(Sri Lanka Brief/ 27 May 2025)
උතුරු පළාතේ ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් 2025 මාර්තු 28 වන දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය රජය විසින් ඉල්ලා අස්කර ගෙන ඇත.
මෙම ගැසට්ටුව මගින් උතුරු පළාතෙහි අක්කර 6000ක් ආණ්ඩුවට ගැනීමට සැළසුමක් තිබුණි. මෙම ගැසට් පත්‍රය අනුව නිසි අයිතිවාසිකම් පෙන්වය නොහැකි අක්කර 6000 පමණ ඉඩම් ප්‍රමාණයක් රජයට ගන්නා බව දක්වා තිබුණි.
මෙම ඉඩම් අයත් වන්නේ මුලතිව් ප්‍රදේශයටය. එහි ජනයා යුද සමයෙහි අනේක දුෂ්කරතාවයන්ටද විකැන්වීම්වලටද ගොදුරු විය. එමගින් ඔවුන් සතු ලියවිලි අස්තාන ගත විය. තවද ඉතා ග්‍රාමීය පදෙසක් වූ එහි ජනයා පරම්පරා ගණනාවක් ජීවත් වු සමහර ඉඩම්වලට නිසි බලපත්‍ර තිබුණේ ද නැත.
මෙම ගැසට් පත්‍රය විවේචනය කරමින් හිමිකම් ක්‍රියාකාරිනියක වන අම්බිකා සත්ගුණනාදන් ද හිටපු පා.ම. ජනාධිපති නීතිඥ සුමන්දිරන්ද දෙමළ ජන මාධ්‍යද අදහස් පළ කළ නමුත් ජාජබ ආණ්ඩුව එම විවේචන තුට්ටුවකට සැළකුවේ නැත.
පළාත් පාලන මැතිවරණයේ දී මෙම කාරණය ඉස්මතු කරන ලද අතර ජාජබ ජන්ද ප්‍රමාණය අඩුවීමට එයද බලපෑවේය.
මෙම ගැසට්ටුව නිකුත් කිරීම පිටුපස, උතුරෙහි ජනයාගේ ඉඩම් අල්ලා ගැනීමේ සහ බෞද්ධකරණය කිරීමේ පාර රාජ්‍යමය සැළසුම් තිබෙන්නට ඇති බවට සැක පහළ වී තිබේ. දෙමළ ජනයාගේ ඉඩම් අල්ලා ගෙන බෞද්ධ විහාර ඉදි කිරීම පිටුපස සිටින්නේ ද අතිබලවත් පාර රාජ්‍ය ජාලයන්ය. එය බෞද්ධාගම නොවේ. බලහත්කාරයයි.
මේ ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පසුගිය මාර්තු8 දාය.
එහි මෙසේ සඳහන් වේ.
“ඉඩම් නිරවුල් කිරීමේ අඥා පනත
ඉඩම් නිරවුල් කිරීම
දැන්වීම අංක 5622 (මුල්ලතිව්)
ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතේ 4 වන වගන්තිය යටතේ, 2025 මාර්තු 28 වන දින සිට මාස තුනක කාලයක් ඇතුළත මෙහි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ඉඩම්වලින් කිසිවෙකුට හෝ එවැනි ඉඩමක කොටසකට හෝ අයිතියක් කිසිදු හිමිකම් පෑමක් පහත අත්සන් කර ඇති තැනැත්තාට සිදු නොකළහොත්, එම ඉඩම ඉහත සඳහන් ආඥා පනතේ 5(1) වගන්තිය යටතේ රජයේ දේපළක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන අතර, රජය වෙනුවෙන් කටයුතු කරනු ලැබේ.”
එම ගැසට් පත්‍රය මෙහි කියවිය හැක. 2025-03-28(III-0)S
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් උතුරු පළාතේ ගම්මාන කිහිපයක ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් අංක 2430 දරන ගැසට් පත්‍රය නිකුත් කරන ලදී.
උතුර නියෝජනය කරන දෙමළ දේශපාලනඥයින් ගැසට් පත්‍රයට එරෙහිව තම විරෝධතාව දක්වමින් කියා සිටියේ රජය ඉඩම් එහි නියම හිමිකරුවන්ට ආපසු ලබා දෙන බවට පොරොන්දු වුවද ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කරන බවයි.
ආණ්ඩුව ඉස්තාලය වසා ඇත්තේ අශ්වයා පැන ගියාට පසුය. දැන් මෙම ගැසට් පත්‍රය අහෝසි කිරීමේ ගෞරවය විරෝධතා දැක් වූ පිරිස් අතට යන අතර මඩ තල්ලිය ආණ්ඩු මුහුණෙහි රැදී තිබෙනු ඇත.