හැත්තෑ ගණන්වලදී සමාජවාදී ගමනේ අම්බලම් නැත’ යයි කීවේ එතෙක් මෙතෙක් මා වැඩිපුරම ගරුකරන දේශපාලනඥයා වූ ඇන්. ඇම්. සහෝදරයාය. අද මේ මොහොතේ අපට සමාජවාදය පිළිබඳ සිහිනයක් නැත. ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ ප‍්‍රාර්ථනාවයි. එහෙයින් අපි මෙසේ කියමු.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා යන ගමනේ අම්බලම් නැත.
මහින්ද රාජපක්ෂ පවුල් පාලනයට විරුද්ධව පොදු අපේක්ෂකයා වටා පොදිගැසුණු ජනයා දැනුවත්ව සහ නොදැනුවත්ව ඉල්ලා සිටියේ වෙන කිසිවක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ජනාධිපතිවරණයේදී රට බෙදුනේ ඒකාධිපතිවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන ගොඩවල් දෙකටය. දැන් ඉතින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයගත්තා යයි ජයපැන් බොන්නට පටන් ගතහොත් රට වැටෙන්නේ පරණ වැරදි පාරට ම ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැනුවත්ව ගොඩනැගිය යුතුය. එය පහසු කටයුත්තක් නොවේ. එය පටන් ගත යුත්තේ දිනූ පිළේම මිනිසුන්ගේ ඔළු හැදීමෙනි.
දැන් රටට අවශ්‍යව ඇත්තේ මෙතෙක් කල් සිටියා වැනි තවත් ජනාධිපතිවරයකු නොව පුංචි මැන්ඩෙලා කෙනෙකි. ඔබ බාරගත්තේ ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් සේ මසංස්කෘතික වශයෙන් ද අගාධයේ මුවවිටට තල්ලූ කරනු ලැබූ රටකි. රාජපක්ෂ පවුල් පාලනය තුළ ගොඩනැගුවේ බලය වෙනුවෙන් සේ ම බඩ වෙනුවෙන් ද ඕනෑම ජඩවැඩක් කිසිඳු හිරිකිතයකින් තොරව කරන පිරිහී කුණු වූ සමාජයකි. ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ මෙය ලෝකයටම ප‍්‍රදර්ශනය විය. සිදුවූ බල මාරුව තවත් තට්ටු මාරුවක් ලෙස සලකා උන්ගෙ වාරේ ඉවරයි. දැන් අපේ වාරේ යයි සිතා සිටින පිරිසක් ඔබ වටා ද රොක් වී සිටින බව ඔබ නොදන්නේයයි අපි නොසිතමු.
ඇමැතිකම් සහ රාජ්‍ය ආයතනවල තනතුරු දෙස බලාගෙන සිටින අයට මෙය හුදු බල මාරුවක් නොව සැබෑ වෙනසක් බව පෙන්වා දීම ආරම්භයේදී ම කළ යුතුවෙයි. දැන් සෙවිය යුත්තේ අහවලා වෙනුවට අහවලා නොවේ. මේ පුංචි රටට 25කට වැඩි ඇමති මණ්ඩලයක් අවශ්‍ය නැත. ඔවුන්ට ලබාදිය යුත්තේ රටට ඔරොත්තු දෙන ප‍්‍රමාණයේ වැටුප් සහ අත්‍යවශ්‍යම පහසුකම් පමණි.
රටේ සිටියේ බලය වෙනුවෙන් රට ගිනිතියන්නට හුළුඑළි ගත් පිරිසකි. බලය මාරු වුවද ඔවුන් සමාජයේ තැන තැන දමා ගිය ජාතිවාදී වර්ගවාදී හුළුඑළිවලින් තවම දුම්නැගෙයි. ඒවා නිවී නැත. ඉබේ නිවෙන්නේද නැත. දැනුවත්ව නිවා දැමිය යුතුය. මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් බහුතරයකගේ සිත් ඒ විෂ දුම්වලින් පිරී ඇති බව මතක තබා ගැනීම අත්‍යවශ්‍යය. ඒවා ඉවත් කළ හැක්කේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අත්‍යවශ්‍යම පියවරක් වන ජනවාර්ගික ගැටලූවට දේශපාලන විසඳුමක් දීමෙන් මිස ඒකීය භාවය රකිනවා යන හුදු පොරොන්දුවලින් නොවේ. ඒකීයභාවය රැකෙන්නේ ද සුළුජාතීන්ට ගෞරවනීය පැවැත්මක් සහතික කෙරෙන දේශපාලන විසඳුමකින් ම පමණි. එය තවදුරටත් කල්දැමිය හැක්කක් නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට වැරදුනේ එවැන්නක් යෝජනා කරන්නට කල් ගත්තා වැඩි නිසා බව තේරුම් ගැනීම ද මෙහිදී අත්‍යවශ්‍යය. සෑම රාජ්‍ය ආයතනයකටම ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යය. ඒ ඒ
ක්ෂේත‍්‍රවල ප‍්‍රාමාණික දැනුමක් ඇති විද්වත් සභා කැඳවා ඒ ව්‍යුහාත්මක වෙනස සැලසුම් කෙරෙන තෙක් ඒ ඒ ආයතනවල නිලතල ඉහළින් පත්කිරීම නොකළ යුතුය. මහින්ද රාජපක්ෂ පාලනය සමාජය අවිද්‍යාවේ, මිත්‍යාවේ අගාධයට තල්ලූකර තිබිණ.
ඒ සඳහා පන්සල්, පල්ලි, කෝවිල් ද මාධ්‍ය ආයතන ද කැපවී සිටියේ නායකයාගේ වැඩවසම් මනස වටහා ගනිමිනි. මහින්ද රාජපක්ෂ වශී ගුලිය කරකවන හැටි රඟපා පෙන්වූ මේ පැත්තේ දේශපාලකයන්ගේ අත්වල ප‍්‍රදර්ශනය වූ පිරිත් කඹ ද මිත්‍යාවේ සංකේත මිස ආගම් භක්තියේ සංකේත නොවන බව මතක තබාගැනීම අත්‍යවශ්‍යය. තම විශ්වාසයන්ට අනුව පිරිත් නූලක් අතේ බැඳගන්නට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇතත් ඒවා දේශපාලන ප‍්‍රදර්ශන භාණ්ඩ නොවිය යුතුය. ආගම ඇදහීම ආධ්‍යාත්මික කාරණාවක් බවට පත්කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. පාලකයා පන්සල්, පල්ලි, කෝවිල් යා යුත්තේ තම පවුලේ අය සමග චිස රූපවාහිනී කැමරාකරුවන් සමග නොවේ. මැතිවරණ ව්‍යාපාරය තුළ ඡන්දදායකයා නොමග යවන ඉතා විසකුරු බොරු ගෙතීම රාජපක්ෂ පාර්ශවයෙන් කෙරුණු බව අපි දුටුවෙමු. ජාතීන් අතර සැකය හා වෛරය ගොඩනගා සිංහල බෞද්ධ ඡුන්ද ගොඩ වැඩිකරගැනීම වෙනුවෙන් ගොතන ලද බොරු බහුවාර්ගික සමාජයක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අතිශයින් හානිකරය. ඒ බොරු යම් ප‍්‍රමාණයකට පලදැරූ බව ඡන්ද ප‍්‍රතිපල පෙන්නුම් කරයි. එම බොරු ගෙතූ සහ බොරු ප‍්‍රචරය කළවුන්ට නීතිමගින් දඩුවම් නොදෙන්නේ නම් මේ අමන දේශපාලන සදාචාරයෙන් රට මුදවා ගත නොහැකිවෙයි. එහෙයින් රට බෙදන බිල්ලා මවන්නට හොර ගිවිසුම් කතා ගෙතූ තිස්ස අත්තනායකට විරුද්ධව කර ඇති පැමිණිල්ල වැනි පැමිණිලි අවසානයක් දක්වා ගෙන යා යුතු වෙයි.
එසේ ම රාජ්‍ය මාධ්‍ය අවභාවිතයේ යෙදවූවන්ට මෙවර වත් නිසි දඩුවම් නොදුනහොත් ඒ අයම වටයක් කරකැවී අවුත් ඊළඟ අවස්ථාවේද තම පුරුදු ජඩකම් කරනු ඇත. ඒ අතර අලූත් පරම්පරාවෙන්ද එවැන්නන් බිහිවනු ඇත. බොහෝ කලක් වැඩවසම්වාදීව තිබුණු සමාජයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් බවට හැරවීම සඳහා ඔළු හැදීමට මතවාදය සේම නීතිය ද අවශ්‍ය වන්නේය. එහෙයින් අධිකරණයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, පොලිසියේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර වහාම ගත යුතුවෙයි. එසේම දේශපාලන සදාචාරයේ පරිහානිය ආපසු හැරවීම සඳහා මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම වහාම කළ යුතු කාර්යයකි. පොරොන්දු වූ පරිදි දින සියයේ
වැඩ සටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර සදාචාරවත් සමාජයක් ගොඩනැගීම සඳහා සංස්කෘතික ක්ෂේත‍්‍රය දැනුවත්ව මෙහෙයවීම අත්‍යවශ්‍ය වන්නේය.ඒ සඳහා සලකා බැලිය හැකි නිදසුන් යෝජනා දෙකතුනක් මෙසේය. සංස්කෘතික අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ කර එක් ඇමතිවරයකු යටතට පත් කළ යුතු වෙයි.
මහින්ද පාලනය යටතේ රූපවාහිනී සංස්ථාවේ, ලේක්හවුසියේ, චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිකම් කළ අය වෙනුවට මේ පැත්තේ අය පත්කීරීමට කලබල විය යුතු නැත. ඒවා ස්වාධීන ආයතන බවට පත්කෙරෙන ව්‍යුහාත්මක වෙනසකි.
වහාම කළ යුත්තේ. (සමහර විට මේ ලිපිය පුවත්පතක පළ වන මොහොත වන විට එවැනි පත්කිරීම් කෙරී තිබෙන්නට පුළුවන) රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටි කලාකරුවන් සහ උගතුන් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා ඒකාධිපති පවුල් පාලනය රටට හිතකර බව කීමයි. එය ඔවුන් අවංකව දැරූ මතය ලෙස සලකා ඒ මතය රට හමුවේ ඔප්පු කරන්නට යළි යළිත් ඔවුන්ට අවස්ථාව ලබා දෙන රූපවාහිනී වාද විවාද වඩවඩාත් සංවිධානය කිරීම රජයේ විද්යුත් මාධ්‍ය ආයතනවල වගකීමකි. ඔවුන්ට ඔළු හංගා ගන්නට හෝ හොරෙන්ම පිල් මාරු කරන්නට ඉඩ නොදිය යුතුය.
කලා මණ්ඩලය සංස්කෘතික ක්ෂේතයේ ඉතා වැදගත් ආයතනයකි. කලාකරුවන්ගේ මහා සභාවක් කැඳවා ඒ සභාවෙන් කෙරෙන යෝජනා අනුව කලා මණ්ඩලයට නියෝජිතයන් පත්කර ගැනීමේ විධික‍්‍රමයක් සකස් කළ යුතුය. එම සභාවේ මූලාසනයට ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ පොදු අපේක්ෂකයාගේ පැත්තේ සිටි සරත් විජේසූරිය, ගාමිනී වියන්ගෙඩ, පරාක‍්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරණායක, චන්ද්‍රගුප්ත තේනුවර වැන්නන් සේ ම රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටි රෝහණ වීරසිංහ, කාලෝ පොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, මාලිනී පොන්සේකා, ජැක්සන් ඇන්තනි වැන්නන්ගෙන් ද සමන්විත මූලාසන මඩුල්ලක් පත්කර ගත හැකිවෙයි. කලා මණ්ඩලය පූර්ණකාලීන ආයතනයක් ලෙස කි‍්‍රයා කිරීමට අවශ්‍ය දීමනා සහ පහසුකම් සැලසිය යුතු වන අතර සාහිත්‍ය, නාට්‍ය, සංගීත ආදී වශයෙන් ඇති ක්ෂේත‍්‍රවල මණ්ඩල සඳහා නියෝජිතයන් ඒ ඒ ක්ෂේත‍්‍රයන්හි කලාකරුවන්ගේ සභාවන්වල යෝජනා මගින් පත්කළ යුතුය. නෙළුම් පොකුණ රඟහලෙන් වහාම හමුදා නිලධාරීන් ඉවත් කර එය නව කලාමණ්ඩලයේ පාලනය යටතට පත් කළ යුතු අතර දැනට ඇති නෙළුම් පොකුණ මාවත නම ඉවත් කර එය පෙර පැවති ලෙස
ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස යළි නම් කළ යුතුය.
– ඉදිරිය පුවත් පතිනි