Tuesday, April 16, 2024

මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

( දැන් රණවිරුවන් බේරා ගත් නම්බුනාමය ජනාධිපති සිරිසේන අතට යයිද)

“මාව හේග් නුවරට ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවන්නයි මේ යන්නේ…”

මහින්ද පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගාණේ කිය කියා ගියේ ඔය කතාවය. මහින්ද කිව්වේ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර බලවේග තමාව ජනාධිපතිවරණයෙන් පරාජය කරවා හේග් නුවරට කුදළාගෙන යන්න කුමන්ත්‍රණය කරනවා කියාය. හැබැයි මහින්දව හේග් නුවරට ගෙන යනවාද නැතිද යන්න තීරණය කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරය ආරම්භ වෙද්දී පරාජිත වූ මහින්ද පාසිකුඩාහි නිවී සැනසිල්ලේ විනෝද වන පින්තූර අන්තර්ජාලය හරහා මුදාහැර තිබිණි.

“ඇයි මහින්දට දැන් හේග් යන්න බය නැද්ද…?”

ඇත්තටම මහින්ද හදිසි ජනාධිපතිවරණයක් කැඳවූයේ ජේ‍යාතිෂවේදීන්ගේ උපදෙස් මත වුවද 2015 මාර්තු මාසයේ නිකුත් වීමට නියමිත ලංකාවේ යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් වාර්තාව ගැන මහින්දට ලොකු බයක් තිබිණි. එම වාර්තාවේ මහින්ද, ආරක්‍ෂක ලේකම් ගෝඨාභයද ඇතුළුව හමුදා ප්‍රධානීන්ගේ නම් ඇතුළත්ව ඇති බවටද ජාත්‍යන්තරයේ කටකතා පැතිරී තිබිණි. මහින්දටත් වඩා රත්වෙලා හිටියේ ගෝඨාභය, බැසිල් සහ ඩඩ්ලි යන මහින්දගේ සහෝදරවරුන්ය. මේ හැමෝම ඇමෙරිකානු පුරවැසියන්ය. යුද අපරාධ චෝදනාවලට තමන්ට මුහුණදීමට සිදුවන්නේ ලංකාවේ පුරවැසියන් ලෙස නොව ඇමෙරිකානු පුරවැසියන් ලෙස වන නිසා ගෝඨාභය බය වී සිටියේය. බැසිල්ට යුද අපරාධ චෝදනා එල්ල නොවූවත් මහින්දට එල්ලවන චෝදනා හරහා මේ ප්‍රශ්නය තමාට බලපානු ඇතැයි බැසිල් සිතන්න ඇත. දේශපාලනයට සම්බන්ධ නොවූ ඩඩ්ලිටත් මේ බය තිබෙන්නට ඇත.

මහින්ද ජනාධිපතිවරණය දිනා පසුගිය මාර්තු මාසයේ මහින්දලාගේ නම් එක්ක වාර්තාව එළියට ආවා නම් ලංකාව එක රැයින් “පරයා” රටක් වේ. එසේ වූවා නම් මහින්දටත්, යුද අපරාධවලට වැරැදිකරුවන් වන ගෝඨාභය සහ හමුදා ප්‍රධානීන්ටත් එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරේ. එසේ නඩු පැවරුවා නම් මහින්දට වෙන්නේත් සුඩාන ජනාධිපති ඕමාර් අල් බසීර්ට අත්වෙලා තියෙන ඉරණමට මුහුණදීමටය. සුඩාන ජනාධිපතිට මේ වන විට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට තිබේ. ඔහුට විදේශ රටකට යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඔහු මෑතකදී දකුණු අප්‍රිකාවේ සමුළුවකට ගිය විටදී ඔහුව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් විය. ඔහු තමා පැමිණි පෞද්ගලික ජෙට් යානයෙන් වහාම පිටත්ව ගියේ බයෙන් තැතිගෙනය. සුඩාන ජනාධිපතිගේ සහෝදරයන්ට ඇමෙරිකානු පුරවැසිකම් නැත. ඇමෙරිකාවේ දේපළද නැත. මහින්දට එසේ නොවේ. මහින්දගේ සහෝදරයන් ඇමෙරිකානු පුරවැසියන් නිසාත්, ඔවුන්ගේ දේපළ ඇමෙරිකාවේ ඇති නිසාත් සහෝදරයන්ට දැල එළා මහින්දව ලෙහෙසියෙන් කොටු කරගත හැකි වනු ඇත. අනෙක ඇමෙරිකානු පුරවැසියකු යුද අපරාධවලට සම්බන්ධ යැයි ජාත්‍යන්තර අධිකරණයකින් ඔප්පු වූ විට ඇමෙරිකාවට ඔහු සිටින ඕනෑම රටකට ගොස් ඔහුව කුදළාගෙන ආ හැකිය. මන්ද ඔහු ඇමෙරිකානු පුරවැසියකු වන නිසාය.

රාජපක්‍ෂලා මෙය දැන සිටියහ. මහින්ද ජනාධිපතිවරණය මැදදී යුද අපරාධකාරයන්ට එරෙහිව පරීක්‍ෂණ පවත්වා ඔවුන්ට දඬුවම් දෙන්න දේශීය පරීක්‍ෂණයක් කරන්න තමා සූදානම් යැයි ඩේලි මේල් පුවත්පතට කීවේ මාර්තු වාර්තාවට බය වෙලාය.

මහින්ද ජනාධිපතිව සිටියදී මාර්තු වාර්තාව එළියට ආවා නම් මහින්ද කළ යුතුව තිබුණේ දෙකින් එකකි. එක්කෝ යුද අපරාධවලට වගකිවයුතු යැයි චෝදනා ලබන තම සහෝදරයාද ඇතුළු හමුදා ප්‍රධානීන් පාවා දී රටත් ජනතාවත් බේරා ගත යුතුය. නැත්නම් රටත් ජනතාවත් අනතුරේ දමා ආර්ථික සම්බාධක පනවාගෙන ජනතාව පළිහකට දමා හැංගිලා චීන-රුසියා සරණං ගජ්ඡාමි කියා චීනයටයි, රුසියාවටයි ලංකාව ලියලා දිය යුතුය. ආර්ථික සම්බාධක, වීසා තහනම් ආවා නම් රටක් වශයෙන් ලංකාව වැටෙන්නේ හොම්බෙනි. එසේ වූවා නම් පහසුවෙන්ම කොටි ඩයස්පෝරාවට ලංකාව දෙකඩ කරන ජාත්‍යන්තර මෙහෙයුම ආරම්භ කළ හැකිවනු ඇත.

එසේ වූවා නම් රට යන්නේ මහ විනාශයකටය.

යුද්ධයේදී සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ ගැන පරීක්‍ෂණ කරන්න මහින්ද පැනලා භාර ගත්තේ යුද්ධය අවසන් වීමෙන් පසු එ. ජා. මහ ලේකම් බෑන් කී මුන් ලංකාවට ආ විටදීය. එහිදී මහින්ද සාධාරණ විභාගයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් දීමට එකඟ වන ප්‍රකාශනයකට බෑන් කී මුන් සමඟ අස්සන් කළේය. යුද්ධය අවසන් වූ විගස ජිනීවාහිදී මහින්දගේ ඉල්ලීම මත ලංකාවට පක්‍ෂව ඉන්දියාව සහ චීනය එක් වී ගෙන ආ යෝජනාවේද යුද අපරාධකරුවන්ට දඬුවම් දීමට ලංකාවේ ආණ්ඩුව එකඟ බවට වගන්තියක් සඳහන් විය.එහෙම බලනකොට මේක ඉල්ලන් කෑමකි. ලංකාව පමණක් තනියෙන් කනවා නම් කමක් නැත. ඉන්දියාව බය වූයේ ඉන්දියාවටත් කන්න වෙයි කියාය. හේතුව ඉන්දියාවේ කාශ්මීර් යුද්ධයේදී සිදු වූ යුද අපරාධ හොයන්න ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඕනෑ යැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නඟන හඬය. ඉන්දියාව ප්‍රතිපත්තියක් වශයෙන් තම රට තුළ හෝ කලාපය තුළ එවැනි ජාත්‍යන්තර අත පෙවීම්වලට කැමැති නැත. එහෙත් මහින්දගේ ආණ්ඩුව මේ ජාත්‍යන්තර යුද අපරාධ ප්‍රශ්නය අනාගත් පසු ඉන්දියාව බය විය. මන්ද මෙරට යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයට ඉන්දියාව සහාය දිය යුතු යැයි ඇමෙරිකාව ඉල්ලා සිටි නිසාය. ඉන්දියාව 2014දී ලංකාවේ යුද අපරාධ විමර්ශනය කරන්න ජිනීවා මානව හිමිකම් කොමිසම ගෙන ආ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඊළඟට මානව හිමිකම් කොමිසම ඉන්දියාවට අත පොවන්න එන බව දැනගෙනය. එහෙත් මහින්දගේ ආණ්ඩුව මේ ප්‍රශ්නයෙන් රට තුළ දේශපාලන වාසි ගන්නවා විනා මෙයට මුහුණදීමට වැඩපිළිවෙළක් නැති බවද එයින් ප්‍රශ්නය අනා ගන්නා බවද ඉන්දියාව තේරුම් ගෙන තිබිණි. මේ අනාගැනීම තුළ චීනය ලංකාව තම ආධිපත්‍යයට නතුකර ගන්න කැරට් අල දෙන බවද ඉන්දියාවට පෙනිණි.

2015 මහින්දගේ පරාජය ඉන්දියාවේ සතුටට හේතු වූයේ මෛත්‍රිට සහ රනිල්ට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පරාජය කරන්න උපායික    වැඩපිළිවෙළක් තිබුණු    නිසාය.

ඔවුන්ගේ වැඩපිළිවෙළ පෙන්වා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් එපා කියන්න එවිට ඉන්දියාවට හයියක් ලැබේ. මෛත්‍රි ඇමෙරිකානු රාජ්‍ය  ලේකම් ජෝන් කෙරී    මෙරටට
ආ විට කීවේ මාර්තු එළියට ඒමට නියමිත යුද අපරාධ වාර්තාව කල් දමන්න කියාය. කෙරී මෛත්‍රිගේ ඉල්ලීමට එකඟ වූයේ වාර්තාව එ ළියට දමන්න කියා දමිළ කොටි
ඩයස්පෝරාවත්, උතුරේ පළාත් සභාවත්, තමිල්නාඩුවත් යකා නටද්දීය. ඉන්පසු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරි නිෂා බිස්වාල් ආ විට දේශීය පරීක්‍ෂණයකට
ඇමෙරිකාව එකඟ කර ගන්න මෛත්‍රි සමත් විය.

මේ වන විට ජිනීවා නුවරින් එළියට ආ ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාවේ මහින්දගේ නම හෝ ගෝඨාභයගේ නම හෝ හමුදා ප්‍රධානීන්ගේ නම් නැත.
එහෙත් දේශීය සහ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පිහිටුවන විශේෂ අධිකරණයකින් යුද අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු යැයි නිර්දේශ කොට ඇත. සම්පූර්ණ දේශීය පරීක්‍ෂණයක් පැවැත්වීම කෙරෙහිද සැක පහළ කොට ඇත.

මෙයින් පේන්නේ මහින්දගේ ආණ්ඩුව පසුගිය කාලය පුරා කෑමොර දුන් ලෙස යුද අපරාධ චෝදනා සහ එ.ජා. මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනා මහින්දව ඉලක්ක කොට ඉදිරිපත් වූවක් නොවන බවය. මහින්ද කීවේ එය තමාගේ ආණ්ඩුවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාය. එහෙම කුමන්ත්‍රණයක් නම් මෛත්‍රි දින්න විගස වාර්තාව අකුළා ගතයුතුව තිබිණි. එවැන්නක් වී නැත. වාර්තාවෙන් බලයේ ඉන්නේ මහින්ද වුවද මෛත්‍රි වුවද රට ඉදිරියේ ඇති අභියෝගය පැහැදිලිය.

රාජපක්ෂ පාසිකුඩා වෙරළේ විනෝද වෙන්නේ ඒ සතුටටද?
රාජපක්ෂ පාසිකුඩා වෙරළේ විනෝද වෙන්නේ ඒ සතුටටද?

එ.ජා. මානව හිමිකම් කොමිසම සම්පූර්ණ දේශීය පරීක්‍ෂණයක් සඳහා එකඟ කර ගන්න සහාය පළ කිරීමට මේ වන විටත් ඇමෙරිකාව පොරොන්දු වී ඇත. ඇමෙරිකාවේ පිහිටෙන් අනෙක් බටහිර රටවල්ද එකඟ කරවා ගැනීම අසීරු නැත. මෛත්‍රි ලන්ඩනයේ සංචාරය කළ විටදී මහ රැජන හමු වූ විට දමිළ කොටි ඩයස්පෝරාව බකින්හැම් මාලිගාව ඉදිරිපිට මෛත්‍රිට එරෙහිව උද්ඝෝෂණය කරනවා දැක මෛත්‍රිගෙන් අපූරු ප්‍රශ්නයක් අසා තිබිණි.

“ඒ අය දන්නේ නැද්ද දැන් ලංකාවේ තියෙන්නේ අලුත් ආණ්ඩුවක් කියලා…”

මහ රැජන මෛත්‍රිට කී බව මෛත්‍රි මාධ්‍ය ප්‍රධානීන් හමුවකදී පවසා තිබිණි. මහ රැජනගේ පමණක් නොව රාජපක්‍ෂලාගේ ගොන්කම් නිසා ලංකාව තරහ කරගත් බොහෝ බටහිර රටවල මතය අලුත් ආණ්ඩුවට චාන්ස් එකක් දිය යුතුය කියාය. මෛත්‍රි සහ රනිල් ඉදිරියේ ඇති අභියෝගය මෙම රටවල් එකතු කරගෙන දේශීය පරීක්‍ෂණයකට මානව හිමිකම් කොමිසම එකඟ කරවා ගැනීමය. ඇමෙරිකාව ඒ සඳහා එකඟ කරවා ගැනීම මෛත්‍රි – රනිල් ආණ්ඩුව ලබපු ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයකි.

මහින්ද මේ වැඩේ කරගන්න බිලියන ගණන් මහජන මුදල් ඇමෙරිකානු සුද්දන්ගේ සාක්කුවට දැම්මේය. ජනතාව මහ පාරට ගෙන්වා යකා නැටුවේය. ඒත් බැරි විය.

මෛත්‍රි සහ රනිල් සාකච්ඡා වට දෙක තුනකින් වැඩේ කළේ කෙරීට සහ නිෂාට කළු කෝපි දීලාය. ඔවුන් සම්බන්දන්ව විපක්‍ෂ නායක කරන්න තීන්දු කළේ මහින්ද ගෝඨා ඇතුළු හමුදාව යුද අපරාධ චෝදනාවලින් බේරා ගන්නටය. සම්බන්දන්ට විපක්‍ෂ නායකකම දීම ලංකාවට එරෙහි වූ රටවල පැසසුමට ලක් වී ඇත.

බලාගෙන යනකොට මෛත්‍රි එ.ජා.ප.ය ඇතුළු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වීමෙන් 1977 පරාජයේදී මෙන් විනාශයට යන්න ගිය ශ්‍රී ල.නි.ප.ය බේරාගෙන තිබෙනවා පමණක් නොව මහින්ද ගෝඨාභය ඇතුළු රාජපක්‍ෂ පවුලත්, හමුදා ප්‍රධානීන්වත්, රටත් යුද අපරාධ චෝදනාවලින් බේරාගෙන ඇත.

මහින්ද පාසිකුඩාහි බෝට්ටු පදින්නේ ඒ සන්තෝෂයටද කියන්න දන්නේ නැත.

“මගේ ගෙදර මාත් එක්කම ආප්ප කාලා මට පිටිපස්සෙන් පිහියෙන් ඇනලා ගිහින් මෛත්‍රි කළේ පාවා දීමක්. ද්‍රෝහිකමක්”.

මේ මෛත්‍රි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වුණු වේලාවේ මහින්ද කී කතාවය.

“මෛත්‍රි අපිව බේරුවේ නැත්නම් වහ කන්නයි වෙන්නේ…”

අද මහින්දගේ කට නොකිව්වත් හිත කියනවාට සැකයක් නැත.

– මව්බිම

Archive

Latest news

Related news