Monday, January 30, 2023

මහින්දගේ පරාජය සහ බලය තහවුරු කර ගැනීම – කලණ සේනාරත්න

නොවැම්බර් මාසයේ මුල් සති කිහිපය වන විටත් පෙනෙන්ට තිබුණේ, අඩු වශයෙන් තව අවුරුදු හයකටවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටීමට නියමිතව සිටි බවකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දා ඔහු තම මාධ්‍ය පිරිවර සමග ඡන්දය පාවිච්චි කිරීමට යන විට, අවසාන තීන්දුව කුමක් වෙත් දැ යි ඔහුට පවා දැනුණු සෙයක් පෙනෙන්ට තිබුණි. ගත වූ දශකයක කාලය තුළ කිසි විටෙක එතරම් පරාජිත ස්වරූපයක් ඔහුගෙන් විද්‍යමාන වී නැත: වැඩියත්ම, මැතිවරණ දවසක දී එවැනි ස්වරූපයක් ඊට පෙර ඔහු කෙරෙන් විද්‍යමාන වී නැත. පැහැදිළිවම, ඒ දේශපාලනික ගිනි පුපුර එදා ගෙන දුන්නේ මන්දාලෝකයකි. සිංහල ජන විඥානය වඩාත් නිවැරදිව කියැවිය හැකි දේශපාලනික නායකයා යැයි ඇතැම් විට හැඳින්විය හැකි මේ මිනිසා තුළ යම් විපර්යාසයක් සිදුව ඇති සෙයක්, වසර ගණනකට පසු එදා පළමු වරට ප‍්‍රදර්ශනය විය. ඒ වන විට සිංහලයන් විසින් ඔහුව කියැවීම ආරම්භ කොට තිබුණි.

රාජපක්ෂ දැන් වෙළෙන්දෙක්: සකේතාත්මක කාටූනයක්
රාජපක්ෂ දැන් වෙළෙන්දෙක්: සකේතාත්මක කාටූනයක්

පරාජය වූ විගසම, සියල්ල සුන් වී නැති බවක් ඔහු ඇඟවීමට බැලීය. නැවත පැමිණීමට තමාගේ සූදානමක් ඇති බවක් ඔහු ඇඟවීම නිසා ජයග‍්‍රාහී කඳවුරේ යම් කුකුසක් ඇති වන්නට ඇත. ඔහුගේ බල ප‍්‍රදේශයේ ආධාරකරුවන් සමග එදා ඔහු හැසිරුණු සැහැල්ලූ විලාසය හරහා පැරණි ‘ජනතා දේශපාලඥයා’ තවමත් ඔහු තුළ සිටි බවක් පෙන්නුම් කෙරුණි. ජනතාව සමග ඔහු යෙදුණු ඒ කෙටි සංවාදය තුළත්, අනතුරුව කොළඹ ශ‍්‍රී ලංකා
නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ඔහු පැමිණීම තුළත් විශේෂ ලක්ෂණ දෙකක් දැක ගත හැකි විය.

පළමුව, පරාජයකට ඇති ඉඩකඩ දරා ගැනීමට මැතිවරණයට පෙර සිටම පවා ඔහු තුළ සූදානමක් තිබුණු සෙයක්, ආපසු හැරී බලන විට පෙනෙන්ට නැතුවා නොවේ. මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහුගේ දේහ හැසිරීම ඊට සාක්ෂියකි. ඒ නිසාම, ඔහුට මැතිවරණයෙන් පසුව ඉතා වේගයෙන් පරාජයට අනුගත විය හැකි විය. දෙවැන්න වන්නේ, 2009 සිට ඔහුගේ පරාභවයට එක් මූලික සාධකයක් වශයෙන් තමාගේ පවුල හේතු වී ඇති බවක් අවසානයේ ඔහු පිළිගෙන ඇති සෙයක් ද පෙනෙන්ට තිබුණි. මන්ද යත්, මැතිවරණයෙන් පසුව ජනතාව සමග කතාබහ කිරීමේදී ඔහු සිටියේ තනියෙන් වන බැවිනි. ඔහුගේ සහෝදරයන් සහ පුතුන් එතැන සිටියේ නැත. එය බොහෝ විට 2005 ට පෙර සිටි මහින්ද රාජපක්ෂ වශයෙන් ආපසු නැගිටීමක් ඔහුගෙන් පෙන්නුම් කෙරුණු සෙයකි. එය, බරපතල සේ සැලකිල්ලට ගත යුතු තත්වයක් සේ සිරිසේන/වික‍්‍රමසිංහ කඳවුරට දැනෙන්ට ඇති.

එහෙත් මේ සියල්ල සිදුවුණේ හිටිහැටියේ ය. එම ක‍්‍රියාවලිය තුළ, ජාතිවාදී තුරුම්පුව පාවිච්චි කිරීමේ වැරදි ආස්ථානයට මහින්ද පිවිසියේය. මෛත‍්‍රීපාල සිරිසේන දින්නේ ‘ඊලාම්’ ඡන්දවලින් යැයි ඔහු තම ආධාරකරුවන්ට කීවේය. එයින් තහවුරු කෙරුණේ, ජනාධිපතිවරණයෙන් ජයගෙන බලයට පැමිණි මහින්ද රාජපක්ෂ කෙනෙකුට වඩා දැන් දේශපාලනයට පිවිසීමට තතනන මහින්ද රාජපක්ෂ බෙහෙවින් හානිකර විය හැකි බවට කවදත් පැවති අඩමානයයි. ඊළඟට ඔහු බරපතලම වැරැද්දත් කෙළේය: තමාගේ අභිලාෂය ගැන සිරිසේන/වික‍්‍රමසිංහ කඳවුරට එසේ පැහැදිළි කර දීම හේතුවෙන් ඊට ප‍්‍රති-උපාය මාර්ගයක ඇති වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

‘කුමන්ත‍්‍රණ’ චෝදනාව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්ෂණික නායකත්ව වෙනස, ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව දූෂණ චෝදනා ඉදිරිපත් වීම සහ රාජපක්ෂලාගේ හැටි තව තවත් රටට අනාවරණය කර දීමේ ව්‍යායාමයන් ආදිය කරළියට එන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. කොටින්ම, මෙහි ඇති ලොකුම උත්ප‍්‍රාසය වන්නේ, ඔහුගේ පුනරාගමනයක් වැළැක්වීම, තවත් ප‍්‍රභාකරන් කෙනෙකුගේ පුනරාගමනයක් වැළැක්වීම තරමට වැදගත් යැයි සිතන තත්වයකට, (විශේෂයෙන් ජාතිකවාදී නැඹුරුවක් ඇති) ඇතැම් දේශපාලඥයන්ව ඔහු විසින්ම තල්ලූ කරනු ලැබීමයි.

මේ අසරණ තත්වයට මහින්ද සහ එම රෙජිමය වැට්ටවීමම, ඔවුන්ට එරෙහිව බලමුළු ගැන්වුණු දේශපාලනික බලවේගවල විශිෂ්ඨ සාර්ථකත්වයකි. එය, ඉතා නිර්භය සහ භයානක දේශපාලන ඔට්ටුවක් හරහා ලබා ගත් ජයකි.

මෙහිදී කාරණා දෙකක් මතක තබා ගත යුතුය:
පළමුවැන්න වන්නේ, මහින්දගේ පරාජය සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉමහත් සම්මාදමක් කළ මුත්, සිංහල ඡන්දදායකයාගේ අනුමැතියත් නොතිබුණි නම් මෛතීපාලට ජයග‍්‍රහණයක් අත්කරගත නොහැකි වන බවයි. මහින්ද පාලනය කෙරෙහි කළකිරීමෙන් සිටි සිංහල අතිබහුතරයක් සහිත පොලීසිය සහ හමුදාව ඇතුළු රාජ්‍ය සේවකයෝ එසේ මහින්දට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ පිරිස් අතර කැපී පෙනෙති. වෙනත් වචනවලින් කිවහොත්, දෙමළ ඡුන්ද තීරණාත්මක වන්නේ, සිංහල ඡන්ද පදනමේ පැහැදිළි වෙනසක් තුළ මිස රික්තයක් තුළ නොවන බවයි. (එයම අනිත් පැත්තටත් එසේම ය). තවද, එකී සිංහල ඡන්ද පදනමේ වෙනස ඇති වුණේ රාජපක්ෂ පාලනය ගැන දකුණේ දේශපාලනය තුළ කෙරුණු විවේචනය මත පදනම්ව මිස, දෙමළ පාර්ශ්වයෙන් රාජපක්ෂ පාලනය ගැන කරන ලද විවේචනයක් මත පදනම්ව නොවේ. දෙවැන්න වන්නේ, මහින්ද අරා සිටි සහ ඔහුට රැකවරණය සැපයූ ඔහුගේත්, ඔහුගේ පවුලේ සහ ඔහුගේ තන්ත‍්‍රයේත් අපරාජිත භාවය ගැන එතෙක් පැවති මිථ්‍යාව මෙහිදී සුනුවිසුණු වීමයි. මේ මිථ්‍යාව නිර්මාණය කිරීමේදී ඔහුට සහාය වූ පිරිස් බොහෝ ය. ඔහු වටා සිටි අන්තේවාසිකයෝ ද, මාධ්‍ය ද, දේශපාලන කණ්ඩායම් කිහිපයක් ද, තමන් විසින් නිමවමින් සිටි ඒ මිථ්‍යාවේම ගැලෙමින් සහ එයින් ස්වයං-මෝහනයට පත්වෙමින් සිටි විශ්ලේෂකයෝ ගණනාවක් ද ඒ අතර වූහ. මහින්ද සඳහා වූ ඔවුන්ගේ සහායත්, (ඊට අනුරූපිව මහින්දගෙන් සැපයුණු තල්ලූවත්*, විටෙක මෙහෙයැවුණේ, මැතිවරණමය වශයෙන් මොන විදිහකින්වත් මහින්දව පරාජය කළ නොහැකිය යන උද්ධච්ච සිතිවිල්ලෙනි. අපරාජිත භාවය පිළිබඳ මිථ්‍යාව, 2009 දී මෙන්, තිරශ්චීන ආකාරයෙන් නම් සුනුවිසුණු විය හැකි බව ඔවුන් දැන සිටින්ට ඇති. එහෙත්, ප‍්‍රජාතන්ත‍්‍රීය ආකාරයෙනුත් එය බිඳලීමේ ශක්‍යතාවක් ඇති බව, මෝඩයන් සේ ඔවුහූ නොතකා උන්හ.

කෙසේ වෙතත්, මේ තත්වය තුළ දැන් මතුවන වැදගත් ප‍්‍රශ්නයක් වන්නේ, අඩමානයෙන් පිරි මේ අවිනිශ්චිත කාලයේ බලය තහවුරු කරගන්නේ කෙසේද යන්නයි. එය, අනාගත දේශපාලනයට සහ රටට අත්‍යාවශ්‍ය කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ විභවයන්ට බලපෑම් ඇති කරනවා සිකුරුයි.

මුලින්ම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකාර පාර්ශ්වයන් කිහිපයක් සමග මහින්දගේ අරඇඳීම නතර කළ යුතුව තිබේ. එය පහසු නැත. එසේ වන්නේ, ඔහුට එරෙහිව තදබල පියවර ගැනීමට වැඩි කැමැත්තක් නැති කම නිසාම නොවේ. එවැනි පියවරකට තදියමේ තල්ලූ වුවහොත් ඇති වීමට ඉඩ ඇති අනපේක්ෂිත නිෂේධනීය ප‍්‍රතිවිපාක ද නිසා ය. එසේ හෙයින් වර්තමාන පාලනයට කළ හැක්කේ ඔහුට එරෙහිව ගත හැකි නීතිමය පියවර පිළිබඳ අඩමානය තුළ ඔහුගේ අනන්‍යතාවයේ ඊනියා සුජාත භාවය අභියෝගයට ලක්කිරීමයි. දැනට කෙරෙමින් පවතින්නේ ද එයයි.

ඊළඟට, ඔහුගේ සමීපතම දේශපාලනික සගයන් කිහිප දෙනෙකුට එරෙහිව, නිසි නීතිමය මාර්ගයෙන් සහ ශක්තිමත් සාක්ෂි මත පදනම් වෙමින් පියවර ගැනීම අවශ්‍ය කෙරේ. (කුමන්ත‍්‍රණ ප‍්‍රයත්නයේ සිට විවිධ දූෂණ චෝදනා ඒවාට නිමිති විය හැකිය). පවුල්වාදී අත්තනෝමතික තන්ත‍්‍රයක අවජාතක භාවය හෙළිදරව් කිරීම සඳහා එවැන්නක්, නෛතික අවශ්‍යතාවක් වශයෙන් සේම, දේශපාලනික අවශ්‍යතාවක් වශයෙන් ද, වැදගත් වන්නේය

(2015 පෙබරවාරි 4 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Mahinda’s Defeat & Consolidation of Power නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

Archive

Latest news

Related news