Tuesday, April 23, 2024

“ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “ – කැෆේ

මේ වන විට වැඩිම අවධානයට යොමුව සිටින දේශපාලන සිරකාරිනිය වන්නේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි බව කැෆේ / ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි. වසරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බාලේන්ද්‍රන් ජයකුමාරිට එරෙහිව චෝදනා ඇත්නම් ගොනු කරන ලෙස සහ එසේ නොමැති නම් ඇය නිදහස් කරන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) රජයෙන් ඉල්ලයි.

නිසි චෝදනා ගොනු කිරීමකින් තොරව ඇය වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ රඳවා සිටියි. ඇය පෙබරවාරි 24 වන දින අධිකරණය හමුවට ඉදිරිපත් කර මාර්තු 10 වන දින දක්වා යළි රැඳවුම් භාරයට පත්කෙරිණ. පසුව ඇය අද දිනයේ (06) කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඇයගේ ඇප අයදුම්පත් සලකා බැලිණ. එය සලකා බැලූ අධිකරණය, ‘ජෙයකුමාරි නිදහස් කිරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත දැනුම්දීමක් හෝ එවැනි දෙයක් සිදු කර නොමැති බවින් එම නඩුව නැවතත් ලබන 10වනදාට කැදවීමට තීරණය කර තිබේ.

පසුගිය වසරේ බාලේන්ද්‍රන් ජයකුමාරි අත් අඩංගුවට ගැනුනේ එල්. ටී. ටී. ඊ සංවිධානයට නැවත පණ දීමේ අදහසින් කටයතු කළ පුද්ගලයෙකුට රැකවරණය දුන් බවට චෝදනා කරමිනි. ඇය අත් අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් ගතවුවද ත්‍රස්ත විමර්ශණ අංශය විසින් ඇයට එරෙහිව මේ වන තෙක් කිසිදු චෝදනාවක් ගොනුකර නොමැති අතර ත්‍රස්ත විමර්ශන අංශය දිගින් දිගටම සඳහන් කළේ බාලේන්ද්‍රන් ජෙයකුමාරිගෙන් ප්‍රශ්න කර අවසන් නොමැති බවයි. බාලේන්ද්‍රන් ජෙයකුමාරි 2014 වසරේ මාර්තු 13 වන දින කිලිනොච්චියේදී ද අත් අඩංගුවට ගත් අතර ඇය බුස්ස රැඳවුම් කඳවුර වෙත යොමු කෙරිණ. ඒ වන විට 13 වන වියේ පසුවු ඇයගේ දියණිය කිලිනොච්චියේ “මහාදේවන්” ළමා නිවාසය වෙත යොමු කෙරිණ.

පසුගිය යුධමය කාල සීමාවේදී ඇයගේ සැමියා සහ පුතුන් දෙදෙනකු මරාදැමුණු අතර තවත් පුතෙක් ආරක්ෂක හමුදා අත් අඩංගුවට පත්වීමෙන් පසු අතුරුදන්ව තිබේ. අතුරුදන් වු පුත්‍රයා ගේ ඡායාරූපයක්ද රැගෙන ජෙයකුමාරි සිය අතුරුදන්වු පුත්‍රයා සොයමින් අතුරුදන් වුවන් වෙනුවෙන් හඬනගමින් සිටියාය. මේ අතරතුර පොලිසිය ඇයගේ නිවස වටලා ඇති අතර එහි එල්ටීටීඊ සාමාජිකයෙකු රැඳී සිටි බව පොලිසිය කියයි. පොලිසිය දුටු විට ඔහු පළාගිය බවත් පළායන අවස්ථාවේ එම පුද්ගලයා පොලිසියට වෙඩි තැබු බවත්, එයින් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබු බවත් පොලිසිය කියයි.

කැෆේ සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරන්නේ ඉහත සිදුවීම් සත්‍ය නම් පොලිසිය ඒ සම්බන්දයෙන් ඇයට එරෙහිව චෝදනා ගොනුකළ යුතු බවයි. එසේ නොමැති නම ඇය වහාම නිදහස් කළ යුතු බව ද කැෆේ සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

නව රජය බලයට පත්වීමෙන් පසුවද මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් සහ සිවිල් සංවිධාන මට්ටමින් විවිධ ඉල්ලීම් සිදු කෙරුණද ඇය නිදහස් කිරීමට කිසිදු වගකිවයතු පාර්ශවයක් මැදිහත් නොවන තත්වයක් දක්නට ලැබෙයි. මේ නිසා ඇය අද (පෙබරවාරි 6 ) දිනයේත් යළි රැඳවුම් භාරයට පමුණුවා තිබේ. ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර ඇති අතර ඉතා ඉක්මනින් මෙම ගැටළුව පිලීබද සොයා බලා නිසි විසඳුමක් රජයේ ලබාදෙන්නේ යැයි අප විශ්වාස කරමු.

(ජායාරූපය විකල්ප වෙතිනි)

Archive

Latest news

Related news