Thursday, November 21, 2024

තිරසාර සෘජු විදේශ ආයෝජනය රටට ඇදගැනීම සඳහා අපේ පාරදෘෂ්‍ය භාවයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නය විසඳාගත යුතුය

සේමිනී සතරසිංහ විසිනි.
ලංකාවේ විදේශ ආයෝජන අපේක්ෂාව ඉදිරියේ, මෙරටේ දූෂණය සහ පාරදෘෂ්‍ය භාවයේ ඌනතාව නමැති අවතාරය මෑත වසර ගණනාව තුළ හොල්මන් කර තිබේ. විදේශ ආයෝජන හරහා දායාද විය හැකි ප්‍රතිලාභවල වාසිය ලැබීමට නම්, දූෂණය සහ පාරදෘෂ්‍ය භාවයේ ඌනතාව පිළිබඳ එකී ප්‍රශ්නය සමග පොරබැදීම, සදාචාරමය මෙන්ම ආර්ථික අවශ්‍යතාවක්ද වන්නේය.
ශ්‍රී ලංකාවට ගලා එන විදේශ ආයෝජන මෙරටේ කර්මාන්ත දියුණුවට, රැකියා උත්පාදනයට සහ අපනයන ප්‍රවර්ධනයට උපකාරී වී තිබේ. එසේ වන්නේ, ප්‍රාග්ධනය, දැනුම සහ තාක්ෂණික ඥානය, අපට විදේශ ආයෝජකයන්ගෙන් ලබාගැනීමට හැකි වන බැවිනි. ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනය වැඩිමනත් යොමු වී ඇත්තේ, දේපළ සංවර්ධනය සහ කර්මාන්ත නිෂ්පාදනයටත්, සංචාරක කර්මාන්තය, විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණය වැනි සේවා අංශයන් වෙතටත් ය.
අතිශය නිර්ලෝභී බදු සහන ලබා දී තිබියදීත්, 2010 පටන් මෙරටට විදේශ ආයෝජන ගෙන්වාගත හැකිව හැකිව තිබෙන්නේ, සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 1.2 ක පමණ ප්‍රමාණයකි. ඒ, සෘජු ආයෝජන ව්‍යාපෘති සඳහා ලැබුණු විදේශ ණයත් ඇතුළත්වයි. එවැනි විදේශ ණයත් ඇතුළත්ව 2022 දී අපට ලැබී ඇති සෘජු විදේශ ආයෝජන වටිනාකම ඩොලර් බිලියන 1.18 කි. 2021 දී අප ලැබූ ඩොලර් බිලියන 0.8 සමග සසඳද්දී එය යම් තරමක වර්ධනයකි. ණයද ඇතුළත් සෘජු විදේශ ආයෝජන මුළු ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 1.1 ක් යෙදවී ඇත්තේ, ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් වෙතටයි. ණය නොවන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2022 දී ඩොලර් බිලියන 0.9 ක් වූ අතර, 2021 දී ලැබුණු ණය නොවන ඩොලර් බිලියන 0.6 සමග සසඳද්දී එය යම් ආකාරයක වර්ධනයකි.
පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවට ගලා ආ විදේශ ආයෝජන ප්‍රමාණය, අපේ අසල්වැසි රටවල් සමග සසඳද්දී, අඩු වටිනාකමකින් යුක්තයි. නීතිමය, ව්‍යුහාත්මක සහ ආයතනික අඩුපාඩු වැනි විවිධ හේතු ඊට බලපා තිබේ. ශ්‍රම වෙළෙඳපොළේ බලපවත්වන රෙගුලාසි බන්ධන සහ පැටලිලිකාරී, අසංගත බදු ව්‍යුහයන් මෙන්ම, ගිවිසුම් ක්‍රියාවේ යෙදවීමේදීත්, වෙළෙඳ පහසුකම් සැපයීමේදී සහ ඉඩම් පවරාගැනීමේදීත් මුහුණදෙන වෙහෙසකර රෙගුලාසි පද්ධතිත්, මනා වර්ධනයක් සහිත යටිතල පහසුකම්වල ඌනතාවනුත් ඒ අතර වෙයි.

ඒ විචල්‍ය සාධකවලට අමතරව, පාරදෘෂ්‍ය භාවයක් නැතිකම, ප්‍රතිපත්තිමය ව්‍යාකූලත්වය, ආයතනික දුර්වලතා සහ රාජ්‍ය පාලනික ඌනතා වැනි කරුණු, විදේශ ආයෝජකයන් මෙහි පැමිණීමට බාධා ඇතිකොට තිබේ. දකුණු ආසියානු කලාපයේ මුලින්ම නිදහස් ආර්ථිකය වැළඳගත් රට ශ්‍රී ලංකාව වුවත්, අපේ කලාපීය අසල්වාසීන් වන ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්තානය යන රටවල් 2017-2022 කාලය තුළ විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම අතින් අපව අභිබවා ගොස් තිබේ. ඒ කෙතෙක්ද යත්, 2022 දී ලංකාවට ලබාගත හැකි වුණේ ඩොලර් බිලියන 0.9 ක් පමණක් වන විට, ඉන්දියාව ඩොලර් බිලියන 49.4 ක්ද, බංග්ලාදේශය ඩොලර් බිලියන 3.5 ක්ද, පකිස්තානය ඩොලර් බිලියන 1.4 ක්ද තමන් වෙතට ඇදගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ පාරදෘෂ්‍ය භාවයක් නැතිකම

මේ ලිපියේ පරමාර්ථයට අනුරූපව, ‘පාරදෘෂ්‍ය භාවයක් නැතිකම’ යන්නෙන් අදහස් කරන්නේ, සැඟවුණු වියදම් ආයෝජකයන් මත පැටවීමෙන් සහ අසමමිතික තොරතුරු සැපයීමෙන්, රටවල් අතරේ කාර්යක්ෂමව සෘජු ආයෝජන ගලා යාම අහුරණ, රාජ්‍ය ප්‍රතිපත්ති හෝ ව්‍යුහයන් ය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, දෙබිඩි ආණ්ඩු රෙගුලාසි, තීරණ ගැනීමේ ගුප්ත ක්‍රමවේද සහ විදේශ ආයෝජකයන්ට සහ මහජනතාවට ලබාගත හැකි ව්‍යාපාරික දත්ත ආශ්‍රිත තොරතුරු සීමා වී තිබීම ආදිය ඊට ඇතුළත් වෙයි. එසේම, රාජ්‍ය ආයතන තුළ වගවීමක් නැතිකම, රහසිගත මූල්‍ය ගනුදෙනු සහ නිලධාරී තන්ත්‍රයේ පවතින නුවුවමනා රෙගුලාසි ආදී විවිධ වේෂයන්ගෙන් මේ පාරදෘෂ්‍ය භාවය නැතිකමේ ප්‍රශ්නය මතු විය හැකිය. මේ නිසා, තමන්ට විඳීමට සිදුවිය හැකි අවදානම් නිවැරදිව තක්සේරු කරගැනීමටත්, ලාභදායී අවස්ථා නිවැරදිව පුරෝකථනය කරගැනීමටත් ආයෝජකයන්ට දුෂ්කර වන්නේය. ඒ මගින් රටේ ව්‍යාපාරික පරිසරය කෙරෙහි ඔවුන්ට තැබිය හැකි විශ්වාසය සහ පැහැදීම දුර්වල වන්නේය.
නීති සහ රෙගුලාසි රාමුව
සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා, ආයෝජකයන්ගේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කෙරෙන ආයෝජන නීති සහ අධිකරණ පද්ධතියක් ලංකාවට තිබේ. තවද, ලංකාව ‘ලෝක බැංකුවේ බහුවිධ ආයෝජන ඇපකාර කණ්ඩායමේ’ සාමාජික රටකි. එසේම, ආයෝජකයන්ගේ ලාභ අපේක්ෂා ආරක්ෂා කිරීම සඳහා වන ‘ද්විත්ව බදු වැළැක්වීම පිළිබඳ ගිවිසුම’ යටතේ රටවල් 45 ක් සමග ලංකාව ද්වි-පාර්ශ්වීය ගිවිසුම්වලට ඇතුළත්ව සිටී. ඊට අමතරව, ‘ආයෝජන ආරක්ෂාව පිළිබඳ ගිවිසුමේ’ සාමාජික රටවල් 28 න් එකකි.
2021 දී ‘කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය’ සහ ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිසම’ ස්ථාපිත කරන ලදි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැනවීම්වලට අමතරව, විදේශිකයන් සහ විදේශ ආයෝජකයන් විසින් අත්පත් කරගනු ලබන සහ ආයෝජනය කරනු ලබන දේවල් සෘජුව හෝ වක්‍රව නියාමනය කරනු ලබන තවත් නීතිරීති අපට තිබේ. 2017 විදේශ විනිමය පනත, 2021 විදේශ විනිමය (ශ්‍රී ලංකාවෙන් පිට වාසය කරන පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකාව තුළ කරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනුවලට අදාළ) රෙගුලාසි, 1978 ආයෝජන මණ්ඩල නීතිය, 2008 උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති, 2021 කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, 2012 මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් 2019 වාණිජ මධ්‍යස්ථාන රෙගුලාසි සහ 2014 ඉඩම් (අන්සතු කිරීමේ සීමා) පනත, ඒවායින් සමහරකි.

මෙවැනි බොහෝ නීති තිබුණත් ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රශ්නය වන්නේ, ඒවා විශ්වසනීය ආකාරයෙන් සහ විනිවිද පෙනෙන ආකාරයෙන් ක්‍රියාවේ නොයෙදවීම ය. බොහෝවිට, නීති රෙගුලාසි දුර්වල ය. අසංගත ය. පක්ෂග්‍රාහී ය.

TISL graphic

අභියෝග

2023 සැප්තැම්බර් මාසයේ, තාක්ෂණික සහායක වාර්තාවක් වශයෙන් ප්‍රකාශයට පත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘පාලනමය දෝෂ දර්ශක ඇස්තමේන්තුවට’ අනුව, රාජ්‍ය ක්‍රියාකාරීත්වයන් ගණනාවක් හරහා ක්‍රියාත්මක වන දූෂණයට අදාළ රාජ්‍ය පරිපාලනයේ ක්‍රමවේදී දුර්වලතා කිහිපයක් දක්නට ලැබේ. මේ වාර්තාව පෙන්වා දෙන ආකාරයට, රාජ්‍ය ව්‍යවසායන්හි ක්‍රියාකාරීත්වයට සම්බන්ධ සුපරීක්ෂාවේ සහ පාරදෘෂ්‍ය භාවයේ ඌනතාව නිසා දූෂණයට ඇති අවකාශයන් විශාලනය වී තිබේ. ඒ තත්වය වඩාත් දැකගැනීමට ලැබෙන්නේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී, කොන්ත්‍රාත් ලබාදීමේ වෙනත් ආකාරයන්හිදී සහ ප්‍රාග්ධන ආයෝජනයන්හිදී ය. විනිවිද භාවයක් නැතිකම නිසා, ප්‍රසම්පාදනලාභීන් තෝරාගැනීමේදීත්, මූලෝපායික ආයෝජනයන් සඳහා අනුග්‍රහ ලබාදීමේදීත් සිදුවන අධිකතර දේශපාලනික අතපෙවීම්, ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී දූෂණයන්ට ඇති අවදානම, ප්‍රසම්පාදන ක්‍රියාවලියන් සහ ඒවායේ ප්‍රතිඵල කෙරෙහි සුපරීක්ෂාවේ ඌනතාව ආදී අභියෝග මේ වාර්තාව තුළ හඳුනාගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වාර්තාව 2023 සැප්තැම්බරයේ නිකුත් වීමට බොහෝ කලකට පෙර සිටම මේ අභියෝග මහජන කතිකාව තුළ සාකච්ඡාවට ලක්ව තිබුණි. විනිවිද භාවයක් නැතිකම නිසා, රටේ ආර්ථික වර්ධනයට තල්ලුවක් සැපයෙන තිරසාර විදේශ ආයෝජනවලින් නිසි ඵල නෙළාගැනීම අඩාල වී තිබේ. මධ්‍යම සහ දීර්ඝකාලීන තත්වයකදී මෙය යහපතකට වඩා රටට අයහපතක් සිදු කිරීමට හේතු විය හැකිය.
පාරදෘෂ්‍ය භාවය වැඩි කිරීම සඳහා වන
නීති සහ නියාමන ප්‍රතිසංස්කරණ
යල්පැනගිය නීති සහ නියාමන රාමුවක් තුළ වැඩ කිරීමෙන්, සෘජු විදේශ ආයෝජනවලින් ලාභ ලැබිය හැකි නොවේ. යදම් වශයෙන් අවභාවිතයට ගැනෙන සහ දුර්වල ආකාරයෙන් ක්‍රියාවේ යෙදවෙන අනවශ්‍ය නීතිරීති සහ රෙගුලාසි, විදේශ ආයෝජනවලට බාධා පමුණුවයි. ශක්තිමත් ආයෝජන පරිසරයක් ඇති කිරීමට සහ ආයෝජන විශ්වසනීයත්වය ගොඩනැඟීම සඳහා, ශක්තිමත් නෛතික සහ ආයතනික අත්තිවාරමකට අමතරව තවත් සාධක කිහිපයක් අවශ්‍ය කෙරේ. එනම්, දේශපාලනික අධිෂ්ඨානය, රාජ්‍ය පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නංවාලන පරිදි අදාළ පද්ධති සංඛ්‍යාංකනයට ලක්කිරීම (ඩිජිටිලයිස්) ආදී කරුණු ය.

 

ජාතික තලයේ නීතිරීති ඒකාකාරව බලගැන්වීම

සමස්ත ආයෝජන පරිසරය ප්‍රවර්ධනය කිරීමට සහායකයක් විය යුතු තවත් අංශයක් තිබේ. එනම්, විදේශ ආයෝජන ඇදගැනීම, ඒවාට පහසුකම් සැපයීම සහ ඒවා තිරසාරව පවත්වාගෙන යාම අරමුණු කරගත් සුදුසු දේශීය නීතිරීති සාර්ථකව බලාත්මක කිරීමයි. එසේම, නීති සම්මත කරගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන රෙගුලාසි පනවාගැනීම අතර ගතවන කාලය අවම කරගත යුතුය. විදේශ සෘජු ආයෝජන ගලා ඒම සහ ආයෝජකයන්ගේ ආරක්ෂාව නැංවීම අරමුණු කරගත් නීති ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්හි පූර්ණ ශක්‍යතාව අත්කරගත හැක්කේ, විධායකමය රෙගුලාසි කඩිනමින් පනවාගත්තොත් සහ ආණ්ඩුවේ සෑම මට්ටමක් හරහාම බලපැවැත්වෙන නිසි අධිකාරීන් මාර්ගයෙන් ඒවා සක්‍රීයව බලාත්මක කළොත් ය.
එසේම, ආයෝජන ක්ෂේත්‍රයෙන් පිටස්තර වෙනත් අත්‍යාවශ්‍ය නීති සහ රෙගුලාසි හරියට නැතොත්, ආයෝජන නීති පමණක් නොසෑහෙනු ඇත. ආයෝජනයන්ට සෘජුව හෝ වක්‍රව බලපාන වෙනත් අදාළ නීතිරීති සහ රෙගුලාසි තිබේ. රේගු ආඥාපනත, කම්කරු නීති, පරිසර ආරක්ෂණ නීති, බුද්ධිමය දේපළ නීති, වෙළෙඳ තරඟකාරීත්වය පිළිබඳ නීති, දත්ත ආරක්ෂණ නීති, බදු නීති, ආරාවුල් නිරාකරණය කිරීමේ විකල්ප යාන්ත්‍රණ සහ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර නීති ආදිය ඒවාට අයත් වෙයි. මේ සියලු නීති, සර්වග්‍රාහී විය යුතුය. සර්වසාධාරණ ආකාරයෙන් බලාත්මක විය යුතුය.
Cartoon from the Daily Mirror

සර්ව සාධාරණ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමයක් ස්ථාපිත කිරීම

දේශීය වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රසම්පාදන ප්‍රතිපත්ති අපැහැදිලි නම් සහ අසංගත නම්, විදේශ සමාගම් අපේ රටේ ව්‍යාපාර පිහිටුවීම සඳහා ලංසු තැබීමට හෝ ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ අල්ප ය. (තමන්ගේ වැය වන මුදල් සඳහා හොඳම අගයක් ලැබෙන) ආර්ථික සාධකය, (අනවශ්‍ය පරිදි ව්‍යාපෘති පමා නොකරවන) කාර්යක්ෂමතා සාධකය, (දේශපාලන පක්ෂපාතීත්වයන් මත ලංසු තබන්නන්ට වෙනස්කොට නොසලකන) සර්වසාධාරණ සාධකය සහ (අදාළ සමස්ත ක්‍රියාවලිය සහ ප්‍රතිඵල පිළිබඳ කරුණු ප්‍රකාශයට පත්කෙරෙන) පාරදෘෂ්‍ය භාවය පිළිබඳ සාධකය, යහපත් රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතියක ප්‍රධාන අංග වන්නේය. එසේ වන විට, සුදුසුකම්ලාභී වැඩිම සමාගම් ප්‍රමාණයක්, ගුණාත්මක ඉලක්ක සපුරාලමින්, මිල මත පදනම්ව තරඟයේ යෙදෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2023 ශ්‍රී ලාංකීය වැඩපිළිවෙළේ එක් අරමුණක් වන්නේ, ආදායම්-වියදම් පිළිබඳ පාරදෘෂ්‍ය භාවය සහතික කෙරෙන, මාර්ගගත වේදිකාවක් නිර්මාණය කිරීමයි. මේ දක්වා ඒ අරමුණ ඉටු වී නැතත්, මේ මාර්ගගත වේදිකාව හරහා රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමයේ විනිවිද භාවයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට බලාපොරොත්තු වෙයි. ඒ, රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත් සහ වෙනත් තොරතුරු ඒ හරහා පෘථුල වශයෙන් ප්‍රසිද්ධියට පත්කරවීමෙනි. ටෙන්ඩර් කැඳවීමේදී සහ මිල මත පදනම් වූ කොන්ත්‍රාත් පිරිනැමීමේදී, ඒ පිළිබඳ පූර්ණ විස්තර හෙළි කිරීමේ ඇති වැදගත්කම එයින් අවධාරණය කෙරේ. එවැනි කාර්යශීලී ප්‍රසම්පාදන ක්‍රමයක පහසුව සඳහා, රාජ්‍ය ප්‍රසම්පාදන ආයතන, පැහැදිලි සහ තාර්කික ජාතික ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්ට අනුගත විය යුතුය. ටෙන්ඩර් ඇස්තමේන්තු කිරීම සහ අනුමත කිරීම අරභයා දේශපාලනික අතපෙවීම් සහ මනෝමූලික විනිශ්චයන්හි බලපැවැත්ම අඩු කෙරෙන, ඒකාකාර රාමුවකට එම ආයතන අනුගත විය යුතුය.

විදේශ සෘජු ආයෝජනවල සුලමුල පරීක්ෂාව

ලාභදායී සහ තිරසාර ආයෝජන ආකර්ශණය කරගැනීම සඳහා, දුර විහිදෙන නියාමන රාමුවක් අවශ්‍ය කෙරේ. වත්තේ ප්‍රමාණය (ආයෝජකයන්ට ක්‍රියාත්මක විය හැකි වපසරිය) සහ (දූෂිත ආයෝජකයන් බැහැර කරවන) වැටේ උස අවබෝධ කරගැනීමට, එවැනි රාමුවක් ආයෝජකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත. භූ-දේශපාලනික තත්වයන් ගැන සැලකීමේදී, ආයෝජක සුලමුල පිළිබඳ තොරතුරු සම්පාදනය, ප්‍රධාන ප්‍රතිපත්තිමය කාරණයක් විය යුතුය. වගකීමකින් යුක්තව කටයුතු කරන ආයෝජකයන් රටට එන්නේ එවිටයි. එසේම එය, මනා තරඟකාරීත්වයක් ධෛර්යමත් කරන අතර, හොර විදේශ ආයෝජකයන් අධෛර්යමත් කරනු ඇත. ආයෝජකයාගේ විශ්වසනීයත්වය පිළිබඳ තක්සේරුවක් සහ සංවර්ධන ප්‍රමුඛතා සමග අදාළ ආයෝජනය බද්ධ වීම, මෙවැනි සුලමුල සෙවීමේ ක්‍රමයක ප්‍රථම පියවර විය යුතුය. ඉන්පසුව, ව්‍යාපාර සැලැස්මක් පිළිබඳ සොයා බැලිය යුතුය. එසේම, අනුමැතිය ලබාදීමට මත්තෙන්, නීතිමය සහ නියාමන කොන්දේසිවලට අනුගත වන බවට වගබලාගැනීම, නිසි සුපරීක්ෂාවක වැදගත් අංගයකි.
අසාධාරණ නොවන එවැනි සුපරීක්ෂා පටිපාටියක එල්ලය විය යුත්තේ, විදේශ ආයෝජකයන් සුළු සංඛ්‍යාවක් මත අධිකතර සේ පරායත්ත වීම අවම කරගැනීමත්, අවදානම් අවම කරගැනීමත් ය. සුලමුල සෙවීමේ ක්‍රියාවලිය, කුසලතාවන්ට තැන නොදී පක්ෂග්‍රාහී වුණොත්, එය සුළු පිරිසකට පමණක් වාසි සලසන අසාධාරණ ආයෝජන පරිසරයක් නිර්මාණය කරනු ඇත.

ආයෝජකයන් බැඳී සිටින වගකීම

සෘජු විදේශ ආයෝජන ආකර්ශණය කරගැනීම සඳහා පාරදෘෂ්‍ය භාවය නැංවිය යුතුය යන්නෙන් අදහස් වන්නේ, පිටරටින් පැමිණෙන ආයෝජන ආවාටගියාට භාරගන්නා නිශ්ක්‍රීය ග්‍රාහකයෙකු බවට අප පත්විය යුතු බව නොවේ. මිනිස් ප්‍රාග්ධනය, පරිසරය සහ වෙනත් රාජ්‍ය ප්‍රතිපත්තිමය අරමුණු ආරක්ෂා කිරීමේ වගකීමක් ආයෝජකයන්ටත් ඇතැයි පිළිගැනීම, අන්තර්ජාතික ආයෝජන නීතිය තුළ නැඟී එන ප්‍රවණතාවකි. මෑතක පටන්, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය වැනි රටවල්, නිසි සුපරීක්ෂාව සහ වගකීම් සහිත ව්‍යාපාරික චර්යාව අවධාරණය කෙරෙන නීති සම්පාදනය කර තිබේ. එවැනි නීති සහ රෙගුලාසි මගින් (නිෂ්පාදන ඵලදායීතාව, නවෝත්පාදන, රැකියා ගුණාත්මක භාවය සහ කුසලතා, ස්ත්‍රී-පුරුෂ සමානතාව සහ කාබන්-හරණය වැනි) තිරසාර සංවර්ධන ඉලක්ක කෙරෙහි ආයෝජකයන් දායක වන බවට වගබලාගනු ලැබේ.

වෙනත් නිරීක්ෂණ

පාරදෘෂ්‍ය භාවයේ වර්ධනය ඇති විය යුත්තේ, දත්ත මත සහ සාක්ෂි මත පදනම් වූ තීන්දු තීරණ, සංගත ප්‍රතිපත්ති, නියාමනයට අදාළ රෙගුලාසි වෙනස් වන විට ඒ ගැන කෙරෙන කඩිනම් කරුණු පැහැදිලි කිරීම්, ගිවිසුම් උල්ලංඝනයන් පිළිබඳ සෙවිල්ලෙන් සිටින ප්‍රමිතිගත කාර්ය පටිපාටි සහ ඒවා සඳහා වන නිසි ප්‍රතිකර්මික යාන්ත්‍රණයන් සමග ය. අනවශ්‍ය රෙගුලාසි බාධක ඉවත් කරමින් සහ නිලධාරීවාදී හිතුමතයන්ට ඉඩ ලැබෙන තත්වයන් නැති කරමින්, පාලන තන්ත්‍රමය තත්වයන් වැඩි දියුණු කිරීමට තදින් කැප විය යුතුය. ආයෝජන ප්‍රතිපත්ති සම්පාදනය සහ අදාළ අමාත්‍යාංශ ඇතුළු වෙනත් ආයතන අතරේ නිසි සම්බන්ධීකරණය කෙරෙහි බලපෑම් ඇති කරන රාජ්‍ය ආයතන සංඛ්‍යාව සීමා කිරීමෙන්, ප්‍රතිපත්තිමය සංගත භාවය සහ ඒකාග්‍ර භාවය වර්ධනය කළ හැකි වනු ඇත.
නිගමනය
රටේ වර්තමාන අර්බුදය ව්‍යුත්පන්න වන්නේ, විදේශ වාණිජ ණයවලින් දියත් වුණු, දුර්වල ආකාරයෙන් සැලසුම් කළ යටිතල ව්‍යාපෘතිවලිනි. උදාහරණයක් වශයෙන්, චීන ණය වශයෙන් පැමිණි විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘති ගත හැකිය. එසේම, ෆිස්කල් පාරදෘෂ්‍ය භාවයක් නැතිකම නිසා රාජ්‍ය මූල්‍ය සම්පත් අවභාවිතයට ගැනෙන තත්වයක් ඇතිව තිබීම ඊට තවත් හේතුවකි. මේ අර්බුදකාරී තත්වයෙන් ගැලවී ඉදිරියට යන්නේ නම්, මුලින්ම විදේශ ආයෝජනවල මට්ටම සහ තිරසාරත්වය පිළිබඳ සවිචාරවත් තක්සේරුවක් ඇති කරගැනීම වැදගත් ය. ඒ තක්සේරුව සඳහා සැලකිල්ලට ගත හැකි සාධක වන්නේ, එම විදේශ ආයෝජන ව්‍යාපෘති දේශීය කාර්මික සංවර්ධනයට සහාය වන්නේ කෙසේද, නව දැනුම සහ තාක්ෂණික ඥානය අප වෙත ලබාදීමෙන් අපේ නවෝත්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීමට ඒවා දායක වන්නේ කෙසේද, රැකියා අවස්ථා නිර්මාණය කරන්නේ කෙසේද, ස්ත්‍රී-පුරුෂ සමානතාව ඇති කරන්නේ කෙසේද සහ අඩු කාබන් බලශක්ති මූලාශ්‍ර වෙත මාරුවීම ඒවා මගින් පහසු කරවන්නේ කෙසේද යනාදියයි.
අන්‍යොන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපාරික හවුල්කාරීත්වයන් අපේක්ෂා කරන වැදගත් ආයෝජකයන්ට, පාරදෘෂ්‍ය භාවය අත්‍යාවශ්‍ය වන්නේය. පාරදෘෂ්‍ය භාවයට සහ වගවීමට ප්‍රමුඛත්වය දීමෙන්, දීර්ඝකාලීන සංවර්ධන අභිලාෂයන් සමග බද්ධ වන සහ ආයෝජන මත ප්‍රතිලාභ ජනනය කිරීමේ සමත් විදේශ ආයෝජකයන් ලංකාවට ආකර්ශණය කරගත හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික භූ-දර්ශනයට, පාරදෘෂ්‍ය පාලනය කෙරෙහි වන කැපවීම අත්‍යාවශ්‍ය කෙරේ. එය, විදේශීය පරදු දරන්නන්ට වැඩදායී වෙනවා පමණක් නොව, අපේ රට ශක්තිමත් ආර්ථික මට්ටමක් වෙත ගෙන යාමටත් උපකාරී වන්නේය. රටේ ආර්ථික වර්ධනයට තල්ලුවක් දෙන ආකාරයෙන්, තිරසාර සෘජු විදේශ ආයෝජන නිසියාකාරයෙන් සේවයේ යෙදවිය හැක්කේ එවැනි පසුබිමක ය.

(“Tackling non-transparency in Sri Lanka to attract sustainable foreign direct investment” මැයින් පල වූ සේමිනී සතරසිංහ විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය ගවර්නන්ස් ලංකා වෙතිනි.)

Archive

Latest news

Related news