Sunday, April 28, 2024

අපරාධ නඩුවක සැකකරුවකු වැඩබලන පොලිස්පති වී තමාට විරුද්ධව අපරාධ පැමිණිලි කල රහස් පොලිස් ලොක්කා මාරු කරයි!

ඡායාරූපය: සාමකාමී අරගලකරුවන්ට පහර දීමට ආ මැර  නායකයකු වූ සනත් නිශාන්ත සමඟ සතුටු සාමීචියේ යෙදෙන දේශබන්දු!

සුනන්ද දේශප්‍රිය.

 නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක සැකකරුවකු ලෙස නම් කළ පුද්ගලයකු වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීම මගින් රනිල් රාජපක්ෂ සිය අනීතික පාලනයේ තවත් කැත වාර්තාවක් පිහිටුවා තිබේ.

දැන් ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පති වන දේශබන්දු තෙන්නකෝන් 2022 මැයි 09 වන දින  ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට එල්ල කරන ලද ප්‍රචණ්ඩ ප්‍රහාරය පිළිබඳ නඩුවේ 16වන විත්තිකරුකරු ලෙස නීතිපතිවරයා විසින් නම් කරන ලදී.

මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ සිට සන්නද්ධව පැමිණි මැර බලකායකට, නිරායුධ සහ සාමකාමී ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමට දේශබන්දු ඉඩ හැරි නිසාය.

ඒ මැර බලකායේ ප්‍රධානියකු වූ සනත් නිශාන්ත සමඟ සතුටු සාමීචියේ යෙදෙමිනි.

දේශබන්දු තමා එලෙස සැකකරුවකු කිරීමට විරුද්ධව අභියාචනාධිකරණයට ගියේය.

සුප්‍රසිද්ධ විනිසුරුවරුන් දෙදෙනෙකු වන අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඒ.මරික්කාර්  එසේ නම් කිරීම වළක්වාමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.

අභියාචනාධිකරණයේ තීරණයේ නීත්‍යනුකූලභාවය අභියෝග කරමින් නීතිපතිවරයා ‌ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

තවම ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් දී නැත.

දැන් රනිල් රාජපක්ෂගේ වැඩබලන පොලිස්පති නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක සැකකරුවකු කරන ලද  එම දේශබන්දුය.

අපරාධ නඩුවක සැකකරුවකු වැඩබලන පොලිස්පති ධූරයට පත් කිරීම මෙරට පොලිස් ඉතිහාසයට වාර්තාගත මජර පැල්ලමක් ලබා දී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් තරම් විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලද නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙරට නැති තරම්ය.

2019 අප්‍රේල් 21  එනම් පාස්කු ඉරිදා  මෙරට දේවස්ථාන සහ සුපිරි හෝටලවලට එල්ල කරන ලද මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම ඒ අතර ඇති බරපතලම චෝදනාවකි.

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි පැහැදිළිවම දේශබන්දු සිය වගකීම පැහැර හැර ඇති බව දක්වා තිබේ.

දැන් රනිල් රාජපක්ෂගේ වැඩ බලන පොලිස්පති  එම දේශබන්දුය.

සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක, දේශබන්දු සම්බන්ධ තවත් භයානක සැක කටයුතු සිදුවීමක් පෙන්වා දෙයි. එනම් 2019 අප්‍රේල් 04 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනි ගම පිටවීමේ දොරටුවෙහි රඳවා තබා ගත් සැක කටයුතු භාණ්ඩ සහිත ලොරි රථයක් නිදහස් කිරීමට නියෝග කිරීමයි.

මෙම ලොරිය එම පිටවීමේ දොරටුවෙහි දී පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කලේ උදෑසන 3.00ටය. ඊට හේතුව වූයේ එම ලොරිය ඉදිරිපසින් සහ පිටුපසින් ආරක්ෂක වාහන දෙකක් ගමන් කරමින් තිබීමය.

පොලිසිය ලොරියෙහි භාණ්ඩ පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවෙහි, එම  ආක්ෂක රථයක සිටි අයකු එම අළුයම දේශබන්දුට කතා  කර ඔහු නැගිටුවා, එම වාහනය පරීක්ෂා නොකර මුදා හැරීමට නියෝගයක් ලබා ගත් බව ශෙහාන් මාලක හෙළිදරව් කරයි.

මේ අවස්ථාව වන විට ත්‍රස්ත නායක සහරාන් පානදුරයෙහි සිය ආරක්ෂ නිවහනෙහි සිය ප්‍රහාරක කණ්ඩායම සූදානම් කරමින් සිටියේය. ඔහු සිය මරා ගෙන මැරෙන කණ්ඩායමට කියා ඇත්තේ සිය දිවි නසා ගන්නා බෝම්බ දින 15ක් ඇතුළත පාවිච්චි කළ යුතු බවය.

ශෙහාන් මාලක පෙන්වා දෙන්නේ දක්ෂින අධිවේගී මාර්ගයේ සිට පානදුරයට යන පිටවීමේ දොරටුව ගැලනි ගස මාර්ගය බවයි.

පරීක්ෂා නොකර නිදහස් කිරීමට අණ දුන් එම ලොරියේ තිබූ දේ දන්නේ දේශබන්දු සහ එහි අයිතිකරුවන් පමණය.

දැන් රනිල් රාජපක්ෂගේ වැඩබලන පොලිස්පති එම දේශබන්දුය.

අපරාධ පරික්ෂණ දෙපාර්ථමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂක වූ  ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී ශානි අබේසේකරට බොරු නඩුවක් පටලැවීම සම්බන්ධයෙන් ද දේශබන්දු චෝදනා ලබා තිබේ. ශානි අබේසේකර එම නඩුවෙන් නිදොස් කර නිදහස් කරන ලදී.

පොලිස් අත් අඩංගුවෙහි දී මරා දමන ලද මාකඳුරේ මධූශ් සම්බන්ධයෙන් ද දේශබන්දුගේ නම ඈදී ආවේය.

2020 වසරෙහි දී  පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ලද ජොර්ජ් ප්ලොයිඩ් ඝාතන විරෝධී උද්ඝෝෂණයට පහර දී විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවෙහි දේශබන්දු විත්තිකරුවෙකි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර 2022 අප්‍රේල් 02 වන දින අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවෙහි ද  දේශබන්දු විත්තිකරුවෙකි.

මෙම පෙත්සම් දෙකම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය  තීරණය කර තිබේ.

වැඩබලන පොලිස්පති, පොලිස්පති වී මානව හිමිකම් කෙළෙසූ බවට අධිකරණය තීරණය කලහොත් කුමක් වනු ඇත්ද?

දේශබන්දුට  මෙවැනි චෝදනා ලැයිස්තුව බෙහෝ දිගය.

ගොනා හැරෙන්නේ කෙහෙල් දල්ලට බව දැනටමත් පෙනෙන්ට තිබේ.

දේශබන්දු වැඩ පටන්ගෙන තිබෙන්නේ ඔහු විසින් මරණ තර්ජනයක් කළ බවට පැමිණිළි කල පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.එස්. වික්‍රමසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමෙනි.

ඔහු යවා ඇත්තේ මහ පොළවේ කිසිදු කාරියකට සම්බන්ධ නැති පොලිස් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන කොට්ඨාෂයටය.

දේශබන්දු  ඔහුට තර්ජනය කර තිබුණේ කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් මුදල් සම්බන්ධයෙන් පොලිස් ඇමති ටිරන් අලස්ට දීම සම්බන්ධ විමර්ශනය හේතුවෙනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ අධිකරණයට වාර්තා කළේ දේශබන්දු තෙන්නකෝන් තමන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට යම් අනතුරක් කරනු ඇතැයි තමන් බියෙන් පසුවන බවයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් කරන ලද දුරකථන වාර්තා අනුව දේශබන්දු විසින් වික්‍රමසිංහට දුර කථන ඇමතුම් ගෙන තිබූ බව තහවුරු විය.

තවද මෙම තර්ජන පිළිබඳව වික්‍රමසිංහ විසින් පොලිස්පතිවරයාටද පැමිණිළි කර තිබුණි.

දැන් මෙම පැමිණිල්ල පිළිබඳ පරීක්ෂනය අතින් අත ගොස් අතරමං වන තත්වයක් ඇතැයි ද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණයක් සම්බන්ධයෙන් මෙවැනිම තර්ජනයත් කරන ලද බවට අධිකරණය හමුවෙහි තහවුරු වූ සබරගමු පලාකෙහි හිටපු නියෝජ්‍ය පොලිස් අධිකාරී වූ ලලිත් ජයසිංහට වසර පහක සිර දඩුවමක් නියම වී තවම වැඩි කලක් නැත.

ඊට හේතුව වූයේ දේශපාලන රැස්වීම් වේදිකාවක් තනමින් සිටි විපක්ෂයේ සංවිධායකයන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියකට සැක මත අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිස් ස්ථානාධිපති ලලිත් රාජමන්ත්‍රීට බලපෑම් කිරීමය.

පොලිස් අධිකාරී වික්‍රමසිංහට කරන ලද තර්ජනය සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂගේ වැඩ බලන පොලිස්පති දේශබන්දුට ද එම ඉරණමම අත්වීමට නීතියේ ආධිපත්‍ය ඇති රටකදී ඉඩ තිබුණි.

දැන් දේශබන්දුගේ වැඩබලන පත්වීම ව්‍යවස්ථා සභාවේ වැඩි ජන්දයෙන් අනුමත වී තිබේ. ව්‍යවස්ථා සභාව තමන්ගේ යෝජනා අනුමත නොකරන්නේ නම්, ඊට එරෙහිව පියවර ගන්නා බවට රනිල් රනිල් රාජපක්ෂ තර්ජනය කර වැඩි කළක් නැත.

රනිල් රාජපක්ෂගේ සියලු සෙල්ලම් වලට තව ඇත්තේ පෝය 08-10ක් පමණි.

ඔහොම යං!

Archive

Latest news

Related news