේ තිබූ අඳුරු යුගයට යෑමද? කියන ප්‍රශ්නය තමයි අපි අහන්නේ.”

ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කරන ලෙස ආණ්ඩුව කරනු ලබන ඉල්ලීමේ නෛතික පදනම කුමක්දැයි විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් ප්‍රශ්න කරයි.

වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ කුමන නීතියක් යටතේද? යන්න සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සහ සාමාන්‍ය වෙබ් අඩවියක් අතර වෙනස හඳුනා ගන්නේ කෙසේද? යන මූලික ප්‍රශ්න දෙකට ආණ්ඩුව පිළිතුරු දිය යුතු යැයි තමා විශ්වාස කරන බව මාධ්‍යවේදී සම්පත් සමරකෝන් කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමිනුයි.

2016 මාර්තු 31 වනදාට පෙර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි නොවන ප්‍රවෘත්ති වෙබ් අඩවි නීති විරෝධී වෙබ් අඩවි ලෙස සලකනු ලබන බවට එම අමාත්‍යංශය පුවත් පත් දැන්වීම් පළ කොට තිබේ.

ප්‍රවෘත්ති වෙබ් අඩවි සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දී නෛතික පදනමක සිට එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අවශ්‍ය වටපිටාව සකස් කරන්නේ නම් එවැනි සංවාදයකට තමා එකඟ බවයි ඔහු සඳහන් කළේ.

‘රාජපක්ෂ පාලනය’

“එසේ නොකොට මේ ආකාරයට දැන්වීමක් පළ කරමින් ප්‍රකාශ කරන්නේ නැවත වරක් මහින්ද රාජපක්ෂ පාලනයේ තිබූ අඳුරු යුගයට යෑමද? කියන ප්‍රශ්නය තමයි අපි අහන්නේ.”

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ තහනම් කරනු ලැබූ ප්‍රවෘත්ති වෙබ් අඩවි පහක තහනම ඉවත් කිරීමට කටයුතු කළ වත්මන් ආණ්ඩුව වෙබ් අඩවිකරුවන්ට සහ සමාජ ජාල තුළ පුරවැසි මාධ්‍යකරුවන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දී තිබූ නමුත් ඉහත කී තීන්දුව සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි මාධ්‍යවේදී සම්පත් සමරකෝන් කියා සිටියේ.

“ආණ්ඩුව කියන ආකාරයට, ඇතැම් වෙබ් අඩවි වෛරී ප්‍රකාශ සිදු කරනවා තමයි. නමුත් ඒකට උත්තරයක් හැටියට කිසිම පැහැදිලි කිරීමකින් තොරව ලියාපදිංචි කරනවා කියන කොට අපට මතක් වෙන්නෙම මෙය නිල නොවන වාරණයක්ද?, කියන ප්‍රශ්නය.”

‘ස්වයං නියාමනයක්’

යම් වෙබ් අඩවියක් මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරන්නේ නම් එවැනි වෙබ් මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් හෝ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු බව මාධ්‍යවේදී සම්පත් සමරකෝන් යෝජනා කරයි.

එසේ නොමැති නම් වෙබ් මාධ්‍යවේදීන් ස්වයං නියාමනයක් පනවා ගත යුතු බව ඔහුගේ අදහසයි.

විකල්ප වෙබ් අඩවියේ කර්තෘවරයා මතු කරන කරුණු පිළිබඳව විමසීම පිණිස ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය

– බීබීසී සිංහල

Archive

Latest news

Related news