Sunday, October 6, 2024

කව්රුත් නොසොයන පහත රට වතුකරයේ දෙමළ ජනයා – සමන් සී ලියනගේ

ඡායාරූපය: depositphotos

‘උඩරට වතුකරය’ යැයි කී විට දැනෙන හුරු පුරුදු ගතිය, ‘පහතරට වතුකරය’ යැයි කී විට දැනෙන්නේ නැත.

ඒ නුහුර එන්නේ, ඒ වචනය ඇසෙන්නේම නැති නිසාය. එහෙත් පහතරටද වතුකරයක් තිබෙන අතර එම නාමකරණයට අයත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක දෙකෙහි වතු ආශ්‍රිතව පමණක් ඉන්දියානු සම්භවයක් සහිත ලක්ෂයකට අධික දෙමළ ජනගහනයක් ජීවත්වෙති. දකුණේ භාෂාවෙන් කිවහොත් ඔවුන් ගෙවන්නේ ‘අත පල්ලෙන් වැටුණු’ ජීවිතයකි.


කිසිවකුගේ අවධානයට ලක් නොවන එම ප්‍රජාවගේ ගැටලු පිළිබඳව සිදු කෙරුණු පර්යේෂණයක් පදනම් කරගත් මෙම ලිපිය, එම ගැටලුවලට විසඳුම් සෙවීම පිණිස ඔවුන්ගේ දේශපාලන අයිතීන් තහවුරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

මධ්‍යම කඳුකරය හා සබරගමුව පළාත හැරුණු විට ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා වැඩි වශයෙන් ජීවත්වන්නේ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලය. මෙම දිස්ත්‍රික්ක දෙකෙහි මධ්‍යම කඳුකරය දක්වා දිවෙන අන්තර් සබඳතාවක් ඇති කඳුකර ප්‍රදේශ ගණනාවක, පැතිරුණු ජන වර්ගයක් ලෙස ඔවුහු දිවි ගෙවති.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, නියාගම, උඩුගම, නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය යන ප්‍රදේශ සහ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, කොටපොල, මොරවක, පිටබැද්දර සහ අකුරැස්ස යන ප්‍රදේශ ඔවුන්ගේ වාසභූමි වන අතර මෙම බොහෝ පෙදෙස් ඒ ඒ දිස්ත්‍රික්කවල අග නගරයේ සිට කි.මී. 60කට වැඩි දුරකින් පිහිටි පිහිටි දුෂ්කර පෙදෙස්ය. වැඩිපුර හුරු පුරුදු නැති හැඳින්වීමක් වන ‘පහතරට වතුකරය’ යනු මෙකී කලාපයයි.

මේ, අවම ජීවන තත්ත්වයවත් හිමි නැති ඉන්දියානු සම්භවයක් සහිත පහතරට දෙමළ ජනයා මුහුණ දෙන ගැටලු සහ එම ගැටලුවලට විසඳුම් ලැබෙන දේශපාලනමය ප්‍රවේශයක අවශ්‍යතාව සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණාත්මක සොයාබැලීමකි.  

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි වතුකර ප්‍රදේශ මෙම පර්යේෂණයට මූලාශ්‍ර විය.

ගාල්ලේ වතු ආශ්‍රිත දෙමළ ජනයා

EP Lelwala Estate

ගාල්ල දිස්ත්‍රික්කයේ වතු යායක්

ගාල්ල දිස්ත්‍රික්කයේ වතු කම්කරු වෘත්තියේ නිරතවූවන්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වේ. රජයට අයත්, වර්තමානයේ ප්‍රාදේශීය වැවිලි සමාගම් හතරක් යටතේ පාලනය කෙරෙන වතු දහසයක, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය කෙරෙන එක් වත්තක, පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින ප්‍රධාන වතු දෙකක, පෞද්ගලික තේ කර්මාන්තශාලා සමූහයක සහ කුඩා ප්‍රමාණයේ වතු තිහකට අධික සංඛ්‍යාවක ඔවුහු සේවසේ නිරත වෙති. මෙයින් 75%ක් පමණ දෙනා දෙමළ වතු කම්කරුවන්ය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් 2023 වසරේ ජනවාරි මාසයේ කරන ලද සංගණනයකට අනුව වර්තමානයේ වතු සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවල සහ රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වන වලහන්දුව වතුයායේ වතු සේවක ලැයිම් කාමර, වත්තේ අවසරය ලැබ ඉදිකරගත් තාවකාලික මඩු සහ වතු සේවක නොවන ලැයිම් කාමර, වතු සේවක නොවන තාවකාලික මඩු 2,893ක පදිංචි ජන සංඛ්‍යාව 14,869කි.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ඇසුරු කර ගනිමින් 2022 වසරේ සකස්කර තිබෙන ගාල්ල දිස්ත්‍රික් සංඛ්‍යා අත්පොතෙහි වතු ජනගහනය 20,240ක් ලෙස සඳහන්ව ඇත.

පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින ප්‍රධාන පෙළේ වතුයායක් වන කොට්ටව දේවගිරි වතුයාය ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික වතුවල සහ එවර්ග්‍රින් වැවිලි පුද්ගලික සමාගම ඇතුළු තේ වගාව සහිත වතු අයත් මහා පරිමාණ පෞද්ගලික තේ කර්මාන්තශාලාවල සේවයේ නිරත වතු සේවකයින් පිළිබඳ තොරතුරු මෙම සංගණනයට ඇතුළත්ව නැත.

එමෙන්ම දෙමළ පවුල් දෙකක් හෝ තුනක් පදිංචි කුඩා පෞද්ගලික වතුවල සේවක තොරතුරුද දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ ඉඩම්වල වැඩ කරන සහ එම දළු එකතු කර තේ නිපදවන තේ කර්මාන්තශාලාවල සේවයේ නිරත සේවක තොරතුරුද මෙම සංගණනයට එක් කර නොමැත. රජයට අයත්, වර්තමානයේ පෞද්ගලික වතු සමාගම් යටතේ පාලනය වන වතුවල පදිංචිව හිඳිමින් සේවයේ නිරත සංවිධානගත  වතු කම්කරු ප්‍රජාවට වඩා පෞද්ගලික අංශයේ අසංවිධිත වතු කම්කරු ප්‍රජාව ප්‍රමාණාත්මකව වැඩි බව අප කළ සොයා බැලීමේදී අනාවරණය විය.

මාතර වතුකරයේ දෙමළ ජනගහනය

Down side

මාතර දිස්ත්‍රික්කයේ වතු යායක්

මාතර දිස්ත්‍රික්කයේ හැට දහසකට අධික වතු කම්කරුවන් පිරිසක් රැකියාවේ නිරතව සිටිති. රජයට අයත්, වර්තමානයේ ප්‍රාදේශීය වැවිලි සමාගම් තුනක් යටතේ පාලනය කෙරෙන වතු දහහතරක, පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින ආඬාරදෙණිය පෞද්ගලික වතු සමාගම ප්‍රමුඛ අක්කර දහස ඉක්මවූ මහා පරිමාණ වතු කිහිපයක සහ සිරිමල්දෙණිය වත්ත ඇතුළු අක්කර හාරසියය ඉක්මවූ පෞද්ගලික වතු සමූහයකත්, පෞද්ගලික තේ කර්මාන්තශාලා සමූහයක සහ කුඩා ප්‍රමාණයේ වතු විස්සකට අධික සංඛ්‍යාවකත් ඔවුහු සේවයේ නිරතව සිටිති.  මෙයින් 75%ක් පමණ දෙනා දෙමළ වතු කම්කරුවන්ය.

මෙම වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන Community Development service for Plantations Peoples නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් 2017 වසරේ සිදුකරන ලද දෙමළ ඡන්ද හිමි පුද්ගලයින් පිළිබඳ සංගනනයක තොරතුරු අනුව මාතර දිස්ත්‍රික්කයේ වතු ප්‍රදේශවල දෙමළ ඡන්ද ප්‍රමාණය 26,000කි.

කොටපොළ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පමණක් දෙමළ ඡන්ද දසදහසකට අධික ප්‍රමාණයක් තිබෙන බවද එම සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

එමෙන්ම දෙණියායේ පිහිටි දෙණියාය වත්ත, අනින්කන්ද, පනිල්කන්ද, සෙල්වකන්ද සහ බෙවරලිය යන වතුවලත් පල්ලේගම පිහිටි බෝගොඩ වත්ත, ලුම්බිණිය සහ කොළවෙනිගම සිරිසිලිය ඇතුළු පෞද්ගලික වතු සහ තේ කම්හල් සමූහය ආශ්‍රිතව ජීවත්වන දෙමළ ජනගහනය පිළිබඳව මෙතෙක් විධිමත් ජන සංගනන වාර්තාවක් නැත. අප කළ සොයාබැලීම අනුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහි වතු ප්‍රදේශවල දෙමළ ජනගහනය ලක්ෂයකට ඉතා ආසන්න බව සඳහන් කළ හැකිය.

පහතරට දෙමළ වතු කම්කරුවන්ගේ ගැටලු

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ, රබර්, කුරුඳු සහ කටුපොල් වගාවන් ආශ්‍රිතව සහ මාතර දිස්ත්‍රික්කයේ තේ සහ රබර් වගාව ආශ්‍රිතව පහතරට දෙමළ වතු කම්කරු ප්‍රජාව රැකියාවල නිරතව සිටිති. මෙම දිස්ත්‍රික්ක දෙකෙහිම වතු දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටලු කිසියම් සමාන බවකින් යුක්තය.

දීර්ඝ කාලයක් තිස්සේ වාසයට නුසුදුසු පේළි නිවාසවල දිවි ගෙවන්නට සිදුවීම, භාෂා අයිතිය පිළිබඳ ගැටලු, දරුවන්ගේ සෞඛ්‍යය හා පෝෂණය සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, ආර්ථික දුෂ්කරතා, ප්‍රවේශ මාර්ග අබලන් වීම හේතුවෙන් දෛනිකව මුහුණදෙන දුෂ්කරතා, තමන්ගේ නමට එන ලිපි පදිංචි ස්ථානයට නොලැබීම, ආගමික සහ සංස්කෘතික ප්‍රශ්න ඇතුළු දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම පසුපසට ගමන් කරවන ප්‍රශ්න කන්දකට යට වී දිවි ගෙවන්නට ඔවුන්ට සිදුව ඇත.
දෙණියාය ලැයින් නිවාස
අබලන් ලැයින් නිවාස, ඔවුන්ගේ ප්‍රමුඛ ගැටලුවකි.
වතු සමාගම් හෝ ආණ්ඩුව මේ ජනතාව පෙළන ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත. වතු යටිතල පහසුකම් අමාත්‍යංශය අනුගමනය කරන්නේ උඩරටට සහ මැදරටට එක් පිළිවෙතකුත් පහතරට වතු පෙදෙස්වලට තවත් පිළිවෙතකුත්ය. මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නට වෘත්තීය සමිති ක්‍රියා කරන්නේද නැත. පහතරට වතු කම්කරුවන් දීර්ඝ කාලයක සිට මුහුණදෙන මේ දුෂ්කරතා සම්බන්ධයෙන් හඬක් නගන්නට මේ ප්‍රජාව අතරේ නායකයින්ද නැත. තම වර්ගයා වෙනුවෙන් හඬ අවදිකරන කම්කරුවන්ට සිදු වන්නේ වත්තේ උදහසට ලක්වන්නටය. එවැනි අත්දැකීම් ලැබූ කම්කරුවෝ සෑම වත්තකම සිටිති. එක්කෝ ඔවුන් රැකියාවෙන් දොට්ට දමා ඇත. නැතිනම් පදිංචි නිවසින් එළියට ඇද දමා ඇත.
තල්ගස්වල වත්තේ තරුණයෙකු වූ ජීවන්ට සහ ඔහුගේ දෙමාපියන්ට මුහුණ දෙන්නට සිදුවූයේ එවැනි තත්ත්වයකටය. වත්තට පැමිණ කම්කරුවන් සූරාකන ගිනි පොලීකාරයෙකුට එරෙහිවූ වරදට ජීවන්ට සහ ඔහුගේ දෙමාපියන්ට වත්තේ රැකියාව අහිමි වීමට අමතරව වත්තේ නිවාස හැරදමා වෙනත් පෙදෙසකට පදිංචිය පිණිස යන්නටද සිදුව ඇත. මෙය, එම ප්‍රජාව අතරින් මතු වන ප්‍රජා නායකයින් අංකුර අවස්ථාවේදීම තළා දැමීමක් මිස අනෙකක් නොවේ.

විසඳුම් සඳහා දේශපාලනමය ප්‍රවේශයක අවශ්‍යතාව

බහුතර සිංහල සමාජයේ නායකයින්ට මේ මිනිසුන් වටින්නේ ඡන්ද කාලයට පමණි. කොපමණ දුක් ගැනවිලි ඉදිරිපත් කළද ඒවාට සවන් දෙන්නට ඔවුන්ට වෙලාවක් නැත. දේශපාලන ප්‍රවේශයකින් තොරව මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකිය. තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ  තමන් අතරින් දේශපාලන නායකත්වයක් මතු කර ගැනීමෙන් පමණක් බව ඔවුහු කල්පනා කරති.
වතු ජනාවාස කවර හෝ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකට අයත්ය. මුලදී වතු ජනාවාසවලට පහසුකම් සැපයීමේ වගකීම ප්‍රාදේශීය සභාවල විෂයපථයෙන් බැහැර කර තිබූ නමුත් පසුව එය ඇතුළත් කෙරිණි. එසේ වුවද, තවමත් ඒ බැහැර කරන ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව වෙනස් වී නැත. පළාත් සභාවට, පළාතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, පොදු පහසුකම් ආදිය පිළිබඳව වගකීම පැවරී ඇතත්, වතු කම්කරු ජනයා සම්බන්ධයෙන් කිසිදු සාධරණයක් ඉටු වී නැති බව ඇස්පනාපිට පෙනෙන සත්‍යයයි.

ඒ අනුව, ඔවුන්ගේ ඡන්දවලට කිසිදු සාධාරණයක් වී නැත. එසේ වුවද මේ ආයතනවලට තමන්ගේම නියොජිතයින් පත්කර යවන්නට තරම් ජන්ද ප්‍රතිශතයක් මේ වතු ආශ්‍රිතව ඇති බව අපගේ නිරීක්ෂණයට ලක්විය. එහෙත් ඔවුන්ට ඒ අවස්ථාව ලැබී ඇත්තේ ඉතා කලාතුරකිනි.

(සංස්කරණය කරන ලදී)

සමන් සී ලියනගේ සමසමාජය පුවත්පතේ කර්තෘවරයා ද වේ.
[email protected]

උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටර්නිවුස්

Archive

Latest news

Related news