Friday, March 29, 2024

විපක්ෂ ජන්ද ව්‍යාපාරය තුල ප්‍රජාතන්තුවාදී න්‍යාය පත්‍රය ජය ගැන්වීම

( මැතිවරණයෙන් ඔබ්බට යන සිවිල් ක්‍රියාකාරිත්වයක්)

රංජිත් හේනායකආරච්චි-

අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ, ඇති කිරීමේ පෙර ගමන්කරුවන් වූයේ විවිධ ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාධරයන්, බුද්ධිමතුන්, කළාකරුවන්, මාධ්‍යවේදීන් ආදී මෙකී නොකී විවිධ පුද්ගලයන් සහ සංවිධානයන් ආදියයි. එම තත්වය ඇති වන්නේ ඔවුන් කාලයක් තිස්සේ ගෙනගිය නොනවතින උද්ඝෝෂණ හේතුකරගෙනයි.

මෙම තත්වය මෙවැනි තැනකට ගෙන ඒමේදී දෙමළ ප්‍රජාතාන්ත්‍රික බලවේගයන් පශ්චාත් යුධ ලංකාවේ තම අයිතීන් වෙනුවෙන් නොනවත්වා කරගෙන ගිය සහ යන අරගලයද හේතු වේ.

මෙසේ විවිධ කණ්ඩායම්, පුද්ගලයන් සහ දේශපාලන බලවේගයන් ගෙනගිය ඒ අඛණ්ඩ සටනේ ප්‍රතිඵලය ලෙස පොදු අපේක්ෂකයෙකු පිළිබඳ උවමනාව ලංකා සමාජයට සමාජ ගත විය. එසේ පොදු අපේක්ෂකයෙකු අවශ්‍යය යන්න සමාජගත වූවායින් පසුවද තවත් මාස 6 ක් පමණ එසේ පොදු අපේක්ෂකයෙකු ලෙස තෝරා ගනු ලබන්නේ කාවද යන්න පිළිබඳව මේ කණ්ඩායම් සහ පුද්ගලයින් අතර දීර්ඝව විවාදයට සහ සාකච්ඡාවන් වලට ගනු ලැබූ අතර අද වන විට එම වැඩපිළිවෙලේ ප්‍රතිඵලය ලෙස පොදු අපේක්ෂකයෙකු තෝරාගෙන ඇත. වැරදි නොකළ දේශපාලඥයන් නොමැති ලංකාවේ අපට තෝරා ගැනීමට සිදුවන්නේ සාපේක්ෂකව අඩු වැරදි කළ අයෙකි. මා සිතන්නේ සෑම පැත්තකටම වාගේ අගය කළ හැකි පුද්ගලයෙකු ඒ අනුව අද වන විට තෝරාගෙන ඇති බවයි.

දැන් මම අපේම ඉතිහාසය නැවත මතක් කරන්නට කැමැත්තෙමි. විශේෂයෙන්ම මම මෙහිදී ආමන්ත්‍රණය කරන්නේ මේ පොදු අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් මතවාදය දියත් කරමින් කලක් තිස්සේ ක්‍රියාත්මක වූ දේශපාලන, සිවිල් ක්‍රියාධරයන් සහ බුද්ධිමතුන්ටයි.

මෙවැනි අවදියක් 1994 වන විට තිබූ බව ඔබට මතක ඇත. විශාල මිනිස් ඝාතනයන් සිදුකර, රට අත්තනෝමතික පාලනයකට නතුකර, බුද්ධිමතුන් බලු කුක්කන් තත්වයට දමමින් පැවති දුර්ධාන්ත කාලයක් එම අවදියේ රට තුල පැවතුණි. මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාට ගනන්කාරයින් ලවා කානු දිගේ අදිමින් පහර දුන් අතර නඩු කාරයින්ට රස්තියාදුකාරයින් ලවා හූ කියවනු ලැබීය. රිචඩ් සොයිසලා වැනි නිදහස් මතධාරී මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුණි. විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ අයමත මරණයේ සෙවණැල්ල වැටුණි. ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා වැනි මැරයන් පොලිස් බලතල ඇතුව මැර කම් කරනු ලැබීය. මේ තත්වයට එරෙහිව සියළු බලවේග එදා එක්වුන අතර මේ අකාරයෙන්ම පොදු අපේක්ෂකයෙකු ලෙස එදින චන්ද්‍රිකා ගෙනඑනු ලැබුණි. බලය පෙරළීමේදී විශාල කාර්යක් ඉටුකළ මෙම ප්‍රගතිශීලී කණ්ඩායම චන්ද්‍රිකාට බලය ආවායින් පසු ඇය ප්‍රශ්න විසඳන තුරු බලා සිටියා මිස ක්‍රියාකාරීව එහි කොටස් කරුවන් නොවීමේ තත්වයක් පැවතුණි.

ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාල විසඳුම්දීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම වැනි ප්‍රධාන කාරණාවන් ක්‍රමක්‍රමයෙන් පසුමුණට ඇදී ගිය අතර චන්ද්‍රිකා බලයට ගෙන ඒමට ප්‍රධාන කාර්ය භාරය ඉටුකළ ප්‍රගතිශීලී බලවේග සහ පුද්ගලයන් ඈතින් ඈතට තල්ලුවී ඒ වෙනුවට ජාතිවාදයෙන් උන්මත්තක පසුගාමී බලවේගයන් චන්ද්‍රිකා වටා රොද බඳිනු ලැබීය. බොහෝ විට අප පුරුදු වී ඇත්තේ එදා සිදුවූ වරදට චන්ද්‍රිකා දෙසට පමණක් ඇඟිල්ල දික් කිරීමටය. ඇත්ත නම් බලය මාරු කර ගැනීමට සංවිධානය වූ අය ඉන්පසු ලිහිල් අයුරකින් ඔහේ බලා සිටීම නිසා බොහෝ විට චන්ද්‍රිකාට එය වෙනස් කිරීමට උවමනාවක් තිබුනා වියහැකි වුවත් එය කර ගැනීම නොහැකිවීමට හේතු වූවා විය හැක. එදාද මේ බලවේග සංවිධානාත්මකව චන්ද්‍රිකාට ප්‍රශ්න විසඳීමට සහාය වෙමින් පසුගාමී බලවේගයන්ට ඇය වටා රොක්වීමට එරෙහිව අරගලයක යෙදුනානම් තත්වයන් සමහරවිට වෙනස් වන්නට ඉඩතිබුනි.

කෙසේ වුවද මම මේ කියමින් සිටින්නේ අද පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රී තෝරාගෙන යන ගමනේද ප්‍රගතිශීලී දේශපාලන බලවේගයන් සංවිධානාත්මකව ඉදිමින් මෙයට සහයෝගය නොදේනම් පසුගාමී හා ජාතිවාදී බලවේග (දැනටමත් කොටසක් සිදුවී ඇති අයුරින්) මේ පෙරළිය තුල තම කරණම් පෙන්වා ජයග්‍රහණය ඔවුන්ගේ ග්‍රහණයට ගනු ලැබීම නොවැලැක්විය හැකි බවයි.

එසේ නම් ඉතිහාසය අපට කියාදී ඇති පාඩම් අමතක නොකර දැන් අප කළයුතුව ඇත්තේ ප්‍රගතිශීලී දේශපාලන සංවිධාන, ක්‍රියාධරයන්, කලාකරුවන්, බුද්ධිමතුන් ආදී සෑම ෆැසිස්ට් විරෝධී ප්‍රගතිශීලී මත දරන්නන්ම එකට සංවිධානය වීමයි. එතුලින් පොදු අපේක්ෂකයා දිනවීමට ක්‍රියාත්මක වීම හා ඒ අතරම එම ජයග්‍රහණය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ජයක් කර ගැනීමට නම් අද සිටම ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම, දූෂිතයන් නීතිය ඉදිරියට ගෙනඒම මෙන්ම පක්ෂ මාරුකිරීමේදී මන්ත්‍රීවරයාගේ අසුන අහිමිවීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී අවම ක්‍රියාවන්වත් ජයගැනීමට මග පාදා ගත යුතුය. බලය පෙරළීම මෙන්ම ඉන්පසුවද බලය අතඇති අය සමග හරි හරියට කේවල්කිරීමේ අයිතිය මෙන්ම සවියද සංවිධානාත්මකවම පවත්වාගත යුතුය. එසේ නොමැතිනම් අපට සිදුවන්නේ 1994 දී අපට සිදුවූ තත්වයට නැවත මුහුණ දීමටයි.

මේ පිළිබඳව අපට ලෝකයේ වෙනත් රටවලින්ද ඉතිහාසයේ පාඩම් කියාදී ඇත. 1979 ඉරාණගේ ෂාගේ බලය පෙරළා දැමීමට පෙරමුණ ගැසුණු තුඩෙයි පක්ෂය, වමේ පක්ෂ සහ සියලු ප්‍රගතිශීලී කණ්ඩායම් සහ බුද්ධිමතුන් මුසිලිම් කණ්ඩායම් සමග අත්වැල් බැඳගනු ලැබීය. වමේ සහ ප්‍රගතිශීලී බලවේග තමන් එක්ව සිටින දක්ෂිණාංශික බලවේගයන්හි භයානකකම හා සංවිධානාත්මකකම අවතක්සේරු කිරීමේ වරදට දස දහස් ගණනින් ජීවිතවලින් වන්දි ගෙවා අද වනතුරුත් වන්දි ගෙවමින් ඉරාණය මධ්‍යතන යුගයේ පසුගාමී රටක් බවට ඇද වැටීමට ඉඩහරිනු ලැබීය.

අරාබි වසන්තයෙන් පසු ඊජිප්තුවට සිදුවූ දෙය මෙන්ම ටියුනීසියාව යන්තම් එම අගාධයට යාමෙන් ගොඩ ආ ආකාරය වැනි දේවලින් අපට පාඩම් ඉගන ගැනීමට තිබේ. මෙසේ ලොව පුරා විවිධ තැන්වල විවිධ ආකාරයෙන් සිදුවූ සිදුවීම් වලින් අපට ඉගන ගත හැක.

94 අපේම පාඩම් වුවද අපට ප්‍රමාණවත්ය. එනිසා දැන් අපි ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාධරයන්, කලාකරුවන්, බුද්ධිමතුන් ආදීන් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කර ගත යුතු අතරම තමනගේ ස්වාධීනත්වය පවත්වා ගනිමින් පොදු බලවේගයේ කොටසක් වීමට අප අපම සංවිධානය වීමට අමතක නොකළ යුතු වෙමු. පොදු බලවේගය තුල දක්ෂිණාංශික ජාතිවාදී කොටස්වලට බලවේගය මෙහෙයවීමට ඉඩ නොහැර මෙම පොදු බලවේගය තුලම ප්‍රජාතන්ත්‍රවාදී බව ප්‍රගුණ කිරීමට බලකළ යුතුය. මෙය කළ හැකි වන්නේ පොදු බලවේගයට සහයෝගය දෙන අතර ප්‍රගතිශීලීන් වෙනම සංවිධානාත්මකව පැවතීමෙන් පමනි. මේ සඳහා වහාම සංවිධානය නොවන්නේ නම් ජයග්‍රහණයේදී පසුගාමී, ජාතිවාදී බලවේගයන් මේ ජයග්‍රහණය ඔවුනගේ ග්‍රහණයට ගැනීම අපට වලක්වා ගත නොහැකි වනු ඇත.

එනිසා අපේ සටන් පාඨය විය යුත්තේ ‘ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සඳහා පොදු අපේක්ෂකයා දිනවමු’ යන්නයි

Archive

Latest news

Related news