Thursday, November 21, 2024

හිමිකම් කෙළෙසීම් සඳහා වගවීම නැති නම් ශ්‍රී ලංකාවට අනාගතයක් නැහැ” – මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව

ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා වගවීම කේන්ද්‍රීයයි – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව 

ජිනීවා (6 සැප්තැම්බර් 2023)
යුධ අපරාධ, ම්ලේච්ඡ ක්‍රියා, වඩාත් මෑත කාලීන මානව හිමිකම් උල්ලංඝන, දූෂණ හෝ බලය අනිසි ලෙස භාවිතා කිරීම යන ඕනෑම කාරණයක් සම්බන්දයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩ වගවීමේ හිඟයකින් පීඩා විඳියි. රට ඉදිරියට යාමට නම් මෙම ප්‍රශ්ණය ආමන්ත්‍රණය කළ යුතු බව  බදාදා  (06) ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ වාර්තාව  ප්‍රකාශ කරයි.

අරගලයේ ඉල්ලීම

“වසරකට පෙර මහජන විරෝධතා ඉල්ලා සිටියේ වඩා හොඳ පාලනයක් සහ ශ්‍රී ලංකාව සඳහා සියල්ලන් ඇතුළත් කර ගන්නා දැක්මකි. -කෙටියෙන් කිවහොත්, සමාජ ගිවිසුම අලුත් කිරීමකි. එහෙත් දීර්ඝ කාලීන අභියෝගවලට මුහුණ දෙන ඓතිහාසික පරිවර්තනයක් සඳහා ඇති විභවය සාක්ෂාත් කර ගැනීම තව බොහෝ දුරය,” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසයි.
යුද්ධය අවසන් වී වසර 14ක් ගතවී ඇතත්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල දස දහස් ගණනක් සත්‍යය, යුක්තිය සහ පිළියම් සෙවීමේ වේදනාව සහ දුක අඛන්ඩව අත්විඳිති. රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් යෝජනා කර ඇති අතර, ඕනෑම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමට හැකි පරිසරය නිර්මාණය කිරීම සඳහා අව්‍යාජ ප්‍රයත්නයන් මගින් පදනම සකස් කළ යුතු බව වාර්තාව අවධාරණය කරයි.

සත්‍ය සෙවීම පමණක් මදි, යුක්තියත් අවශයයි

වර්තමාන සත්‍ය සෙවීමේ යෝජනාව සම්බන්ධයෙන් එවැනි ක්‍රියාවළියක් ආරම්භ විය හැක්කේ  වින්දිතයින් සහ සිවිල් සමාජය සමඟ  කරන අර්ථවත් සහ විනිවිදභාවයෙන් යුත් උපදේශන මගිනි. මානව හිමිකම් ආරක්ෂකයින් සහ වින්දිතයින්ගේ කණ්ඩායම්වලට එරෙහි සියලු ආකාරයේ හිරිහැර කිරීම් සහ නීති විරෝධී සහ අත්තනෝමතික සෝදිසි කිරීම් අවසන් කිරීම  මගිනි. එමෙන්ම වින්දිතයින්ගේ අත්දැකීම් පිලිගැනීමේ මුලපිරීම් සඳහා සහාය දැක්වීමෙන් සහ අනුස්මරණයන් සඳහා අවස්ථාව සැළසිමෙනි.
“සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය වගවීම සඳහා පැහැදිලි කැපවීමක් සහ දුරදිග යන වෙනසක් ක්‍රියාවට නැංවීමේ දේශපාලන අභිලාෂය සමඟ ද තිබිය යුතුය, ”  මහ කොමසාරිස්  ටර්ක් පැවසීය.

පාස්කු ප්‍රහාර ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් 

අනෙකුත් නිර්දේශ අතර, සංකේතාත්මක මානව හිමිකම් කඩකිරීම් සම්බන්දයෙන් මෙන්ම 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ  විමර්ශන සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙස වාර්තාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ තත්ත්වයන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු මහ කොමසාරිස්වරිය මීට පෙර ඉල්ලා ඇත.
වාර්තාව 46/1 සහ 51/1 දරණ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් පිහිටුවන ලද වගවීමේ ව්‍යාපෘතියේ වැඩ පිළිබඳ යාවත්කාලීන කිරීමක් සපයයි. මහ කොමසාරිස්වරයා ජාත්‍යන්තර ප්‍රජාවට වගවීම සදහා දැරෙන මූලිකත්වයන්ට සහාය දෙන ලෙස, විශේෂයෙන් වෙනත් අනුපූරක ක්‍රියාමාර්ග සමඟින් විශ්වීය හෝ භෞමික අධිකරණ බලය භාවිතා කරමින් විමර්ශන සහ නඩු පැවරීම් හරහා සහාය දෙන ලෙස සිය ඉල්ලීම නැවත නැවතත් ප්‍රකාශ කර තිබේ.
නව ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පතක් සහ විකාශනය නියාමනය කිරීම සඳහා වන නීති ඇතුළුව යෝජිත නව නීති පිළිබඳ ගැටළු ගණනාවක් ද වාර්තාව විස්තර කරයි.

ජනපති කීවත් වෙලා නැති දේ

සංහිඳියා මුලපිරීම් ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිවරයා වෙනස් ස්වරයකින් කටයුතු කර ඇති අතර දේශීය ගැටුම් සහ ආතතිය වැඩි කරන මූලාශ්‍රයක් වී ඇති පුරාවිද්‍යා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම නතර කරන බවට පොරොන්දු වී ඇති බව වාර්තාව සඳහන් කරයි. ඒ අතරම, විශේෂයෙන්ම රටේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල ඉඩම් පිළිබඳ ආරවුල් පිළිබඳ වාර්තා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අඛණ්ඩව ලැබෙමින් තිබෙන බව ද වාර්තාව සඳහන් කරයි.
2022 ආර්ථික අර්බුදයේ අඛණ්ඩ බලපෑම සහ මිනිසුන්ගේ මානව හිමිකම් සහ යහපැවැත්ම කෙරෙහි ගෝලීය පසුබෑම, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 2021 දී 13% සිට 2022 දී 25% දක්වා දෙගුණයක් දක්වා විශාල ලෙස ඉහළ යාම ඇතුළුව වාර්තාවේ උද්දීපනය කර ඇත. අනාරක්ෂිත භාවය ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට බලපාමින් සෞඛ්‍ය සඳහා ඇති අයිතියට බලපාන අතර පාසල් හැර යාමේ අවදානම වැඩි කරන බවද වාර්තාව සඳහන් කරයි.

මූල්‍ය අරමුදල යහ පාලනය, විනිවිදභාවය සහ වගවීම සදහා බලපෑ යුතුයි

ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහ එහි ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීම සඳහා සහාය විය යුතු අතර ඒ සමඟම යහ පාලනය, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ සැබෑ ප්‍රගතියක් සඳහා බලපෑම් කළ යුතු බව මහ කොමසාරිස්වරයා පවසා තිබේ
“ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ සහ වගවීම, ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම්   පිළිබඳ ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය සඳහා වන හදිසි අවශ්‍යතාවය සඳහා නව උද්යෝගයකින් උත්සාහ කරන ලෙසත්, ඒවා ඉටු කරන ලෙසත් මම රජයෙන් සහ ශ්‍රී ලංකා දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමි,” මහ කොමසාරිස් ටර්ක් පැවසා තිබේ. “ශ්‍රී ලංකාවේ නිදහසේ 75 වැනි සංවත්සරය සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 75 වැනි සංවත්සරය යන දෙකම සනිටුහන් කරන මෙම වසරේ  එවැනි නව උත්සාහයන් විශේෂයෙන් යෝග්‍ය වනු ඇත.” යැයි ද වාර්තාව සඳහන් කරයි.

( ඉංග්‍රිසි බසින් කරන ලද නිවේදනයක -Accountability central to Sri Lanka’s future – UN Human Rights report – සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news