Friday, April 26, 2024

දෙමළ ජනයා, අරගලය සහ ක්‍රම වෙනස – ගජේන්ද්‍ර කුමාර් පොනන්නම්බලන්ගේ කියවීම

පවතින ක්‍රමය වෙනස් කිරීම, එසේත් නැතිනම් ක්‍රමය පෙරළීම පිලිබඳ සටන් පාඨය දකුණේ මෑතකාලීන ආණ්ඩු විරෝධී සටන්වලදී වැඩි වැඩියෙන් කියැවුණි. එහිදී බොහෝ දෙනෙකු මගහරින, එසේත් නැතිනම් අමතක කරන සාධකය වන්නේ අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ ලංකාවේ රාජ්‍ය තන්ත්‍රයේ පවතින වර්ගවාදී/වර්ගතාන්ත්‍රික ස්වභාවයයි.

රාජ්‍යය තුළ වෙසෙන පීඩිත ජන කොටස්වල දේශපාලන අභිලාෂයන් නොසලකා හරිමින්, ඉල්ලා සිටින ක්‍රම වෙනසක ඇති අසාධාරණ බව සහ අසාර්ථක බව පිලිබඳ හඬක් උතුරු නැගෙනහිර දෙමළ සමාජයෙන් පසුගිය කාලය පුරා වරින් වර නැගිණි. මූලිකව එකී කාරණය පදනම් කරගනිමින් පසුගිය අප්‍රේල් මස 22දා, දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් කරගෙන කරන ලද මෙම ඉංග්‍රීසි කතාවෙහි පරිවර්තනයක් පහත පළ කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පාලනය පෙරළා දැමීමට පෙර කරන ලද මෙම කතාවේදී ඔහු මතු කරන කේන්ද්‍රීය ප්‍රශ්නය ඊට පසුව උදා වී ඇති අද වැනි දවසකද වැදගත්කමින් අඩු නොවන නිසාය. දකුණේ සිංහල සමාජය සහෝදරාත්මකව ආමන්ත්‍රණය කරමින් ඔහු මතු කරන එම කාරණා,

තවමත් පුද්ගලයන් වෙනස් කිරීමෙන් ‘සිස්ටම් චේන්ජ්’ කළ හැකි යැයි සිතන දකුණේ ජනතාවද, ක්‍රමය පෙරළීමට බලාපොරොත්තුවන දකුණේ විරෝධතාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ විසින්ද බරපතළව සැලකිල්ලට ගත යුතු බව අපේ හැඟීමයි. (පරිවර්ථනය කරන ලද වෙබ් අඩවියේ සටහනකි.)

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

සති කීපයකට ඉහතදී මා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා අපට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇති බව මට දැනෙන බව. මා එසේ කිව්වේ පළමු වතාවට සිංහල ජනතාව තමන්ගේ නායකයන් ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බව අපට දැනෙන නිසා. ඔවුන් සිය නායකයන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත්තේ පසුගිය මැතිවරණවලදී ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පවුල කුමක් හෝ විදිහකට මේ රට ගලවා ගැනීමට සිටින එකම පිරිස යයි ඔවුන් සිතූ තත්ත්වයක් ඇතුළෙ.

“වර්ග සංහාරකයන් සහ යුද අපරාදකරුවන් ලෙස තමන් විසින් සලකනු ලැබූවන්ට එරෙහිව දිගින් දිගටම ඡන්දය පාවිච්චි කරමින් ඔවුන්ට එරෙහිව නැගී සිටින විට, එකී පුද්ගලයන්ට ම විරුද්ධව දකුණත් නැගී සිටින විට, සාමාන්‍ය සිංහල ජනතාවත් විරුද්ධ වෙන විට, උතුරු නැගෙනහිර එම බහුතර දෙමළ බස කතා කරන ජනතාව සහ දෙමළ ජාතිකයන් ඇයි නිහඬව ඉන්නෙ?”

එසේ වන්නෙ 2015 පාලන තන්ත්‍ර පෙරළිය සිදුවෙලා මාස තුනක් ඇතුළත මහ බැංකු බැඳුම්කර වංචාව සහ වෙනත් විවිධාකාරයේ වංචා දූෂණ සහ දේශපාලනීකරණය වූ ක්‍රියාමාර්ග විසින් ඔවුන් මංමුලා කරනු ලැබූ නිසා. අපේ කියවීමට අනුව 2015දී ඒ ජනතාව මහින්ද රාජපක්ෂ ඡන්දයෙන් පරාද කළේ ඔහු දූෂිත නිසා සහ එම පවුලටම පාඩමක් ඉගැන්විය යුතු නිසා. ඒක තමයි බහුතර සිංහල සමාජයෙන් ආව පණිවිඩය.

ඉතින් මහින්ද රාජපක්ෂට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතා පත් කර ගත් ඊළඟ ආණ්ඩුවත් ඒ වගේම ක්‍රියා කළා. අන්තිමේදි සිංහල ජනතාව හිතුවා මොන දුර්වලකම් තිබුණත් රාජපක්ෂලා නැවත බලයට පත් කළ යුතුයි කියලා, මොකද ඔවුන්ට විතරයි මේ රට ස්ථාවර කරන්න පුළුවන් කියල. ඒත් එහෙම හිතපු මිනිස්සුම අද වීදි බැහැලා. ඔවුන් කියන්නෙ රාජපක්ෂලා එළවන්න ඕන කියලා. ඔවුන්ට ඕනෑ කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගෙ ආණ්ඩුව බලයෙන් පහ කරන්න.

ගරු මූලාසනාරූඨ මන්ත්‍රීතුමනි,
මේ සියල්ල මැද්දෙ දෙමළ ජනතාව අතරින් මතු වෙමින් තියෙන්නෙ මෙහෙම ප්‍රශ්නයක්. ඒක තමයි දිගින් දිගටම රාජපක්ෂවරුන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු, තමන්ට යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර අධිකරණයකට පැමිණවීමට හැකි පරිදි වගඋත්තරදායක කිරීම වෙනුවෙන් දිගින් දිගටම පෙනී හිටි උතුරු නැ‍ඟෙනහිර දෙමළ ජනතාව මේ වෙලාවෙ නිහඬ ඇයි? ඔවුන් වර්ග සංහාරකයන් සහ යුද අපරාදකරුවන් ලෙස තමන් විසින් සලකනු ලැබූවන්ට එරෙහිව දිගින් දිගටම ඡන්දය පාවිච්චි කරමින් ඔවුන්ට එරෙහිව නැගී සිටින විට, එකී පුද්ගලයන්ට ම විරුද්ධව දකුණත් නැගී සිටින විට, සාමාන්‍ය සිංහල ජනතාවත් විරුද්ධ වෙන විට, උතුරු නැගෙනහිර එම බහුතර දෙමළ බස කතා කරන ජනතාව සහ දෙමළ ජාතිකයන් ඇයි නිහඬව ඉන්නෙ?

වරදවා හිතන්න එපා ඔවුන් ඒ නිහඬව ඉන්නෙ රාජපක්ෂලා බලයෙන් පහකරනවාට ඔවුන් විරුද්ධ නිසා කියල. ඇත්තටම ඔවුන්ට රාජපක්ෂලා බලයෙන් පහ කරන්න අවශ්‍යයි. අපේ පක්ෂයත් ඇතුළුව. අපි තමයි මේ ආණ්ඩුවට විරුද්ධව පළමුවෙන්ම විශ්වාස භංගයට අත්සන් කළේ. ඒ නිසා මේක වරදවා ගන්න එපා.

ඒත් ගරු මූලාසනාරූඨ මන්ත්‍රීතුමනි,

වීදි බැහැලා උද්ඝෝෂණය කරන සාමාන්‍ය සිංහල ජනතාව හොඳට තේරුම් ගත යුතු විශාල රික්තයක් තියනවා. අද අවුරුදු 74ක නායකත්වය සහ අවුරුදු 74ක ක්‍රමය සිංහල ජනතාව ප්‍රශ්න කරන මොහොතක් තමයි දෙමළ ජනතාව දකින්නෙ. පහුගිය අවුරුදු 74ක් තිස්සෙ දෙමළ ජනතාවත් ඒකම තමයි කියමින් ඉන්නේ. ඒ කියන්නෙ මේ ක්‍රමය අසාර්ථක බව. ඒක මේ රට කවදහරි බංකොලොත් කරන බව. ඒක සෑම ජාතියකටම සමානව තැන නොදෙන, සමහර ජනකොටස් පැත්තකට කිරීම නිසා රාජ්‍යය ඇතුළෙ එකිනෙකා සතුරන් ඇති කරවන ක්‍රමයක් වන නිසා එය වෙනස් කළ යුතු බව. එ

හෙත් අද සිංහල මිනිසුන් විසින් ම එය කියන විට මේ පාර්ලිමේන්තුව ඇතුළෙනුත් ඇහෙන පණිවිඩය තමයි මේ වෙනස අවශ්‍ය කරන, පණත් සභාගත කරමින් එම වෙනස ගේන්නට උත්සාහ කරන විපක්ෂය පවා කතා කරන්නෙ විධායක ජනාධිපති ක්‍රමය ගැන සහ එය අහෝසි කරමින් කරන යම් යම් වෙනස් කිරීම් ගැන බව.

ගරු මූලාසනාරූඨ මන්ත්‍රී තුමනි,

විධායක ජනාධිපති ක්‍රමය තමයි මේ රටේ ඉන්න සුළුතර ජනකොටස් වන දෙමළ, මුස්ලිම් සහ කඳුරට දෙමළ ජනතාව හිතන විදිහට ඔවුන්ට බලපෑම්සහගත විය හැකි එකම ව්‍යුහය. ජනාධිපතිවරණයකදි පළමු වටයේ ජය ගන්න සියයට පනහකට වැඩියෙන් අවශ්‍යයි. ඒකෙ තේරුම සිංහල නොවන ජනතාවට එහිදී බලපෑමක් කළ හැකි බවයි. ඒ නිසා තමයි කවදත් සිංහල නොවන දේශපාලන පක්ෂ සහ සිංහල නොවන ජනතාව සාමාන්‍යයෙන් දැරුවෙ විධායක ජනපති ධූරය යම් තරමක සාධනීය දෙයක් කියන අදහස. ඒ මොකද ඒ තනතුරට පත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මොන විදිහකට හරි සිංහල නොවන ජනතාවගෙ සැකසංකා දුරු කළ යුතු වීම.

ඒ ව්‍යුහයම (විධායක ජනාධිපති ධූරය) තමයි සිංහල ජනතාවටත් දැන් අහෝසි කරන්න ඕනි වෙලා තියෙන්නේ. අපට ඒක හොඳින් තේරුම් ගත හැකියි. ඒ මොකද එය ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ඒකාධිපතිවාදී ක්‍රමයක් නිසා. එය අහෝසි විය යුතුයි. ඒ නිසා සිංහල ජනතාවත් පීඩාවට පත් වෙලා. අපට ඒ නිසා එය අහෝසි කිරීමට ඇති අවශ්‍යතාව ගැන තේරුම් ගන්න පුලුවන්. අප එයට ගරු කරනවා සහ එයට සහයෝගය පළ කරන්න ලෑස්තියි. ඒ එක්කම අවුරුදු 74ක් තිස්සෙ අපිත් ක්‍රමයේ වෙනස් වීමක් ඉල්ලා සිටින බව ඔබ තේරුම් ගන්නවා නම් කැමතියි.

ඒත් ශ්‍රී ලංකාවෙ සිටින සිංහල බෞද්ධයන් විතරක් නොවෙයි, දෙමළ, ඒ වගේම මුස්ලිම් සහ කඳුරට දෙමළ ජනතාව යන මේ රටේ ජීවත්වන සියලු දෙනා බලගන්වන ඒ ක්‍රම වෙනස ඔබ පිළිගත්තේ නැත්නම්, ඔබ එයට සූදානම් නැත්නම් අද මේ සිදුවෙමින් තියන වෙනසට පදනම් වෙන්නෙ සිංහල ජනතාවට සහ දකුණට බලපාන ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම පමණක් බවයි එයින් කියැවෙන වැරදි පණිවුඩය.

ගරු මූලාසනාරූඨ මන්ත්‍රී තුමනි,

විධායක ජනාධිපති ධුරය අහෝසි වෙනවා නම් එය ජනමතවිචාරණයක් හරහා සිදුවිය යුතුයි. හොඳයි, ඔබ ජනමතවිචාරණයකට යනවා නම්, ඔබ ඊට මූණ දීමට සූදානම් නම්, ඔබට නිසැකවම ජනතාව ඉදිරියට යන්න සිදුවෙන්නේ ක්‍රමයේ පූර්ණ වෙනසක් සමගයි. ඒත් දෙමළ දේශපාලන පක්ෂ හැරෙන්න විපක්ෂයේ සිටින කිසිම දේශපාලන පක්ෂයක්වත් දෙමළ ජනතාවට සැබවින්ම බලය දීමට හැකි ක්‍රමයක් ගැන කතා කරන්නෙ නැහැ. එය වෙනස් විය යුතුයි.

අපේ මතය තමයි, ඒ විදිහට මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා නම් එය කරන්න අප සිංහල ජනතාව එක්ක මුළුමනින්ම හිට ගන්න ලෑස්තියි කියන එක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම විතරක් නොවෙයි, එය ශ්‍රී ලංකාව මේ අගාධයෙන් කවදාහරි ගොඩ ගත හැකි, එහි සම්පූර්ණ ශක්‍යතාවයෙන් ජීවත් විය හැකි, බහුජාතික සහ බහුවාර්ගික (එක් ජාතියකට වඩා වැඩිගණකට සමාන අයිතීන් සහිතව සහජීවනයෙන් ජීවත් විය හැකි ) රටක් බව පිළිගන්න ක්‍රමයක් විය යුතුයි.

එය යථාර්ථයක් බවට පත් කළ හැක්කේ ෆෙඩරල් ආකාරයේ ව්‍යවස්ථාවකින් පමණයි. අනෙක් කාරණය තමයි සිංහල ජනතාව දැන්වත් තේරුම් ගත යුතුයි ෆෙඩරල් ක්‍රමය සමබන්ධයෙන් ඔවුන්ගෙ නායකයන් ඔවුන්ට කවදාවත් ඇත්ත නොකියන බව. ෆෙඩරල් ක්‍රමය යනු කිසිසේත්ම රටවල් බෙදන ක්‍රමයක් නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනස් වෙමින් ෆෙඩරල් කියන්නෙ ලෝකයේ ආර්ථික සංවර්ධනය අතින් ඉහළම ඉන්න රටවල් අනුගමනය කරන ක්‍රමයක්. බහුතරය නොවන ජන කොටස් සඳහා ෆෙඩරල් ක්‍රමය පිලිගත් එම රටවල, එම ජන කොටස් බෙදුම්වාදය ප්‍රතික්ෂේප කර තිබෙන බව පෙන්වා දී තිබෙනවා. කැනඩාව වගේම තවත් රටවල් උදාහරණයට ගන්න පුළුවන්.

ගරු මූලාසනාරූඨ මන්ත්‍රීතුමනි,

අද මේ රට වඩා යහපත් රටක් බවට පත් කරන්න විශාල වෑයමක් දරන සිංහල ජනතාවගෙන් ඒ පදනම මත පිහිටමින් මම ඉල්ලා සිටින්න කැමතියි, කුමන පැත්තකට හෝ අයත් නායකයන්ට බලකිරීමට සම්පූර්ණ ක්‍රම වෙනසක් දිනා ගන්නා ලෙස සහ එම ක්‍රම වෙනස සිංහල බෞද්ධයන්ට පමණක් නොව දෙමළ, මුස්ලිම්, කඳුරට දෙමළ යන ජනකොටසුත් බලගන්වන ක්‍රම වෙනසක් බවට පත් කරන ලෙස. එසේ නොවන අනික් සියල්ල අසාර්ථක බවින් කෙළවර වෙන බවත් කිව යුතුයි.
www.nivahal.com

Archive

Latest news

Related news