Friday, March 29, 2024

අලි සබ්රි කෑ සබ්බුවේ සිට ජිනීවා යෝජනාව දක්වා; රනිල් රාජපක්ෂ ඉතිහාසයේ විනිශ්චය අබියස.- සුනන්ද දේශප්‍රිය.

පසුගිය 12වන දින ගෝටාගේ නීතිඥයා වූ ද, රනිල් රාජපක්ෂගේ විදේශ දූතයා වූ ද, අලි සබ්රි ජීනීවා නුවරට සැපත්ව, ඩීල්දාස නම් පටබැඳි රනිල් රාජපක්ෂගේ අධිකරණය බාර ඇමැති ද පසෙකින් ඇතිව මානව හිමිකම් කවුන්සිලය ඇමතීය.

ඔහුගේ කතාවට ඔල්වරසන් දීමට පැමිණි සිටි රාජ්‍ය නොවන සංවිධාන නායිකාවක, සිය අසුනට පසෙකින් ඈදි ගෙන සිටි විපක්ෂ කතාකාර දේශපාලනඥයකුට සාඩම්බරයෙන් කියා සිටියේ, “බලන් ඉන්න රනිල් තුමා ගේ වෙනස කතාවෙන් පෙනේවි” කියාය.

නෝ කතා නෝ සිනා!

වන්නාටය. අලි සබ්රි ගායනා කළේ ගෝටා විසින් පුරුදු කරවන ලද පරණ සිංදුවමය. “පරණ කතාවමනේ කළේ” යැයි විපක්ෂ දේශපාලනඥයා ඇසීය. නෝ කතා නෝ සිනා!

අලි සබ්රි කෑ සබ්බුව එය ම නොවේ.

මෙවර මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙහි සඳහන් වූ ශ්‍රී ලංකාවෙහි ආර්ථික අපරාධ සම්බන්ධයෙන්ද වගවීමක් අවශ්‍ය බවට වූ සටහනට ඔහු කිපී තිබුණි. “ආර්ථික ආපරාධ ගැන කතා කිරීමට මානව හිමිකම් කවුන්සිලයට අයිතියක් නැතැයි” ඔහු කීවේ වර්තමාන ශ්‍රී ලංකාවේ මහම ආර්ථික අපරාධකරු ඔහුගේ ස්වාමියා වන ගෝටා බව දන්නා නිසා විය හැක.

නදා අලි නශීෆ් ගේ පිළිතුර

ඉතා සාවධානව ඊට පිළිතුරක් දෙමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වන නදා අලි නශීෆ් කියා සිටියේ, මානව හිමිකම් සහ වංචා දූෂණ අතර ඇති අන්තර් සබඳතාව ගැන, කවුන්සිලයේ විශේෂ නියෝජිතයකු තේමාත්මක වාර්තාවක් පවා ඉදිරිපත් කර ඇති බවය.

මානව හිමිකම් කවුන්සිලයේ 41/9 දරණ යෝජනාව මගින් ද ආර්ථික දූෂණ නිසා මානව හිමිකම් කෙරෙහි ඇති වන අයහපත් බලපෑම් පිළිගෙන තිබේ. තවද මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසි වාරයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් මගින් ද මෙම අන්තර් සබඳතාව සනාථ කෙරුණි.

අලි සබ්රි කෙටුවේ කෙසල් ගසකට ය.  එබැවින් තම ප්‍රකාශය පිළිබඳව  නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ තර්කයට පිළිතුරක් පවා දුන්නේ නැත. කොටින් ම ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා තමන්ට ලබා ගත හැකි පිළිතුරු දීමේ අවස්ථාවත් ලබා ගත්තේ නැත.

මහම වින්නැහිය: දණ්ඩ මුක්තිය

ආර්ථික අපරාධ යන කාණ්ඩයට, වංචා දූෂණය මෙන්ම දැන දැනම කරන ආර්ථික අපරාධයන්ද අදාළය.

ශ්‍රී ලංකාවේ වර්තමාන ඛේදවාචකයට මූලික හේතුවක් වන්නේ සියලු ආකාරයේ මානව හිමිකම් සඳහා පවතින, ආර්ථික අපරාධයන් ද ඇතුළුව දණ්ඩ මුක්තිය බව දැන් එක්සත් ජාතීන් විසින් පිළිගෙන තිබේ.

ඉන් අදහස් කෙරෙන්නේ රාජපක්ෂ සමයේ මෙන් ම ඊට පෙර සිට ද, රනිල් රාජපක්ෂ යටතෙහි සිදු වූ  බැදුම්කර වංචාව වැනි අපරාධ සම්බන්ධයෙන් ද කිසිවකුට දඬුවම් කර නොමැති වීම ය.

පොලිස් හිතුවක්කාරකම්, මැරකම් සහ ඝාතන, දේශපාලන චණ්ඩිකම්, අසීමිත වරදාන සහ මහා පරිමාණ දූෂණ යනාදී හිමිකම් කෙලෙසීම් දිගින් දිගටම සිදු වන්නේ එවැනි අපරාධයන්ට මෙරට දඬුවම් නොලැබෙන නිසා ය. වරද කිරීමට එමගින් ලැබෙන්නේ අනුබලයකි.

යුද අපරාධකරුවන් මෙන්ම ආර්ථික අපරාධකරුවන්ද මෙරට නිදැල්ලේ ජීවත් වන්නේ ඒ නිසාය.

ජේ ආර් නියමයෙන් බේරුණු රනිල් 

පාස්කු ප්‍රහාරයන් සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂට නඩු පැවැරිය නොහැකි බව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ නීතියෙන් ම ලැබී ඇති එවැනි දණ්ඩ මුක්තිය නිසාය. ජනාධිපතිවරයකුට නඩු නොපැවරිය හැකි බව ජේ.ආර්. ජයවර්ධනගේ නියමයකි.

ශ්‍රී ලංකාව දැන් මානව හිමිකම් කඩ කිරීමේ විෂම චක්‍රයක පමණක් නොව ආර්ථික අපාරධයන් කිරීමේ විෂම චක්‍රයකට ද  හසුවී සිටී. රට නොවී විරූ සමාජ දේශපාලන ආර්ථික අර්බූදයකට හසුව සිටින මෙම අවස්ථාවෙහි පවා දැවැන්ත දේශපාලන මර්දනයක් දියත්කර තිබෙන්නේ ද  රාජ්‍ය ඇමැති බුරුත්තක්, රට සවාරි පිට රට සවාරි මෙන්ම කොමිස් ගැහැලි  ගජරාමයට සිදු වන්නේ ද ඒ නිසාය.

2016 යෝජනාව, රනිල් සහ විජේදාස

2016 ඔක්තෝබර් මාසයේ දී රනිල් වික්‍රමසිංහ බලසම්පන්න අගමැති විය.විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැති විය. 30/1 නම් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මත කෙරුණේ එම දෙදෙනා ගේ අධීක්ෂණය යටතේ එවකට විදේශ ඇමති වූ මංගල සමරවීර ගේ මූලිකත්වයෙනි.

එම යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක් වූ අතර රාජපක්ෂ පවුල ඊට විරුද්ධව කෑ මොර ගැසූහ.  එනමුත් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය ඇති වූයේ ඒ අනුවය. එසේ නමුත් සිරිසේන- වික්‍රමසිංහ ගැටුම එම යෝජනාව සාර්ථක ලෙස ක්‍රියාවට නැගීමට තිරිංගයක් බවට පත් විය. එම යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නගන ලද්දේ නම් මේ වන විට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අධීක්ෂණයෙන් ඉවත්වී තිබෙන්නටත් අන්තර් ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වූ රටක් බවට පත්වන්නටත් ඉඩ තිබුණි.

දැන් එම රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ බවට රූපාන්තරණය වී ජනාධිපති ලෙස උද්දාමයට පත්ව සිටී. ඒ විජේදාස රාජපක්ෂම අදත් අධිකරණ ඇමැතිය.

අදෝමැයි! දැන් දෙදෙනා ගයන්නේ අලුත්  තනුවකි. තමන් විසින්ම සකසා 2016 ඔක්තෝබරයේ දී සම අනුග්‍රාහකත්වය දැක් වූ මානව හිමිකම් කවුන්සිලයේ  30/1 යෝජනාවෙන් දෙබානම ඉවත් වී ඇත්තේ, විය ගසට අලි සබ්රිද බැඳ ගැනීමෙනි.

සබ්රිගේ මාධ්‍ය නිදහස වාෂ්පවීම

නිව්යෝක්හි එක්සත් ජාතීන් ගේ මහා සමුළුවට සහභාගි වූ සබ්රි, ශ්‍රී ලංකාව ප්‍රකාශනයේ නිදහස අනුළංගනීය ලෙස සලකන්නේ යැයි කියා කට ගන්නටත් පෙර  සාමකාමී විරෝධතාකරුවන් 84 දෙනෙකුට පහර දී පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඉන් දින කිහිපයකට පසු ලොවෙත් නැති ලොවි ගසෙත් නැති නීතියක් කර පින්නා ගෙන රනිල්  රාජපක්ෂ අධි ආරක්ෂක කලාප නිවේදනය කළේය.

හිමිකම් කඩ කිරීම ගොනුන් දෙදෙනෙකුටවත් ඇඳිය නොහැකි තරම් බර  නිසා තෙවැන්නකුද  අවශ්‍ය වුවා විය හැක. ඊටත් වඩා අද ගෝටා ගේ අපරාධ බර ද ඇදිය යුතු බැවින් ඊට හපනා බව අධිකරණ ගණනාවක දී පෙන්වා ඇති සබ්රි ද දැන් විය ගසේ ය.

වසර හතකට පෙර ලෝක ප්‍රජාව හමූවෙහි එකඟ වූ මානව හිමිකම් වැඩ පිළිවෙළකින්, එම එකඟ වූ දේශපාලන නායකයින්ම ඉවත් වන විට එවැනි රටක හිමිකම් සුරැකෙනු ඇතැයි සිතනු ඇත්තේ එ්කාධිපතියන් සහ දූෂිත රාජ්‍ය නායකයින් පමණක් බව, මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරයේදී පෙනී ගිය යථාර්තයයි.

“ඔබේ මිතුරන් කව්දැයි මට කියන්න. ඔබ කව්දැයි එවිට මට කිව හැකි ය” යනු යුග පැරණි කියමනකි. මෙවර මානව හිමිකම් කවුන්සිලයේදී රනිල් රාජපක්ෂ පාලනය “යසයි, අගෙයි, අපූරුයි” කීමට පෙළ සැදී ආවේ තනි පක්ෂ ආණ්ඩු සහිත, ජනමාධ්‍යවේදීන් දුසිම් ගණනින් සිර ගත කර ඇති, කිසිදු විරෝධතා ව්‍යාපාරයකට ඉඩ නොදෙන, ජීවිත කාලයටම පත් වූ රාජ්‍ය පාලකයින් සිටින රටවල් ය. රනිල් රාජපක්ෂට සහය දැක්වූ රටවල් අතර මුදුනේ සිටියේ ලෝකයේ සිටින දරුණුතම ඒකාධිපතියකු වන කිම් ජුං උං ගේ උතුරු කොරියාවයි. එම ලැයිස්තුව ලිවීමට තරම් අජූතය.

ලිබරල් ඇන්ජීඕ ගලේ රීම

මානව හිමිකම් කවුන්සිලයේ දී 2019න් පසු රාජපක්ෂ පවුලේ දූෂිත භීෂිත පාලනයට අත් දෙකම ඉස්සූ එවැනි ඒකාධිපතියන් රනිල් රාජපක්ෂගේ පාලනයට අත් කකුල් දෙකම උස්සන විට ඉන් කියැවෙන්නේ කුමක්ද කියා මඟතොට දී අර රනිල්වාදී ලිබරල් ඇන්ජීඕවාදියකු හමු වුව හොත් නිකමට අසා බලන්න.  එකල මේ ඇන්ජීඕ පිරිස් එවැනි රටවල් සැලකූයේ පිළිකුලෙනි. දැන් එම ඇන්ජීඕ පිරිසට සතුට ගෙන එන්නේ එවැනි භීෂක රාජ්‍යයන්ය.

කරුමය දුෂ්ඨ පාරා වළල්ලක් වැනි යැයි කියනු ලැබේ. රනිල් රාජපක්ෂගේ මර්දනකාරී පාලනය හමූවේ මේ ඇන්ජීඕ පිරිස් දැන් ගලේ රිවූ බළලුන් ගාන ය. ඒ ගන්ධස්කාරය වසා ගැනීමට බැරිව ය.

මෙරට අධානග්‍රාහී වාමාංශිකයින්ගේ දැන ගැනීම පිනිස ද කිය යුතු දෙයක් තිබේ. එනම් ඔවුන් විසින් සහෝදරාත්මක සහ ආදර්ශනාත්මක ලෙස සලකන චීනය, වියට්නාමය, කියුබාව, වෙනිසියුලාව, උතුරු කොරියාව, රුසියාව, වැනි රටවල් පෙනී සිටියේ අරගලය සහ විරෝධතාකරුවන්ගේ අයිතිය වෙනුවෙන් නොව රනිල් රාජපක්ෂගේ මර්දනය වෙනුවෙන් බව ය.

රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ පවුලේ දෙ පාමුල වැටී පාවා දුන්නේ අරගලයේ ජයග්‍රහණයට තිබූ මා හැඟි අවස්ථාව පමණක් නොවේ. මානව හිමිකම් සම්බන්ධයෙන් යම් දුරකට හෝ යහපාලන ආණ්ඩුව ගෙන ගිය වැඩ පිළිවෙළ සහ අන්තර් ජාතික වශයෙන් යම් දුරකට ඒ වෙනුවෙන් තිබූ පිළිගැනීමයි.

මෙම පාවාදීම දැන් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ නව යෝජනාවකට උපත දී තිබේ.

පසුගිය 46/1 යෝජනාවෙන් සම්මත වූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙලෙසීම් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ සහ ක්‍රමානුකූලව සකසා සංරක්ෂණය කිරීමේ එක්සත් ජාතීන්ගේ  යාන්ත්‍රණයට, දැන් ආර්ථික අපරාධ පිළිබඳ තොරතුරු සහ ඒවාට වගකිය යුත්තන්ද ඇතුල් වනු ඇත.

රනිල් රාජපක්ෂ විනිශ්චය හමුවෙහි

යෝජනා කෙටුම්පතෙහි සඳහන් අටවන ක්‍රියාකාරී ජේදය දළ වශයෙන් මෙසේය:

  1. වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි සංරක්ෂණය කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනා ගෙන, එම සාක්ෂි රැස් කිරීමට, තහවුරු කිරීමට (එක්සත් ජාතීන්ගේ) මහ කොමසාරිස් කාර්යාලයට ඇති හැකියාව පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට තීරණය කරයි. තොරතුරු සහ සාක්ෂි විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීමට, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීමට සහ නිසි අධිකරණ බලය සහිත අදාළ අධිකරණ සහ අනෙකුත් ක්‍රියාදාමයන්ට සහාය වීම ද ඒ අතර වේ.

ලිබරල්වාදියකු ලෙස පෙනී සිටිමින්, රාජපක්ෂ වළව්වේ කටු ලෙව කෑමට ගොස් සිටින  රනිල් රාජපක්ෂ දැන් මානව හිමිකම් ඉතිහාසයේ විනිශ්චය හමුවේය. ගෝටාගේ නීතිඥයා වන අලි සබ්රි කෑ සබ්බුවට පරයා යන සබ්බුවක් රනිල් රාජපක්ෂට මානව හිමිකම් සම්බන්ධයෙන් ලැබීමට  දැන් ඇත්තේ දින ගණනාවක කාලයක් පමණි.

Archive

Latest news

Related news