Saturday, April 27, 2024

අගෝස්තු 28: රනිල් රාජපක්ෂගේ ජනතා විරෝධී පියවරයන්ට විරුද්ධ දැවැන්ත විරෝධතාවයක් කොළඹදී!

රජය මේ වන විට ජනතාවගේ අදහස්වලට සම්පූර්ණයෙන් ඇහුම්කන් නොදී, ජනතාව මර්දනය කරමින්, විපක්ෂයේ හඬ නිහඬ කරමින්, අධිකරණයට බලපෑම් කරමින් ජනතාවගේ කර මත අසාධාරණ ලෙස බර පැටවෙන තීන්දු ගණනාවක් අත්තනෝමතික ලෙස ගනිමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදය හැකළෙද්දී මැතිවරණ පවත්වන්නේ නැත.
මෙවැනි අත්තනෝමතික තීන්දු ගණනාවක් අතරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු වන ආකාරය මේ මොහොතේ විශාල පිරිසකට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ගත හැකිය. ඊපීඑෆ්/ඊටීඑෆ් අරමුදල්වලට හානිකර ලෙස ඒවාට අත තැබීම මේ වන විට වෘත්තිය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු වී ඇති ප්‍රධාන ගැටලුවකි.
මේ වන විට විවිධ පාර්ශ්ව තනි තනිව එම තීන්දුවට එරෙහිව ක්‍රියාමාර්ගවලට යොමු වී ඇතත්, පුළුල් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව පවතී. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 18 වැනිදා මහජන පුස්තකාලයේ වෘත්තිය සමිති විසින් කළ කැඳවීමක් මත පැවති සාකච්ඡාවට වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පුද්ගලයන් ගණනාවක් සහභාගී විය.
එහිදී කරුණු ගණනාවක් සාකච්ඡා විය.
ජනතාව මුහුණදෙන ප්‍රශ්න ගණනාවක් හඳුනාගැනුණු අතර, පොදු ක්‍රියාමාර්ගයකදී ඒ සියල්ල පිළිබඳ හඬ නැගීමට එකඟ විය.
– රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප
– ආයතන පෞද්ගලිකකරණය (විදුලි බල මණ්ඩලය, ටෙලිකොම්)
– සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නය
– ගොවියන්ගේ ජල ප්‍රශ්නය
– කම්කරු නීති සංශෝධනය
– සමෘද්ධි සහනාධාර අහිමි වීම සහ අස්වැසුම ලබා දීමේදී ඇතිව තිබෙන අර්බුදය

යෝජිත ක්‍රියාමාර්ග

මෙම කාරණා පිළිබඳ ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් යෝජනා විය. පොදු ක්‍රියාමාර්ගයක් සඳහා සියලු දේශපාලන පක්ෂ එකඟ වන බව ප්‍රකාශ කෙරිණ.
– කම්කරු සමුළුවක් කැඳවීම
– ආයතන ඉදිරිපිට කෑම පැයේ විරෝධතා
– ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්
– කොළඹදී පවත්වන ඒකාබද්ධ පුළුල් විරෝධතාවක්
– කොළඹ පවත්වන විරෝධතාවක් සහ එයට සමගාමීව කොළඹින් පිට පවත්වන විරෝධතාවක්

එකඟතා

එහිදී හැකි සියලු පාර්ශ්වයන් ඒකරාශි කරගත් පුළුල් විරෝධතාවක් අගෝස්තු 28 වැනිදා කොළඹදී පැවැත්විය යුතු බවට එකඟතාවක් ඇති විය. අනෙකුත් පියවර පිළිබඳ ඉදිරියේදී කතා කළ යුතු බව වැඩිදුරටත් එකඟ විය.
එම විරෝධය ඊපීඑෆ්/ඊටීඑෆ් කප්පාදුව තේමා කරගත් විරෝධයක් පැවැත්විය යුතු බවට එකඟතාව ලැබුණු අතර, එම විරෝධතාවට පෙර මේ පිළිබඳ ජනතා දැනුම තීව්‍ර කිරීම සහ විරෝධතාවට සහභාගී වීම සඳහා ජනතාවගේ උනන්දුව වැඩි කිරීම සඳහා එකඟතා ඇති විය.
මෙම විරෝධතාව පිළිබඳ වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමට අගෝස්තු 21 සඳුදා හවස 1ට වෘත්තිය සමිතිවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් මහජන පුස්තකාලයේදී පැවැත්වීමට එකඟ විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව එදිනම හවස 4ට දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ විය.
ඉහත සාකච්ඡාවෙන් අනතුරුව අගෝස්තු 21 දිනම, එම ස්ථානයේදීම වෘත්තිය සමිතිවල සාකච්ඡාවක් පැවැත්වීමටද එකඟ විය.
අගෝස්තු 24 වැනිදා දිවයින පුරා ආයතන මට්ටමෙන් දැනුවත් කිරීම් සහ විරෝධතා පැවැත්විය යුතු බව යෝජනා විය.
එම විරෝධතාවට පෙර පුද්ගලයන් දැනුවත් කිරීම සඳහා පත්‍රිකාවක් සකස් කිරීමත්, සමාජ මාධ්‍යවලින් ප්‍රචාරක කටයුතු සිදු කිරීමටත්, පෝස්ටර් සහ අනෙකුත් ප්‍රචාරක කටයුතුත් සිදු කළ යුතුය. මේ පිළිබඳ වැඩිදුර අදහස් අගෝස්තු 21 වැනිදා සාකච්ඡාවලදී එකඟ වීමට නියමිතය.
සමාජ ජාල රූපයකි.

(තරිඳු උඩුවරගෙදර විසින් වට්ස් ඇප් හරහා බෙදා හරින ලද සටහනකි.)

Archive

Latest news

Related news