Friday, May 3, 2024

වධහිංසා පිරි දේශබන්දු- අලස්ගේ යුක්තිය මෙහෙයුමට ලෝක විරෝධය; එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල! පොලිස් කොමිසමෙන් නීති!

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ පොලිස් ඇමති ටටිරන් අලස් හවුලේ දියත් කර ඇති ඊනියා මත් දුව්‍ය විරෝධී යුක්තිය මෙහෙයුම දේහීය සහ අන්තර් ජාතික අපවාදයට තුඩු දී තිබේ.

මෙරට මානව හිමිකම් නොසිමස විසින් අයුක්ති මෙහෙයුමක් ලෙස හදුන්වා දෙන ලද මෙම ක්‍රියාන්විතයට අලුත්ම විරෝධය එල්ල වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් ගෙනි.

වොල්ටර් ටර්ක්

 “යුක්තිය” මෙහෙයුම සමාලෝචනය කරන ලෙසත්, සමාජයේ පවතින නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළු විසඳීමේදී මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයන්, විශේෂයෙන් සෞඛ්‍ය සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කරන ලෙසත්  ඔහු කියා සිටී. මෙම මෙහෙයුමට එල්ල වී ඇති  පොලිස් අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම, වධහිංසා පැමිණවීම සහ අයහපත් ලෙස සැලකීම සහ නියමිත නීති ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීම සහ සාධාරණ නඩු විභාගයක අයිතිවාසිකම් පිළිබඳ චෝදනා තරයේ සහ අපක්ෂපාතීව විමර්ශනය කර යුක්තිය ඉටු කළ යුතු බවය.

මේ බව සඳහන් වන්නේ අද (12) දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ ප්‍රකාශිකාවක වන ලිස් ත්‍රොසෙල් විසින් ජිනීවා සිට නිකුත් කරන ලද නිවේදනයකය.

එහි මෙසේ ද සඳහන් වේ.

මානව හිමිකම් මත පදනම් වූ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනුවට ශ්‍රී ලංකාවේ බලධාරීන් රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට දැඩි ආරක්‍ෂාව පදනම් කරගත් ප්‍රතිචාරයක් අනුගමනය කිරීම ගැන අපි ඉතා කනස්සල්ලට පත්ව සිටිමු. දෙසැම්බර් 17 වැනිදා සිට මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් පුද්ගලයන් 29,000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇතැමුන්ට අයහපත් ලෙස සැලකීමට සහ වධහිංසා පමුණුවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ආරක්ෂක අංශ විසින් සෝදිසි වරෙන්තු නොමැතිව වැටලීම් සිදු කර ඇති අතර, මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සහ භාවිතා කරන්නන් යැයි සැක කරන අය රඳවා තබාගෙන සිය ගණනක් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇති බව වාර්තා වේ.

මෙම මෙහෙයුම් අතරතුර සහ ඉන් පසුව, අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම, අයහපත් ලෙස සැලකීම, වධහිංසා පැමිණවීම සහ ප්‍රසිද්ධියේ නිරුවත් කර සෝදිසි කිරීම ඇතුළු උල්ලංඝනයන් ගණනාවකට පුද්ගලයන් ලක් වී ඇති බව වාර්තා වේ. රැඳවුම් භාරයේ සිටින අයගේ නීතීඥයින් චෝදනා කරන්නේ ඔවුන්ට පොලිස් නිලධාරීන්ගෙන් තර්ජන එල්ල වී ඇති බවයි.

මත් ද්‍රව්‍ය භාවිතය සමාජයට බරපතළ අභියෝගයක් වන නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ දැඩි ප්‍රවේශයක් ඊට විසඳුම නොවේ. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ එයට තුඩු දෙන සාධක ප්‍රථමයෙන්ම මහජන සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න වේ. මත්ද්‍රව්‍ය අලෙවි කිරීම හෝ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයන්ට මානුෂීය සැලකීමක් ලබාගැනීමට හිමිකම් ඇති අතර, නියමිත නීති ක්‍රියාවලියට පූර්ණ ගෞරවයෙන් සහ විනිවිද භාවයෙන් යුක්ත, සාධාරණ නඩු විභාගවලට ඇති අයිතිය ද ඊට අයත්ය.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්ට ඇබ්බැහි වීමේ මූල හේතු හඳුනාගෙන ඔවුන් සමාජයට යළි සමාජගත කිරීමට උපකාර වන සුදුසු සහය සහ වැඩසටහන් සැපයිය යුතුය.

මත්ද්‍රව්‍ය භාවිතය සාපරාධීකරණය කිරීම සහ පුද්ගලික භාවිතය සඳහා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම ඇතුළුව ඵලදායී ඖෂධ ප්‍රතිපත්ති සකස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය වසරේ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින වාර්තාවක් නිකුත් කළ බවත් නිවේදනය සදහන් කරයි.

මෙයට අමතරව අද (12) අන්තර් ජාතික සංවිධාන 14ක් එක්ව “අනිසි මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම නවතා අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින අය නිදහස් කරන්න” යැයි මැයෙන් නිවේදනයක් නිකුත් කරන ලදී. ඊට ලොව ප්‍රධාන පෙලේ මානව හිමිකම් සංවිධාන ගණනාවක්ම අත්සන් තබා තිබේ.

එම ප්‍රකාශය ශ්‍රී ලංකා රජයට මෙසේ කියා සිටී:

යුක්තිය මෙහෙයුම වහා නවතා සාක්‍ෂි හෝ සාධාරණ සැකයකින් තොරව අත් අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් නිදහස් කරන්න. නීත්‍යනුකූල නීතිඥ  නියෝජනයට අවස්ථාව නොමැති අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට නීති ආධාර ලබාදීමට රජය වගබලා ගත යුතුය.

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම / මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් හෝ අනිවාර්ය මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය සඳහා යවන ලද පුද්ගලයින් වහාම නිදහස් කරන්න.

මානව හිමිකම් නීතියට අනුකූලව මත්ද්‍රව්‍ය පාලනය සහ ප්‍රතිකාර ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදාවන් සම්බන්ධ කර ගැනීම නවත්වන්න.

 මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අනිවාර්යෙන් පුනරුත්ථාපනය කිරීම, අනිවාර්ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වසා දැමීම සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ විෂය පථය තුළ දැනට මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් නිදහස් කිරීම සඳහා වන නීති ඉවත් කරන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය යටතේ ස්වේච්ඡා, සාමූහිකත්වය සහ කරුණූ මත පදනම් වූ ඖෂධ ප්‍රතිකාර සහ සත්කාර සැපයීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය සම්පත් වෙන් කරන්න.

ජාතික ඖෂධ නීති සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීමේදී සිවිල් සමාජය, ප්‍රජාවන්, මානව හිමිකම් විශේෂඥයින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන අර්ථවත් ලෙස සම්බන්ධ කර ගන්න.

මේ  අතර  ජාතික පොලිස් කොමිසමද යුක්තිය මෙහෙයුම කළ යුතු නීති රාමුව පෙන්වා දෙමින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව, මෙම මෙහෙයුම රටේ පවතින නීති රාමුව තුළ සහ නීතියෙන් නියම කරන ලද ආකාරයට කටයුතු කළ යුතුය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂාවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයේ නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසට සියලු නිලධාරින් වගබලා ගත යුතුය.  ‍ෙ

නීතියට පටහැනිව මෙම මෙහෙයුම් කටයුතු කරන ලද බවට සනාථවන අවස්ථා වලදි එම නිලධාරීන්ට එරෙහිව දැඩි වීනය පියවර ගන්නා බවටද ජාතික පොලිස් කොමිෂන් සභාව දන්වා තිබේ.

මෙම උපදෙස් අනුව පොලිස් නිලධාරීන් දැනුවත් කළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුවත් කළ යුතු බවට  පොලිස් කොමිසම දේශබන්දු තෙන්නකෝන් වෙත දන්වා තිබේ.

දැන් දේශබන්දු-ටිරන්ගේ මහා වික්‍රමය උර චක්‍ර මාලාවක් බවට පත් වෙමින් තිබෙන බව මෙම සියලු කරුණූ පෙන්වා දෙයි.

සේ.පියවර්ධන විසිනි

Archive

Latest news

Related news