Thursday, March 28, 2024

වසරකදී කෝටි 800ක් පාඩු කරමින් ශ්‍රී ලංකන් උලා කෑ හැටි: සවිස්තර වාර්තාව

ජේ.සී. වැලිඅමුණ මහතා ඇතුළු මෙම විමර්ශන කමිටුව මඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිදුවූ දූෂණ වංචා, දේපළ සහ මුදල් අයථා පරිහරණය කිරීම් සහ මහ පරිමාණයේ ගනුදෙනු සිදු කිරීමේ දී සිදුවූ අක්‍රමිකතා රැසක් හෙළිදරව් කර ඇත.එම වාර්තාව අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ දූෂණ අක්‍රමිකතා සිදුවී ඇත්නම් එම කරුණු නීති බලධාරීන්ට යොමුකර ‍නෛතික ක්‍රියාපටිපාටින් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ යුතු ය. එසේ නීතිමය පියවර ගැනීමට වර්තමාන රජයට හැකියාව ඇත. එම කටයුතු තවදුරටත් ප්‍රමාද නොකළ යුතු ය. වහාම එය කළ යුත්තේ එම වංචා සම්බන්ධයෙන් ඇති සියලු ලිඛිත සාක්ෂි තිබෙන්නේත් සාක්ෂිකරුවන් සිටින්නේත් තවමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය භාරයේ නිසාය.

ඒ සම්බන්ධ කරුණු දන්නා අයගේ සාක්ෂි වහාම සටහන් කර නොගන්නේ නම් සහ ලිඛිත සාක්ෂි වහාම භාරයට නොගන්නේ නම් සාක්ෂි විනාශ වීමේ බරපතළ අවදානමක් ඇත.

එකී අවදානම වන්නේ සාක්ෂිකරුවන්ට යම් යම් බලපෑම් එල්ල වුවහොත් සාක්ෂි විකෘති වී යාම ය. නැතිනම් සාක්ෂිකරුවන් පසුගාමී වීම ය. එසේ ම ලිඛිත සාක්ෂි යටගැස්ම ද සිදුවිය හැකි ය. මෙය බරපතළ අවදානමකි.

පසුගිය පාලන කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූයේ යැයි කියන ඩොලර් බිලියන ගණනක දූෂිත ගනුදෙනු පිළිබඳ මෙන්ම නීති විරෝධි කොන්ත්‍රාත් පිළිබඳ සෙවීමට පත්කළ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව අංශ කිහිපයක් ඔස්සේ සිය විමර්ශන ප්‍රකාශයට පත්කර තිබේ.

පිටු 136කින් යුත් එම වාර්තාව ඡේදගත කර තිබුණේ මෙසේ ය.

1) හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ (හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා) හා හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පිළිබඳ වූ කළමනාකාරිත්වයේ අක්‍රමිකතා.

2) මානව සම්පත් පරිහරණයේදී සිදුවූ දූෂණ හා අක්‍රමිකතා

3) ඉහළ කළමනාකාරිත්වය ගොඩනඟාගත් අයුතු සබඳතා

4) ශ්‍රී ලංකන් කේටරින් සේවාව සම්බන්ධව

5) වෙළෙඳ අනුග්‍රහයන් ලබාදීමේදී සිදුවූ දූෂණ

6) එයාර් ටැක්සි සහ ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ දූෂිත ක්‍රියාදාමය.

එසේ විමර්ශන වාර්තාව ඉදිරිපත් කරන වැලිඅමුණ කමිටුව පෙන්වා දෙන්නේ පහත සඳහන් චෝදනා අපරාධ නඩු විදාන සංග්‍රහ පනත යටතේ සේවකයකු වශයෙන් සිට භාණ්ඩ සපරාධි පරිහරණය, සපරාධි විශ්වාස කඩකිරීම හා අල්ලස් ලබා ගැනීම යන කරුණු යටතේ නඩු ගොණු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සපයන බවයි.

වැලිඅමුණ විමර්ශන කමිටු වාර්තාව අනුව ඒ තොරතුරු සැකෙවින් මෙසේ පෙළ ගැස්වෙයි.

නිශාන්ත වික්‍රමසිංහ හෙවත් හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ලෙස පත්කිරීම.

* එම පත් කිරීම කළේ 2010 වසරේ මැයි මස 15 දාය. ඒ පූර්ණ කාලීන පදනමක් යටතේය. පත්කිරීමේදී කිසිඳු සොයා බැලීමක් නොකළ අතර මාසිකව 500,000 දීමනාවක් ද ලබා දෙනු ලැබීය.

* සභාපති පූර්ණ කාලීන පදනම යටතේ රැකියාවට පත්කළේ හිටපු ජනාධිපතිවරයාය.

* ප්‍රධාන පරිපාලන නිලධාරිගේ සමහර රාජකාරි ද ඔහු විසින් පවරාගෙන තිබේ.

* නිවාස කුලී දීමනාව ලෙස නිශ්චිත නොවු මුදලක් සභාපතිට ලබා දී තිබේ. ඒවා ද භුක්ති විඳින අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ ඔහුට වරින්වර නිවාස 3ක් පරිහරණයට ලබා දී තිබේ. ඒ ජාඇල, ආඬිඅම්බලම හා සීදුවේය. ඔහු ඒවා ලබාදීම පිළිබඳව සාධාරණීකරණය කළේ රාත්‍රි සේවය සඳහා පැමිණීමට පහසුවක් බව පවසමිනි.

(නමුත් වාර්තාවේ සඳහන් වන්නේ නිශාන්ත වික්‍රමසිංහ ඒවා අනිසි කටයුතු සඳහා භාවිත කළ බවය.)

* LK 4449 අංකය දරන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ රථයක් ද සභාපතිට ලබා දී තිබු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකර ගත් ණය ගිවිසුමක් හරහා තවත් වාහන 2ක් ද ලබාගෙන තිබේ. ඊට අමතරව WP KV 3836 දරන මොන්ටෙරෝ රථය ද WP CAB 707 දරන ටොයොටා ප්‍රාඩෝ රථය ද ඔහුට භාවිතයට දී තිබු බව වාර්තාවේ සඳහන් වේ. මොන්ටෙරෝ වාහනය ගැනීමේදී ඇපයට තබා ඇත්තේ ව්‍යාජ ලියවිලි බව ද වාර්තාව පෙන්වා දෙයි.

* ජංගම දුරකථන හා ඒ සබඳතා ද ඇපල් වර්ගයේ අයි පෑඩයක් ද සභාපතිට දී තිබු අතර ඔහු ඉල්ලා අස්වුවද තවමත් ඒවා බාර දී නැත.

* අයිතිවාසිකමක් නොතිබුණ ද වෛද්‍ය රක්ෂණයක් ද සභාපති විසින් ලබාගෙන තිබේ. එම ගෙවීම් අනුමත කර තිබුණේ ප්‍රධාන විධායක නිලධාරි වන කපිල චන්ද්‍රසේනය.

සභාපති තම බලය අයුතු ලෙස භාවිත කිරීම

* සභාපති බලය අයුතු ලෙස භාවිත කළ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය එම කටයුතු පාලනය කිරීමට කටයුතු නොකිරීම බලවත් අපරාධයක් බව විමර්ශන කමිටුව පෙන්වා දෙයි.

* 2014 ජනවාරි 22 ක්වාලාලම්පූර් සිට කොළඹට පැමිණෙන UL 319 දරන සෘජු ගුවන් යානය සභාපති අණින් සිංගප්පූරුවට ගෙන්වා ඇත. ඒ සභාපති වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය සරත් අමුණුගම හා වික්‍රමසිංහ මහත්මිය සිංගප්පූරුවේ සිට කොළඹට ගෙන්වා ගැනීමට.

    සභාපති ගුවන් කාර්ය මණ්ඩලය සමඟ පැවැත්වූ ඇගැලුම්කම

* සභාපති නිශාන්ත වික්‍රමසිංහ ගුවන් කාර්ය මණ්ඩලය සමඟ අනවශ්‍ය සබඳතා ඇතිකරගෙන තිබු බවට තොරතුරු රාශියකි. ගුවන් කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ද සභාපති සහභාගි වී තිබේ.

* ඒ අනිසි සබඳතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කීර්ති නාමයට හානියක් වූ අතර මූල්‍යමය පාඩු ද විශාල වශයෙන් සිදුවූ බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.

* පත්කිරීමට කිසිදු බලයක් නැතිව වුවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ‘සන්නාම තානාපතිනි’ ලෙස සභාපති විසින් කරන ලද පත්කිරීම. එය ශ්‍රී ලංකන් ගුවන් සේවයට කිසිදා නොතිබු තනතුරක් වූ අතර ඒ පත්කිරීම කෙසේ කළා ද යන්න පිළිබඳව කරුණු දැක්වීමට මානව සම්පත් ප්‍රධානීන්ට හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට නොහැකි විය.

* සභාපති එම තනතුරුලාභිනිය සමඟ පිටරට සංචාර ගිය අතර ‘ඇය දක්ෂයි, බුද්ධිමත්, ඇය තමාට ඥාති වන බව’ පවසමින් සභාපතිවරයා ඇගේ පත්වීම සාධාරණීකරණය කර ඇත.

2014 APOT ආසියා සමුළුවට සහභාගිවීමට සභාපතිවරයා ගියේ එම නිලධාරිනිය ද සමඟය. ඒ වෙනත් ගුවන් සේවාවක යානයකින් වීම විශේෂත්වයකි. ඒ සඳහා ව්‍යාපාරික පංතියේ ප්‍රවේශපත් දෙකක් මිලටගෙන ඇති අතර ඊට මුදල් ගෙවා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙනි. ඊට අමතරව එම නිලධාරිනියගේ රට ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වියදමින් පෙර සේම ප්‍රවේශපත් ගණනාවක් ලබා දී තිබේ.

ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන

    * 2011 මැයි මස සිදුකරන ලද කපිල චන්ද්‍රසේනගේ පත්කිරීම සුදුසුකම් මත සිදුවූවක් නොව වෙනත් හේතු මත සිදුවූවක් බව වැලිඅමුණ කමිටු වාර්තාව පෙන්වා දෙයි.

    * ඔහු ලබාගෙන තිබු එකම සුදුසුකම වී ඇත්තේ මිහින් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස තිබු පළපුරුද්ද පමණි.

    * නිශාන්ත වික්‍රමසිංහ, විමර්ශන කමිටුවට පවසා තිබුණේ 2011 මැයි මස කරන ලද එම පත්කිරීමට තමා විරුද්ධ වූ බවයි. හේතුව වශයෙන් ඔහු ‍දක්වා තිබුණේ කපිල චන්ද්‍රසේනට තිබු ‘නරක වාර්තා’ හා අඩු අත්දැකීමයි. ඔහු තම මස්සිනා වූ හිටපු ජනාධිපතිවරයාට එම පත්කිරීම නොකරන ලෙස දැන්වූවත් හිටපු ජනාධිපතිවරයා එය නොසලකා පත්කිරීම සිදුකළ බව ඔහු පවසා ඇත.

    * කපිල චන්ද්‍රසේන මුලින්ම බඳවා ගනු ලැබුවේ වසර තුනක සේවා කොන්ත්‍රාත්තුවකටය. පසුව එය 2019 ජුලි 31 දක්වා දීර්ඝ කර ඇත. එසේ දීර්ග කරනු ලැබුවේ සේවා ඇගැයීම් කිසිවක් නොකර බව වාර්තාව පෙන්වා දෙයි.

    * කපිල චන්ද්‍රසේනගේ පත්කිරීම මිහින් ලංකා ආයතනයේ ද වැදගත් පිටුවක් පෙරළා ඇත. සැකයට තුඩු දුන් MA 60 ගුවන් යානය මිලදීගෙන පසුව එය ගුවන් හමුදාවට මාරු කර ඇත්තේ ද ඔහුමය. එම මිලදී ගැනීම තුළ පාරදෘෂ්‍ය භාවය, සද්භාවය නොතිබී ඇත. කමිටු වාර්තාවේ දැක්වෙන්නේ MA 60 යානය මිලදී ගැනීමේ ගනුදෙනුව ගැන චන්ද්‍රසේන විමර්ශන කමිටුවට ලබාදුන් ප්‍රකාශ සත්‍ය නොවන බවත්, ඒවා ලේඛනමය සාක්ෂි සමඟ පරස්පර විරෝධි බවත්ය. ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් කළ යුතු යැයි වාර්තාව පෙන්වා දෙයි.

    * කපිල චන්ද්‍රසේන මිහින් ලංකා හා ශ්‍රී ලංකන් යන ආයතන දෙකින්ම වැටුප් හා දීමනා ලබාගත් බව වාර්තාව පෙන්වා දෙයි.

    ඔහුගේ පළමු කොන්ත්‍රාත්තුවේ දීමනා හා ප්‍රතිලාභවලට අමතරව මාසික වේතනය රුපියල් ලක්ෂ 15 ට වැඩිය. ඊට අමතරව මිහින් ලංකා සේවයෙන් ප්‍රධාන විධායක නිලධාරිට හිමි වැටුප ද ලබාගෙන ඇත. එසේම ඔහු 2013 ජුනි සිට 2014 ජුනි දක්වා මොබිටෙල් ආයතනයේ ද වැඩ බලන ප්‍රධාන පරිපාලන නිලධාරිවරයාය. 2015 ජනවාරි තෙක් මොබිටෙල් ආයතනයේ උපදේශකයෙකි.

    * නිශාන්ත වික්‍රමසිංහ, කපිල චන්ද්‍රසේන යන දෙදෙනා එකිනෙකාට කැමැත්තෙන් නොසිටි අතර, නමුත් යම් යම් හේතු මත දෙදෙනා දෙදෙනාවම ආරක්ෂා කරගැනීමට කටයුතු කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

    * දෙදෙනාම තමන්ගේ දීමනා, ලැබීම හා පහසුකම් සම්බන්ධයෙන් එකිනෙකාට සමීපව කටයුතු කර තිබේ.

    * ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ කළමනාකාරිත්වය පසුගිය කාලයේ සිදුකරන ලද අයථා පත්කිරීම් ද විමර්ශන වාර්තාව පෙන්වා දෙයි.

    * තාක්ෂණ හා තාක්ෂණ නොවන නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමේදී අවිධිමත් පිළිවෙතක් අනුගමනය කර ඇත.

    * එසේම කාර්ය මණ්ඩලයේ පත්කිරීම්, උසස් කිරීම් ද අත්තනෝමතිකව අත්හිටුවා ඇත.

    * එසේම පසුගිය පාලනාධිකාරිය විසින් නිලධාරීන් තෝරා ගැනීමේදී පරීක්ෂණ අසමත් වූ අයට ද ‍තනතුරු ලබා දී ඇත.

    * මනෝජ් ගුණවර්ධන, ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා තනතුරෙන් ඉවත් කර යුරෝපයේ ශ්‍රී ලංකන් ප්‍රවර්ධන අධ්‍යක්ෂ ලෙස ලන්ඩනයට යැවීම පිළිබඳව පාලනාධිකාරිය දක්වන හේතු පිළිගත නොහැකිය.

    * හොර පාරෙන් රට යැවීමේ මිනිස් ජාවාරමක යෙදුණු මාණ්ඩලික නිලධාරීන් දෙදෙනකු ලෙහෙසියෙන්ම බේරී ගොස් ඇති බව වාර්තාව පෙන්වා දෙයි. කරුණ වූයේ පුද්ගලයින් හොරෙන් රට යවන ජාලයට ආයතනයේම පිරිසක් සම්බන්ධ වී සිටින විට ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් දෙදෙනකු අතර සිදුවීමට ගිය ගුවන් අනතුරු දෙකක් යට ගැසීමට

    පාලනාධිකාරිය කටයුතු කර ඇති බව ද වාර්තාව පෙන්වා දෙයි.

    * යෝෂිත රාජපක්ෂ විසින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකන් ගුවන් යානා භාවිතා කරමින් මෝටර් රථ අමතර කොටස් මෙරටට ගෙන්වීමේ ජාවාරමක් සිදු කරද්දී ලන්ඩන් නුවර ශ්‍රී ලංකන් කළමනාකරු ඊට එරෙහිවී ඇත. එම කළමනාකරු වහාම මාරු කර යවන මෙන් හිටපු ජනාධිපතිවරයා නියෝග කර තිබූ අතර, ශ්‍රී ලංකන් පාලනාධිකාරිය කිසිදු පදනමකින් තොරව එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

    * එසේ අමතර කොටස් සහිත බෑග ගෙන ඒමේදී ඒවා පරීක්ෂාවකට ලක් නොකළ අතර, හිමිකරුවකු නැති බෑග සඳහා වූ ‘ටැග්’ ඒවායේ ගසා තිබී ඇති අතර එම සැකකටයුතු බෑග යොමුකර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනයට ය.

      ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත මුදා හැරීම.

    * හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ඉල්ලීම මත ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලය‍ට මුදාහැර ඇත්තේ මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ රාජකාරින් සඳහාය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්පූර්ණ වැටුප හා ඵලදායිතා දීමනාවෙන් කොටසක් ගෙවා ඇත. ඒ දෙකේ ම එකතුව මසකට රුපියල් 70,500 කි. මෙය ගෙවා ඇ‍ත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මසකට දුන් රුපියල් 87,500 ක දීමනාවටම අමතරව ය.

    පියවර කිහිපයක් ඔස්සේ මේ සිදුවීම විස්තර කර ඇත.

    1. 2010 ජනවාරි 01 දින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ලිඛිත දැනුම්දීමකට අනුව එම සේවිකාව ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණයකට තෝරාගත් බව සඳහන් ව ඇත. වැටුප ද සඳහන් කර ඇත.

    2. 2010 ජූනි 23 ඇයව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41.1 දරණ ව්‍යවස්ථාව ප්‍රකාර ජනාධිපති ලේකම් විසින් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ කාර්යාලයේ හිටපු ව්‍යාපෘති සම්බන්ධීකරණ කාර්යයකට ඇය යොමු කරගෙන ඇත.

    3. එදින ම ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මුදා හැර ඇති අතර එම ලිපියේ සඳහන් වන්නේ ඇයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැටුප සහ අනෙක් දීමනා ගෙවන බවයි.

    * සභාපතිවරයාගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම සේවිකාව මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ කටයුතු සඳහා ‍මුදාහැර ඇති බවත්, ඇගේ උසස් වීම් අවිධිමත් ලෙස සිදු කළ බව පිළිගන්නා බවත් ය.

    ඇයට ජනාධිපති ලේකම් කාර්යාලයේ මසකට රුපියල් 22,680 ක ඉන්ධන දීමනාවක් හා රුපියල් 3000 ක ගමන් දීමනාවක් ද ගෙවා ඇත.

    * එම සේවිකාව විමර්ශන කමිටුවට පවසා ඇත්තේ නමුත් තමා කිසිදු ව්‍යාපෘතියකට සම්බන්ධ කර නොගත් බව ය.

    ඇය 2014 මාර්තු 27 දින ගුවන් කාර්ය මණ්ඩල සුපරීක්ෂක තනතුරකට ද උසස් කර ඇත.

      තීරු බදු රහිත භාණ්ඩ අලෙවි කිරීමේ අක්‍රමිකතා

    * ගුවන් යානය තුළ තීරු බදු රහිත භාණ්ඩ (On board dutyfree) අලෙවි කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ සම්බන්ධ ගිවිසුම් අස්සන් කර තිබුණි. ඒ, එම්.එස්. ෆීනික්ස් නමැති ආයතනය සමඟ ය. එම ගිවිසුම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට හිමිවීමට තිබූ මූල්‍යමය වාසි මඟ හැරී තිබේ. මේ හරහා මෙම ගුවන් සේවයට ඇ‍ෙමරිකන් ඩොලර් මිලියන ලක්ෂ 8 කටත් වඩා පාඩුවක් සිදුවී ඇති බව විමර්ශන වාර්තාව පෙන්වා දෙයි.

    * හිටපු ගුවන් සේවා අමාත්‍යවරයාගේ මාසික ඉන්ධන බිල 75,000 කි. ශ්‍රී ලංකන් ගුවන් සේවය එම ඉන්ධන බිල ගෙවා ඇත්තේ මාදම්පේ ඉරට්ටකුලම් ලංකා තෙල් පිරවුම්හලේ හිමිකරු වූ පී. රාසයියාට ය.

    පසුගිය ජනාධිපතිවරණයේදී නිල රාජකාරි ලෙස පවසමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තෝරාගත් පිරිසක් හා කළමනාකාරිත්වයේ පිරිසක් ඡන්ද රාජකාරි වලට යොදවා තිබීම.

    * එයාර් ටැක්සි සේවා මිලදී ගැනීමේ අක්‍රමිකතා

    එයාර් ටැක්සි මිලදී ගැනීම්වල දී නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නැත. 1969, 1971 වසරවල 40 කට වඩා පැරණි ගුවන් යානා ගෙන්වාගෙන ඇත. ‍සිවිල් ගුවන් සේවා නීතියට අනුව වසර 15 කට වඩා පැරැණි ගුවන් ‍යානා ගෙන්වා ගැනීම තහනම් වුවත්, ඒ නීතිය ද කඩකර ඇත. එයාර් ටැක්සි ගෙන්වීම හරහා වාර්ෂිකව රුපියල් මිලියන 338 ක පාඩුවක් ලබා ඇත. එම යානා ගෙන්වීම ද විනිවිද භාවයෙන් තොරව සිදුවී තිබෙන බව කමිටුව පෙන්වා දෙයි.

    ගුවන් යානා පද්ධතිය නවීකරණය කිරීම හා නව ගුවන් යානා මිලදී ගැනීමේ අක්‍රමිකතා

    ගුවන් යානා පද්ධතිය අවුරුදු 5 ක් තුළ නවීකරණය කරන්නට තීන්දු තීරණ ඉහළ කළමනාකාරිත්වය විසින් ගනු ලැබුවේ 2010 දී ය.

    අලුත් ගුවන් යානා මිලදී ගැනීමට සහ පද්ධතිය නවීකරණය කිරීමට රුපියල් බිලියන 290 ක් යොදවා තිබීම නිසා ආයතනයේ මූල්‍යමය තත්ත්වය දරුණු ලෙස පිරිහිණි.

    ඉහත තනි තීරණ ගත්තේ කපිල චන්ද්‍රසේන, දෲවි පෙරේරා, යසන්ත දිසානායක හා ප්‍රියන්ත රෝස් යන ඉහළ කළමනාකාරිත්වයේ හතර දෙනා පමණි.

    උපදෙස් ලබාදුන්නේ සීබරි නම් උපදේශන සේවා සමාගමක් වන අතර එම උපදේශන ලබා ගැනීම ද ප්‍රශ්න සහගත බව විමර්ශන වාර්තාව පෙන්වා දෙයි. එම ආයතනයෙන් උපදේශන සේවා සඳහා ලබාගෙන ඇත්තේ ඇමරිකන් ඩොලර් ලක්ෂ 6 ක් වැනි සුළු මුදලකිනි.

    සාමාන්‍යයෙන් විශාල ගනු දෙනු සඳහා එවැනි ආයතනයක් සියයට 3 – 5 ක මුදලක් ගුවන් යානා මිලදී ගැනීමේ පහසුකම් සැපයීමේ ගාස්තු වශයෙන් ලබාගනී.

    එවැනි සුළු මුදලකට උපදේශන සේවා ලබාගැනීම තුළ ගැටලු රැසක් මතුවන බව විමර්ශන කමිටුව පෙන්වා දෙයි.

    * ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමනාන්ත සඳහා ලාභදායි ගුවන් මාර්ග හඳුනාගත්තේ ඊට අනුකූලව කටයුතු කර නැත.

    2012 සිට ඉදිරි මූල්‍යමය වසර දෙක තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 26 ක් හා රුපියල් බිලියන 32 ක් වශයෙන් පාඩු ලැබීය. 2014 සිට 2015 වනවිට එම පාඩුව රුපියල් බිලියන 23 – 24 ක් විය හැකි යැයි ගුවන් සමාගම පුරෝකතනය කර තිබිණි. මෙවැනි බරපතළ පාඩු ලබමින් සිටින වකවානුවක එවැනි බරපතළ ගනුදෙනු සඳහා තීරණ ගත්තේ මන්දැයි විමර්ශන කමිටුව ප්‍රශ්න කරයි.

    * ගුවන් යානා බළඇණිය නවීකරණය කිරීමේදී ‍ගත් තීන්දු තීරණ පරස්පර විරෝධී බව සහ වැරදි තීන්දු තීරණ ගත් බව විමර්ශන කමිටුව පෙන්වා දෙයි.

    එම තීන්දු තීරණ ගැනීමේදී පදනම් කරගෙන ඇත්තේ සීබරි වාර්තාව, 2010 කළමනාකරණ මණ්ඩල වාර්තා පමණි.

    * ගුවන් යානා පද්ධතිය නවීකරණය කිරීමට මූල්‍ය සම්පාදනය කරගත් ආකාරයේ අතිශය ගැටලු සහගත බව වාර්තාව පෙන්වා දෙයි.

    සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධව විශාල තීන්දු තීරණ ගැනීමේදී මැදිහත් නොවූ බව පවසයි. එය මවිතයට කරුණක් බව විමර්ශන කමිටුව පවසයි. එය ඇඟ බේරා ගැනීමට පවසන කරුණක් බව කමිටුව පෙන්වා දෙයි.

    * මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත් වගකීම් රහිත ක්‍රියාවලිය නිසා රටටම විශාල ණය බරක් හෙවත් වසරකට කෝටි 800ක පාඩුවක් ගෙන දී ඇත.

    * ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ සිට පහළටම බලය අනිසි ලෙස භාවිතා කර ඇත.‍ සභාපති ප්‍රධාන විධායක නිලධාරි, මානව සම්පත් ප්‍රධානී, කණ්ඩායම් ආරක්ෂක ප්‍රධානි සිය බලය අනිසි ලෙස භාවිත කර ඇත.

    * ප්‍රධාන අලෙවි නියෝජිතයන් පත්කරද්දී, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග හා ඩිලාන් ආරියවංශ යන දෙදෙනාගේ මැදිහත්වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළ යුතුව ඇතැයි වැලිඅමුණ විමර්ශන කමිටුව යෝජනා කරයි.

    * 2009 සිට 2014 දක්වා කාලයේ කාල්ටන් රග්බි තරගාවලියට අනුග්‍රාහකත්වය සඳහා රුපියල් මිලියන 74.1 ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාදී ඇත.

    ඒ සඳහා නොමිලයේ ගුවන් ටිකට් පත් 600 ක් ද නිකුත් කර ඇත. එසේ ම කොළඹ රාත්‍රි කාර් ධාවන තරග සඳහා 2012 සහ 2013 වසරවල රුපියල් මිලියන 12.3 ක් ද, නොමිලයේ ගුවන් ටිකට් පත් 119 ක් ලබාදී ඇත. විමර්ශන කමිටුව ප්‍රශ්න කරන්නේ මූල්‍යමය හා ලාභදායි අතින් පිරිහුණු ශ්‍රී ලංකන් ගුවන් සේවය එසේ කටයුතු කළේ මන්ද යන්න ය.

    * ශ්‍රී ලංකන් ගුවන් සමාගම දරාගත නොහැකි මූල්‍ය අර්බුදයකට වැට්ටවීම හා මූල්‍යමය වාසි ලබාගැනීම උත්සාහ නොකිරීම තනි සිදුවීමක් නොවන බව කමිටුව වාර්තාව පෙන්වා දෙයි.

    * මේ කාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි මනෝජ් ගුණවර්ධන මාරු කිරීම, එම තනතුරට කපිල චන්ද්‍රසේන පත්කිරීම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධානීන් වෙනස් කිරීම ඉහත කී කරුණට බලපෑ බව විමර්ශන කමිටුව පවසයි.

    * ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පිළිවෙත වූයේ ඉහත කරුණු සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටීම ය. ඒ වාතාවරණය තුළ දූෂණ කිරීමේ අභිමතාර්ථයෙන් බොහෝ දේ සිදු ව‍ූ බව ද විමර්ශන කමිටුව පෙන්වා දෙයි.

    * විමර්ශන කමිටුව පවසන්නේ එම ගණුදෙනු කළේ කවුදැයි යන්න නිශ්චිතව පැවැසිය නොහැකි වුවත් ගුවන් යානා පද්ධතිය නවීකරණය කිරීම හරහා සිදුවූ ගනුදෙනුව සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණයක් කළ යුතු බවත්, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවත් ය.

    – සුභාෂිණී ජයරත්න/ සිළුමිණ

Archive

Latest news

Related news