Thursday, July 18, 2024

අර්බුදයක ගිලුණු අයවැයක්; වෙනසක් සඳහා අන්තර්-පරම්පරාමය මැදිහත්වීමක් අවශ්‍යයි – ආචාර්ය අමීර් අලි

ඡායාරූපය: ඔවුන්ගේ රැඩිකල්වාදය ප්‍රායෝගික විය යුතුව තිබේ. ලෝකයේ බලපවත්වන නවලිබරල් පරිසරය සමග පොරබැදීමට, හුදෙක් පාරිශුද්ධ දෘෂ්ටිවාදය විසින් මෙහෙයවනු ලැබිය යුතු නැත. ඔවුන්ගේ බුද්ධි මණ්ඩලය ඒ ගැන දැනුවත්ව සිටින බවක් පෙනෙන්ට ඇත.

මීට වසරකට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට නිර්දේශ කළ කොන්දේසි සැපිරීමත්, දරාගත නොහැකි ආර්ථික ගැහැටට මුහුණදී සිටින ජනතාවකගේ අපේක්ෂාවන් සැතපීමත් අතර පවතින නොපෑහිය හැකි බව, 2024 අයවැය තුළින් නිරූපණය කෙරේ.

මෙය, ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට කලින් ඉදිරිපත් කරන අවසාන අයවැය විය හැකිය.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ ලංකාවට පොරොන්දු වී ඇති ඩොලර් බිලියන 2.9 ක ණය මුදලේ දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 300 ක මුදල ලංකාවට සැපයීම යම් දුරකට තීන්දු වනු ඇත්තේ, ණය සපයන්නා කොතෙක් දුරට ලංකාව සම්බන්ධයෙන් ලිහිල් ආකල්පයක් දරයිද යන කාරණය මතයි.

එහිදී, තීරණාත්මක ප්‍රතිසංස්කරණ සාර්ථකව භාරගැනීමට රනිල් වික්‍රමසිංහ අසමත්ව ඇති බවත්, විශේෂයෙන් විශාල අයවැය හිඟය අඩු කරගැනීමට ඔහු අසමත්ව ඇති බවත් මේ වන විට ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ දනී.

කෙසේ වෙතත්, පවතින දූෂිත සහ වාර්ගික/ජාතිකවාදී දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය සමග එහි වාමවාදයට එකට පැවතීමේ හැකියාවක් නැත. ඒ ක්‍රමය සහ සංස්කෘතිය පෙරළා දැමිය යුතුව තිබේ. එය, අන්තර්-පරම්පරාමය අවශ්‍යතාවකි.

ඒ අවදානම එසේ තිබියදී, අනිත් පැත්තෙන් රටේ ජනතාව අයවැය භාරගන්නා ආකාරයත් සතුටුදායක වීමට කොහෙත්ම ඉඩක් නැත. මන්ද යත්, ජනතාව අපේක්ෂා කරන ප්‍රමාණය සහ අයවැයෙන් ප්‍රදානය කෙරෙන ප්‍රමාණය අතර ඇති හිඩැස නිසා ය.

කොටින් කිව්වොත්, එය “ආර්ථික සමෘද්ධිය සහ යහපාලනය ළඟා කරදීමේ වැදගත් වෙනස්කමක් සහිත සාර්ථකත්වයකැ” යි රනිල් වික්‍රමසිංහ කියා ඇතත්, 2024 අයවැය දැනටමත් වැටී ඇත්තේ අර්බුදයකට ය.

ඔහු තුළ ඇති ඒ ව්‍යාජ විශ්වාසය, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා තවම අවසන් නොමැති බව නොතකා හරිමින් ඇති කරගත් විශ්වාසයකි. එසේම, යුක්රේනයේ සහ පලස්තීනයේ පවතින යුද්ධ දෙක හේතුවෙන් ලොව පුරා වර්ධනය වෙමින් තිබෙන ගෝලීය මූල්‍ය අශුභවාදය සැලකිල්ලට නොගැනීමකි. කෙසේ වෙතත්, ‘අන්තෝ ජටා, බහි ජටා’ වළක එරී සිටින රටක අයවැය අර්බුදයක් මතු වීම අමුතු දෙයක් නොවේ.

ආණ්ඩුවේ ආදායම් වැඩි කරගෙන ඇත්තේ වැට් බදු වැඩි කිරීමෙන් පමණි

ගිය වර අයවැයෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට නොහැකි වීම පැත්තකින් තියමු. 1948 පටන් ලංකාවේ සෑම අයවැයකම උරුමය එයයි. වර්තමාන අයවැය රුපියල් ටි්‍රලියන 7 ක් වැය කිරීමට සැලසුම් කරයි. එහෙත් ආදායම වශයෙන් දැක්වෙන්නේ ටි්‍රලියන 4 කි. එනම්, ටි්‍රලියන 3 ක අයවැය හිඟයක් ඇති බවයි.

එය, 2023 අයවැය හිඟයට වඩා සියයට 19 ක වැඩි ප්‍රමාණයක් වන අතර, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ගත්තොත්, සියයට 9.1 ක හිඟයකි. අයවැය හිඟයේ මෙවැනි වර්ධනයක් ගැන ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ කිසිසේත් සෑහීමට පත්නොවනු ඇත.

2025 දී රජය අත්කරගැනීමට අපේක්ෂිත සියයට 2.5 ක ප්‍රාථමික අතිරික්තය, මේ තත්වය යටතේ කිසිසේත් ළඟා විය නොහැකි ඉලක්කයක් වීම කෙසේ වෙතත්, එය ඉතා දුෂ්කර ඉලක්කයක් නම් වනු ඇත. (ප්‍රාථමික අතිරික්තයක් යනු, රජය ලබාගෙන ඇති ණය සඳහා වසරකදී ගෙවිය යුතු පොලී වියදම පැත්තකින් තිබ්බොත්, එම වර්ෂය තුළ රජයේ සමස්ත වියදමට වඩා සමස්ත ආදායම වැඩි වීමයි- පරිවර්තක).

මෙවර රජයේ පුනරාවර්තන (අනිවාර්යයෙන් වැය කළ යුතු) වියදමට, රජයේ සේවකයන් 1,300,000 (දහතුන් ලක්ෂයක්) සහ විශ්‍රාමිකයන් 700,000 (හත් ලක්ෂයක්) සඳහා ගෙවන වැඩි වූ ජීවන වියදම් දීමනාවත්, ‘අස්වැසුම’ සුභසාධන ව්‍යාපෘතිය වෙනුවෙන් කරන වියදම තුන් ගුණයකින් වැඩි වීමත් ඇතුළත් වන අතර, රජයේ ආදායම වැඩි වන්නේ වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමෙන් ලැබෙන මුදලින් පමණි.

සෘජු බදුවල වෙනත් කිසි වැඩි වීමක් හෝ අලුතෙන් බදු හඳුන්වාදීමක් හෝ නැත. ඒ නිසා, සල්ලිකාර පංතිය නිදහස් කර තිබේ. එක පැත්තකින්, ධනපතියන්ට බදු ගැසීම ආර්ථික ලිබරල්වාදයේ සහ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ දර්ශනයට විරුද්ධයි. අනිත් පැත්තෙන්, මේ පංතියේ සහාය ඊළඟ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අවශ්‍ය කෙරේ.

ආණ්ඩුවේ ආර්ථික මෙවලම්වල මුවහත මොට්ට කිරීමට හැම විටම දේශපාලනය හේතුවක් වෙයි. මේ නිසා රජයේ වියදම් පියවා ගැනීම සඳහා ආණ්ඩුවට දේශීය මූලාශ්‍රවලින් ණය ගැනීමට සිද්ධ වෙයි. ඒ අනුව, ණය ගැනීමේ සීමාව, කලින් තිබූ ටි්‍රලියන 3.9 සිට දැන් මේ අයවැයෙන් ටි්‍රලියන 7.35 දක්වා, එනම් ටි්‍රලියන 3.45 කින් වැඩි කර තිබේ.

අවසාන වශයෙන්, උද්ධමනය විශාල වශයෙන් පහත වැටී ඇතැයි ආණ්ඩුව කීවාට, වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම මේ අයවැය මගින් ආණ්ඩුව නතර කරගන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

මේ අයවැය ගැන කිව හැකි අලුත් කිසිවක් නැත. පොරොන්දු දීම එකකි, ඒවා ඉටු කිරීම වෙනම දෙයකි. ක්‍රමය තුළම හැදීවැඩී ඇති දූෂණය නතර නොකොට, රාජ්‍ය පරිපාලනය සහ රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය උසස් මට්ටමකට පත්කිරීම සඳහා අවශ්‍ය රැඩිකල් වෙනස්කම් හඳුන්වා දෙන්නේ නැතිව, පොරොන්දු දීම සහ ඒවා ඉටු කිරීම අතර පවතින පරතරය දිගටම තිබෙනු ඇත.

ඇත්තෙන්ම මෙහිදී පෙනෙන්ට ඇත්තේ, බංකොළොත් ආර්ථිකයක් මෙහෙයවන මුදල් ඇමතිවරයෙකුට, පවතින දේශපාලන සහ ආර්ථික කොන්දේසි යටතේ, අඩු වශයෙන් සමබර අයවැයක් හෝ ඉදිරිපත් කිරීම මොන තරම් අසීරු කාර්යයක් වන්නේද යන්නයි.

ඇම්. පෙරේරාටත් බැරි වුණා

පවතින තත්වයන් වෙනස් වෙතැයි අපේක්ෂාවෙන් අතිරික්ත අයවැයක් ඉදිරිපත් කෙළේ ඇන්. ඇම්. පෙරේරා පමණි. ඒ, 1970 දී ය. එහෙත් ඔහු පවා ඒ කාරණයේදී අසමත් විය.

දැන්, රනිල් වික්‍රමසිංහ වර්තමාන මුදල් ඇමතිවරයා වශයෙන් අපට කියන්නේ මෙවැන්නකි: “අපේ රටේ ආර්ථික සහ දේශපාලන ක්‍රමය අලුතෙන් නිර්මාණය කළ යුතුව තිබේ. අලුත් සමාජ සම්මුතියක් ඇති කළ යුතුව තිබේ.” සමාජ සම්මුතියකට වැඩි දෙයක් මෙහිදී අවශ්‍ය කෙරේ. එනම්, දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සමත් ශක්තිමත් දේශපාලන අධිෂ්ඨානයකි. ඇත්ත වශයෙන්ම, 2021 තරුණ ‘අරගලය’ විසින් ඉල්ලා සිටි සාරයත් එයයි. ඒ කෙටි, එහෙත් ඓතිහාසික නැඟිටීම ඉවරයක් කොට ඒ වාසියෙන් ජනාධිපති පදවියට පත් රනිල් වික්‍රමසිංහ, ඒ සංස්කෘතියවත් ඒ සංස්කෘතිය නිර්මාණය කළ ක්‍රමයවත් වෙනස් කිරීමට කිසිවක් කෙළේ නැත.

දේශීය පාලන මාදිලිය නඟාසිටුවීමේ ප්‍රතිසංස්කරණ නොතකා හැරීම

ආර්ථිකය පුනරුත්ථාපනය සඳහා ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ සාදරයෙන් භාරගත් ආණ්ඩුව, ඒ සඳහා අවශ්‍ය කරන දේශීය පාලනය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරවන ප්‍රතිසංස්කරණ යෝජනා ඉතා කනගාටුදායක ලෙසින් නොතකා හැර තිබේ. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ පළමු වාරිකය ලබාගැනීමෙන් පසු එහි ප්‍රගතිය නිරීක්ෂණය කළ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ සිය වාර්තාවෙන් මේ බව පෙන්වා දී තිබේ.

මේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමේදී තමා යම් තෝරාගැනීමක් කරන බව දැනටමත් රනිල් වික්‍රමසිංහ කියා ඇත. ඒ තෝරාගැනීම ඔහු කරනු ඇත්තේ දේශපාලනික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් බව අමුතුවෙන් කියාදිය යුතු නැත. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ වඩාත් යොමු වෙනු ඇත්තේ ආර්ථිකයේ මූල්‍ය අංශය ස්ථාවර කිරීමට සහ රටවැසියන්ගේ සාමාන්‍ය සුභසාධනයට වඩා, ආර්ථික වර්ධනය නඟා සිටුවීමේ ප්‍රමුඛත්වය ගැනීමට සල්ලිකාර පංතිය දිරිමත් කිරීම සඳහා ය යන කාරණය මොහොතකට අමතක කළත්, දූෂිත, අසාධාරණ සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලන මාදිලියක් තුළ, ඒ කියන ස්ථායීතාව සහ දිරිමත් කිරීම මගින් ප්‍රාණවත් ආර්ථික වර්ධනයක් ඇති කරලීමට සමත් වේද යන්න සැකසහිත ය.

උදාහරණයක් වශයෙන් ගතහොත් රනිල් වික්‍රමසිංහ කියන මේ කාරණය සැලකිල්ලට ගන්න: “2024 අයවැය මගින් විශාලතම පෞද්ගලීකරණය පිළිබඳ සංඥා නිකුත් කරන අතර, ‘උරුමය’ වැඩසටහන පිළිබඳ සන්ධිස්ථානමය යෝජනා දෙසට යොමු වෙයි.

විසි ලක්ෂයක් ගොවි පවුල් අතරේ බෙදී ගොස් ඇති ඉඩම්වල අයිතිය ඔවුන්ට පැවරීමත්, රජයේ නිවාස යෝජනා ක්‍රමවල පූර්ණ අයිතිය ඔවුන්ට පැවරීමත් සිදු කෙරෙනු ඇත. එසේම, වැවිලි ක්ෂේත්‍රයේ පදිංචිකරුවන්ගේ ඉඩම්වල අයිතිය ඔවුන්ට පැවරීමත්, ‘බිම් සවිය’ වැඩසටහන වඩාත් පුළුල් කිරීමත් සිදු කෙරෙනු ඇත.”

වෙනත් වචනවලින් කිවහොත්, මේ වනාහී, මේ වන විටමත් පෞද්ගලීකරණය කළ යමක් නීත්‍යානුකූල කිරීමකි. එහෙත් මේ නෛතිකකරණය ක්‍රියාවලිය තුළ පාරදෘෂ්‍ය භාවයක් තිබේවිද?

මුලින් බෙදා දෙන ලද ඉඩම් පිළිබඳ අයිතියට සම්බන්ධව, ඇතැම් කොටස් දැනටමත් ඒ ගැන ආරාවුල් ඇති කරගෙන තිබේ.

වතුකරයේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව පිළිබඳ කාරණයට මේ විෂය සම්බන්ධ වන අවස්ථාවේ, සිංහල ජාතිකවාදීන්ගේ විරෝධයට රනිල් වික්‍රමසිංහ මුහුණදෙන්නේ කෙසේද? එම දෙමළ ජනතාව කඳුරට ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වීමට එරෙහිව මේ වන විටමත් එවැනි සිංහල ජාතිකවාදී කොටස් විරෝධය දක්වමින් සිටිති.

අයවැයෙන් යෝජිත, ජීවන වියදම් දීමනාව පවා වහා ගෙවන එකක් නොවේ. එය ගෙවීමට පටන්ගැනෙන්නේ ඊළඟ අප්‍රේල් මාසයේ සිටයි. හිඟ ගෙවීම් ලැබෙන්නේ ඊළඟ ඔක්තෝබරයේ සිට කොටස් වශයෙනි. මේ අනවශ්‍ය පමාව නිසා, ඒ දක්වා ණය වීමටත්, අනවශ්‍ය ණය බරකට කරගැසීමටත් සලස්වනු ඇත.

දූෂණය ඉවරයක් කිරීම වෙනුවට ජනාධිපතිවරයා කැපවෙනු ඇත්තේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙනි

2024 අයවැය වාර්තාවේ ප්‍රාමාණික විචල්‍යයන් පිළිබඳ විවාදය, ආර්ථික විද්‍යාඥයන්ට සහ සංඛ්‍යාන විද්‍යාඥයන්ට බාර කරමු.

එහෙත් ශ්‍රී ලංකාවේ අනාගතය පැත්තෙන් බලන විට වැදගත් වන්නේ, දේශපාලිනක සහ සමාජ රාමුවයි. මේ අයවැය, මීට කලින් සෑම අයවැයක්ම සේම ක්‍රියාවේ යෙදවීමට නියමිතව ඇත්තේ එකී රාමුව තුළ ය.

වර්තමාන පාර්ලිමේන්තුවෙන්, 2022 ආර්ථික කඩාවැටීමට සහ මූල්‍ය බංකොළාත් භාවයට මූලික වශයෙන් වගකිවයුතු පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම්වලින් සැදුම්ලත් ආණ්ඩුවකින්, “ආර්ථික සමෘද්ධිය සහ යහපාලනය සඳහා වන වෙනසක් ඇති කරන්නේ” කෙසේද යන්න ප්‍රශ්නකාරී ය. දූෂණය විසින් ඉල්ලා සිටින්නේ, පවතින දේශපාලන සංස්කෘතිය දිගටම පවත්වාගෙන යාමට ය.

රටේ ආර්ථිකය ඉල්ලා සිටින්නේ, දූෂණය දුරලන ලෙසට ය. විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් පිහිටන්නේ මේ දෙක අතරේ ය. මේ දක්වා රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරකම් ගත්තොත්, කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා හොරබඩු ගෙනැවිත් අතට හසු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ලෙහෙසියන් ලිස්සා යාමට සැලැස්වීමේ පටන්, ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ නාටකයේදී හැසිරුණු ආකාරය දක්වා කියාපාන්නේ, ජනාධිපතිවරයාගේ දේශපාලනික අවශ්‍යතා, දූෂණය පිටුදැකීමේ රාජකාරිය අභිභවා ගොස් ඇති බව ය.

ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය පමණයි

ලොකු සමාගම්වලට බදු මඟහැර යාමටත්, ධනපතියන්ට තමන්ගේ අතිරික්ත ධනය ලෝකයේ විවිධ තැන්වල ඇති බදු පාරාදීසවල සඟවා තැබීමටත් පාර කපන්නේ, රට තුළ දූෂණයට ඇති අවකාශයයි. දෙවැනි ‘පැන්ඩෝරා බොක්ස්’ ලිපිගොනුවල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වර්ජිනියා අයිලන්ඩ් හි ධනය ගොඩගසා ඇති බවට චෝදනා නැඟුණි. ඔවුන්ගේ පළමු හෙළිදරව්ව තුළ, රාජපක්ෂ රාජකීය පවුලේ ජෝඩුවක් පැටලී සිටි අතර ඒ ගැන කරන ලද පරීක්ෂණ වාර්තා කිසි දවසක ප්‍රසිද්ධියට පත්නොකෙරුණි. අවසානයේ කී මූලය අපචාරය ගැනත් රනිල් වික්‍රමසිංහ නිශ්ශබ්ද ය.

ඒ නිසා අද රට මුහුණදෙන ප්‍රශ්නය වන්නේ, 2024 අයවැයේ අඩංගු ආර්ථික දැක්ම හෝ ආර්ථික කාර්යක්ෂමතාව නොව, ලස්සන පොරොන්දු මිස ඒවා ඉටු කිරීමක් පිළිබඳ වගවීමක් නැති මෙවැනි අයවැය වාර්තා එකදිගටම එළිදක්වන සමස්ත ක්‍රමයයි. ඒ ක්‍රමය, එහි දේශපාලන සංස්කෘතියත් සමග පෙරළා දමන තෙක් රටේ අනාගතයක් ගැන කෙසේ බලාපොරොත්තු තියාගන්නද?

නව දිසාවක ගමනකට කාලයයි

ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය හැරුණුකොට, පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසි පක්ෂයක් ක්‍රමයේ වෙනසක් සඳහා කැපවීමක් පෙන්වා නැත. ජවිපෙ/ජාතික ජන බලවේගය වෙනස් පරම්පරාවකට අයත් නිසාත්, ඔවුන්ගේ ආර්ථික දැක්ම වමට බර නිසාත්, වෙනත් පක්ෂවලට වඩා එහි වෙනසක් පෙනෙන්ට තිබේ.

කෙසේ වෙතත්, පවතින දූෂිත සහ වාර්ගික/ජාතිකවාදී දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය සමග එහි වාමවාදයට එකට පැවතීමේ හැකියාවක් නැත. ඒ ක්‍රමය සහ සංස්කෘතිය පෙරළා දැමිය යුතුව තිබේ. එය, අන්තර්-පරම්පරාමය අවශ්‍යතාවකි.

එහිදී පවා, ඔවුන්ගේ රැඩිකල්වාදය ප්‍රායෝගික විය යුතුව තිබේ. ලෝකයේ බලපවත්වන නවලිබරල් පරිසරය සමග පොරබැදීමට, හුදෙක් පාරිශුද්ධ දෘෂ්ටිවාදය විසින් මෙහෙයවනු ලැබිය යුතු නැත. ඔවුන්ගේ බුද්ධි මණ්ඩලය ඒ ගැන දැනුවත්ව සිටින බවක් පෙනෙන්ට ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට. අලුත් දිසාවක ගමනක් ඇරැඹීමට මෙය කාලයයි. එය ඉක්මනින් සිදුවන තරමට, රටටත් එහි වෙසෙන බහු-වාර්ගික ජනතාවටත් යහපතක්ම සිදුවනු ඇත.

2023 නොවැම්බර් 20 දින Daily mirror පුවත්පතෙහි “A budget in crisis” මැයින් පල වූ ආචාර්ය අමීර් අලී විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය governancelanka වෙතිනි.

Archive

Latest news

Related news