මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා ගනිමින් රාජ්‍ය දේපළ බෙදා හදාගෙන කෑම මහින්දගෙන් ලද තවත් දායාදයක
මිනීමරුවන්, අපරාධකරුවන් සහ දූෂකයන් මැති ඇමති මණ්ඩලවලට ගෙන ඒම සඳහා තම පක්ෂ නාමලේඛණ වලට ඇතුලත් කර ගැනීම ඔහුගෙන් ලද තවත් දායදයකි. රටේ පවතින පාලනය ජනතා උවමනා එපාකම් ඉටු නොකරතිය යන්න ගැන කරන ඕනෑම විවේචනයක්, මැසිවිල්ලක්, රාජද්‍රෝහී කමක් ලෙසත් රට පාවාදීමක් ලෙසත් හංවඩු ගැසීම මහින්ද රටට උරුම කරදුන් දායාදයකි. රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා පවතින පොලිස් සේවාව සම්පූර්ණ අපරාධ සමාගමක් බවට පරිවර්ථනය කර, පොලීසිය මිනීමරන කප්පම් කන කල්ලියක් බවට පත්කිරීම මහින්ද රටට උරුම කළ දෙයකි. නීතිය බලය ඇති එකාගේ උවමනා එපාකම් ඉටු කිරීමට පවතින මෙවලමක් බවට පත්කර විනිශ්චයකාරවරු යනු රූකඩ බවට පත්කිරීම මහින්දගෙන් රටට ලැබුණු උරුමයකි. කොටින්ම බලය අපයෝජනය සහ ගජමිතුරු ක්‍රමය මහින්ද රටට උරුම කළ ප්‍රධානම දායාදයකි.
උරුමයක් යනු යම් සමාජයක් තුල යමක් දීර්ඝකාලීන ක්‍රියාවට නැගීම සහ පැවතීම තුලින් සමාජ මනසට සහ පුද්ගල මනස තුලට එය ස්වාභාවිකත්වය ලෙස තහවුරු වීම වෙති. කාලාන්තරයක් තිස්සේ පවතින දෙයක් සමාජ චින්තනයට නිදන් ගත වී එය පවතින සමාජ සංස්කෘතිය තුලින් ඉදිරියට ඒම, කොටින්ම දැනට ප්‍රථම ගොඩනැගූ සියල්ල දැන් අපේ උරුමය වීමයි. වසර 2500 ක සංස්කෘතිය උරුමය ගැන සිංහලයා කතා කරයි. අවිහිංසාවාදය මුල්කර ගත් කරුණාව, මෛත්‍රිය මුල් කර ගත් ආගමක උරුමය ගැන සිංහල බෞද්ධයා කතා කරයි. ඒ මේවා අපට ප්‍රථම සමාජයේ ස්ථාපතිව පැවතීම තුල අපේ උරුමය බවට පත්වීමයි.
ජනතා කැමැත්ත මත පත්වන මන්ත්‍රීවරයෙකු තමාට එම ජන කැමැත්ත ලබාදුන් වැඩපිලිවෙලට, පක්ෂයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පක්ෂයකට සහ වැඩපිලිවෙලකට පිනුමක් ගැසීම කිසි හිරිකිතක් නැතුව එම වැඩපිලිවෙලට ආවඩමින් තමනට ඡන්දය ලැබුණ වැඩපිලිවෙලට අපහාස කරන මන්ත්‍රීවරුන් ඇති කිරීම මහින්දගේ පාලනය රටේ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ට ලබාදුන් ලොකුම සංස්කෘතිය උරුමයයි. තමනට ලැබෙන තානාත්තරයක් (ඇමතිකමක් හෝ විශේෂ වරප්‍රසාද මන්ත්‍රීකමක්) උදෙසා තම ප්‍රතිපත්ති බල්ලාට දැමීමේ සංස්කෘතිය මහින්ද උරුමයකි. එය දැන් ලංකා දේශපාලන සංස්කෘතිය බවට පත්වී ඇත. මෙම මහින්ද උරුමය රටට නම් කරුමයක් බව පැහැදිලිය. ඒත් ඒ කරුමයෙන් ගැලවීමක් නැති තත්වයක් ලෙස රටේ දේශපාලන දේහය තුලට සංස්කෘතික අංගයක් ලෙස උරුමව ඇත. මන්ත්‍රීවරයෙකුට තමන් කරන කියන ඕනෑම දෙයක් කරන්නේ කියන්නේ තමනට පුද්ගලිකව ලැබෙන බලවරප්‍රසාද මත බව කීමට හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමට කිසි ලැජ්ජාවක්, භයක් හෝ හිරිකිතක් නොමැත. සමාන්‍යයෙන් ශීලාචාර මිනිසෙකු නම් නැවත ඇඳුමක් ඇදගෙන පාරට බහින්නට ලැජ්ජාව වන හිරිකිත වැඩක් කිරීමට මේ මන්ත්‍රීන් කිසි හිරිකිතක් ලැජ්ජාවක් නොදක්වන අශීලාචාර සංස්කෘතියක් මහින්ද උරුමය ලෙස රටට දායාද වී තිබ
යම් කිසිවක් උරුමයක් ලෙස පවතින විට ඉන් වෙනස් වීම ද පහසු නැත. විශේෂයෙන්ම යම් ක්‍රියාදාමයක්, සිතිවිලි දාමයක්, සමාජ ගතවී ඇති සංස්කෘතික උරුමයක් බවට පත්වූ විට එයින් ගැලවීම එයට වෙනස් යමක් ඇති කිරීම පහසු කාර්යක් නොවේ. ඒ එය සමාජ මනසට, සමාජ සහ එහි දේශපාලන දේහයට ඇතුළුව නිදන් ගතව පවතින තත්වයක් වන බැවිනි.
උදාහරණයකට ලාංකිකයා වන අපට වසර දහස් ගණනක් තිස්සේ අතින් බත්කෑමට පුරුදු වූ සංස්කෘතික උරුමයක් ඇත. කෙනෙක් අතින් බත්කනු දැකීම අපට කිසිම අයුරකින් අමුත්තක් හෝ අපුලක් නොදැනේ. ඒ අපගේ සංස්කෘතිය එය වී ඇති නිසාවෙනි. එය අපගේ උරුමය නිසාවෙනි. නමුත් මෙම අතින් බත් කෑම දකින යුරෝපීයෙකුට එය අමුතු දෙයක් මෙන්ම අපුලක් දැනවීමටද ඉඩ ඇත. ලංකා දේශපාලනය එහි සමාජ ක්‍රියාදාමය තුල පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ දූෂණය, බලය අපයෝජනය, බලහත්කාරය සහ ප්‍රචන්ඩත්වය ඉතා සාමාන්‍ය ලෙස අපේ සංස්කෘතියේ කොටස් බවට පත්ව ඇත. අපට නොදැනීම එය අපේ උරුමය වී ඇත. අපට ප්‍රථම අය එය කරනු ලැබීය. දැනටත් එය කෙරෙමින් පවතී. ඒ උරුමයක් බවට පත්වෙමින් ඊළගට එන අයද එය කිරීමට ඉඩ තිබේ.
මහින්ද උරුමය ලෙස, මන්ත්‍රීවරයෙකුට තම පුද්ගලික වාසියකට (ඇමති කමක් හෝ මූළ්‍යමය ලාභයක්) තමන්ගේ ප්‍රතිපත්ති මාරු කිරීම හෝ වෙනත් ඕනෑම දෙයක් කිරීමේ සංස්කෘතික උරුමය අප මැති ඇමතිවරු ලබා තිබේ. ලංකා සමාජයට එය කොතරම් හුරු වී ඇත්ද යත් එය වෙනස් නොකළ හැකි යැයි සිතන මට්ටමකටම සමාජය පත්වී ඇත. මන්ත්‍රීවරයෙකු රටට යහපතක් සිදුවන හෝ අවැඩක් සිදුවන ක්‍රියාදාමයකට සහාය දක්වන්නේ තමන්ට පුද්ගලිකව ලැබෙන ලාභයක් වෙනුවෙන් ය යන ලංකා දේශපාලනය අපේ සංස්කෘතික උරුමය බවට පත් වී ඇත. ජනතාව වෙනුවෙන්ය කියා පාර්ලිමේන්තුවට යන මේ මන්ත්‍රීවරුන් එතුල ක්‍රියාත්මක වන්නේ ජනතාව ගැන අබමල් රේණුවක තැකීමකින් තොරව වෙති. තමනට ඇමති කමක් වැනි වාසියක් නැතිව යමක් නොකරන මන්ත්‍රීවරු දකින ලාංකික අපට එය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ අපේ දේශපාලන සංස්කෘතිය බවට පත්ව උරුමයක් බවට පත්වී ඇති බැවිනි. මේ තත්වය දකින විදේශිකයෙකු ඒ ගැන පුදුමවීමක් මෙන්ම අපුලක්ද ඇති කර ගත හැක. ඒ ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියේ උරුමය වෙනකක් වෙනවානම්ය.
මහින්ද උරුමය රටට කරුමයක් බව මේ දේශපාලඥයන්ට සහ එම බලාධිකාරයට නොපෙනුනා වුවද එහි ඇති අජූව, එහි ඇති අශීලාචාර බව ඉවසා ගත නොහුනු ජනයා ක්‍රමක්‍රමයෙන් දීර්ඝකාලීනව කරගෙන ගිය සංවාදයක සහ විරෝධයක අවසාන ප්‍රතිඵලය ලෙස ජනවාරි 08 බල මාරුවට මග පෑදුනි. එදා මෙම ජනයා ඒ බලමාරුවෙන් බලාපොරොත්තු වූයේ බලය මාරු කරන්නේ මහින්දලා වෙනුවට මෛත්‍රීලා පත්කිරීම නොවෙති. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ අසභ්‍ය, අශීලාචාර දේශපාලන සංස්කෘතියට තිත තැබීමයි. එය වෙනස්කර ලංකා සමාජ උරුමය ප්‍රජාතන්ත්‍රවාදී, මානුෂික, සහ දූෂණයෙන් තොර එකක් බවට පරිවර්ථනය කිරීමයි. මහින්ද උරුමයේ කරුමයෙන් රට සහ සමාජය ගලවා ගැනීමයි. රට තුල ආත්ම ගරුත්වයක් ඇති මිනිසුන් ලෙස රටවැසි සැමට ජීවත් වීමට දේශපාලන සංස්කෘතියක් ඇතිකර ගැනීම සඳහායි.
ජනවාරි 08 වෙනසින් සිදුවන්නේ දිගින් දිගටම පවතින මේ ක්‍රමයෙන් මිදීමට කඩඉමක් දමා ගැනීම පමනි. මුළු දේශපාලන සහ රාජ්‍ය ව්‍යුහය තුල පවතින්නේ මහින්ද උරුමය බව අප අමතක කළ නොයුතු වෙමු. දැන් ඇත්තේ දීර්ඝකාලීනව සමාජ සංස්කෘතියක් බවට පත්ව සමාජයට උරුම වී ඇති මේ කුණු වූ, ඕජස් ගලන, දුගඳ හමන ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාදාමයක් ඇති කිරීමයි. රටට අලුත් සංස්කෘතික උරුමයකට මග පාදා ගැනීමයි. එය පහසු නැති බව අප දනිමු. නමුත් ජනතාවගේ උවමනාව තිබේනම් එය වෙනස් කර ගැනීම, ජනතාවට ප්‍රිය කරන ශීලාචාර සංස්කෘතියක් අපට ඇති කර ගැනීමටත්, එය ලාංකිකයාට උරුම කිරීමත් කළ හැකි වනු ඇත. මහින්ද උරුමයේ රටට කරුමයෙන් රට මුදවා ගත හැකි වනු ඇත. බලය මාරු කළා වුවත් අලුත් වැඩපිලිවෙලකට මග පාදා ගැනීමට උත්සාහ කලා වුවත් රට පවතින්නේ තාමත් මහින්ද උරුමයේ සෙවණැල්ල යටයි. එයට හොඳම උදාහරණය 23 වෙනි දින පත්කරනු ලැබූ අලුත් අමාත්‍යවරුන්ය. මහින්ද පාලනයේ එක්ව සිටි හොරුන් මෙන්ම දූෂිතයන්ද නැවත ඇමතිවරු බවට පත්කර ඇත. වෙනසක් ඇති කිරීමට සහාය දීමට නම් ඔවුන් මෛත්‍රීගෙන් කප්පම් ඉල්ලා තිබේ. වෙනස ඇති කිරීමේ උවමානවක් ඇති මෛත්‍රීට වෙනසට සහාය ගැනීම සඳහා ‘ඇමති කප්පම්’ ලබාදීමට සිදුව ඇත. මෙය මහින්ද උරුමයයි. මේ කරුමය නැති කළ යුතුයි. නමුත් එය නැති කළ හැක්කේ ඔවුන් තුලින්ම බවද පැහැදිලිය. ඌරාගේ මාලු ඌරාගේ ඇඟ මත තබා කැපිය යුතුව ඇත. මෛත්‍රීට එය සාර්ථකව කර ගන්නට ලැබේවා යැයි අප පතමු. නමුත් දේශපාලනයේදී පැතුම් පමණක් ප්‍රමාණවත් නොවන බව අපි දන්නෙමු. එසේ නම් අපි සංවිධානාත්මකව මෙම ජරා ජීර්ණ මහින්ද උරුමයෙන් රට බේරා ගැනීමට පෙරමුණ ගත යුතුව ඇත. ඒ සදහා උද්ඝෝෂණ කළ යුතුව ඇත. එසේ පෙළගැසීම තුලින් මෙය වෙනස් කිරීමට මෛත්‍රීට දිරිය, ශක්තිය සහ බලපෑම්ද අප විසින් කළ යුතුව ඇත්තෙමු