Saturday, December 7, 2024

තෙල් ටැංකි වත්ත බදු දී ඇස්සට දත නියවීම – ජයශ්‍රී ප්‍රියලාල්

 oAඋපමා ආප්තෝපදේෂ ජනවහරට එක් වන්නේ ජන සංස්කෘතියේ අතීත අත්දැකීම් සහ සිද්ධීන්ගෙන් උගතයුතු පාඩම් අනාගත පරපුරේ අවධානය පිණිස ජනගත කරවීමටය.

වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය මව් භාෂාවෙන් පවත්වාගෙන ගියද, සිසුදරුවන් පෙනී සිටින තරඟකාරී විභාග සමත්වීමේ ප්‍රමුඛතාවයට වැඩි අවධානයක් යොමුවීමේදී, සිය භාෂා සහ සාහිත්‍ය අවශ්‍යතාවන් යටවෙන තත්ත්වයන් ඉස්මතුවීම  කණගාටුවට කරුනෙකි. මෙම තත්ත්වය සියළු නිර්මාණශීලී සංස්කෘතික කලා කටයුතු වල පිරිහීමකට මුලපුරයි. වර්තමානයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන තාක්ෂණික ක්‍රියාදාමයන්ට සමගාමීව ක්‍රීඩා සහ කලාකටයුතු ක්ෂේත්‍රවල බිහිවීමට ඇති රැකියා අවස්ථාවන් අවතක්සේරු කලයුතු නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම වෙනමම ලිපියකින් සාකච්ඡා කලයුතුවෙි.

“වත්ත බද්දටදී ඇස්සට” දත නියවීම යන ආප්තෝපදේශයෙන් ගම්‍යවන අර්ථය නම්, කෙනෙකු සතු ඉහළ ආර්ථික වටිනාකමක් ඇති දිගු කාලයක් අඛණ්ඩ ආදායම් උපයා දීමට සමත් දේපලක් හුදෙක් කෙටිකාලීන ලාභපේක්ෂාවෙන් වෙනත් අයෙකුට බදුදී ඉන් ලැබෙන අවම ආර්ථික වාසියෙන් සෑහීමකට පත්වීමයි. මෙහිදී ඇස්ස යන වචනයේ නියම තේරුම කුමක්ද යන්න නව පරපුරේ පාඨකයින්ට ප්‍රශ්ණයක් විය හැක. ඒය නම් ඵලයක් ගසකට බද්ධ කරන කොටසයි.

ඉංග්‍රීසියෙන් Crown යනුවෙන් හඳුන්වනු ලබන ගෙඩිය වැඩෙනතෙක් විශේෂ කාර්යයක් කොට ඵලයක් බවට පත්වූපසු වටිනාකමක් නැති කොටසක් බවට පත්වෙයි. තම දෙමාපියන් දහඩිය මහන්සියෙන් වවාගත් පොල්වතු, සහ වෙනත් වගාවන් දෙවෙනි තෙවැනි පරම්පරාවල දරුවන් ඒවා වැඩිදියුණු කරනවා වෙනුවට ගිවිසගත් බඳු මුදලකට වෙනෙකෙනෙකුට පවරා යම් ආදායමක් උපයාගනී. බඳුහිමියා බදු කාලසීමාවේදී අස්වැන්න නෙලාගෙන එයින් වෙළඳපලේ උපරිම මිල ලබාගෙන අතිරික්ත ලාබයක් හිමිකර ගත්තද වගාවේ වැඩිදියුණුවට කිසිම ආයෝජනයක් නොකරයි. වාරයෙන්, වාරයට ඵලදාව නෙලාගෙන සියළුම ආර්ථික වටිනාකමින් යුතු දේ වගාබිමෙන් ඉවත්කරගෙන ඇස්ස පමණක් ඉතිරි කර යයි. වතු හිමියාට සිය භූමියේ  ඉතිරිව ඇති ඇස්ස ගණනය කිරීමෙන් තමන්ට අහිමි වූ ආදායමේ තරම කොපමණද යැයි යන හෝඩුවාවෙන් සෝසුසුම් ලෑම දත නියවීමෙන් අර්ථ ගන්වයි.

අපට සැමට සහ රටට මෙම ආප්තෝපදේශය අදාලවනුයේ කෙසේද?

ලිපියට යොදාගෙන ඇති මාතෘකාවේ පණිවිඩයේ දිශානතිය කුමක්ද යැයි පාඨක ඔබට වටහාගැනීම අපහසුනොවේ. ජාත්‍යන්තර ණය මා‌ෆියාවේ උපායමාර්ග වලට හසුවී සිටින අපගේ දේශපාලනඥයින් සිදුකරනුයේ ඉහත ඡේදයෙන් විස්තර කර ඇති සංසිද්ධියමවෙයි. සමහර ආර්ථික වටිනාකම් සහිත සම්පත් බඳුදීමට අමතර සම්පූර්ණයෙන් විදේශිකයින්ට විකුණා දැමීමට ණය උඟුලට හිරකර මානබලයි. අවාසනාවකට ජනතාවගේ නීත්‍යාණූකූල ජනවරමක් නොලද පරහිත ලැදි පාලක පිරිසකින් මෙම කටයුත්ත පහසුවෙන්ම කරගත හැකි බව ඔවුන් දැඩි ලෙස විශ්වාස කරයි.

මානව ප්‍රවර්ධනයේ ආයෝජන එක්රැස්කරවීමට උපයාගතයුතු බඳු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරවලට නොයවා බඳු රහිත අක්වෙරළ සුරපුර වලට යැවීමට පාරකපන නව ලිබරල්වාදී දර්ශනය ශ්‍රී ලංකාව පමණක් නොව තවත් දියුණු සහ දියුණුවෙමින් පවතින රටවල් කිහිපයක්ම මෙම ණය උඟුලට හසුකර ඇත. Schock Doctrine කම්පණ කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය, නිරවි යුධ සමයේ බලගැන්වුණු ඒකධ්‍රැවීය ජගත් සංවිධාන ඔස්සේ ණය උඟුලට මැදිවෙන රටවල් වලට නියම කරයි. තමන්ටම ආවේණික ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නව අදහස් වලින් බංකොලොත් පාලක සමූහයක් සහිත රටවල් වලට මෙම වැරදි මාත්‍රාව වැඩිවැඩියෙන් නියම කරයි.

ණය උඟුලෙන් ගොඩවිය හැකි විකල්ප වැඩපිළිවෙලක් සොයාගනු වෙනුවට පාලකයින් තවතවත් ණය මත ආර්ථිකය සංවර්ධනය කිරීමට උත්සහ කරයි.  අවාසනාවක තරම වෙදාම ලෙඩේ බව තේරුම් නොගෙන ඔහුගේ ප්‍රතිකර්මයෙන් සුවවීමට උත්සහ කරන පාලකයින් නොදැනුවත්වම තම රටේ සහ ජනතාවගේ අනාගතය නොරටුන්ට උකස් කර සිටීමයි. කම්පන කේන්ද්‍රීය ආර්ථික න්‍යායයේ උපාය මාර්ග දෙකක් පැහැදිලිව හඳුනාගත හැක. ඉන් පළමුවැන්න අර්බුදයට මුහුණදෙන රටවල් මොන තරම් ආර්ථික අවපාතයන්ට ගොඳුරු වූවද, ගෙවිය යුතු ණය කපා නොහැරීමට ණය හිමියන් පොළඹවනු ලැබීමයි.

දෙවැනුව සිය අනුග්‍රහාශීලීන් උපයා ගෙන ඇති බඳුනොගෙවෙන ධනය ආයෝජනය කිරීමට හැකි අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අර්බුදවලට ගොදුරු රටවල බංකොලොක් දේශපාලනයින්ට සිය අනුගාමී උපදේශකයින් ලවා ක්‍රියාත්මක කරවීමට පොළොඹවයි. ඊළඟ ණය වාරිකය පෙන්වා මෙම නඩය නැවත ණය උඟුලේම හිරකර තැබීම ඔවුන්ගේ අභිප්‍රායයි. මෙය වෙනත් ආකාරයකට දැක්වූවහොත් ශක්තිමත් ආර්ථික වටිනාකම් සහිත රාජ්‍ය ආයතන දුර්වල කරමින් ඒවා පෞද්ගලීකරණය කිරීමට අනුබල දීමයි. එසේ පෞද්ගලීකරණයට භාජනය වන සේවාවන් ශක්තිමක් ලාබදායී ව්‍යාපාරයන් ‌මෙන්ම වෙළඳ ඒකාධිකාරීන් ගොඩනඟාගැනීමට ඉඩකඩ සලස්වාදෙයි. කළු සල්ලි Shadow Finance විශුද්ධිකරණය කරගැනීමට පහසු ක්‍රමවේදයන් ඉබේම නිර්මානයවේ.

ත්‍රිකුණාමලයේ හිස් තෙල් ටැංකි වත්ත සහ රට වැසියන් කලින් කලට මුහුණදෙන ඉන්ධන අර්බුද 

විශාල ධාරිතාවකින් යුත් තෙල් ටැංකි පද්ධතියක් (100 ට ආසන්න) බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලයේ වරාය ආසන්නව ඉදිකර ඇත්තේ 1930 දීය. සිය අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම පරිපාලනය කරගෙන යන ලද්දේ ශක්තිමත් රාජකීය නාවික හමුදාවක් සහිත නැව් සමූහයක් නඩත්තු කරගෙනයාමෙන්ය. බ්‍රිතාන්‍යයද දූපතක් වීමත් ඔවුන් නිතරම තම යටත් විජිත අතරට දූපත් ඒකතු කරගැනීමට ඇල්මක් දැක්වූහ. ඔවුන්ට ආවේණික රාජ්‍ය තන්ත්‍රය හඳුන්වනු ලැබුවේ Gun Boat Diplomacy යනුවෙනි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පද්ධතිය ඉදිකර ඇත්තේ ආසියා ශාන්තිකර කලාපයේ සිය ඒකාධිකාරිය නාවික කටයුතු මගින් පාලනය කිරීමට අවශ්‍ය ඉන්ධන ගබඩාකිරීමටය. ඒහෙත් ඉන් වසර 20 කාලපරාසයක් තුලදී හිරු නොබසින අධිරාජ්‍යයේ කඩා වැටීම සිදුවීය. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනද ත්‍රිකුණාමල වරාය, ගුවන් තොටුපල වල සිය ග්‍රහණයේ තබාගැනීමට බ්‍රිතාන්‍යයන් දැඩි උත්සහයක් ගත්හ. ඒවකට සිටි ජනහිතකාමී දේශපාලන නායකයින් බටහිර කඳවුරේ බලපෑම් නොසලකා බහුජාතික සමාගම් සතුව තිබූ ව්‍යාපාර ජනසතුකලේ පොදුජනතාවගේ යහපත උදෙසාය.

“දැනට ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් බෙදාහැරීමට ප්‍රධාන වශයෙන්ම මැදිහත්ව ඇත්තේ ඉන්දීය IOC සමාගම සහ චීනයේ SINOPEC සමාගමයි. ඉන්දියාවවත් චීනයවත් ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නැත.”

දිවයිනේ ඉන්ධන අවශ්‍යතාවන් සුරක්ෂා කරගැනීමට වර්තමානයේ අපගේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් දූරදර්ශීව කටයුතු කර නොමැති බව කණගාටුවෙන් සටහන් කලයුතුව ඇත. බටහිර බහුජාතික සමාගම් සතුව තිබූ ඛණිජ තෙල් බෙදාහැරීමේ ඒකාධිකාරිය බිදදමා එම කාර්ය සඳහා බිහිකරන ලද ඛණිජ තෙල් සංස්ථාවට අවරගනයේ දේශපාලකයින් අත්කරදී ඇති ඉරණම ගැන අප කම්පා විය යුතුවේ.

දැනට ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් බෙදාහැරීමට ප්‍රධාන වශයෙන්ම මැදිහත්ව ඇත්තේ ඉන්දීය IOC සමාගම සහ චීනයේ SINOPEC සමාගමයි. ඉන්දියාවවත් චීනයවත් ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නැත. ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒම රටවල් දෙකම විශිෂ්ඨ ඝණයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවන් මැදපෙරදිග රටවල් සහ රුසියාව සමඟ පවත්වාගෙන යයි. ප්‍රගතිශීලී රටවල් හා ශ්‍රී ලංකාව පවත්ගෙන ගිය යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හේතුවෙන් බටහිර රටවල් සහ ඉන්ධන සමාගම් වල බලපෑම් වලට හසු නොවීමට ඉරාණ රජයේ දායකත්වය මත සපුගස්කන්දේ තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකරන ලදි.

ඒවා වැඩි දියුණු කර, වෙළදපලේ බොරතෙල් මිල අඩුවනවිට ආනයනය කොට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිහිපයක් වත් අළුත්වැඩියා කොට ගබඩා කොට නඩත්තු කරවීමට තරම්වත් දුරදක්නා දැනනුවණක් තිබුණු රාජ්‍ය පාලකයින් නොසිටීම ජාතියේ අවාසනාවකි. ඛණිජ තෙල් ආනයනය කරවීමට කැදවන ටෙන්ඩර් මගඩි පාලනය කර සිය මඩිය තරකර ගැනීමේ කෙටි කාලීන වාසිය තකා ජාතියේ අනාගතය නොරටුන් අතට බාරදීමට පොරකන දේශපාලකයින් ගැන ශ්‍රී ලාංකේයන් සියළු දෙනාම විමසිලිමත් විය යුතුය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ණයබර සැහැල්ලු කර විදේශ ආයෝජකයින්ට පිරිනැමීම 

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසට ශ්‍රී ලාංකාව පැවැති කාලයේ රාජ්‍ය පාලනය සතුවුයේ සිය අධිරාජ්‍යයේ පැවැත්ම තහවුරු කරවීමට තීන්දු තීරණ ගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් සතුවය. රාජ්‍ය තාන්ත්‍රිකයින්  කටයුතු කරනුයේ සිය අරමුණු අභිප්‍රායන් මුදුන්පත් කරගැනීමේ දිගුකාලීන වැඩපිළීවෙලක් මත පිහිටාය. නිදහසින් පසු දිවයිනේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන් කටයුතු කර ඇත්තේ අතලොස්සක් වූ දේශපාලකයින් කිහිප දෙනෙකි.

විශේෂයින් 1978 ව්‍යවස්ථා සංශෝධනයින් පසු ඒතෙක් රාජ්‍ය තන්ත්‍රය උසස් මට්ටමකින් පවත්වාගෙන යන ලද සිවිල් පරිපාලනය අවරගනයේ දේශපාලනයින්ගේ අතකොළුක් බවට පත්වීය. ඉන් අනතුරුව දේශයේ කඩාවැටීම උත්සන්න විය.

වත්මන් දේශපාලකයින් විදේශ උපදේශකයින් ගේ උපදෙස් අනුව නටනවා හැර රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග සොයා නිර්මාණශීලී වැඩ පිලිවෙලක් රටට හඳුන්වාදීමට සම්පූරුණයෙන්ම අසමත්ය. ඔවුන් සියළුදෙනාම ජාත්‍යන්තර ණය මාෆියාවේ සුරතළුන් වීමට කළුකෝට් වලින් සහ කිරිකොකුන් මෙන් ජාතික ඇඳුමෙන් සැරසී පොරකති.

රාජ්‍ය ආයතන නිසිපරිදි කලමනාකරණය නොකර දේශපාලන හෙංචයියලා යටතේ අවභාවිතාව රට දැනට මුහුණපා ඇති ආර්ථික අර්බුදයේ මර්මස්ථානයයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය මේ අතරින් ඉදිරියෙන්ම සිටී. දැනට ශ්‍රී ලාංකේයන් ගේ ජීවන වියදම අසාමාන්‍ය ලෙසට ඉහළ යාමට හේතුව මෙම ආයතන සිදූවූ දූෂණ සහ වංචාවන් සහ දුර්වල කලමණාකරණයයි. මෙම තත්ත්වයට හේතුව ප්‍රධාන ලෙසම දායකවී ඇත්තේ රාජ්‍ය පාලකයින් සිය බලය අයුතු ලෙසට භාවිත කරමින් බැංකුවලට මෙම ආයතන වලට ණය මුදල් සපයා දීමට බල කර සිටීමයි.

මේ සඳහා බැංකුවලට භාණ්ඩාගාර ඇපකර සුරැකුම් ලෙසට සපයමින් කෙටිකාලීන අවශ්‍යතාවයන් සපුරාගැනීම දිගු කාලීනව ආයතන බංකොලොත් කරවීමට කටයුතු කර ඇත. ඉතාමත් පටු දැක්මක් සහිත අවරගනයේ දේශපාලකයින් සිය කෙටිකාලීන ලාභ අපේක්ෂාවන් උදෙසා ජාතියේ අනාගතය විනාශ කර ඇති ආකාරයන් තවදුරටත් පහත ඡේදයන්හි සාකච්ඡා කෙරේ.

රාජ්‍ය බැංකු දුර්වල කර කඩා වැට්ටවීමේ නව උපාය මාර්ගය

දරාගත නොහැකි මට්ටම් වලට රාජ්‍ය ණය ප්‍රසාරණය කිරීම හේතුකොටගෙන වර්තමාන මුල්‍ය ක්‍රමවේදය දැඬි අවදානමකට ලක්ව ඇත. මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්වයක් නොවන අතර දියුණු ශක්තිමත් ආර්ථික මට්ටම් ඇති බොහෝ රටවල් වලද මෙම අවදානම වැඩිවෙමින් පවතී.

මූල්‍ය අර්බුදයන් තාවකාලිකව සමණය කරගැනීමේ මුදල් අච්චු ගැසීමේ Quantitative Easing උපාය මාර්ගය වෙනත් ආකාරයේ අර්බුද රැසක් අත්කර දී ඇත. ඒ අනුව දැඬි උද්ධමණකාරී තත්වය නිසා පාරිබෝගික භාණ්ඩ සිය සේවා වල මිල ගණන් සීඝ්‍රයෙන් වැඩිවන අතර, වෙළදපලේ පොලී අනුපාතයන් ඉහල මට්ටමක පවතී. අසාමාන්‍ය ලෙසට ඉහළ  මට්ටම් වල ඇති ණය ප්‍රමාණයන්ට අවශ්‍ය කරන පොලී ගෙවීමට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ගතයුතුවේ. ආර්ථිකයේ ප්‍රසාරණයන් කිසිසේත් වැඩිකර ගැනීමට අපොහොසත් රජයන් ණය බර අඩුකරවීමේ විකල්ප වැඩ පිලිවෙළ වෙත යොමුවෙන තත්ත්වයන් දැක ගත හැක. මහජන තැන්පතු වලින් ශක්තිමත් වී ඇති රාජ්‍ය බැංකු මතට වැඩි බරක් පැටවීමේ උත්සහයක හෝඩුවාවක් දැන් කරලියට පැමිණ ඇත.

රාජ්‍ය බැංකුවල පැවැත්ම සහ ආර්ථික කටයුතු වලට සක්‍රිය ලෙසට දායකවීම ලතින් ඇමෙරිකානු රටවල සහ ආසියාතික රටවල පැවැතුනද බටහිර ධනවාදී කදවුරේ මුල්‍ය පද්ධතිය මෙහෙයවන්නේ පෞද්ගලික බැංකු මාර්ගයෙනි. එකී රටවලද ආර්ථික අවපාතයන් පාලනය කරනු වස් දැන් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් Quantitative Tightening අනුගමනය කිරීමට පෙළඹී තිබේ. ශ්‍රී ලංකාව මෙන්ම නිරතුරු රාජ්‍ය ණය අර්බුද සහ ජාත්‍යන්කර ණය මාෆියාවේ ගොදුරක්ව ඇති ලතින් ඇමෙරිකාවේ ආජන්ටිනාවේ Banco Nacion යනු රටේ ආර්ථික මර්මස්ථානයක් වන රාජ්‍ය බැංකුව පෞද්ගලීකරණයට කිරීමට වත්මන් ජනාධිපති ජාවියර් මිලී ගේ උත්සහය බැංකු සේවකයින්ගේ La Bancarios යන ශක්තිමත් වෘත්තීය සමිතියේ විරෝධතාවය මත වලක්වාගෙන ඇත.

La Bancarios වෘත්තීය සමිතිය මහා වැඩවර්ජනයක් සහ සිය බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ අත්සන් දශලක්ෂයක් ලබාගෙන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීන්දුව පරාජය කලහ. උග්‍ර දක්ෂිනාංශික මතධාරියෙකු වන  ජනාධිපති ජාවියර් මිලී ගේ දේශපාලන පැවැත්මට මෙකී විරෝධය දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ඛණිජතෙල් සංස්ථාව ගොදුරු වූ ඉරණමට රාජ්‍ය බැංකු පත් කරවීම

රටේ ආර්ථික කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේ ප්‍රම්‍රඛතාව මත පිහිටා රාජ්‍ය බැංකු ඛණිජ තෙල් සංස්ථාවට විශේෂ ණය පහසුකම් රජයේ ඇපකරණයන් මත කාලයක් තිස්සේ සපයා ඇත. කෙටිකාලීන ලාභ අපේක්ෂාවේන් පාරිභෝගිකයින් ගසා කමින් දූෂිත කලමනාකරණයන් මත ණය බරින් පිරි තෙල් සංස්ථාව දැන් රජයට පවත්වාගෙන යා නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට උපදෙස් ලැබී ඇත.

මෙම ආයතනය සිය ආධිපත්‍යට ගැනීමට කැසකවන ජගත් භූ දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ නැඟී ඒන රටවල් දෙකක් ලාබදායී ඛණිජ තෙල් බෙදාහැරීමේ ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ මැදිහත්ව ඇත. මෙම රටවල් දෙකම සිය බලශක්ති අවශ්‍යතාවන් සපුරාගැනීමට දිගු කාලීන වැඩපිලිවෙලවල් ක්‍රමවත්ව දියත් කර ඇත. ඒවැනි අවශ්‍යතාවන් ගැන කිසියම් සංඝත වැඩපිලිවෙලක් නොමැති ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ඒම රටවල උපායමාර්ග ශක්තිමත් කිරීමට මගබලා සිටිත්.

මෑතකදී ස්වීයත්වය ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත ඛණිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ණය බරින් සැහැල්ලු ව්‍යාපාරය  පෞද්ගලීකරණය කිරීමට සුදානම් කරමින් සිටී. ජනමාධ්‍ය වාර්තාවන් සහ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශණ අනුව බැංකු වලට ඛණිජ තෙල් සංස්ථාව ගෙවීමට නියමිත පොලී ප්‍රමාණයන් අත්සිටවීමට නියෝග ලැබී ඇතැයි වාර්තා කර සිටී.

මහජන තැන්පත් වලින් පවත්වාගෙන යන රාජ්‍ය බැංකුවලට හිමිවිය යුතු විශාල ණය ප්‍රමාණයක පොලිය අහිමි වීම ඒකී ආයතන ලාභදායීව පවත්වාගෙන යාමේ තර්ජනයට මුහුණ දීමට සිදුව ඇත. මෙම ප්‍රයත්නයේ යටි අරමුණ ශක්තිමත් රාජ්‍ය බැංකු දුර්වල කර රටේ සංවර්ධනයට අවශ්‍ය අරමුදල් ජාත්‍යන්තර ණය මාෆියාවෙන්ම සපයා ගැනීමට පෙළඹවීමකට මුලපිරීමක් විය හැක.

ඉහත විස්තර කල කරුණු සළකා බැලීමේදී දැන් සිදුවෙමින් පවතින්නේ දරාගත මට්ටමකට ව්‍යාප්තවී ඇති ස්වෛරීය ණය මහජනතාවගේ ඉතුරුම් වලින් හිලව් කර දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යොමුකරවීම සඳහා විය හැක.

ආප්තෝපදේශයකින් ඇරඹි ලිපිය තවත් ජනවහරේ ඒන උපමා කතාවකින් අවසන් කරමි. “කැවුම් ගෙඩියට පොරකෑ බලළුන් දෙදෙනාට සිදුවූ ඉරණමම” දැන් ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් අත්විදිමින් සිටී. වෙනසකට ඇත්තේ ලාංකේය දේශපාලකයින් සිය බලය තහවුරු කරගැනීමට ශ්‍රී ලාංකේය කැවුම් ගෙඩිය වඳුරන් දෙදෙනෙකු වෙත ගෙනයාමට පොර කෑමය.

ජූනි, 2024

Archive

Latest news

Related news