Friday, May 3, 2024

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට අවනත වෙයි: අත්අඩංඟුවෙහි දී සැකකරුවන් ඝාතනය කීරීම වළකන උපදෙස් මාලාවක් ලබා දෙයි.

මෙරට පොලිස් අත්අඩංවෙහි  සිටින සැකකරුවන් විවිධ හේතු යටතේ පිටතට  ගෙන ගොස් ඝාතනය කිරීම වැළැක්වීමට අවශ්‍ය උපදෙස් මාලාවක් සකස් කර ඊයේ පොලිස්පතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන තිබේ.

2009 ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලෙකම්ව සිටි කාලයෙහි දී මෙවැනි අනීතික ඝාතන සාමාන්‍ය සිදුවීම් බවට පත්ව තිබුණි. ඒ ඔහු විසින් දියත් කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයේ කොටසක් ලෙසය.

2008දී පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේදී වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පෙබරවාරි 24දා අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. මෙම නියෝගය ලබාදුන්නේ පසුගිය පෙබරවාරි 05දා ය.

පෙබරවාරි 24දා මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයා වෙත නොතීසි නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ඊයේ පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ අදාළ මාර්ගෝපදේශ මාලාව කෙටුම්පත් කර අධිකරණය හමුවේ ගොනුකර ඇති බවයි.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මෙහිදී පොලිස්පතිවරයාට පැවසුවේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා පොලිසිය කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීමට අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි.

මාර්ගෝපදේශ මාලාව

පොලිස්පතිවරයා විසින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

  • අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර, ස්වභාවික අසනීපයක් වැනි අවස්ථාවලදී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුය.

  • සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

  • එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගත යුතු අතර, සෑම පැය බාගයකට ම වරක් සැකකරු පිළිබඳව පරීක්ෂා කර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුය.

  • එවැනි සැකකරුවකු පිටතට රැගෙන යෑමට අවශ්‍ය අවස්ථාවේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් බාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කර, ඊට අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.

  • අවශ්‍ය කරුණකදී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයෑමට වගබලා ගත යුතු අතර, එසේ පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිත ව සටහන් විය යුතුය.

  • අවි ආයුධ උදුරාගැනීමට තැත්කිරීමේ සිද්ධි සහ සැකකරුවන් පැනයෑම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු අතර, එසේ කිරීමට නොහැකි වන පරිදි අදාළ සැකකරු සුදුසු වාහනයක් තුළ සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට ද වග බලා ගත යුතුය.

  • ගිනි අවි සහ අත්බෝම්බ සඟවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යන අවස්ථාවලදී අත් විලංගු ලා රැගෙන යෑමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, සැකකරුගේ මගපෙන්වීම මත නිලධාරීන් විසින් අදාළ සෝදිසිය සහ පරීක්ෂාව සැකකරු ඉදිරියේ සිදු කළ යුතුය.

  • එවැනි සෑම අවස්ථාවකදී ම වීඩියෝගත කිරීමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන් ද යොදාගැනීමට හැකියාව පවතින අතර, යම් සිදුවීමක් සිදුවුවහොත් එහි විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් වැදගත් වේ.

  • කිසිදු අවස්ථාවක සැකකරුවකු කායිකව හෝ මානසිකව වධහිංසනයට භාජනය නොවීමට වගබලා ගත යුතු අතර, පාපොච්ඡාරණ ලබාගැනීම සඳහා තර්ජනය කිරීම, පෙළඹවීම් හා පොරොන්දු ලබාදීම වැනි ක්‍රියා නොකිරීමට වග බලා ගත යුතුය.

  • සැකකරුගේ ළඟම ඥාතීන්ට හා නීතිඥවරයාට අවශ්‍ය අවස්ථාවලදී ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදීමට කටයුතු කළ යුතුය.

  • පොලිස් විමර්ශනවලට බාධා නොවන පරිදි ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපරිම සහාය ලබා දිය යුතුය.

අත්අඩංගුවට පත් සැකකරුවකු මියගිය අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද අදාළ මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කර තිබේ.

  • අත්අඩංගුවේදී යම් පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතු වේ.

  • පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියගිය අවස්ථාවකට අදාළ විමර්ශනය අවස්ථානුකූලව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති, පළාත බාර නියෝජ්‍ය පොලිස්පති හෝ කොට්ඨාසය බාර අධීක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විමර්ශනය සිදු කළ යුතුය.

  • එවැනි විමර්ශනයක් සිද්ධිය වූ පොලිස් ස්ථානයෙන් පරිබාහිර වෙනත් පොලිස් ස්ථානයක නිලධාරීන් යොදවා සිදු කළ යුතුය.

  • මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් හා බාහිර පාර්ශ්වයන්ගෙන් හැකිතාක් ස්වාධීන සාක්ෂි සටහන් කර ගැනීම වැදගත් වේ.

  • එවැනි සිදුවීමකදී යම් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැරහැරීමක් වැනි කරුණක් අනාවරණය වුවහොත්, ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කළ යුතු අතර, එවැනි අවස්ථාවක අදාළ සිද්ධිය පිළිබඳව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තමන් යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය මගින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය.

  • සිද්ධියේ සංකීර්ණභාවය මත අදාළ විමර්ශනය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ යුතු බවට පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තීරණය කරන අවස්ථාවක අදාළ විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශය ද සහිතව පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතුය.

  • මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිටතට විමර්ශන කටයුතු සඳහා රැගෙන යෑමේදී මෙම උපදෙස් මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරීන් වගබලා ගත යුතුය.

  • මෙම උපදෙස්වලට පටහැනිව යම් නිලධාරියෙකු කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත්, ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථානවලට නිකුත් කර තිබෙන මෙම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර තිබේ.

ස්තුතිය: https://thetime.lk අඩවියට

Archive

Latest news

Related news