Tuesday, July 16, 2024

යුද හමුදා මෝටාර් පහරට රෝහලක් ගොදුරු වූ බව සරත් ෆොන්සේකා පිළිගනී VIDEO

උතුරේ දියත් කළ යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධ විශ්වසනීය සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට එකඟතාව පල කරන රජය වෙනුවෙන් යුද්ධය මෙහෙයවූ හමුදා නායකයා එක්සත් ජාතීන් විසින් චෝදනා කොට ඇති පරිදි යුද මුක්ත කලාපයට බර අවියෙන් පහර දුන් බවත් පිළිගත්තේය.

ගගන සහෝදර නාලිකාව IBC තමිල් රුපවාහිනිය සමග කොළඹදී විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ  යුද මුක්ත ලෙස නම් කරන ලද කලාපයක පිහිටි පුදුකුඩියිරිප්පු රෝහල ශ්‍රී ලංකා යුද හමුදාවේ බර අවි ප්‍රහාරයකට ගොදුරු වූ බවයි.

එය අත්වැරැද්දක් බව ඔහු සඳහන් කළත්, යුද මුක්ත කලාපයට පහර දීමට බර අවි යොදා නොගත් බවට රජය දිගටම කළ ප්‍රකාශ එමගින් අභියෝගයට ලක් වෙයි.

ජාත්‍යන්තර යුද සම්මුති අනුව ආරක්‍ෂිත ස්ථාන සේ පිළිගනු ලබන ආරෝග්‍යශාලාවලට පහර දීම යුද අපරාධයක් මෙන්ම මානව වර්ගයාට එරෙහි අපරාධයක්ද වන්නේය.

කෙසේ වෙතත්, යුද අපරාධ සිදුවී ඇතිනම් එහි වගකීම භාර ගැනීමට තමන් සුදානම් බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

https://www.youtube.com/watch?v=xIlk3glmRfQ

 

සුදු කොඩි සහ ඉසෙයිප්‍රියා

ආරක්ෂාව පිලිබඳ රජයෙන් සහතිකයක් ලබා සුදු කොඩි ගෙන ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමට පැමිණි එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායක බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් ඇතුළු පිරිසක් 2009 මැයි 18 වැනිදා ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හඳුන්වා  ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, පරණගම ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.

ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පැවැත්විය යුත්තේ අන්තර්ජාතික පරීක්ෂණයක් බවයි හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව නගා ඇති යුද අපරාධ චෝදනා අතරින් එකක් වන්නේ විමුක්ති කොටි සෙබලියන් ඇතුළු කාන්තාවන් අත් අඩංගුවේදී ලිංගික වද හිංසනයට පත් කොට ඝාතනය කිරීමයි.

ඊට සාක්ෂි ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙනහැර දක්වන වීඩියෝ දර්ශන කීපයක දැක්වෙන්නේ දෙමළ ඊලාම් ජාතික  රූපවාහිනිය හිටපු නිවේදිකා ඉසෙයිප්‍රියා LTTE සාමාජිකයන් යයි සැලකිය හැකි පිරිසක් සමග යුද හමුදා අත් අඩංගුවේ ඉන්නා ආකාරයයි.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රකාශයට පත් කෙරුනු මරා දමන ලද කොටි සාමාජික නාම ලේඛනයක දැක්වෙන්නේ 2009 මැයි 18 වැනිදා ඉසෙයිප්‍රියා ඝාතනය කෙරුනේ 53 වැනි සේනාංකය විසින් බවයි.

එය ‘නින්දිත සිදුවීමක්’ ලෙස හඳුන්වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තමන්ගේ අණදෙන සමයේ එම අපරාධය සිදුවූයේ නම් එතමන් ය දැන සිටිය යුතු බව පවසයි.

වන්නියේ සාමාන්‍ය වැසියන්

isaipriya
අත් අඩංගුවේදී ඝාතනය කළ ඉසිප්‍රියා

සාමාන්‍ය වැසියන් හතලිස් දහසටත් අතර සංඛ්‍යාවක් යුද්ධයේදී ඝාතනය වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවිධානය ඉදිරිපත් කර ඇති වාර්තා හිටපු යුද හමුදාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒවා ‘අමුලික බොරු’ බව සඳහන් කරමින්.

හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනේදම් පිල්ලේ විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ‘සාධාරණ නොවන’ බව ඔහුගේ පිළිගැනීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද, මානව හිමිකම් සංවිධාන විසින්ද පසු කලෙක ප්‍රසිද්ධියට පත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූප වලින් දැක්වුණේ වන්නි පළාතේ ජනාවාස පිහිටි ස්ථාන බෝම්බ ප්‍රහාරවලින් විනාශ වී තිබෙන ආකාරයයි.

යුද ප්‍රහාරයට ගොදුරුවූ භූමියේ සිදුවන දේ ජීවමානව දැක ගැනීමේ අධි තාක්ෂණික මෙවලම් ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා සන්තකයේද පැවති බව හිටපු යුද හමුදාපතිවරයා තහවුරු කළේය.

ජාත්‍යන්තර සම්මුති 

Puli and Nadesan 1
සුදු කොඩි රුගෙන බාර වූ නඩේසන් සහ පුලිදේවන්

තමන් යුද්ධය මෙහෙයවුයේ ජාත්‍යන්තර යුද සහ මානව හිමිකම් සම්මුති වලට අනුකුලව බවයි ඔහු අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකාවේ යුද හමුදාව රහසිගත කඳවුරු පවත්වාගෙන යන බවත් හිටපු යුද හමුදාපති වරයා හෙළිදරව් කළේය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්වූ පසු සඟවාගෙන සිටියේත් එවන් රහස් කඳවුරක බවයි. හෙළි නොකරන ලද කඳවුරු වල පුද්ගලයන් රඳවා තබා ගෙන වධ හිංසා පමුණුවන බවට එක්සත් ජාතින් ඇතුළු මානව හිමිකම් සංවිධාන වලින් රජයට එල්ලවන චෝදනා අගමැති රනිල් වික්‍රමසිංහ තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ.

කෙසේ වෙතත් රහස් කඳවුරු යුද හමුදා බුද්ධි අංශයේ අත්‍යාවශ්‍ය අංගයක් යැයි සඳහන් කරමින්  හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා,   නිල නොවන සන්නද්ධ කල්ලි මෙහෙයවූ බවට හිටපු ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ටත් දැඩි චෝදනාවක් ද එල්ල කළේය.

යුද සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව වෙනුවෙන් අඩු වියදමින් බංකරයක් ඉදි කර දීමට තමන් ඉදිරිපත් වුවත් එය ප්‍රතික්ෂේප කෙරුණු බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ජනාධිපති මන්දිරයේ ඉදි කොට ඇති බවට වර්තමාන පාලනය විසින් හෙළි කෙරුනු භූගත ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ  ජනාධිපතිවරයා සමග සුවිශේෂ සබඳතා පැවැත්වූ බව පවසන හිටපු නාවික හමුදාපති වරයා ගේ මෙහෙයවීමෙන් බවයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන්නේ.

ශ්‍රියාන් සුජිත් | චතුරංග බණ්ඩාර

– radio gagana

Archive

Latest news

Related news