Thursday, April 25, 2024

මැතිවරණ ක්‍රමය වෙනස් නොකලොත් ‘හොරු සමඟ හෙළුවෙන් ‘

( හොරු පිසදා හරින්න නම් ක්‍රමය වෙනස් කරන්න)

ටී.එම්.ප්‍රේමවර්ධන විසිනි
කෙතරම් නරක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් හොඳ මිනිසුන් අතට පත් වූ විට සිදුවිය හැකි හානියට වඩා, කෙතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නරක මිනිසුන් අතට පත් වූ විට සිදුවිය හැකි හානිය වැඩි විය හැකිය“ – ආචාර්ය අම්බෙඩ්ස්කාර්-

මේ අනුව හොඳ මිනිසුන් අතට බලය ලබා දීම ඉතා වැදගත් වේ. පසුගිය ජනාධිපතිවරණය දා රාත්‍රියේ අරලියගහ මැදුරේ කුමන්ත්‍රණයක් සිදු වූ බව පැවසේ. ඒ ගැන පළ වී තිබෙන තොරතුරුවලට අනුව අවසානයේ දී අපේ රටේ නීතිපති හොඳ මිනිසකු වූයේ නැති නම් අද වන විට මෛත්‍රී පාලනයක් තිබිය හැකි ද?

නීතිපති, පොලිස්පති, මැතිවරණ කොමසාරිස් වැනි තනතුරු පවා හොඳ මිනිසුන්හට ලබා දීම මෙතරම් වැදගත් නම්; දේශපාලන බලය හොඳ මිනිසුන් අතට ලබා දීම කෙතරම් වැදගත් වන්නේ ද?

එහෙත් කනගාටුවට කාරණය වන්නේ සතියක් යන්නටත් පෙර මෙම සත්‍යය මෛත්‍රී පාලනයට අමතක වීමයි. එසේ නොමැති නම්, පොරොන්දු කඩ කර, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයත්, දැනට පවතින ක්‍රමයට ම පැවැත්වීමට සූදානම් වන්නේ නැත.

මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වූයේ කෙසේද?

“28 බදාදා
මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාශයකටම මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ සර්ව පාක්‍ෂික කමිටුව පත් කිරීම.

2015 මාර්තු 02 සඳුදා
නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කමිටු යෝජනා ලබා ගෙන ඒ අනුව අදාළ නීතිරීති සකස් කිරීම.

17 අඟහරුවාදා
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකිතාක් ඉක්මනින් සම්මත කිරීම.“ ආදී ලෙසටය.

දැනට පවතින ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුව හොත් යළිත් දූෂිතයන් වැඩි දෙනකු පාර්ලිමේන්තුවට පත් වීම පුරවැසියන්හට වැලැක්විය නොහැකිය. එවිට එතෙක් මෛත්‍රීපාල ජනාධිපති සතු ව පැවති අසීමිත බලතල මේ දූෂිතයන් අතට පත්වේ. මෛත්‍රී පාලනයේ මළගම එයයි.

එහෙත් පොරොන්දු පරිදි ආසන ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුව හොත් හොඳ මිනිසුන් වැඩි දෙනකු පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා පුරවැසියන්හට අවස්ථාව ලැබේ. එවිට මෛත්‍රී පාලනය තව දුරටත් ජීවමාන ව පවතිනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමයට වයස අවුරුදු 36කි. ඒ කාලය තුළ හැදුනු වැඩුනු බොහෝ දෙනෙක් ආසනයකට එක් මන්ත්‍රීවරයෙක් පත් කිරීමේ ක්‍රමයේ අගය දන්නේ නැත. එම ක්‍රමය පවතින විට මන්ත්‍රීවරයාට වඩා පුරවැසියා බලවත් වේ.

ආසනය කුඩා ප්‍රදේශයක් නිසා දුප්පත් මිනිසකුට වුවත් තරග කළ හැකිය. එකල බයිසිකලයෙන් ගොස් ඡන්දය ඉල්ලා ජය ගත් අපේක්ෂකයන් ද සිටියේය. ආසනයක ඡන්දදායකයන් පළමුව බලන්නේ පුද්ගලයා දෙසය. එමනිසා 1978ට පෙර සමහර හොඳ මිනිසුන් ස්වාධීනව තරග කළත්, ආසනය ජය ගත්තේය.

එපමණක් නො ව, මන්ත්‍රීවරයා මැති ඇමති කෙනෙක් වුවත්, නරක දේශපාලයකු බවට පත් වුව හොත් ඊළග මැතිවරණයේ දී පහසුවෙන් ඉවත් කළ හැකිය. 1978ට පෙර පුරවැසියෝ සංවිධාන ගත වී, ජනතාවට කන් නොදුන් බලවත් මැති අමතිවරුන් පවා පහසුවෙන් ගෙදර යැවූහ.

අනෙක් අතට මන්ත්‍රීවරයකු ජනතාව වෙනුවෙන් හඬ නගන විට, ආණ්ඩුව කන් නොදෙනවා නම්, ඔහුට හෝ ඇයට ඉල්ලා අස්වී අතුරු මැතිවරණයකට යා හැකිය. ඒ අයුරින් අවුරුදු 5ක් බලා නොසිට, ආණ්ඩුවට අභියෝග කිරීම සඳහා පුරවැසියනට අවස්ථාව ලබා ගත හැකිය. 1978ට පෙර එවැනි දේ සිදු වූ අවස්ථා බොහෝය.

ආසන ක්‍රමයෙන්, එක් ආසනයක් වත් දිනා ගත නොහැකි පක්ෂ තිබේ. එවැනි පක්ෂයකට මුළු දිවයිනේ ම වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5%ට වැඩියෙන් ලැබී තිබේ නම්, අවම වශයෙන් එක මන්ත්‍රීවරයකු ලබා දීම සාධාරණය. 1978ට පෙර එවැනි ක්‍රමයක් තිබුණේ නැත.

මෙම අඩුපාඩුව සැපිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් ආසන ක්‍රමය හා සමානුපාත ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කර ඇත. දැන් කළ යුත්තේ පොරොන්දු වූ පරිදි එය ක්‍රියාත්මක කිරීමයි.

මෙම මැතිවරණ ක්‍රමයට බිය වන්නේ එක්කෝ දූෂිතයන් ය. නැතහොත් එක් ආසයකින් වත් වැඩි ඡන්ද ලබා ගත නොහැකි යැයි හෝ දිවයිනෙන් ම 5%ක් වත් ඡන්ද ලබා ගත නොහැකි යැයි සිතන පක්ෂවල නායකයන්ය.

ඊළඟ පාර්ලිමේන්තුවට හොඳ මිනිසුන් වැඩි දෙනකු තොරා පත් කිරීමට නොහැකි වුව හොත් මෛත්‍රී පාලනය අවසන් වන බව ඔවුනට අමතක වන්නේය. නැත හොත් අමතක කරන්නේය. දේශපාලන අවස්ථාවාදය කියන්නේ මෙම හැසිරීමට හැර වෙන කුමකට ද?

ඔවුන් තර්ක කරන්නේ ආසන අතර, ඡන්දදායකයන් සංඛ්‍යාවේ විශාල වෙනස්කම් තිබෙන නිසා අළුතෙන් ආසන සීමා නිර්ණය නොකර නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ නොහැකි බවයි. ඒ සඳහා කාලය අවශ්‍ය බැවින් ඊළඟ මැතිවරණය දැනට පවතින ක්‍රමයට ම පැවැත්වීමට සිදු වන බවයි.

ඊළඟ පාර්ලිමේන්තුවට හොඳ මිනිසුන් වැඩි දෙනකු පත් කර මෛත්‍රී පාලනය රැක ගෙන, ඉන් අනතුරුව ආසන සීමා නිර්ණය කර, අඩුපාඩු සකස් කර ගැනීමට කිසිදු බාධාවක් නැත. දිනේෂ් ගුණවර්ධන කමිටුවේ නිර්දේශයත් එයයි.

එමනිසා පොරොන්දු වූ පරිදි ම ආසනයකට මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි ආසන ක්‍රමය සහ සමානුපාත ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමය නීති ගත කර ඒ අනුව ඊළඟ මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍යය.

කවර හේතු නිසා හෝ මෙම නව මැතිවරණ ක්‍රමය නීති ගත කිරීමට දේශපාලන පක්ෂ එකඟ කර ගත නොහැකි නම්; ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා ජනවරමක් ලබා ගැනීමට මෛත්‍රීපාල ජනාධිපතිට අයිතියත්, බලයත්, හැකියාවත් ඇති බවට අවසාන වශයෙන් කිව යුතුය. මෛත්‍රීට පොරොන්දු කඩ කළ හැකි ද?
by ටී.එම්.ප්‍රේමවර්ධන විසිනි [email protected]

– ලංකා ඊ නිව්ස්

Archive

Latest news

Related news