Thursday, November 21, 2024

ජිනීවා අවස්ථාව රටේ යහපතට යොදාගන්නේ කෙසේ ද? – තිස්ස ජයතිලක

මානව හිමිකම් කවුන්සිලයේ රුස්වීමක්
මානව හිමිකම් කවුන්සිලයේ රුස්වීමක්
2009-2014 වකවානුවේ දී බලයේ සිටි රජයේ අසාර්ථක මෙන්ම වැරැදි සහිත විදේශ ප්‍රතිපත්තිය හේතු කොටගෙන අද ශ්‍රී ලංකාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක ජාතික ප්‍රතිපත්තිය සහ ඒ රටේ රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය අතර කිට්ටු සම්බන්ධතාවක් තිබෙනවා.

රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය ඒ රාජ්‍යයේ ජාතික ප්‍රතිපත්තියේ දිගුවක්. 2009 මැයි මාසයේ එල් ටී ටී ඊ ය පරාජයට පත් කළ පසු කළ යුතුව තිබුණේ ඒ යුද්ධය හේතුවෙන් අසරණ වූ රටවැසියන් සියල්ලටම කරුණාවේ සහ දයාවේ දෑත දිගු කොට ජාතික සංහිඳියාව කරා ගමන් කිරීමයි.

එසේ නොකොට යුද ජය පටු අභ්‍යන්තර දේශපාලන වාසි සඳහා පාවිච්චි කරගැනීමෙන් අප රටට වූයේ විශාල හානියකි. අපේ ඒ අඩු-පාඩු හේතු කොටගෙන ජාත්‍යන්තරය දැක්වූ ප්‍රතිචාරයේ ප්‍රතිඵලය වූයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට හසු කිරීමයි. වගවීමකින් සහ වගකීමකින් යුතුව පශ්චාත්-යුද සමයේදී අප කටයුතු කළා නම් මෙවැනි අකරතැබ්බයකින් බේරීමට ඉඩ තිබුණි.

විශේෂයෙන්ම 2009 දී ජිනීවාහි අප එවක ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට සම්මත කරන ලද ‘ජයග්‍රාහී යෝජනාව’ ඉතා හානිකර සිද්ධියක්. ඒ යෝජනාව සම්මත වූයේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයකයි; සාමාන්‍ය සැසිවාරයක නොවෙයි. මෙසේ එක් රාජ්‍යයක් ගැන පූර්ණ අවධානය යෙදවෙන විශේෂ සැසිවාරයකට ලක් වීම, එම රාජ්‍යයට සිදු වන නිග්‍රහයක්-අවමානයක් ලෙස දැක්විය හැකියි.

එපමණක් නොවෙයි, අපේ මේ “ජයග්‍රාහි යෝජනාව” නිසා, නොඑසේ නම් එහි ප්‍රතිඵලයක් වශයෙන්, අප රට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) න්‍යාය පත්‍රයට ඇතුළු කෙරුණා.

අපි දැන් අතීතය දෙස මඳක් හැරී බලමු. ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡාවකට හෝ තීරණයකට පළමුව භාජන වූයේ 1984 දීය. එවකට ජිනීවාහි තිබුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNCHR) ය. පසු කාලයේදී මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ලෙස හැඳින්වුණේ මෙයයි.

1984 දී අප ඉහත සඳහන් කොමිසමේ සැලකිල්ලට භාජනය වූයේ ‘කළු ජූලිය’ (ජුලි, 1983) හේතු කොටගෙනය. මේ නිසාම 1987 දීත්, යුරෝපා සංගමයේ සහ ආර්ජන්ටිනාවේ සහාය ඇතුව, ඉන්දියාව ඒ ‘කළු ජූලිය’ පදනම් කරගෙන අප රටට, එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කළා.

මේ ගැන අප මතක තබාගත යුතු වැදගත් දේ නම්, ඒ පෙර අවස්ථාවලදී (1984 සහ 1987) ඉදිරිපත් කරන ලද ඒ යෝජනා සම්මත වුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනවල ඡන්දයකින් නොවූ බවයි. එසේ ලිහිල් ලෙස සැලකුවේ ඒ අවදියේ අප රට මධ්‍යස්ථ, අන්තවාදී නොවන, අන්තර්ජාතික වගකීම් ඉටුකරන රාජ්‍යයක් හැටියට ලබා තිබූ කීර්තිය නිසයි.

කුඩා රටක් වුවද, සංකීර්ණ අන්තර්ජාතික ප්‍රශ්න සහ මතභේදයන් නිරාකරණය කිරීමට උපකාරී වන මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස අප රටට පිළිගැනීමක් තිබුණා. 1960 දශකයේ නොබැඳි සමුළුවේ වැදගත් සාමාජිකයකු හැටියට ඉන්දු – චීන අර්බුදය සමතයකට පත් කිරීමට එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මැදිහත් වුණා.

1952 දී සැන් ෆ්රැන්සිස්කෝ නගරයේදී ජපන් රාජ්‍යය වෙනුවෙන් ඉල්ලීමක් කළ එවකට සිටි මුදල් ඇමැති වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට ඇමෙරිකානු – ජපන් රාජ්‍යයන් අතර මතභේදයකට තුඩු දුන් සම්බන්ධතා නැවත සුබ අතකට හැරවීමට හැකියාව ලැබුණා. මීට අමතරව, 1984 – 1987 කාලයේ දී, ජිනීවාහි සිටි අප තානාපතිවරුන්ගේ සහ සෙසු විදේශ සේවා නිලධාරීන්ගේ නිපුණත්වය සහ දේශපාලන ප්‍රවණතා හේතුවෙන් අහිතකර කරදර, තත්ත්වයන්ට මුහුණ නොදී බරපතළ චෝදනාවලින් මිදෙන්නට අප රටට පුළුවන් වුණා.

ඉන් අනතුරුව 1987 – 2009 දක්වා කොමිසමේ සහ කවුන්සිලයේ විවාදවල අප රට නම් කරන ලද වුවද, අප රටට විරුද්ධව එකදු ප්‍රතිපක්ෂ යෝජනාවක් සම්මත නොවිණි. 2009 ට පසුව ක්‍රියාත්මක වූ අපේ සමබර නොමැති විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් හැටියට පසුගිය අවුරුදු කිහිපයේ අප රට අන්තර්ජාතික වශයෙන් පසු වූයේ අවාසනාවන්ත තත්ත්වයකයි.

ඒ වගේම මේ වකවානුවේ දී (2009 – 2014) අප අධිකරණය දේශපාලනීකරණය හේතු කොටගෙන එහි ස්වාධීනත්වයේ බිඳ වැටිමක් වර්තමානයට අහිතකර ලෙස බලපා තිබෙනවා. ශිරානි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චයකාර තුමිය නීත්‍යනුකූල නොවන දෝෂාභියෝගයකට භාජනය කිරීම, එතුමියට පසු ඒ තනතුරට පත්වූ තැනැත්තාගේ පක්ෂපාතී, ප්‍රතිපත්තිගරුක නොවන හැසිරීම වැනි දේ නිසා අප අධිකරණ පද්ධතිය සහ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන සියල්ල අපකීර්තියට ලක් වුණා.

දේශීය යන්ත්‍රණයකට විදේශ උපදේශකවරුන් සහ ඔවුන්ගේ උපදෙස් සහ උපකාරවලින් තොරව කටයුතු කරන්න බැරිය යන ස්ථාවරය ජිනීවා වාර්තාවේ ස්ථාපිත වීමට හේතු ඒවාය. මේ නිසා අපට බැසිය හැකි නිගමනය නම්: 2009 – 2014 දක්වා අපගේ විදේශ සහ ජාතික ප්‍රතිපත්තිවල දැකිය හැකි ප්‍රමාණවත් දුර්වලතා හා අඩුපාඩුකම් නිසා අද අප රටට උග්‍ර අන්තර්ජාතික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වී ඇති බවයි.

අප රටේ අධිකරණ කටයුතුවලට විදේශ මැදිහත්වීම් සිදු වූ අතීතයක් තිබෙනවා. ආචාර්ය නිහාල් ජයවික්‍රම මෑතකදී පෙන්වා දී ඇති පරිදි විදේශ මැදිහත්වීම් 1948 – 1971 දක්වා අප දැක තිබෙනවා. ඒ මැදිහත්වීම් අපේ රටේ එවක පැවැති සෝල්බරි ව්‍යවස්ථාවලට අනුකූලවයි ඇති වූයේ. එහෙයින් ඒ මැදිහත්වීම් එදා ක්‍රියාත්මක වූ සෝල්බරි ව්‍යවස්ථාවට පටහැණි නෑ.

සමහර විශාරදයන්ගේ අදහස් අනුව වර්තමාන 4(ඇ) ව්‍යවස්ථාව යටතේ අප අභ්‍යන්තර ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා විදේශ විනිශ්චයකාරවරුන් සම්බන්ධ කරගැනීම ව්‍යවස්ථානුකූල ද නැද්ද යන්න ප්‍රශ්නයක්. උපදේශකයන් වශයෙන් ඒ විදේශ විනිශ්චයකාරවරුන් උපයෝගී කර ගැනීම ප්‍රශ්නයක් නොවන අතර, ඒ උදවිය විනිශ්චයකාරවරු හැටියට ක්‍රියා කරන්න නම් අප අධිකරණයේ අනුමැතිය අවශ්‍ය බවයි නීතිය පිළිබඳ අත්දැකීම් සහිත විද්වතුන්ගේ මතය වන්නේ.

සමහර අන්තර්ජාතික නීති රීති අප අභ්‍යන්තර නීති පද්ධතියට අවශ්‍ය නම් උපුටා ගැනීමට මාර්ග තිබෙනවා. මේ දේ කෙසේ වෙතත්, සැප්තැම්බර් 30 වැනිදා සම්මත වූ හවුල් යෝජනාව අනුව දෙමුහුන් යන්ත්‍රණයක අවශ්‍යතාව නැති වෙලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංගමයේ උපකාර ඇතිව පිහිටුවන ලද The International Commission Against Impunity in Gautemala or CICIG යන ආයතනයට ගෝතමාලාවේ අපරාධ පරීක්ෂණ සෝදිසි කිරීමට බොහෝ පුළුල් බලතල ලබා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංගමයේ උපකාර ඇතිව පිහිටුවන ලද The International Commission Against Impunity in Gautemala or CICIG යන ආයතනයට ගෝතමාලාවේ අපරාධ පරීක්ෂණ සෝදිසි කිරීමට බොහෝ පුළුල් බලතල ලබා දී තිබේ.

දැන් අප කළ යුතුව තිබෙන්නේ අප රටවැසියන්ගේ අනුමැතිය ඇතිව සුදුසු බහුආංගික යන්ත්‍රණයක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් ඔස්සේ සොයා ස්ථාපිත කිරීමයි. මෙයට හොඳ නිදසුනක් නම් ගෝතමාලාවේ 2007 දී පිහිටුවන ලද යන්ත්‍රණයයි. එක්සත් ජාතීන්ගේ සංගමයේ උපකාර ඇතිව පිහිටුවන ලද The International Commission Against Impunity in Gautemala or CICIG යන ආයතනයට ගෝතමාලාවේ අපරාධ පරීක්ෂණ සෝදිසි කිරීමට බොහෝ පුළුල් බලතල ලබා දී තිබේ.

“සිසිග්” නමැති මේ අන්තර්ජාතික කොමිසම ගෝතමාලාවේ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කරමින් ඒ රටේ අභ්‍යන්තර උසාවි ඉදිරියේ දූෂණ හා වංචා පිළිබඳ නඩු විභාග 2007 සිට පවත්වාගෙන යනවා. මේ කොමිසමේ (සිසිග් කොමිසමේ) ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ 60 හැවිරිදි ‍කොලොම්බියානු ජාතිකයකු වන අයිවන් වෙලාස්ක්වේස් ය. ඔහු යටතේ වැඩ කරන අය පිට රටවල් 20 කින් තෝරා පත් කරන ලද අයයි.

ඉතාලිය සහ කොලොම්බියානු රාජ්‍යවලින් දූෂණ හා වංචා කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඇති නීතිඥයන් කිහිප දෙනෙක් මේ සිසිග් කොමිසමේ සාමාජිකයන් වෙනවා. ඉතාලියේ මාෆියාවේ දූෂණ පිළිබඳ විශේෂඥයන් ද, කොලොම්බියාවේ මුදල් ජාවාරම්වලට එරෙහිව සටන් වැදී ඇති විශේෂඥයන් ද මේ සිසිග් කොමිසමේ සිටිනවා. 2007 සිට අද දක්වා පරීක්ෂණ 200කට අධික සංඛ්‍යාවක් නිම කොට හිටපු රාජ්‍ය සේවකයන් 160කට පමණ විරුද්ධව සාක්ෂි සහිතව නඩු දමා තිබෙනවා.

මේ 160 දෙනා අතර හිටපු ගෝතමාලා ජනාධිපති අල්ෆොන්සෝ පෝටිලෝ, හිටපු ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරු හිටපු පොලිස්පතිවරු ඇතුළු ප්‍රභුන් රැසක් සිටිනවා. ව්‍යාපාරිකයන්, කුඩු මුදලාලිලා සහ සෙසු මැරයන් ද මේ 160 දෙනාට ඇතුළත්.

ගෝතමාලාවේ වර්තමාන නීතිපතිනිය වන තෙල්මා අල්ඩානාගේ මතය වන්නේ මේ සිසිග් කොමිසම නොපිහිටුවන්නට වැරැදිකරුවන් හට මෙලෙස නෛතික වශයෙන් දඬුවම් දෙන්න හැකියාවක් ගෝතමාලාවට නොලැබෙන බවයි. මේ සිසිග් කොමිසම විශේෂඥයන් සහ අවශ්‍ය ප්‍රතිපාදන සලසා දී තිබෙන බවයි ඇය පවසන්නේ. මෙමඟින් ගෝතමාලාවේ අධිකරණය වඩා බලසම්පන්න ආයතනයක් බවට පරිවර්තනය වී තිබෙන වග තවදුරටත් ඇය පවසනවා.

වර්තමානයේදී අප ඉදිරියේ අන්තර්ජාතික අභියෝග රැසක් තිබෙනවා. මේවාට උපක්‍රමශීලි ලෙස අප ප්‍රතිචාර සැපයිය යුතුයි. කෑකෝ ගසමින්, ජාත්‍යන්තරයට අවලාද කිරීම හෝ බැණ වැදීමෙන් හොඳක් නම් අපට අත්කර ගන්න බෑ. අප විසින් කරන ලද අතීත වැරැදි නිවැරැදි කරගෙන අප රට නිර්දෝෂී රටක් කරන්නට අවස්ථාවක් අපට ලැබී තියෙනවා. දැන් කළ යුතු අත්‍යවශ්‍ය දේ ජාතික එකමුතුකම හා එක්සිත් බව තහවුරු කිරීමයි. පටු දේශපාලන බෙදීම් පසෙකින් තබා ඥානවන්ත ලෙස මේ අභියෝග දෙස බැලිය යුතුයි.

විරුද්ධ පාක්ෂික රාජපක්ෂ කඳවුරේ තර්කය වන්නේ වර්තමාන ආණ්ඩුව මෙන් නොව, තම ආණ්ඩු සමයේදී ඔවුන් අපේ ස්වෛරීභාවය ආරක්ෂා කළ බවයි. වර්තමාන ආණ්ඩුව කියන්නේ පෙර අපට ප්‍රතිවිරුද්ධ සිටි ජාත්‍යන්තරය දැන් අප සමඟ අත්වැල් බැඳගෙන, සම්මුතියකට එළඹ, එකට ප්‍රශ්න විසඳීමට සූදානම් බවයි.

පෙර ආණ්ඩුවේ මුරණ්ඩු අනම්‍ය සහ දැඩි ස්ථාවර හේතු කොටගෙන ශ්‍රී ලංකාව ඉතා අවදානම් ප්‍රපාතයකට වැටුණ බව නැවතත් සඳහන් කරනු කැමැත්තෙමි. ඒ ප්‍රපාතයෙන් ගොඩ ඒමට අවකාශය අපට අද ලැබී තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පහදා දී තිබෙන ලෙස, පෙර රාජපක්ෂ ආණ්ඩුව අදත් බලයේ සිටියා නම් මෙවර ජිනීවා හිදී අපට දැඩි අනතුරුදායක ඉරණමකට මුහුණ දීමට ඉඩ තිබුණා. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ ස්වකීය ආණ්ඩුව මඟින් 2015 ජනවාරියේ සිට ලංකා විදේශ ප්‍රතිපත්තිය නැවත සමබර කිරීම නිසා ඉහත සඳහන් අනතුරුදායක ඉරණමෙන් රටට අත්මිදෙන්න හැකි වූ බවයි.

ඈත අතීතයේ සිටම අප සමාජය විවෘත සමාජයක්. අනෙක් රටවලින් සහ සංස්කෘතිවලින් හැමූ, හමන, සෑම සංස්කෘතික සුළඟකu තිබෙන හොඳ දේ අපේ සංස්කෘතිය එක්ක බද්ධ කිරීමේ ශක්තියක් ලාංකික සමාජය පිළිබිඹු කර තිබෙනවා.

විදේශ ආගන්තුක පිරිස්, සංක්‍රමණිකයන් සහ ආක්‍රමණිකයන් යන හැම පාර්ශ්වයක්ම සමඟ අප ආචාරශීලීව කටයුතු කර තිබෙනවා. ඒ විදේශ කොටස් හැම එකකින්ම උපුටාගත හැකි යහපත් දේ අප උපුටාගෙන තිබෙනවා. ජිනීවාහි අප ඉදිරිපත් කරන්නට එකඟ වූ ‘ඒකාබද්ධ යෝජනාව’ තුළ ද මෙවැනි ආගන්තුක ගුණයක් අන්තර්ගතව තිබෙනවා. ලෝකයෙන් හුදෙකලා නොවී ඉදිරියට යා යුත්තේ අපේ පොදු මනුෂ්‍යත්වය වැලඳ ගනිමිනි.

තිස්ස ජයතිලක දේශපාලන විචාරකයෙකි.

(සාකච්ඡාවක් ඇසුරෙන් සැකසිණි)
– Silumina

Archive

Latest news

Related news